දියමන්තිය සොයා ආ සුද්දා කවුද | Page 2 | සිළුමිණ

දියමන්තිය සොයා ආ සුද්දා කවුද

වාසනාව හොල්මන් කරන දියමන්තිය ගැන පසුගිය දින කීපය පුරාම කතාබහට ලක්වූයේ දියමන්ති කී පමණින් මිනිසුන් මෙතරම් පිස්සු වැටෙන්නේ ඇයිද යන්න පිළිබඳ කුකුසක් ඇති කරවමිනි. දියමන්ති ජාවාරම් පිළිබඳ කතා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. මිනිසුන් දියමන්ති පසුපස මෙතරම් පන්නන්නේ ඒවායේ ඇති මූල්‍යමය වටිනාකම නිසා පමණක්ද? ඉන්දියාව පකිස්තානය ඉරානය හා ඇෆ්ගනිස්තානය එකිනෙකා පොරකමින් තමා සන්තක කර ගැනීමට තැතනූ දියමන්තියක් ලෙස ‘කොහිනූර්’ දියමන්තිය ඉතිහාසගතවේ. එහි අයිතිය පතා ඒ රටවල් පොරට වැටු‍ණේ අගය ගැන පමණක් සලකාද? පිරිමින් පැලැඳුවොත් අපලැයි කියූ කොහිනූර් දියමන්තිය එංගලන්ත රජ පවුල සතුවී රැජනන් හා බිසවුන් විසින් පලඳා වත්මනෙහි නතරවී ඇත්තේ එංගලන්තයේ ලන්ඩන් ටවර්හි මහජන ප්‍රදර්ශනය සඳහා තබමිනි.

මහරගම ඇරැව්වල ක්‍රිෂාන් පීරිස් සතුව තිබූ බව කියන කෝටි 500 දියමන්තියේ කතාවද මෙතරම් දුරදිග යන්නේ ද ජාවාරම්කරුවන් ඒ පසුපස හඹායෑමත් සමඟය.

තමන් සතු ගල දියමන්තියක් බව තහවුරු කරගත් ක්‍රිෂාන් තැරැව්කරුවන් මාර්ගයෙන් ගැනුම්කරුවන් කිහිප දෙනෙකුම සොයා ගොස් ඇත්තේය.

“ගල් ගන්න හැමදාම මිනිස්සු එන්නෙ නැහැ. මැණික් ගන්න ආ ගිය බ්‍රෝකර්ලා කීප දෙනෙක්ම මේ දියමන්තියේ පින්තූරයි වීඩියෝයි අරගෙන ගියා. ගල බලපු විදේශිකයො දෙන්නෙක් ගල‘නයින්ටි පයිව් පසන්ට් ඩයමන්ඩ්’ කියලා චෙක් කරන්න ගල දවසක් තියාගන්න ඉල්ලුවා. මං ඒකට කැමැති වුණේ නෑ. කීප තැනකින්ම එක එක ගණන් කිව්වා. මට ඕනැ වුණේ ඉක්මනින්ම ගල විකුණගන්න. කොහොමහරි ඉතින් මේ තැරැව්කාරයන්ගේ මිල ගණන් නිසාම ගල විකුණගන්න බැරිවුණා.”

එලෙස පැමිණි එක්තරා තැරැව්කරුවකු මාර්ගයෙන් දියමන්තියේ හෝඩුවාව මධුෂ්ගේ කල්ලියට යන්නට ඇතැයි ක්‍රිෂාන් සැක කරයි.

කෝටි 500ක් ලෙස සැලැකුණු දියමන්තිය මේ වන විට නොවටිනා පාෂාණයක් ලෙසද සලකයි. එහෙත් ක්‍රිෂාන් පවසන්නෙ වෙනස් කතාවකි.

“මං මේ ගල පරීක්ෂා කරන්න මුලදීම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට කීප විටක්ම අරන් ගියා. එයාලා ලැබ් එකට අරන් ගියේත් නෑ. දියමන්තිවලට සහතික දෙන්නෙ නැහැ කීවා. ඇත්තටම ඔවුන් දන්නෙ නැහැ දියමන්ති චෙක් කරන්න. නියම වටිනාකම කීයද කියලා මේක තැරැව්කාරයන් මාර්ගයෙන් මිලට ගන්න හදපු මේ රටේ උදවිය දන්නවා. සමහරු කෝටි පන්, හයදාහටත් ඉල්ලුවා. ඒ අය මට සල්ලි දෙන්න හැදුවේ අයථා ලෙසයි. මම කිව්වා එහෙම බෑ අනිවාර්යයෙන්ම මුදල් මගේ බැංකු ගිණුමට දාන්න ඕනෙ කියා. ඒ වගේම මට එතරම් මුදලක් ලැබුණේ කොහොමද කියා ප්‍රශ්නයක් වෙන නිසා දියමන්තිය මිලට ගත් බවට ලිපියක්ද අවශ්‍ය බව මං කිව්වා. ඔන්න ඔය නිසායි දියමන්තිය මිලට ගන්න ආ අය පැකිළුණේ.”

දියමන්තිවල ඉතා විශාල ආකර්ෂණ බලයක් ඇතැයි බොහෝ දෙනා අදහති. එම ආකර්ෂණය නිසා මේ දියමන්තියද තමන් සතු කර ගැනීමට බැල්ම හෙළූ බොහෝ දෙනකු වූ බව ක්‍රිෂාන් පවසයි.

මේ අතරවාරයේ ක්‍රිෂාන් සිය පුත්‍රයා සමඟ පසුගිය ජුනි මස ඩුබායි සංචාරයක නිරත වූයේද ගල විකුණා ගැනීමේ අභප්‍රායෙනි. එහෙත් ඔහුගේ අභිප්‍රාය ඉටු නොවුණේය.

එලෙස දියමන්තිය විකිණීමට ක්‍රිෂාන් මාස ගණනක් පුරා වලිකද්දි වෙනත් තැරැව්කරුවෙකු පැමිණ ගල මිලදී ගැනීමට කෙනෙකු සිටින බව දන්වා ඇත. ඒ දියමන්තිය කොල්ලකෑමට දින කීපයකට පෙරය. ක්‍රිෂාන් ගේ එකඟත්වය මත එම තැරැව්කරුවා දිනක් තවත් කීපදෙනකු සමඟ නිවෙසට පැමිණියේය. ඒ අතර විදේශිකයකු ද විය. ඔහු ඔස්ට්‍රියා ජාතිකයෙකි.

“ඔවුන් පැමිණ තැරැව්කාර ගාස්තුත් කතා කරගත්තා. සුද්දා උපකරණත් ගෙනල්ලා ගල හොඳටම බැලුවා. හැබැයි ඔහු දියමන්ති ගැන විශේෂඥයෙක්. ඒක මට හොඳටම තේරුණා ඔහු බලපු විදිහටම. මට හිතෙන විදිහට මධුෂ් මේ සුද්දා දියමන්තිය චෙක් කරන්න කුලියට ගත් කෙනෙක්. අන්තර්ජාලයේ ඔය වගේ වැඩවලට කුලියට ගන්න ඕනෙතරම් මිනිස්සු දැන්වීම් දාලා තියෙනවා. සුද්දා එදා කෝටි 1700කට ගල ඉල්ලුවා. ඔය මාධ්‍යවල පළවෙන්නෙ එදා සුද්දා ගල පරීක්ෂා කරන ආකාරයයි.”

එදින දියමන්තිය පරීක්ෂා කර බලා නිවෙසෙන් ගිය විදේශිකයාගේ තැරැව්කාරයෙකු පසු දිනෙක ඇමැතුමක් ගෙන ක්‍රිෂාන්ට පවසා තිබුණේ නොවැම්බර් පස්වැනිදා දියමන්තිය රැගෙන යෑමට පැමිණෙන බවයි.

“එදා වැස්ස දවසක්. හවස හතරයි තිහට පමණ සුද්දයි තැරැව්කාරයෝ දෙන්නෙකුයි, භාෂා පරිවර්තකයි කීපදෙනෙක් වාහන දෙකකින් ආවා. ඔවුන් ගල පරීක්ෂා කරමින් හිටියේ. මීට පෙර ගල දියමන්තියක් බවට සහතික කළ මහාචාර්යතුමාත් මං එදා එක්කගෙන ආවා සුද්දට වැඩි විස්තර කියා දෙන්න.”

පිරිස ගල පරීක්ෂා කරමින් සිටින අතරේ විදේශිකයා සමඟ පැමිණි තැරැව්කාරයෙකු ඇමැතුමක් ගෙන කාට හෝ පවසා තිබුණේ තමන් බිස්නස් එකකට පැමිණ ඇරැව්වල සිටින බවය. එහෙත් ඔහු කතා කළේ කාටද යන්න තමන් නොදන්නා බව ක්‍රිෂාන් පවසයි. මේ අතරවාරයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින්යැයි පවසමින් පොලිස් නිල ඇඳුම්ලාගත් අයකු සමඟ සයදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නිවෙසේ ඉදිරිපසින් සහ පසුපස දොරටුවෙන් ඇතුළු වූ බව ක්‍රිෂාන් කීවේය.

“මෙතැන සුද්දෙක් මොකක්ද කරන්නෙ... මූ ජාත්‍යන්තර කුඩු ජාවාරම්කාරයෙක්” ඒ පැමිණි සැණින් කණ්ඩායමේ අයෙක් විදේශිකයාට මාංචු දමා ඇත්තේය.

“කුඩු ජාවාරමෙක් කියූ ගමන් මං හොඳටම බයවුණා. මොකද දරුවොත් ඉන්නවානේ..‘නෑ නෑ සර් අපි මේ මැණික් බිස්නස් එකක් කරන්නෙ. මට ලයිසනුත් තියෙනවා’කියා මං කිව්වා. ඒ ආපු අය හැමෝටම දණ ගහන්න කියන ගමන් මේසය උඩින් ෆෝන් ටික තියන්න කීවා. අන්තිමට සුද්දයි මායි සාලයේ ඉන්දැද්දි සියලු දෙනාම කාමරේකට දාලා දොර වැහුවා. මං ගියා වෙනත් කාමරේක තියෙන මැණික් බිස්නස් ලයිසන් එක ගේන්න. මුං දෙන්නෙක් මගේ පස්සෙන් කාමරේට ආවා. අල්මාරිය ඇදලා මං ගාව තිබූ මැණික් ගල් ඔක්කොම ටික ගත්තා. තව ඇඳ උඩ දාලා තිබුණා සුද්දට පෙන්නන්න ගත්තු ගල් වගයක්. ඒවත් ගත්තා. ඒ අතරේ මටයි සුද්ටයි දණ ගහන්න කිව්වා. මං කිව්වා මගේ කකුලෙ තුවාලයක් දණ ගහන්න බෑ කියා. එතකොටම එකෙක් පිස්තෝලයක් අරන් මගේ නළලට ගැහුවා. ගහලා මගේ අතපයත් බැඳලා දාලා සුද්දත් අරන් පැනලා ගියා.”

විනාඩි විස්සකට පමණ පසු බැමි ලිහාගෙන පිටතට පැමිණ බලද්දී ක්‍රිෂාන් දුටුවේ සුද්දාත් කැටිව පිරිස පලා ගොස් තිබුණේ දියමන්තියත් ඔහු සතුව තිබූ මැණික් සියල්ල සහ දුරකථනයත් රැගෙන බවය.

“මගේ ළඟ තිබුණා මැණික් ගල් එක්දාස්පන්සියක් විතර. ඒ කියන්නෙ කිලෝ දෙකක විතර ගල්. ඔක්කොම අරගෙන ගියා. කෝටි ගණනක ගල්. දියමන්ති පරීක්ෂා කරන උපකරණත් අරන් ගියා.”

විදේශිකයා පැහැර ගෙන ගියද මේ වෙද්දී ඔහු සමඟ පැමිණි පිරිස සිටියේ ක්‍රිෂාන්ගේ නිවෙසේය. ඒ අතරේ පැහැරගනු ලැබූ විදේශිකයාගෙන් භාෂා පරිවර්තකට දුරකථන ඇමැතුමක් ලැබුණි.‘සුද්දා කිව්වා මඟ දමා ගියා දැන් මහරගම සිටිනවා’ කියා. කොහොමහරි සැණින් සුද්දා තව එකෙක් එක්ක අපේ ගෙදරට ආවා. මං ඇහැව්වා උඹට මොකක්ද කළේ කියලා. පාරක් ගහලා පාරට තල්ලු කරලා දාලා ගියා කිව්වා. හැබැයි ගහපු පාරක් තියා දූවිලි බිංදුවක්වත් ගෑවිලා තිබුණේ නෑ.”

පසුව සියලු දෙනාම කැටුව ක්‍රිෂාන් මහරගම පොලිසියට ගොස් ඇත්තේය. එහිදී ක්‍රිෂාන් පොලිසියෙන් ඉල්ලීමක් කර තිබුණේ ඔස්ට්‍රියා ජාතික විදේශිකයා පොලිසියෙහි රඳවාගන්නා ලෙසයි. එහෙත් මඳ වෙලාවක් පොලිසියේ රඳවාගත් විදේශිකයා කටඋත්තරයක් ගෙන මුදාහැර තිබිණි.

“මං පොලිසියෙන් ඉල්ලීමක් කළා සුද්දා යවන්න එපා කියලා. ඒත් සුද්දා යැව්වා. අන්තිමට ඒකා දවස් දෙක තුනකින් රට පැනලා.”

එසේ පවසන අතරේ ක්‍රිෂාන් දියමන්තිය විකිණීමෙන් ලැබෙන මුදලින් කිරීමට නියමිතව සිටි සමාජ සත්කාරයන් ගැන ලියැවුණු පත්‍රිකාවක්ද අපට පෙන්වීය.

“මං මේ ගල විකුණන්න තීන්දු කළේ මීට අවුරුදු දෙකකට විතර පෙරදී. ඒක විකුණලා ලොකු වැඩ කොටසක් කරන්නයි හැදුවේ. හදවත් රෝගින්, වකුගඩු රෝගීන්, ජීවිත අසරණ වූවන්, අසරණ දූදරුවන්ගේ ඉගෙනීම් කටයුතු, නිවාස නැති අයට නිවාස තනා දෙන්න වගේම තවත් බොහෝ කටයුතු මම අසරණ සරණ පදනම පිහිටුවමින් කරන්න බලාපොරොත්තු වුණා.”

එහෙත් ඔහුගේ බලාපොරොත්තු සුන් කරමින් මධුෂ් සිය ගෝලයන් යොදවා කොල්ලකෑ දියමන්තිය මේ වන විට පොලිසිය බාරයේ තිබේ. එහෙත් මැණික් ගල්වලට වූයේ කුමක් දැයි ක්‍රිෂාන් විමසයි.

“හුඟක් ගල් ඔප දාපුවා. සමහර ගල්වල මුදල් වටිනාකමට වඩා තිබුණේ පැරැණි බව. මම අවුරුදු හතේ ඉඳන් එකතු කරපු ගලුත් තිබුණා. සමහරු මටත් ගාණක් තියාගෙන විකුණලා දෙන්න කියා දීපු අනුන්ගෙ ගල් බොහොමයක් තිබුණා. දැන් ඒ අය එනවා ගෙදරට සල්ලි ඉල්ලගෙන. පහුගිය දිනෙක එහෙම කෙනෙකුට ලක්ෂ හතක් දෙන්න වුණා. මේ සිදුවූ දෙයින් මං දැන් නැත්තටම නැතිවෙලා ඉන්නේ.”

කොල්ලය සිදුවී දින ගණනක් ගෙවෙද්දීම එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයට හැකිවිය. ඒ අතරේ පසුගිය නොවැම්බර් 24දා ක්‍රිෂාන්ට දුරකථන ඇමැතුමක් ලැබුණේ නාඳුනන අංකයකිනි.

“මං ඒ දවස්වල හොඳටම මානසිකව වැටිලා හිටියේ. රෑ නවයහමාරට විතර ඇති. මට කෝල් එකක් ආවා. පවුලේ විස්තර ඇහැව්වා. මං ඇහුවා කවුද කියලා. මම තමයි මධුෂ් කියලා කීවා. මමයි ගල අරන් ගියේ කියා මුලින් තර්ජනය කළා. උඹ පොලිසි පස්සෙ එහෙම යන්න අවශ්‍ය නෑ, මං ගල ඩුබායිවලට ගෙන්නගෙන තියෙන්නෙ කීවා. පස්සෙ මේකා කියනවා, දියමන්තිය කෑලි අටකට කඩලා කෝටි 1300කට විකුණනවා කියා. මට ඒක අහලා හුස්ම වැටුණේ නැති තරම්. එහෙම කළොත් දියමන්තියේ වටිනාකම අඩු වෙනවා. ‘මං කිව්වා අපරාදෙනේ ඕක කඩන්නෙ’ කියා. නෑ නෑ අපට ඉන්ටර්නැෂනල් මාකට් එකට දාන්න බෑ. ප්‍රශ්නයක් වෙනවා ගල් ආවේ කොහෙන්ද කියා. අන්තිමට මේකා මෙහෙමත් කියනවා, ආ මහත්තයට වියදම් ඇතිනේ... දැන් ලොකු පාඩුවකුත් වුණානේ... ඔහොම ඉන්න පොඩි ගල් ටික විකුණලා සාධාරණයක් කරන්නම්. ඒ වගේම දියමන්තියත් විකුණලා සාධාරණයක් කරන්නම් කීවා. හැබැයි උඹ ගාණක් ඉල්ලන්නනම් එපා. මං එවන ගාණක් එවන්නම් කීවා. ඒ වගේම පොලිසි පස්සෙ යන එකත් නතර කරන්න කිව්වා.

ඒ විතරක් නෙවෙයි මධූෂ් කිව්වා. මං ගොවිගම මිනිහෙක්. මං කවදාවත් අසාධාරණ වැඩ කරන්නේ නැහැ කියලා. මං ඇහුවා මං අහිංසක මිනිහෙක් එහෙනම් ඇයි මට නළල පැලෙන්න ගැහුවේ කියා. මිනිහා ඒකට උත්තරයක් දුන්නේ නෑ.”

සියල්ල අහිමි වූ ක්‍රිෂාන් තමාට සාධාරණයක් ඉටුකර දෙන මෙන් දැන් අයැදින්නේ දෙවියන් පමණි. එසේම ක්‍රිෂාන්ගේ මව කොල්ලය සිදුවූ දිනම පැමිණ පවසා තිබුණේ, ‘මගේ කොල්ල අවුරුදු හතේ සිට එකතු කරපු ගල් ටික අරන් ගිය එකාට හොඳක් නම් වෙන්න එපා’ යනුවෙනි.

ඇය කී පරිදිම මධුෂ් පසුගිය පෙබරවාරි 4 දා රාත්‍රියේ ඩුබායි පොලිසියට කොටු වූයේ නොසිතූ මොහොතකය. එය එක්තරා ආකාරයක හාස්කමක් වන්නටද බැරි නැති බව ක්‍රිෂාන් පවසයි.

“ඒක එහෙම වෙච්ච එක හොඳයි... මට ටිකක් නිවිසැනසිල්ලෙ ඉන්න පුළුවන්. අද මාත් එක්ක කෙනෙක් කතා කරන්න බයයි... මොකද ඔය කොල්ලකාරයෙක් ඇවිල්ලා මට කරදරයක් කළොත් ඔවුනුත් අමාරුවේ වැටෙනවනේ. කැවුමා කිව්ව කියන විදිහට මම මේක ප්‍රදර්ශනයකින් හොරකම් කරගෙන ආවනම් මට එරෙහිව ජාත්‍යන්තර පොලිසියේ නඩුවක් තියෙන්න ඕනෙ. මොකද ජාත්‍යන්තර ප්‍රදර්ශනයකට මේ වගේ දියමන්තියක් ඉදිරිපත් කරනකොට විශේෂ ක්‍රියාපටිපාටියක් තියෙනවා. ලෝකයේ තිබෙන ජාත්‍යන්තර ආයතන කීපයකින්ම සහතික ඉදිරිපත් කළ යුතුයි. එහෙම හොරකමක් වුණානම් පැය විසිහතරක් යනකොට ලෝකයේම ප්‍රසිද්ධ වෙනවා. එදා මධුෂ් කිව්වෙ මස්සිනා කෙනෙක් කොන්ත්‍රාත්තුවක් දුන්නා කියලා. පහුගිය දිනවල ඇතැම් මාධ්‍ය මං හොරෙක් වංචාකාරයෙක් ලෙස හැඳින්වූවා. මං මේ ගල් කෑල්ල අහම්බෙන් හරි රටට ගෙනඒමෙන් වුණේ අපේ රටට කෝටි දෙදාහක පමණ විදේශ විනිමයක් රැගෙන ඒමක්. ඒක කාටවත් නොපෙනෙන දෙයක්” දැන් ක්‍රිෂාන් පවසන්නේ එලෙසය.

ක්‍රිෂාන් අපට කී කතාව එසේය. මෙහි සත්‍ය අසත්‍යතාව ඉදිරියේදී තීරණය වනු ඇත.

Comments