කථානායකට ශාසනයෙන් හා මැති සබයෙන් පැසසුම් | සිළුමිණ

කථානායකට ශාසනයෙන් හා මැති සබයෙන් පැසසුම්

පාර්ලිමේන්තුවේ කථානායක තැන්පත් කරු ජයසූරිය මහතා පසුගියදා ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානි සම්මානයෙන් පිදුම් ලැබුවේය. ඒ ඉකුත් දහනව වැනිදාය. එම සම්මානයෙන් පිදුම් ලැබීමට පෙර එනම් මීට සති කිහිපයකට පෙරද කරු ජයසූරිය මහතා ඉන්දියාවේ අබ්දුල් කලාම් විද්‍යායතනයෙන් පිරිනමන ආසියාවේ අභිමානය සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

ශ්‍රී ලාංකීය දේශපාලනයේ කිර්තිමත් නාමයක් දිනාගෙන සිටින කතා නායක කරු ජයසූරිය මහතා උපන්නේ මිනුවන්ගොඩ ප්‍රදේශයේය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ එතුමා ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල හමුදාවේ කලක් සේවය කළේය. ක්‍රියාකාරි දේශපානයට පිවිසි එතුමා 1997 වසරේදි කොළඹ නගරාධිපති ලෙස පත් වෙයි.

කරු ජයසූරිය මහතා එම සම්මානයෙන් පිදුම් ලැබීමට පෙර වරක් ජපානයේ ජපන් අධිරාජ්‍යා විසින් පිරිනමනු ලබන ‘උදා වන සුර්යා ‘ ගෞරව නාමයෙන්ද, දෙදහස් දාහත වසරේ ඉන්දියාවේ විශ්ව සාම සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. මීට පෙර අවස්ථාවක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමයද එතුමාට හිමි විය.

එම සම්මාන ප්‍රදානයේදි සභාව අමතමින් මල්වතු විහාර පාර්ශ්වයේ මහා නායක තිබ්බොටුවාවේ පියනන්ද ස්වාමීන් වහන්සේ මෙන්ම පාර්ලිමේන්තුවේදි ගැටලුකාරි අවස්ථාවල දී කථානායක වශයෙන් කරු ජයසූරිය මහතා අගනා සේවයක් සේවයක් කළ බව පැවැසිණි.

කරු ජයසුරිය මහතා සම්මාන ගෞරව නාමයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් විසින් සුබ පැතීමේ අවස්ථාවක් පසුගියදා පාර පාර්ලිමේන්තුවේදි පැවැත්විණි.

එහිදි කරු ජයසූරිය මහතාට සුබ පතමින් ගයන්ත කරුණාතිලක අමාත්‍ය වරයා පවසා සිටියේ , “ඔබතුමා වෙත මේ සම්මානය පිරි නැමීම අප වඩාත් අගය කරන්නේ, මල්වතු විහාර පාර්ශ්වයෙන් සම්මානය පිරිනැමූවේ ඔබතුමා සෑම අතින්ම එම සම්මානය සහා සෑම අතකින්ම සුදුසුකම් ඇති සම්භාවනිය පුද්ගලයකු නිසයි. ඔබතුමාට තව දුරටත් රටටත්, ජාතියටත් සම්බුද්ධ ශාසනයටත් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයටත් මහා මෙහෙවරක් ඉටු කරන්නට ලැබේවායි සුබ පතනවා“ යැයි පැවැසීය.

මහින්ද අමරවීර මහතා තම සුබ පැතීමේදි මෙසේ කියා සිටියේය.

“ ඔබතුමාට ලැබුණු සම්මානය පක්ෂ විපක්ෂ බේදයක් නැතිව අප ඉතාම අගය කරනවා. මල්වතු මහා විහාරයෙන් ආවාට ගියාට සම්මාන දෙන්නේ නැති බව අප දන්නවා. මල්වතු මහා විහාරයේ මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ඒකමතිකව තිරණය කරලයි මේ ගෞරව නාමය ඔබතුමාට ප්‍රදානය කරන්නේ. ඔබතුමා මීට පෙරත් ඇගයිම් ගණනාවකටම ලක් වුණා. හොඳ බෞද්ධයකු විදිහට මේ රටේ බුදු දහම ආරක්ෂා කිරීමට කටුතු කිරීම නිසාත්, ඉදිරියේදිත් බුදුදහම රැකගනිමින් මෙරටට සේවය කරයි යන බලාපෙරොත්තුව තබාගෙනයි.“යනුවෙනි

නිහාල් ගලප්පත්ති මහතා සුබ පතමින් පවසා සිටියේ සුදුස්සාට සුදුසු තැන ලැබීම පිළිබඳ තම කෘතවේදීභාවය කරු ජයසුරිය මහතා වෙත පළ කරන බවය.

ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල , බන්දුල ගුණවර්ධන , අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද සුබ පැතුම් එක් කළහ.

Comments