Hollywood & Bollywood | Page 2 | සිළුමිණ

Hollywood & Bollywood

කාදර් ඛාන් සමුගනී

ප්‍රවීණ නළු කාදර් ඛාන් පසුගිය 01 දා අවසන් හුස්ම හෙළවා. දිගුකලක් අසනීපව සිටි ඔහු මිය යන විට 81 වැනි වියෙහි පසුවුණා. වෛද්‍යවරු ප්‍රකාශ කර තිබුණේ ඛාන්, කතා කිරීමේ, ආහාර පාන ගැනීමේ සහ ඇවිදීමේ අපහසුවෙන් පෙළුණු බවයි. මේ රෝගී තත්වයන්ට හේතුව, ඔහුගේ මොළයේ ස්නායුවලට හානි සිදුවීම නිසා බවයි වෛද්‍යවරු පවසා ඇත්තේ.

1937 ඔක්තෝබර් 22 දා ඇෆ්ගනිස්ථානයේදී උපත ලද කාදර් ඛාන්ට වයස අවුරුද්ද පිරෙද්දී මවුපියන් ඔහු සමඟ මුම්බායි නුවරට සංක්‍රමණය වූවා. ඔවුන් එකල වාසය කළේ පැල්පතකයි. කුඩා ඛාන් මුම්බායි හි පාසලකින් මූලික අධ්‍යාපනය ලැබුවා. ඉන් පසුව 1970 සිට 1975 දක්වා මුම්බායි විශ්ව විද්‍යාලයට අනුබද්ධ ඉස්මයිල් යුසුෆ් විදුහලෙන් උසස් අධ්‍යාපනය ලබා උපාධිධරයකු වුණා. ඔහු එම්.එච්. සබූ සිද්දික් විදුහලේ සිවිල් ඉංජිනේරු මහාචාර්යවරයකු ලෙස කටයුතු කළා.

නමුත් ඔහුගේ වෘත්තීය ජීවිතය වෙනතකට යොමුවූයේ එම විදුහලේ පැවැති ප්‍රසංගයකට ආරාධිතයකු ලෙස සහභාගි වූ ප්‍රවීණ නළු දිලිප් කුමාර්ගේ පැමිණීමෙන්. එහිදී එක්තරා නාට්‍යයක ඛාන් රඟපෑ අයුරු දුටු දිලිප් කුමාර්, ඔහුව ‘සගිනා මහතෝ’ සහ ‘බායිරාග්’ යන චිත්‍රපටවල රංගනයට එක්කර ගත්තා. ඔහු බොලිවුඩ් සිනමාවට අවතීර්ණ වුණේ 1973 දී තිරගත වූ ‘දාග්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑමෙන්. ඛාන්, රංගන ශිල්පියකු පමණක් නොවෙයි. ඔහු චිත්‍රපට දෙබස් රචකයෙක්. 1984 සිට 1999 දක්වා පැවැත්වූ ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළවලදී ඔහුගේ නම 9 වරක්ම හොඳම විකට රංගන ශිල්පියාට හිමිවන සම්මානයට නිර්දේශ වී තිබෙනවා. ඛාන්, හොඳම විකට නළුවා ලෙස ‍ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනා ගත්තේ 1991 දී තිරගතවූ ‘බාප් නම්බ්‍රි බේටා දස් නම්බ්‍රි’ චිත්‍රප‍ටයේ රඟපෑමෙන්. අස්රා ඛාන්, ඔහුගේ බිරිය. ඔහුගේ පුත් සර්ෆරාස් ඛාන් ද බොලිවුඩ් චිත්‍රපට කිහිපයක රඟපා තිබෙනවා. ඛාන්ගේ භෂ්මාවශේෂ කැනඩාවේදී මිහිදන් කෙරුණා.

 


ප්‍රියංකාට සල්මාන්ගේ ආශීර්වාදය

ප්‍රියංකා චොප්රා මීට වසරකට පෙර සල්මන් ඛාන් වෙත සාමයේ ඔලිව් අත්ත දිගු කළේ ඔහු වෙත ට්විටර් පණිවුඩයක් යවමින්. නමුත් ඔහු, ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

සල්මන් සහ ප්‍රියංකා අතර අමනාපයක් හට ගත්තේ ‘භාරත්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය හැටියට තෝරා ගත් ප්‍රියංකා එයින් ඉවත්ව යෑමෙන් පසුවයි. (අලි අබ්බාස් සෆර් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ නිෂ්පාදනයට සල්මනුත් හවුල් වූවා. චිත්‍රපටය තිරගත වන්නේ ලබන ජූනි 5 දා සිටයි.)

ප්‍රියංකා, ‘භාරත්’ චිත්‍රපටයෙන් ඉවත් වුණේ ඇය, නික් ජොනාස් සමඟ විවාහවීමට නියමිතව සිටි නිසාය කියලයි ආරංචි පැතිරී ගියේ. නමුත් චිත්‍රපටය රූගත කෙරුණු දිනවලදී නික් සහ ප්‍රියංකා අතර විවාහ ගිවිස ගැනීමක් වත් සිදුවුණේ නැහැ. පසුව හෙළි වුණේ ප්‍රියංකා ඒ දිනවල හොලිවුඩ් චිත්‍රපටයක රඟපෑමට ලක ලැහැස්ති වී සිටියාය කියලයි. කෙසේ වෙතත් එම චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවුණේ නැහැ. ප්‍රියංකා තමන්ව රැවටූ බව සල්මන් තේරුම් ගත්තා. ඉන්පසුව ඔහු ඇය ගැන කතා කළේ දැඩි කෝපයකින්.

කාලය ගෙවී ගියා. ප්‍රියංකාගේ විවාහ මංගල්‍යයත් ළං වුණා. ඇය, සල්මන්ට මංගල ඇරියුම් පතක් යොමු කළා. සල්මන් ගේ නැගණිය වන ආර්පිතා, ප්‍රියංකාගේ සමීප මිතුරියක්. ඒ මිතුරුකමත් සැලකිල්ලට ගෙනයි, ප්‍රියංකා සල්මන්ට තම මංගල උත්සවයට ඇරියුම් කළේ. නමුත්, සල්මන් එයට සහභාගිවීමට අදිමදි කළා. කෙසේ හෝ අවසන් මොහොතේදී ඔහු මංගල උලෙළට පැමිණ නව යුවළට සුබ පැතුවා. සෙසු නළු නිළියන් සමඟ නර්තනයකට එක්වන්නත් අමතක කළේ නැහැ. එතැනින් පසුව අලුත් වූ සල්මන් - ප්‍රියංකා - හිතවත්කම තවත් දලුලා වැඩුණේ විවාහයෙන් පසුව තම සැමියා නික් සමඟ සල්මන්ගේ නිවෙසට ගොස් ඔහුගෙන් ආශිර්වාද ලබාගන්නට ප්‍රියංකා කටයුතු කළ නිසයි.


ප්‍රෙස්ලි ගර්බර්ගෙන් වෙරි වූ නිරූපණයක්

සුපිරි නිරූපිකාවක සහ නිළියක වන සින්ඩි ක්‍රෝෆෝඩ්ගේ යොවුන් පුත්‍රයා වන ප්‍රෙස්ලි ගර්බර් පසුගිය සතියේ පොලිස් අත්අඩංගුවට පත් වුණා. මත්පැන් පානය කර අපරික්ෂාකාරීව රිය පැදවීම නිසයි, ඔහු එලෙස පොලීසියට හසුවුණේ. මෝස්තර නිරූපණ ශිල්පියකුද වන ප්‍රෙස්ලි ගේ වයස අවුරුදු 19 යි. ඔහුගේ සොහොයුරිය වන 17 වියැති කයිආ ‍ගර්බර් ද මෝස්තර නිරූපිකාවක්.

“මේ අය හැම වෙලාවෙම පාටිවලට ගිහින් බීලා එනවා. ඒගොල්ලන්ට සාමාන්‍ය ජීවිතයක් නැහැ. ප්‍රෙස්ලිව පොලීසියට කොටු වුණෙත් පාටි එකකට ගිහින් වෙරිවෙලා එද්දියි.” සින්ඩි ක්‍රෝෆෝඩ් ඇතුළු පවුලේ විස්තර දන්නා අයකු හොලිවුඩ් වෙබ් අඩවියකට එලෙස පැවසුවා. අත්අඩංගුවට පත්වූ ප්‍රෙස්ලි, බෙවර්ලි හිල්ස් පොලිස් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඩොලර් 15,000 ක ඇප මත නිදහස් කර තිබෙනවා.

සින්ඩි ක්‍රෝෆෝඩ් ගේ සැමියා, රැන්ඩි ගර්බර්. ඔහු හිටපු නිරූපණ ශිල්පියෙක්. දැන් ඔහු ව්‍යාපාරිකයෙක්. රැන්ඩි සතුව අවන්හල් සහ තැබෑරුම් කිහිපයක් ද පවතිනවා.

ප්‍රෙස්ලි ගේ බීමත්කම දන්නා හොලිවුඩයේ ඇතැමුන් පවසන්නේ පියා මත්පැන්හල් හිමියකු නිසා මෙවැනි සිදුවීම් පුදුමයට කරුණක් නොවන බවයි.


ගිවිස ගැනීම් දෙකකට පසුව එක වහලක් යටට

වසර 10 ක් ආදරය කරමින් කල්ගෙවූ මිලේ සයිරස් සහ ලියම් හෙම්ස්වර්ත් පසුගියදා යුගදිවි ගමන් ඇරැඹුවා. මීට පෙර 2012 දී විවාහ ගිවිසගත් මේ දෙදෙනා, 2013 දී එය කටුගා දැමුවා. යළි 2016 දී විවාහ ගිවිසගත් මිලේ සහ ලියම් 2018 දෙසැම්බර් 23 දී විවාහ වූයේ මිතුරු මිතුරියන් සියල්ලන්ගේ ම සුබ පැතුම් මැද්දේයි.

මේ රංගන ශිල්පියාටත් සුපිරි ගායිකාවටත් අනාගතයට කිසිදු සැකයකින් තොරව මුහුණ දිය හැකි වනු ඇතැයි බොහෝ දෙනා පැවසුවා. ලියම් සහ මිලේ ගේ සමීප මිතුරු මිතුරියන් පවසන්නේ මේ වන විට වයසින් මුහුකුරා ගිය යුවළක් නිසා දෙදෙනාගේ ජීවිතය සාර්ථක වනු ඇති බවයි. ලියම් 28 වැනි වියෙහි පසුවෙනවා. මිලේ ගේ වයස අවුරුදු 26 ක්. 2009 දී ඔවුන් දෙදෙනා මුලින් ම පෙම්වතුන් බවට පත්වෙද්දී නව යොවුන් වියෙහි පසුවුවත් දැන් ඔවුන් තම ජීවිත ගැන මනා අවබෝධයකින් සිටින බවයි පැවසෙන්නේ.

Comments