සින­මාවේ අනා­ග­තය උදෙසා අපට මීට වඩා යමක් කළ හැකියි | Page 2 | සිළුමිණ

සින­මාවේ අනා­ග­තය උදෙසා අපට මීට වඩා යමක් කළ හැකියි

අපේ සිනමා කර්මාන්තයේ වෘත්තීය නිෂ්පාදකවරුන් සොයා ගැනීමේ හිඩැසක් පවතින වකවානුවක එයට සාර්ථක විසඳුමක් ලෙස ගැටලුවකින් තොරව නිෂ්පාදකවරුන් සොයා ගැනීමේ අලුත්ම ක්‍රමවේදයක් කලා ලොවට හඳුන්වා දෙන්න අපේ රංගන ශිල්පියකුට හැකිවුණා. ඔහු චමින්ද ජයසූරිය. සිනමා ක්ෂේත්‍රයට මේ සුබ ආරංචිය ගෙනාවේ ඔහුයි. මෙය බොහොම අපූරු කතාවක්. මේ කතාව දැනගන්න අපි ඔහුට කතා කළා. මේ චමින්ද ඒ පිළිබඳව කරන අපූරු හෙළිදරව්වයි.

මුලින්ම අප ඔබ කවුරුද හඳුනාගනිමු ?

මම දැනට රංගන ශිල්පියෙක්.. මේ නිර්මාණයත් එක්ක මම අධ්‍යක්ෂවරයෙක් වෙනවා.

මොකක්ද මේ නිර්මාණය?

හා හා පුරා කියලා මම නවතම සිනමා නිර්මාණයක් කරන්න හිතුවා. FATHER නමින් තමයි එය නම් කරලා තියෙන්නේ.

ඔබ මේ සිනමා නිෂ්පාදනය මඟින් අලුත් දෙයක් කළා නේද?

ඔව්. ඇත්තටම මෙය කලක පටන් මගේ හිතේ තිබුණු හීනයක්. ඒ හීනය සැබෑ කරගන්න මට හැකියාව ලැබුණා.මම අලුත් විදිහට හිතලා අලුත් දෙයක් කළා. ඒ තමයි ඉදිරියේදී කරන්නට නියමිත සිනමා නිර්මාණය ‘සාම්පල්‘ එකක් හදලා නිෂ්පාදකවරුන් කිහිප දෙනකුට ආරාධනා කරලා විනාඩි පහක් වැනි ඉතා කෙටිකාලයක් ඇතුළත ඒ නිර්මාණය පෙන්වන්නට සැලැස්වීම. මෙය නරඹලා නිෂ්පාදකයින් කිහිපදෙනෙක්ම මගේ සිනමා නිර්මාණයට අනුග්‍රය දක්වන්න කැමැති වුණා. ඒ අතුරින් සම්පුර්ණයෙන්ම නිෂ්පාදන දායකත්වය දෙන්න කැමැත්ත දුන් කෙනා නිෂ්පාදකවරයා ලෙස තෝරා ගත්තා.

ඇයි ඔබ මෙවැනි දෙයක් කරන්නට හිතුවේ?

මෙහෙමයි. අපි දන්නවා ක්ෂේත්‍රය තුළ වෘත්තිමය අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු සොයා ගැනීමේ අර්බුදයක් තිබෙනවා. මේ නිසා අපට පිටපත් හදාගෙන, නිෂ්පාදනය කරයි කියලා විශ්වාසය තිබෙන කෙනෙක් ළඟට යන්නට වෙනවා. මේ කතන්දරයට මම කැමැති නැ. ඒ නිසා මෙ අර්බුදයට අලුත් දෙයක් කරන්නට කාලය කියලා මගේ මේ සංකල්පය මගේම නිර්මාණයක් තුලින් අත්හදා බලන්නට හිතුවා.

මේ ක්‍රමවේදය සාර්ථකයි කියලා හිතනවද?

ඇත්තටම මේ මගේ පළමු වෑයම වගේම ක්ෂේත්‍රය තුළ පළමු වතාවට මෙවැනි වැඩකට අතගැසූ පළමු අවස්ථාව. එය අතිශය සාර්ථකයි කියන්න පුළුවන්. මොකද මම කරන්න යන නිර්මාණයේ සම්පුර්ණ සාම්පල් එකක් තමයි නිෂ්පාදකවරුන් වෙත පෙන්වන්නේ. ඒ අනුව ඔවුන්ට නිර්මාණයේ ගුණාත්මක බව ගැන පුර්ව නිගමනයකට එන්න හැකියාව තියෙනවා. ඉතිං ඕනෑම නිර්මාණකරුවකුට තමන්ගේ නිර්මාණය සඳහා වගකිමකින් විශ්වාසයකින් යුතු නිෂ්පාදකවරයකු සොයා ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙය එක්තරා අභියෝගයක්?

පැහැදිලිවම. මට තිබුණු ලොකුම අභියෝගය වෙලා තිබුණේ නිෂ්පාදකවරයකු සොයා ගැනීම. නමුත් අලුත් ක්‍රමවේදය නිසා ඒ අභියෝගය ජයගත්තා. ඊළඟ අභියෝගය වෙන්නේ මෙය ප්‍රදර්ශනය කිරීමයි. අපි දන්නවා චිත්‍රපට ශාලා සියල්ල පෞද්ගලිකයි. ප්‍රදර්ශන මණ්ඩල (සර්කිට්) සියල්ල පෞද්ගලිකයි. චිත්‍රපට නරඹලා සිනමාපට සඳහා තීරණ ගන්නේ සර්කිට් එක. ඉතිං අපේ චිත්‍රපටය අපි හරියටම හැදුවොත් සර්කිට් එක වගේම සිනමාහල් අයිතිකරුවන් අපේ නිර්මාණය මිලදී ගනීවි. මම හිතනවා ඒ අභියෝගයත් මට ජය ගන්නට හැකියාව ලැබේවි කියලා.

ඔබ පෙන්වූ සිනමා අනුරුව හා මුල් පිටපත අතර වෙනස්කම් තිබේද?

කොහෙත්ම නෑ. මම අක්කා පෙන්වලා නංගි දෙන වැඩ කරන්නේ නෑ. මොකද මිනිස්සුන්ට මා ගැන විශ්වාසය තියෙන්න ඕනෑ. සාම්පලයේ රඟපාන රංගන ශිල්පීන්, කැමරා ශිල්පීන් මුල් නිර්මාණයෙහි දක්නට පුළුවන්. මගේ නිර්මාණය තියෙන සංකල්ප සියල්ලම සාම්පල් නිර්මාණයේදී එළිදැක්වූවා.

father නිර්මාණය මොන වගෙ කතා සංකල්පයක්ද?

ඇත්තටම මෙය සත්‍ය සිදුවීම් ජාලයක් ඇසුරෙන් නිර්මාණය වූවක්. නමුත් සිනමාවට උචිත විදිහට මෙහි පොඩි පොඩි වෙනස්කම් කරනවා.

මෙය ප්‍රේක්ෂකයන්ට දැක බලා ගත හැක්කේ කවදාද?

මැයි මාසයේ අග වන විට මෙහි රූපගත කිරීම් ආරම්භ කරන්නයි හිතන් ඉන්නේ. ලබන වසරේ වන විට ප්‍රේක්ෂකයන්ට දැකබලා ගැනීමට හැකියාව ලැබේවි කියලා විශ්වාස කරනවා.

චමින්ද ඔබ වේදිකාවෙන් ක්ෂේත්‍රයට පය තැබූ කෙනෙක්?

1987 දී පමණ තමයි මම මුලින්ම වේදිකාවට පිවිසෙන්නේ. අවසන් වරට දැනට වසර 2-3 කට කලින් තමයි වේදිකාවේ රඟපෑවේ. මෑතකදීත් වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒත් මේ වැඩ කටයුතු එක්ක එය නතර කරන්නට හිතුවා.

ඔබ දකින විධියට අද අපේ සිනමාව තිබෙන්නේ කොතැනද?

අපේ සිනමාවේ ස්වර්ණමය යුගයකුත් නොතිබුණා නොවෙයි. ඒත් 83 වන විට අපි දෙමළුන්ට ගහලා එළෙව්වා. ඔවුන් ගියේ අපේ සිනමාවත් අරන්. පසුව 90 දශකයේ ප්‍රංශ නිර්මාණකරුවන් සමඟ අපේ සිනමාව දිවෙනවා. ඒ මඟින් කතා කළේ ගැඹුරු දේවල් විතරයි. මේ නිසා පොදු ප්‍රේක්ෂකයා සිනමාවෙන් එළියට ගියා. මා දකින විදිහට අද වුවත් නිර්මාණ හිඟයක් තියෙනනවා. හරිහමන් පිටපත් නෑ. නිෂ්පාදකවරු නෑ. අධ්‍යක්ෂකවරු නෑ. මම දකින්නේ සිනමාවේ අනාගතය උදෙසා අපට මීට වඩා යමක් කළ හැකියි. 

 

Comments