
එකම එක දවසක් තියේවී
දෙනෝ දාහක් බලා සිටියත්
ඇවිත් යනවානම්
නුඹ ඇවිත් යනවානම්
දෑස් හැරලා කතා නොකළට
හඬන්නට තහනම්...
සම්මතය බිඳ දැමූ වෙන්කළ නොහැකි ආදරයක් විවරණය කරමින් දයාන් විතාරණගේ හඬින් ගැයෙන දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළ ' එකම එක දවසක්' ගීතය සුසන්ත දන්දෙණිය ගමගේ ගේ පද රචනයකි. වර්තමානයේ ගැයෙන බොහෝ ගීත අඳෝනාවලට කදිම උදාහරණයක් වු මෙම ගීතය මේ වනවිටත් අන්තර්ජාලය හරහා විශාල රසිකයන් පිරිසක් ආදරයෙන් වැළඳගෙන තිබේ.
'දශක කිහිපයකට කලින් නිර්මාණය වු ගීත හිතට දැනෙන විදිහේ පද වැල්වලින් ලියවී තිබූ නිසයි එතරම් ජනප්‍රිය වුණේ. ඉතින් මටත් ඕනෑවුණා එවැනි ගීත නිර්මාණය කිරීමට. මගෙ අතින් නිර්මාණය වුණු සිය ගණනක් ගීත අතරින් මේ ගීතය මම වඩාත් ප්‍රිය කරන ගීතයක්' සුසන්ත දන්දෙණිය සිය ගීතය ගැන එසේ පවසයි.
සංගීත රසකාමී සිත්වලට ආමන්ත්‍රණය කරන සිය නවතම ගීතය ගැන දයාන් විතාරණ හඬ අවදි කළේ මෙසේය,
'කාලයකින් මා ගායනාකළ මේ ගීතයට බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මෙහි පදමාලාව බොහොම සිත් ගන්නා සුලුයි. මේ ගීතයේ පද රචක සුසන්ත දන්දෙණිය පවසන ආකාරයට මෙයින් ප්‍රකාශ වෙන්නේ මුණ ගැහෙන්න හැකියාවක් නැති අසම්මත පෙම්වතුන් යුවළකට එකම එක මොහොතකට හෝ ඔවුනොවුන් දැක ගන්න තියෙන නොඉවසිලිමත් වුවමනාව ගැන.
ඒත් මේ ගීතයට සවන් දුන්න සමහර අය හිතන්නේ මේක තමන්ගේ මළගමට එන්න කියලා පෙම්වතෙක් පෙම්වතියකට කරන ඇරයුමක් විදිහට. ගීතයේ එක් කොටසකින් කියැවෙන 'සැන්දෑ අහසේ නැගුණු දුමාරෙන් රුවත් අරගෙන නොපෙනී යන තුරු' පද තුළින් ඒ හැඟීම වැඩිදියුණු කරනවා. මේ ගීතය එකිනෙකාගේ පරිකල්පන හැකියාව මත එකිනෙකාට වෙනස් ලෙසින් දැකිය හැකි විඳින්න හැකි ගීතයක්. මම මේ ගීතය ඉතාම ආසාවෙන් ගායනාකළේ එහි පදවැල්හි තිබෙන අන්තර්ගතය නිසාමයි.
සාමාන්‍යයෙන් මම ගීතයක් ගායනාකරන විට එහි අන්තර්ගතයට මූලිකත්වය දෙනවා. මෙහි පදවැල වගේම සංගීතයත් ඉතාම අලංකාර නිසා තමයි මේ ගීතය රසිකයන් අතර මෙතරම් ජනප්‍රිය. දර්ශන වික්‍රමතුංග මීට පෙරත් මගේ ගීත විස්සකට පමණ තනු නිර්මාණය කර තිබෙනවා. ඔහු දන්නවා මගේ හඬට අලංකාරය මුසු කරන්න හැකි මට ගැළපෙන ලෙස තනු නිර්මාණය කරන්න'.
අපූරු සංගීත රිද්මයකට භාවමය හඬ මුසු කරමින් ගැයෙන මෙම ගීතය සිංහල ගීතයේ ස්වර්ණමය යුගයේ බිහිවූ මතකයේ රැඳෙන පදවැල් සිහිකරමින් එලෙසම සංගීත රසකාමී සිත් තුළ ලැගුම් ගන්නා සොඳුරු ගීතයක් වනු නොඅනුමානය.