ලෝකයෙන්ම සංචාරයට හොඳම රට බවට ශ්‍රී ලංකාව පත් වූ හැටි | Page 2 | සිළුමිණ

ලෝකයෙන්ම සංචාරයට හොඳම රට බවට ශ්‍රී ලංකාව පත් වූ හැටි

  • ආසියාවේ හොඳම ගමනාන්ත‍යලංකාවයි ට්‍රැවලෙමින් ඩොට් කොම් වෙබ් අඩවිය කියයි
  • අපි මෙරටට ආදරෙයි ශ්‍රී ලංකාව මාස 12 පුරාම සංචාරයට සුදුසුයි විදෙස් සංචාරකයෝ අවධාරණය කරති

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස අතීතයේ ලෝකය පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇති බව අප සියලු දෙනා දැනුවත් වූ කරුණකි.

ඒ වෙන කිසිවක් නිසා නොව ලෝකයේ බොහෝ රටවල් වල නොමැති ස්වභාවික සම්පත් රැසක් ම අපේ රටේ තිබීම මෙන් ම මානවයාට ජීවත්වීම සඳහා ස්වභාවිකව නිර්මාණය වූ ‍උචිතම පරිසර පද්ධතියක් මෙරට තුළ පිහිටීමය.

ඉකුත් වසර කිහිපය තුළදී අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකාව සංචාරක වශයෙන් ලොව හොඳම ස්ථානයක් බවට නොයෙක් සඟරා මගින් හා සංචාරක සංවිධාන මඟින් මෙන් ම ලෝකයේ ප්‍රබල රටවල් විසින් ප්‍රකාශයට පත් කෙරිණි.

අතීතයේ සිටම ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය අතින් ඉතා ප්‍රබල රටක් බවට පත්විය. ඒ ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති දර්ශනීය ස්වභාවිකත්වය නිසාවෙනි.

යළිත් වරක් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට ඉකුත් සතියේ හැකි විය. ඒ ආසියා මහාද්වීපයේ හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරා පත් වෙමිනි. ට්‍රැවලෙමින්ග් (travellemming) ඩොට් කොම් වෙබ් අඩවිය විසින් කරන ලද ඡන්ද විමසීමකදී ශ්‍රී ලංකාව හොඳම සංචාරක ගමනාන්තය බවට පත් විය.

2019 වසර සඳහා සංචාරකයින්ට සංචාරය කිරීම සඳහා හොඳම, සුදුසුම රටවල් තෝරා ගැනීම වෙනුවෙන් ඡන්ද විමසීම කර තිබේ.

උතුරු ඇමෙරිකාව, පැසිෆික් කලාපය, දකුණු ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, යුරෝපය, අප්‍රිකාව, ආසියාව පාදක කරගනිමින් මත විමසුම අන්තර් ජාලය යොදා ගනිමින් පවත්වා ඇත.

මෙම මහාද්වීපවල පිහිටා ඇති කෙන්යාව, ටස්මේනියාව, මැනිටෝබා, කොලොම්බියාව, පේරු දූපත්, ශ්‍රී ලංකාව යන රටවල් හය සංචාරය කිරීම සඳහා හොඳම ගමනාන්තය ඇතුළත් රටවල් හය බවට පත්වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රථම සංචාරක මධ්‍යස්ථානය බවට පත්වී තිබේ.

මේ සඳහා ලොව විශිෂ්ටතම සංචාරක බ්ලොග්කරුවන්ගේ ඡන්දය යොදා ගෙන ඇත. එක් එක් මහාද්වීපවලට සුවිශේෂී වූ ලක්ෂණ සහ ආවේණික වූ විශේෂ කරුණු යොදාගෙන ඇත.

ආසියාවේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තේරා ගැනීමේදී වනජීවීන්, සුන්දර සහ ආකර්ෂණීය වෙරළ තීරයන්, සංස්කෘතිය, ඓතිහාසික වටිනාකම, ස්වාභාවික සුන්දරත්වය යන කරුණු සැලකිල්ලට ගෙන තිබේ.

එමෙන් ම සංචාරය කිරීමේදී මෙරට වැසියන් විදේශිකයන් කෙරෙහි දක්වන මිත්‍රශීලීත්වය සහ ඉතාම අඩු වියදමකින් සංචාරය කිරීමට හැකිවීම යන කරුණු ද විශේෂත්වක් ලෙස එම වෙබ් අඩවිය විසින් දක්වා ඇති කරුණු අතර ප්‍රධාන වෙයි.

ලොව සංචාරය කිරීම සඳහා සුදුසුම රටවල් වලින් ප්‍රථම ස්ථානය හිමි කරගැනීමට ඉකුත් වසරේ දී ශ්‍රී ලංකාවට හැකි විය. එම විමසීම කර තිබුණේ ලෝකයේ ප්‍රසිද්ධම සංචාරක මාර්ගෝපදේශක සඟරාවක් වන ‘ලොන්ලි ප්ලැනට්’ සඟරාව විසින් මෙහිදී ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ලෙස ශ්‍රී ලංකාව නම් කිරීම මෙරට සංචාරක ඉතිහාසයේ වැදගත්ම අවස්ථාවක් ලෙස නම් කිරීමට හැකි ය.

වසර තිහකට ආසන්න කාලයක් පුරාවට ශ්‍රී ලංකාව තුළ තිබ‍ු යුද ගැටුම් අවසන් වීමෙන් පසු නිර්මාණය වෙමින් තිබෙන සාමකාමී වාතාවරණය මෙහිදී ප්‍රධාන කරුණක් ලෙස නම් කිරීමට එම ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දී තිබුණා.

ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීමේදී සාමාන්‍ය ජනතාව විදේශ සංචාරකයින් කෙරෙහි දක්වන මිත්‍රශීලී සහ සංග්‍රහශීලීත්වය මෙන් ම මෙරට පෞරාණිකත්වය, ස්වභාවික පරිසරයන් යන කරුණු ද මේ සඳහා පාදක වී තිබේ.

එහිදී ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාව විසින් තවත් විශේෂ කරුණු කිහිපයක් ශ්‍රී ලංකාව පිළිබඳව සඳහන් කර තිබුණි.

ඇල්ල ප්‍රදේශය සහ දුම්රිය ගමනාගමනය, හික්කඩුව, තංගල්ල ඇතුළු දකුණු මුහුදු තීරයන් පූජනීය ස්ථාන ලෙස අනුරාධපුර මෙන් ම මහනුවර, සීගිරිය යන ස්ථාන පිළිබඳව සංචාරකයින්ගේ ව‍ඩාත් අවධානය දිනා ගැනීම මෙන් ම සදාහරිත වනාන්තර වන සුන්දර සිංහ රාජය, ශ්‍රී ලංකාව ව‍ටා පිහිටි ‍උද්භිත උද්‍යානය පිළිබඳව ද විශේෂ අවධානය යොමු කිරීමට මෙම සඟරාව කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාව තුළ විදේශිකයන් සංචාරය කිරීමේදී ආරුගම්බේ මුහුදු තීරය, ගාලු නගරය, උඩවලව ජාතික වනෝද්‍යානය, ඓතිහාසික සීගිරිය, පින්නවල අලි අනාථාගාරය නැරඹියම යුතු ස්ථාන අතරින් ප්‍රධාන ස්ථාන කිහිපයක් ලෙස මෙහිදී නම් කර තිබීම කැපී පෙනෙන කරුණක් බවට පත් විය.

ඊට අමතරව ශ්‍රී ලංකාවට ආවේණික ආහාර පාන, කුළු බඩු වර්ග සහිත විදේශ ආහාර, ආයුර්වේද වෙදකම්, කාලගුණ, දේශගුණ තත්ත්වයන් මෙන් ම වසරේ ඕනෑම කාලයක ශ්‍ර‍ී ලංකාවේ සංචාරය කිරීමට ඇති හැකියාව පිළිබඳව සංචාරක සඟරාව විසින් අවධානය යොමු කර තිබුණි‍.

මේ ආකාරයෙන් කරුණු රැසක් නිසාවෙන් ශ්‍රී ලංකාව වර්තමානය තුළ සංචාරකයින්ගේ ඉමහත් ආදරයට පත්ව ඇති ‍රටක් බව යළි යළි ලොවට කියාපායි.

අප විසින් කළ යුත්තේ මේ කරුණු සියල්ල පිළිබඳව දැඩි අවධානය යොමු කරමින් මෙරටට තව තවත් සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා සුදුසු පරිසරය තව තවත් නිර්මාණය කර රාජ්‍ය මට්ටමින් පෞද්ගලික ආයතන මට්ටමින් ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම බව පෙන්වා දිය හැකි ය.

ඉකුත් මාසය දක්වා මෙරට පැවැති දේශපාලන අස්ථාවරත්ව සංචාරක කර්මාන්තයට ඍජුව බලපෑ බවත් ඒ හේතුවෙන් සංචාරකයින් දස දහස් ගණනින් මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කළ බව පෙන්වා දෙන සංචාරක අමාත්‍යාංශය යළි සංචාරකයින් පැමිණීම වේගවත්වී ඇති බවත් මේ වනවිට රටේ තිබෙන දේශපාලන ස්ථාවර භාවය ඒ සඳහා බලපා ඇති බව ද පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට පැමිණීමට තමන් මේ තරම් කැමැත්තක් දක්වන්නේ ඇයිද? මෙරට සංචාරය කිරීම කෙතරම් දුරට සාර්ථක ද යන්න පිළිබඳව රටවල් ගණනාවකින් පැමිණි සංචාරකයින් ගෙන් අප විමසා සිටි අතර එහිදී ඔවුන් මෙසේ සිය අත්දැකීම් අප වෙත පැවසීය.

සවුදි අරාබියේ සිට පැමිණි මොහොමඩ් යහරා (23) මෙලෙස පැවසීය.

ශ්‍රී ලංකාව පිළිබඳව මම ගොඩක් විස්තර දැනගන තිබුණා. ඒ මගේ මිතුරන්ගෙන්. හැබැයි ශ්‍රී ලංකාව මේ තරම් සුන්දර රටක් කියලා හිතුවේ නැහැ. මමයි මගේ බිරියයි ශ්‍රී ලංකාවට පැමිණිලා දැනට දින දහයක් පමණ වෙනවා. විවිධ වූ අත්දැකීම් ‍‍මේ රට තුළදී විඳ ගත හැකියි. මට හිතෙනවා අවුරුද්දක කාලයක් ශ්‍රී ලංකාවේ ඉන්න ඇත්නම් කියලා.

කාලින් (56) සිංගප්පූරුව

අපි සති දෙකක කාලයක් තමයි ලංකාවට පැමිණියේ. මේ මගේ දෙවැනි වතාව ශ්‍රී ලංකාවට පැමිණි.

ලෝකයේ බොහෝ රටවල සංචාරය කරලා තිබෙනවා. හැබැයි මේ තරම් මතක තිබෙන අත්දැකීම් ලැබිලා තියෙනවා කියලා කියන්න බැහැ. තව දින කිහිපයකින් ලංකාවෙන් අපි යනවා. ඒත් නැවත එන්න බලාගෙන. මමත් මගේ ස්වාමියත් දවස් පහළොවක කාලයක් ගත කළා‍. අපි නුවර, නුවර එළිය මෙන් ම පින්නවලදී ලබපු අත්දැකීම් හරිම සුන්දරයි. ඒ වගේම පරිප්පු සහ ඉදිආප්ප මට අමතක නොවන ආහාර වේලක්.

විලියම් හාවි (28) නෙදර්ලන්තය

ශ්‍රී ලංකාවට පැමිණීම මගේ එක හීනයක් වෙලා තිබුණේ. මම මගේ මිතුරෙකුගෙන් ශ්‍රී ලංකාව පිළිබඳව මුලින්ම දැනගත්තේ. පස්සේ මම ශ්‍රී ලංකාව පිළිබඳව සඳහන් වීඩියෝ කිහිපයක් ම නැරඹුවා.

ඒවා නැරඹීමෙන් පසු මට ශ්‍රී ලංකාවට ඉක්මනින් ම එන්න ඕන වුණා. මෙහිදී හමුවුණු මිනිසුන් හරිම පුදුමයි. ඔවුන් හරිම සංග්‍රහශීලියි. මිත්‍රශීලියි.‍ මම වඩාත්ම කැමැති ත්‍රීවීල්වල ගමන් යන්න‍. ඒක හරිම පහසු ගමනක්. හැබැයි ටිකක් බයයි.

‍ආරුගම්බේ මුහුදු වෙරළ, ගාල්ල නගරය මෙන් ම නුවර යන ප්‍රදේශවලට මම ගොඩක් කැමැතියි‍. මේ ප්‍රදේශවල ඇස ගැටෙන තැන් හරිම වැඩියි. මා නැවැත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මාස කිහිපයක් ම ඉන්න බලාගෙන.

කිෂ්ලි යේන් (පිලිපීනය)

මට හිතෙන්නේ ශ්‍රී ලංකාව කියන්නේ ජීවත්වෙන්න තියෙන හොඳම රටක්. ඕන ම කාලයක ශ්‍රී ලංකාවට යන්න එන්න පුළුවන්. ඒ වගේ ම ශ්‍රී ලංකාව තුළ ජීවත් වීම හරිම පහසුයි. ආහාර පාන නවාතැන්වලට විශාල මුදලක් වැය වන්නේ නැහැ.

නුවර, නුවරඑළිය ගියාම සීතල තිබෙනවා. අරුගම්බේ, ත්‍රිකුණාමලයට ගියාම උණුසුම් මුහුදු ජලය තිබෙනවා. ඒ නිසා එය කෙනෙකුට අලුත්ම අත්දැකීමක් කියලයි මට හිතෙන්නේ.

 

ඡායාරූප - රංජිත් අසංක

Comments