නව­ක­යන් දෙදෙ­නකු සමඟ දයාන් අපට කියන ප්‍රේමයේ අපූ­ර්ව­ත්වය | සිළුමිණ

නව­ක­යන් දෙදෙ­නකු සමඟ දයාන් අපට කියන ප්‍රේමයේ අපූ­ර්ව­ත්වය

ළයට ළං කර වැලඳ රිසි ලෙස
අයි­ති­ කර ගැනුම නම් ප්‍රේමය
අපිත් නැව­තුණ අපේ ලොව තුළ
කොතෙක් නම් හිනැ­හෙන්න තිබුණි ද

අයිති කර ගැනුම නම් ප්‍රේමය....
හීන­යක් සේ හිතට කොඳු­රන
වස­න්තය නෙත කඳුළු කැන්දන
ඒ කඳු­ළු­මත් අපට ළං වුණු

ආද­රය නොදැ­නු­ණිද සොඳු­රිය....
හැඟුම් අව­දිව යළිත් සිර කර
හඬ­න්නට බැරි නිසා හිනැ­හෙන

ඒ හිනා­වෙම හිතට කොඳු­රන
ආද­රය නොති­බුණි ද සොඳු­රිය

ගාය­නය - දයාන් විතා­රණ
පද රච­නය - සංජී­වනී දහ­නා­යක
සංගී­තය - මාලක රත්නා­ය

අයිති කර ගැනුම නම් ප්‍රේමය..... ඇසෙන විට සිත දෙගිඩියාවෙනි. මම දහ අතේ කල්පනා කෙරුවෙමි.. ඒ මේ කතාව ඔබට කියන්න ද...නොකියන්නද කියාය. අවසානයේ ටික දිනෙක සිට රිදෙන විඳින විඳවන සිත යටපත් කරගෙන සියල්ල ඔබට කියන්නට හිත හදා ගත්තෙමි.

ඇයගේ විවාහය හිතුවක්කාරකමකි. ඒත් කෙටි කලකින් සියල්ල සන්සුන් විය. ඇගේ සැමියාගේ පවුලේ අයට ඇය නැතිව බැරි කෙනෙක් විය. ඇය තම පවුලේ අයට මෙන්ම සැමියාගේ පවුලේ අයට ද හොඳින් සැලකුවාය. අසල්වැසි ඥාති මිත්‍රාදීන්ට ද එසේය. ඇය දෙදරු මවකි. කාගෙත් හිත දිනාගෙන සිටි ඇයගේ ජීවිතයට කඳුළක් එක් වූයේ අහම්බෙනි. ඇගේ සැමියා අනියම් පෙමක පැටලුණි. ඇය එය ඉවසුවාය. ඒ ඔහු වෙනුවෙනි. දෙදරුවන් වෙනුවෙනි.

ඔහු විටින් විට අලුත් පෙම්වතිය සොයා යන්නට වූයේය. ඇතැම් දිනෙක රාත්‍රිය ගෙවුණේ ඒ නිවෙසේය. ඇය ගැටුමට නොගියාය. ඒ ඔහුට සිත ඇති ආදරය නිසාය. අවසානයේ ඇය ඔහුට නිවෙසේ පිටත කාමරය සකස් කර දුන්නාය. ඒ ඕනෑම විටෙක බැහැරට යන්නට ය. රෑ මැදයමේ ඔහු නි‍ෙවසින් පිටව යන බව දෙදරුවන් දැන ගන්නවාට ඇය අකැමැති වූවාය. ඔහු නිසා අනියම් පෙම්වතිය දරුවකු ලැබුවාය. නමුදු ඔහු දරුවාගේ උප්පැන්නට නම දීම මඟ හරින්නට විය.

ඇය ඊට ද මැදිහත් වූවාය. කවුරුත් සිතුවේ ඇය සතුටින් පවුල් ජීවිතය ගතකරන බවය. නමුදු එය එසේ නොවීය. ඇය කිසිවකුට වෛර නොකළාය. පාසල් වියේ සිට සිතෙහි හටගත් ආදරයට ඇය බොහෝ පෙම් බැන්දාය. එනිසාම තමන්ගේ යැයි කියා අයිති කර නොගෙන දුරින් ඉඳ වූව ඔහුට යහපත ප්‍රාර්ථනා කරන්නට ඒ බෝසත් සිතට පුළුවන් විය.

වැඩිහිටියෝ ඔහුගේ අනියම් පෙමට විරුද්ධ වන විට ඇය ඔහුට එරෙහිව කිසිවක් නොකීවාය. ඔහු හදිසියේ මිය ගියේය. මහ රාත්‍රියේ අනියම් බිරිය ඔහුගේ දරුවා නිවෙසට ගෙන්වා ඔහුගේ මිනිය පෙන්නුවාය. ඇය ඔවුන් වෙනුවෙන් නිවෙස අලුත්වැඩියා කර දුන්නේය. (නමුදු කලකට පෙර සැමියාගේ අනියම් බිරිය ඇයට බොහෝ අඩන්තේට්ටම් කළාය. මේ කිසිවක් ගැන ඇය කිසිවකු සමඟ මැසිවිලි නොනැගුවාය. ඔහු මිය යන විට ද ඇය පිළිකා රෝගියෙකි. දැන් ඇගේ රෝගය උත්සන්නය.

“ඇයි අක්කා මේ විදිහට නිහඬව ඉන්නේ. අයියා අක්කටයි දරුවන්ටයි කරපු වැඩේ හොඳ නැහැ. ”දිනෙක නැගණිය ඇගෙන් ඇසීය.

“මගෙ හිත තාමත් එයාට ආදරෙයි. එයා ඒ විදිහට වෙනස් වෙන්න ඇත්තේ මගේ මොකක් හරි අඩුවක් නිසානේ. මට කවදාවත් එයාට වෛර කරන්න එයාට අයහපතක් ප්‍රාර්ථනා කරන්න බැහැ. මං කැමැතියි එයා සතුටින් ඉන්නවා නම්. ”

ඒ ඇගේ වදන්ය. ඔහු දැන් ජීවතුන් අතර නැත. ඇය දැන් හිඳින්නේ මරණය අබියසය. ඔහු කෙරෙහි ඇති අතීශය ප්‍රේමය පමණක් නොව ඉවසීම ද ඇගේ ජීවිතයට සැනසිල්ල එක්කර ඇත.

ඇතැම් ගී ඇසෙන විට අපට අපේ හෝ අප ඇසුරු කරන්නන්ගේ අත්දැකීම් සිහියට නැගේ. මේ ද එවැනි අත්දැකීමකි. ප්‍රේමය සොඳුරුය. ප්‍රේමයේ සොඳුරු බව වඩ වඩාත් දැනෙන්නේ අප එයත් සමඟ ගනුදෙනු කරන විදිහටය. ප්‍රවීණ ගායන ශිල්පි දයාන් විතාරණ ගයන “අයිති කර ගැනුම නම් ප්‍රේමය.... ආධුනික ගීපද රචිකාවකගේ සහ ආධුනික සංගීතවේදියකුගේ සාර්ථක නිර්මාණයක් ලෙසින් හඳුන්වා දීමේ වරදක් නැතැයි සිතේ.

“මට ඕන වුණේ ප්‍රේමය දිහා වෙනස් විදිහකට බලන්න. අද මේ සමාජයේ පෙම්වතුන් පෙම්වතියන් ආදරයෙන් බැඳී සිටිනවා. ඒ හැම කෙනකුගේම අවසාන බලාපොරොත්තුව විවාහය. නමුත් විවාහයෙන් ප්‍රේමය අවසන් වෙනවාද?. අපි එහෙනම් පුදුමාකාර සතුටකින් ජීවත් වෙනන්න ඕන. නමුත් එහෙම නැහැ. හිත් රිදිම් වැඩියි. ප්‍රේමය කියන්නේ භෞතික අත්පත් කර ගැනීමක් නම් අපි එය ලබා ගැනීමෙන් පසු සතුටු වෙන්න ඔනෑ නමුත් එහෙම නැහැනේ. ප්‍රේමය ආධ්‍යාත්මික වෙන්න ඕන‍. එය එහෙම වුණා නම් අපිට අපි හැර ගියාට පසු එකිනෙකාට වෛර කරන්න, ශාප කරන්න බැහැ. මොකද අපේ හිත්වල ආදරය තිබෙන නිසා. අපි හැම විටම ප්‍රාර්ථනා කරන්නේ යහපත. මෙන්න මේ සිතුවිලි ගොන්න තමයි මට ගීතයක් බවට පත්කරන්න ඕන වුණේ.” ගී පද රචිකා සංජීවනී පවසන්නේ එවැනි අදහසක්. කලකට පෙර සංජීවනී විසින් මුහුණු පොතේ ලියන ලද පද පෙළ සංගීතවේදි මාලකගේ ඇස ගැටෙන්නේ අහම්බෙනි.

“ඒ පද පෙළ සරල වුණත් එහි ගැඹුරු අරුතක් තිබෙන බව මට දැනුණා. ඒ වචන වලට මම බොහෝ ආසා කළා. ඒ නිසා මම සංජීවනී සොයුරියගෙන් ඇහුවා මෙය ගීතයක් කරමුද කියලා. දයාන් විතාරණ මහතා මේ පද පෙළට වගේම සංගීතයටත් බොහෝ කැමැති වුණා.

මාලක පවසන්නේ සාර්ථක නිර්මාණයක් කිරීමට ලැබීමේ නිහතමානී සතුටෙනි.

ප්‍රවීණයකු වුවද දයාන් විතාරණ හැම විටම තවත් පරපුරක් බිහි වනවාට කැමැති ගායන ශිල්පියෙකි.

‘‘ප්‍රේමය කියන්නේ බොහෝම පරාර්ථකාමි දෙයක්. පෙම්වතුන්ට එලෙස පරාර්ථකාමි වෙන්න පුළුවන් නම් ප්‍රේමයේදි ආවේගශීලී වෙන්නේ නැහැ. පොඩ්ඩ බැරි වුණාම පෙම්වතිය මරන්නේ නැහැ. පිහියෙන් අනින්නේ නැහැ. කුරුල්ලෙකු කූඩුවක දාලා හදනවා වගේ ප්‍රේමයක් තියෙන්න බැහැ. නිදහස විශ්වාසය හදවත්වල බැඳීම තිබිය යුතුයි. මෙන්න මේ අදහස තමයි සංජීවනීගේ පද පෙළේ තියෙන්නේ. මාලක කියන්නේ දක්ෂ තරුණ නිර්මාණශීලී සංගීත ශිල්පියෙක්. අපි මේ අයට ඉදිරියට එන්නට අවස්ථාව දිය යුතුයි.‘‘

“ළයට ළං කර වැලඳ රිසි ලෙස

අයිති කර ගැනුම නම් ප්‍රේමය..”

ගැයුම ගැන දයාන් පවසන්නේ එලෙසිනි. 

 

Comments