කථන­යෙන් අකුරුවලට මාරු වුණා | Page 2 | සිළුමිණ

කථන­යෙන් අකුරුවලට මාරු වුණා

ප්‍රවීණ මාධ්‍යවේදියකු, ගුවන්විදුලි නිවේදකයකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නකු මෙන්ම වැඩසටහන් අධ්‍යක්ෂවරයකු ලෙස දශක තුනකට වැඩි කාලයක් මෙරට මාධ්‍ය කලාවේ නිරත ස්වර්ණ ගුණවර්ධන කථන මාධ්‍යයෙන් ලිඛිත මාධ්‍යකරණයට අවතීර්ණව සිටී. ඒ ඔහු විසින් පරිවර්තනය කරන ලද ‘රහසිගත උයනක‘ කෘතියෙනි. කෘතියෙහි හැඳින්වීමෙහි ඔහු මෙසේ පවසයි ‘මේරි කොලින් සහ ඩිකන් නම් වූ පරිසරයට හා සතුන්ට ආදරය කළ නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතු දරුවන් තිදෙනකු වටා ගෙතුණු යොවුන් දරු දැරියන් කියවිය යුතුම ප්‍රබන්ධයක්‘ ලෙස රහසිගත උයන කෘතිය හඳුන්වා දෙමි.’ එහි සැබෑ තතු පිළිබඳව ස්වර්ණ සමග කළ සංවාදයකි මේ.

 

“මා බොහෝ කාලයක් මාධ්‍යවේදියකු ලෙසින් හැල්මේ දිව්වා. දැන් තමයි නතරවී සුසුම් හරින්නට කාලය එළැඹ තිබෙන්නේ. එම කාලයේදි මට හිතුණා කලක් කථනයෙන් ගොඩක් වැඩ කළ නිසා ලිඛිත මාධ්‍ය වෙනුවෙන් යම් දෙයක් කළ යුතුයි කියා. එහි ප්‍රතිඵලයක් තමයි රහසිගත උයනක කෘතිය.

තරුණ පරපුරේ දරුවන් වෙනුවෙන් ලියැවුණු ලෝකයේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත් දෙවතාවකට සිනමාවට නැඟුණු මිලියන පහළොවකට වඩා පාඨකයන් කියෙව්වා යැයි විශ්වාස කරන කුඩා පොත් පිංචක් හැටියට ලියැවුණු frances hodgson burnett ලියන ලද the secret garden කෘතියෙහි පරිවර්තනය ලෙස මේ පොත මා විසින් ලියා පාඨකයන් අතට පත් කළා.

මේ කෘතියේ ප්‍රකාශකයාත් මමමයි. ඉදිරියේදි පොත් ප්‍රකාශකයකු ලෙසත් කටයුතු කිරීමේ අදහසක් තිබෙන නිසා එහි ආරම්භයක් ලෙස මෙම පොත එළිදැක්වුවා”

විවිධ ක්ෂේත්‍රයන්හී කොතරම් කාර්ය බහුල වුවත් ස්වර්ණ මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරෙන ‘සිනේ රූ ‘ වැඩසටහන ඉදිරිපත් කිරීමද සිදු කරන අතර ගී පද රචකයකු ලෙසත් ප්‍රසිද්ධය.

“පසුගිය කාලයේ මා විසින් රචනා කරන ලද ගීත රචනා එකතුවක් ‘පෙම් කවක්‘ නමින් එළිදැක්වූවා. එහි ගීත සියයකට වැඩි සංඛ්‍යාවක් ඇතුළත්. එයින් ඇතැම් ගීත ප්‍රසිද්ධ ගායක ගායිකාවන් පවා ගායනා කරනවා. සාමාන්‍යයෙන් මම නිවේදනයේදී ඇතැම් පොත් පත්වලින් උපුටා ගැනීම් සිදු කිරීම පුරුද්දක් වශයෙන් කරනවා. ඒ නිසා විශාල පොත් ප්‍රමාණයක් පරිශීලනය කිරීමට සිදුවනවා. එහෙම කෘති පරිශීලනය කිරීම නිසා තමයි පරිවර්තන කෘතියක් කිරීමට අදහසක් ආවේ”

‘රහසිගත උයනක‘ කෘතිය පරිවර්තනයට ස්වර්ණගේ සිත ඇදී යන්නේ පොතේ තිබෙන දෙබස් ගලාගෙන යෑමේ ආකර්ෂණයක්, සංවාද බහුල වීමත්ය. එනිසාවෙන් අසීරුවකින් තොරව කෘතිය පරිවර්තනය කිරීමට ඔහුට හැකිවී තිබේ. කාලයක් තිස්සේ ගුවන්විදුලි නිවේදකයකු ලෙස භාවිතා කරන නිවැරැදි භාෂා භාවිතාවත්, විදග්ධ මිතුරු ඇසුරෙන් ලත් දැනුමත් මෙම පොත රචනාකිරීම සඳහා ඔහු ඉවහල් කරගෙන ඇත.

“නැගෙනහිර මොරවක්කෝරළය නමැති හද්දා පිටිසර ගමෙන් පැමිණි මට මාධ්‍ය කලාවට පියමනින්න දොරටු විවර කෙළේ මගේ පාසල්වන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ දෙණියාය මධ්‍යමහා විද්‍යාලයයි. උසස් පෙළ අධ්‍යාපනය අවසන් කර රුහුණු සේවයෙන් ගුවන්විදුලියට සම්බන්ධ වීමට අවස්ථාව උදාවන්නේ ඉන් පසුවයි. පාසල් යන කාලයේ සිටම රචනා ලිවීමට දැක්වූ දක්ෂතාව නිසා සමහර යහළුවන් පාසලේදී රචනා ලියවාගත්තෙ මගෙන්.

ඒ දැනුම නිසා වෙන්න ඇති යොවුන් ජනතා පුවත්පතේ ‘පහන්වැට‘ කණ්ඩායමේ ක්‍රියාකාරි සාමාජිකයකු වෙන්න හැකිවුණේ. නමුත් ගුවන්විදුලියේ ප්‍රතිචාර පුවත්පතට වඩා ක්ෂණික නිසා නිවේදකයකු ලෙසින් මාධ්‍යකරණයට ඒමට වැඩි කැමැත්තක් දැක්වූවා. ඒ විදිහට තමයි නිවේදකයකු ලෙසින් වසර තිස් ගණනක් ඔබ සමග රැඳී සිටින්නේ.”

ස්වර්ණට මෙම කෘතිය ලිවීමට බොහෝ දෙනකු සහයෝගය දී තිබේ. ඒ අතරින් ඔහුගේ පුත් තිසල්ගෙන් ලැබුණු සහයෝගය ඔහු හදපිරි සතුටෙන් සිහිපත් කරයි.

“තිසල් පුතා තමයි මේ පොත ලියන්න මාව පෙලඹෙව්වේ. දිනක් ඔහු මෙහි මුල් කෘතිය කියවද්දී එය කියවීමට මටත් කැමැත්තක් ඇතිවුණා. එම අවස්ථාවේ තමයි අදහසක් ආවේ මේ පොත පරිවර්තනය කළානම් හොඳයි කියා. අලුතෙන් කියවන දරුවකුට ආසාවෙන් කියවිය හැක්කේ කියවන්න පුළුවන් පොත් ලියුවොත් විතරයි. එය ලේඛකයන් විසින් දැනගත යුතුයි. එසේ තරුණ වියට එළැඹෙන අයකු කියවන්න පොලඹවන පොතක් ලෙස රහසිගත උයනක කෘතිය හඳුන්වාදෙන්න පුළුවන්.”

ස්වර්ණ පොත් කියවන පාඨකයනට මෙසේ පවසයි “පොත් පිළිබඳ උමතුවක් ඇති කර ගන්න. ඒ පොත් අතරේ ඔබට හිතන්න බැරි තරම් ලස්සන දේවල් තිබිය හැකියි. ඒවා ඔබේ ජීවිතය ලස්සන කරාවි.” යනුවෙනි.

“දශක කිහිපයක් නිවේදකයෙක් ලෙස වැඩ කළා. මට තව වැඩ කරන්න පුළුවන්. වෘත්තියක් ලෙස නිවේදකයකු ලෙසින් වැඩ කරන්නට අලුත් පිරිසක් පැමිණ සිටිනවා. ඒ අයටත් කියන්න පොඩි දෙයක් තිබෙනවා. ඒ තමයි බොහෝ කතාකිරීම නෙමෙයි නිවේකයකුගේ ලක්ෂණය කියන දේ පැහැදිලිව නිරවුල්ව ඉදිරිපත් කිරීමයි.

දැන් මගේ භාජනය වෙනස්. කථන මාධ්‍යයෙන් අකුරු මාධ්‍යයට මාරු වුණා. ඒ සඳහා ආදරණීය බිරිය අමිතාගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා.” 

Comments