මරාගෙන මැරෙන අන්තවාදීන් විද්‍යාඥයන් දකින හැටි | Page 2 | සිළුමිණ

මරාගෙන මැරෙන අන්තවාදීන් විද්‍යාඥයන් දකින හැටි

ලියමන පටන් ගන්නට සිතෙන්නේ ලියන්නට අති දෙයට හාත්පසින් ම වෙනස් වූ තැනකිනි. මලාලා යූසුෆ්සායි ගැන අවුරුදු කිහිපයකට ඉහත්තේත්, නාදියා මුරාද් ගැන මාස කිහිපයකට ඉහත්තේත් ලියා නතර කළ තැනින් යළි ඇරඹුමක් ලබා ගැනීම වටින්නේ ය. මලාලාත්, නාදියාත් නොබෙල් සාම සම්මාන දිනූහ. ඒ දිනුම් අන්තවාදී ත්‍රස්තවාදයට අභියෝග කරමින් ලද දිනුම් ය. අදටත් අන්තවාදී ත්‍රස්තවාදයෙන් ලොව මුදවන්නට මේ දෙදෙන තම තමන්ගේ ගමන් මෙහෙයවා ගනිමින් සිටිති. මලාලාත්, නාදියාත් සිය ජීවිතවලට හරය කරගත් අල්-කුරාණය ලෝකයේ තවත් තැනක ජීවිත සිය ගණන් ද වනසමින් තමන් ද වැනසෙන තරම දරුණු සිත් ඇති අන්තවාදීන් බිහිකර ඇත්තේ ය.

ලෝකය පුරාම වේගවත් ව පැතිරෙන මේ අන්තවාදී ත්‍රස්තවාදය අපේ රටේ ද හිස ඔසවා ඇති බව නියත ව ම දැන කියාගෙන දැන් සති තුනක් ම ඉක්ම ගොසිනි. තමන් ද නැසෙමින් තවකකු නසන්නට තරමේ වූ මානසිකත්වයක් පුද්ගලයකු තුළ නිර්මාණය වීම එක් අතකින් පුදුම සහගත ය. මරාගෙන මැරෙන ත්‍රස්තයන් ගැන අපි මුලින් ඇසුවේ මීට දශකයකට පෙර නිම වූ තිස් අවුරුද්දක් තිස්සේ අපේ රට වෙළාගෙන සිටි සිවිල් යුද සමයේදී ය. මරාගෙන මැරෙන ත්‍රස්තයකු එවැන්නක් කරන්නට තරම් දරුණු සිත් ඇත්තකු බවට ඉබේ ම පත්වනවාද! ඇතැම් මතවාදයන්ට අනුව නම් මෙය සමාජීය බලපෑම මත සිදුවන්නක් වුවත් සැබෑවට ම සමාජීය බලපෑමට මෙතරම් දරුණු පුද්ගලයකු නිර්මාණය කළ හැකිදැයි යන්න නැවත නැවතත් කල්පනා කළ යුත්තකි.

ලෝකයේ මෙතෙක් සිදු කෙරී ඇති අධ්‍යයන පැහැදිලි කර දෙන ලෙසට මරාගෙන මැරෙන ත්‍රස්තයකුගේ මානසිකත්වය සියදිවි නසා ගැනීමට පෙලඹෙන පුද්ගලයකුගේ මානසිකත්වට වඩා එහා ගිය ඉතා හොදින් පුහුණු කිරීමෙන් පසුව ලබා දෙන මානසිකත්වයකි. සිය දිවි නසා ගැනීමට පෙලඹෙන පුද්ගලයා ක්ෂණික ව ඇතිවන ආවේගකාරී සිතිවිල්ලක් තම ක්‍රියාවට මුල් කර ගන්නේය. එයින් තවත් පුද්ගලයකුගේ ජීවිතයට හානියක් සිදු කිරීමේ අරමුණක් සිය දිවි නසා ගන්නා පුද්ගලයා තුළ හට ගන්නේ නැත. ඇඩ්‍රිනලීන් හෝමෝනයේ බලපෑම නිසා තත්පර කිහිපයක් පමණක් පවතිනා මේ සිතිවිල්ල සිය දිවි හානි කර ගැනීමට දරනා තැත වැරදී ගිය හොත් නැතිවී යන්නේ හෝමෝනයේ බලපෑම අඩුවන විට ඒ සිතිවිල්ල ද ක්‍රමයෙන් යටපත් වී යෑම හේතුවෙනි. සියදිවි නසා ගන්නට තැත්කරනා පුද්ගලයකු අවසාන මොහොතේදී සිය සිතිවිල්ල වෙනස් කරගෙන ජීවත් වීමට උත්සාහ ගන්නේ ද ඒ නිසා ය.

ජාතිවාදී හෝ ආගම්වාදී සංකල්ප මත හිද එකී සංකල්පවල අන්තයට ම ගොස් මාරගෙන මැරෙන ත්‍රස්තයන් බවට පත්වන පුද්ගලයන්ගේ මානසිකත්වය ඊට වඩා හාත්පසින් ම වෙනස් ය. ඔවුන් පුහුණු වන්නේ මැරෙන්නට ම ය. තනිව මැරෙන්නට නොව තවත් එකකු හෝ මරාගෙන මැරෙන්නට ය. සැබෑවට ම නම් ආගමේ නාමයෙන් හෝ ඔවුන්ගේ ජනවර්ගයේ නාමයෙන් ඔවුන් වෙත පැවරෙන වගකීම එයම වන්නේ යැයි මරාගෙන මැරෙන ත්‍රස්තයෝ කල්පනා කරති. තමන් වෙත ලබා දෙන ඉලක්කය සපුරා ගැනීමට ඔවුන් කැපවන්නේ ඒ නිසා ය. ජනවර්ගයක නාමයෙන් මරාගෙන මැරෙන ත්‍රස්තයන් ගැන ඇසූ කතා අතීතයට එක් වද්දී දැන් අප අසන්නේ තමන් අදහන ආගමේ නාමයෙන් අන්‍යාගමිකයන්ගේ ජීවිත නසමින් තමාගේ ජීවිතය නසා ගැනීම වෙනුවෙන් පුහුණු කරනු ලබනා අන්තවාදී මරාගෙන මැරෙන ත්‍රස්තයන් ය. මෙවැන්නන් බිහි කරන්නේ පුද්ගලයකුගේ සිතිවිලි ක්‍රම ක්‍රමයෙන් වෙනස් කිරීමෙන් හෙවත් මොළ සේදීම ලෙස පොදුවේ හඳුන්වන ක්‍රමවේදය යොදා ගනිමින් බව පොදු පිළිගැනීමයි.

ඇතැම් විට මෙය මානසික ව්‍යාධිමය තත්ත්වයක් ලෙස හඳුන්වා දෙනු ලබයි. එහෙත් ලෝකය පුරා මරාගෙන මැරෙන අන්තවාදී ත්‍රස්තවාදය පැතිරෙන විට කලක් තිස්සේ සිදු කරනු ලබූ අධ්‍යයන කියන්නේ තරමක වෙනස් කතාවකි. ”‍මෙය මානසික ව්‍යාධි තත්ත්වයක් හෝ ප්‍රවේණිකව පුද්ගලයන් වෙත සම්ප්‍රේෂණය වන තත්ත්වයක් නොවෙයි. මෙය සිදුවන්නේ පුද්ගලයාව ගතික ලෙස ක්‍රමක්‍රමයෙන් වෙනස් කිරීම මගින්”‍ යැයි අලු‍ත් අධ්‍යයන කියන්නේ ය. කෙසේ වුවත් ක්‍රම ක්‍රමයෙන් පුද්ගලයාට පවා නොදැනී සිදුවෙන මේ සිතිවිලි වෙනස නිසා මොළයේ ස්නායු අවේග වල වෙනස් වීමක් සිදුවන බව ද හඳුනාගෙන තිබේ. මේ ස්නායු ආවේග වල ඇතිවන වෙනස නිසා පුද්ගල මානසිකත්වය වෙනස්වීම ‘මානසික ගැටලු‍වක්‘ දක්වා වර්ධනය වීම සිදු වේ. ආතතියට ලක්වීම සහ පෞරුෂත්වය ගැන වූ ගැටලු‍; මානසිකත්වයේ ගැටලු‍ ලෙස මෙහිදී හඳුනා ගැනේ. මරාගෙන මැරෙන්නන් ලෙස පුහුණු වන පුද්ගලයන් සාමාන්‍ය සමාජයෙන් ඈත්වූ හුදකලා ජීවිත ගත කරන්නේ ඒ නිසා ය. නිතර කම්පනයෙන්, කලබලකාරී ගතියෙන් පසුවන්නේ සාමන්‍ය සමාජය ගැන තැකීමක් නොකරන නිසා ය.

අන්තවාදී සංකල්ප සිත් තුළට කාවැද්දවීම මඟින් පුද්ගලයන් මෙවැනි මානසිකත්වයක් කරා මෙහෙය වීම සිදු කරනු ලබයි. අන්තවාදී සංකල්ප පුද්ගලයකුට හෝ පුද්ගල කණ්ඩායමක් වෙත සමීප කරවනු ලබන්නේ නායකයකු විසිනි. මේ සෑම අන්තවාදී කණ්ඩායමකට ම නායකයකු සිටියි. ක්‍රම ක්‍රමයෙන් සිත්වලට කාවදින අන්තවාදී සංකල්ප නිසා කලක් ගතවන විට මේ අනුගාමික කණ්ඩායම පිළිගන්නේත්, අදහන්නේත් ඔවුන්ගේ නායකයා කියනා දේ පමණකි. මෙවැනි තත්ත්වයකට පත්වන විට පුද්ගලයාගේ මොළය තුළ රසායනික වශයෙන් වෙනස්කම් සිදුවීම ඇරඹී අවසන් ය. ස්නායු ආවේග ගමන් කිරීම සහ මොළය ක්‍රියා කිරීම එකී ආන්තික සිතිවිලි මඟින් මෙහෙයවනු ලබන අතර ඔවුහු එක ම අරමුණක් වෙනුවෙන් පමණක් ජීවත් වීමට අරමුණු කර ගනිති.

ආන්තික සිතිවිලි මඟින් මෙහෙයවනු නොලබන තමන්ගේ සිතිවිලි මත ම සිට තමන්ගේ ජීවිතය හානි කර ගැනීමට කල්පනා කරනා පුද්ගලයන්ගේ ‘සිය දිවි හානි කර ගැනීමේ ලක්ෂණය‘ නම් ජාන මගින් පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීමේ ඉඩක් ඇති බව කියැවේ.එනම් පවුලේ සාමාජිකයන් මින් පෙර සිය දිවි හානි කරගෙන ඇත්නම් පවුලේ ඉතිරි සාමාජිකයන් ද හදිසි ආවේග මත එවැන්නකට යොමු වීමේ අවධානමක් ඇතැයි අධ්‍යයන පෙන්වා දෙයි. පුද්ගලයාගේ සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවට කුඩා කාලයේ මුහුණ දීමට සිදුවූ අමිහිරි අත්දැකීම්, සමාජයෙන් කොන් කිරීම්, ආර්ථික සහ සාමාජීය ගැටලු‍, සුව කළ නොහැකි බව කියැවෙන රෝග තත්ත්ව වැනි නොයෙකුත් බාහිර සාධක වල බලපෑමක් තිබිය හැකිය. එය ද එක්තරා ආකාරයකට මානසිකව ආතතියට ලක්වීමක් වුව ද ඒ ආතතිය අන්තගාමී සිතිවිල්ලක් මුල් කරගෙන ඇතිවූවක් නොවන නිසා අනකකුට හානියක් කිරීමට එවැනි අය පෙලඹෙන්නේ ඉතා කලාතුරකිනි. ඔවුන්ට ඕනෑ වන්නේ තමන්ගේ ජීවිතය අවසන් කර ගැනීමට ය. නමුත් අන්තගාමීන්ට වුවමනා වන්නේ තමන්ගේ අන්තගාමී සිතිවිලි වලට අනුව යමින් අනුන්ගේ ජීවිත නැසීමට ය.

මෙය සමාජීය ආර්ථික ගටලු‍ මත අතිවන්නක් නොව සිත් තුළට කාවද්දන සිතිවිල්ලක් මගින් සිදු කරවනා බව තහවුරු වන්නේ ඒ නිසා ය. තමන් සියල්ල දන්නා බවත්, තමන් දන්නා දෙය නිවැරදි ම දෙය බවත් තමන්ගේ නායකයා තමන් වෙත ලබාදෙන දැනුම ඉතා නිවැරදි බවත් විශ්වාස කරමින් තමන්ගේ මනසේ පෙර තිබූ සිතිවිලි සියල්ල පසෙක තබා අලු‍තින් කාවැදෙනා සිතිවිලි අනුවම ක්‍රියා කිරීම ඇරඹීම අන්තවාදියකුගේ සාමාන්‍ය ක්‍රියාකලාපයයි. අන්තවාදී සිතිවිලි තුළම සිටිමින් ඔවුන් ඒ සිතිවිලි වලින් තමාව ගෙනයනු ලබන අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් අලු‍ත් නිර්මාණ පවා කිරීමට පෙලඹෙති. අවි ආයුධ නිපැයුම ඉන් ප්‍රධාන ය. මෙවැනි අන්තවාදීන් බවට බොහෝ විට පත්වන්නේ දුෂ්කරතා විඳි තැනැත්තන් නොව බොහෝ පහසුකම් ඇතිව හැදී වැඩුණු යම් මට්ටමකට දැනුම සහ අවබෝධය ඇතිව ජීවත් වූ පිරිසක් බව ලෝකයේ නොයෙක් ත්‍රස්ත කණ්ඩායම් පාදක කරන සිදු කර ඇති අධ්‍යයන ඔස්සේ පෙනී ගොස් තිබේ. කෑමට වේලක් සොයාගැනීමට වෙහෙසෙන දුප්පතකුට වඩා ඇති හැටි උගත් අයගේ සිතට යමක් කාවැද්දවීම වීම පහසු බව එයින් අවබෝධකර ගත හැකි බව පෙනෙන්නට තිබේ. අන්තවාදය කාවැද්දවීමේදී මූලිකවම සිදුවන්නේ යම් පුද්ගලයකු තදින්ම විශ්වාස කරනා දෙයක් හා බැඳී ඇති අන්තවාදී අදහස් වලට එ් පුද්ගලයා ආකර්ෂණය කර ගැනීම ය. ආගම වෙත ආකර්ෂණය කර ගැනීම මේ අතරින් ඉතාම පහසු ය. ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත සංවිධාන වලින් කෙරෙන්නේ මෙයයි.

නායකයා කියා හඳුන්වා ගන්නා පුද්ගලයා සිය අත්දැකීම් විස්තර කරමින් සිය අනුගාමිකයන්ගේ සිතිවිලි වෙනස් කරමින් ඔවුන්ගේ හැකියාවන් ද යොදවා ගන්නට යොමු කර ගන්නේ ය. අල්කයිඩා සහ අයි.එස් යන සංවිධාන දෙක ම සිය සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීමේදී අනුගමනය කරන්නේ මේ ක්‍රමයයි. මරාගෙන මැරෙන ත්‍රස්තයන් ලෙස පුහුණු කරන්නට ඔවුන්ගේ මානසිකත්වය සැකසීම අපහසු නොවන්නේ දැනට පවතිනා සමාජයට වඩා සුබදායී සමාජයක් වෙනුවෙන් කටයුතු කරනා බව ඔවුන්ට ඒත්තු ගැන්වීම මඟින් පමණක් ම නොව මරණින් පසු ඔවුන්ට ලැබෙනා ජීවිතය ගැන ආගම මුල් කරගත් විශ්වාසයන් සිත් වලට කාවද්ද වන නිසා ය. අයි.එස් සංවිධානය මේ අන්තවාදී ත්‍රස්තයන් නිර්මාණය කිරීමේ කටයුත්ත අල්කයිඩා සංවිධානයට වඩා සාර්ථකව සිදුකරමින් සිටින්නේ ඔවුන් පතුරවන ඉස්ලාමීය රාජ්‍ය සංකල්පය සියල්ලට ම මුල් වී ඇති නිසා ය.

මරාගෙන මැරෙන්නට සිත පුහුණු කරගත් ත්‍රස්තවාදියා නිරතුරුවම කලහකාරී හැසිරීම් වලට කැමැත්තක් දක්වන්නෙකි. සාමාන්‍ය සමාජයේ සිදුවන සාමාන්‍ය කටයුතු ඔවුන්ට පෙනෙන්නේ අකටයුතුකම් ලෙස ය. සාමාන්‍ය ජීවන රටාව් වලට ඔවුන්ගේ කැමැත්තක් නැත. නීති වලින් බැඳුණු ජීවිත වලට ඔවුන් කැමැති ය. ඔවුන්ගේ අරමුණ තමන් වෙත පැවරුණු කටයුත්ත නිම වන තුරු පමණක් ජීවත්වීම ය. කෙසේ හෝ ඉලක්කය ලබා ගැනීම ය. එවැනි ගති ඔවුන්ට ඇතිවන්නේ කාලයක් තිස්සේ පුහුණු කරනා මානසිකත්වයෙන් මොළයේ ක්‍රියාකාරීත්වයේ සිදුවන රසායනික වෙනස මූලික කරගෙන ය. එකී රසායනික වෙනස ඔවුන්ට තමන්ගේ ජීවිතය අහිමි කර ගැනීමට පොලඹවන අතර තම ඉලක්කය වැරදී ගිය හොත් තමා හෝ මිය යෑම ගැන ඔවුන් සිතන්නේ ඒ නිසා ය.

මරාගෙන මැරෙන ත්‍රස්තයන් දිනක දෙකක් නිමැවුමක් නොවනා බව පැහැදිලි කරන්නට මේ අධ්‍යයන ඕනෑ තරම් සෑහේ. දිගු කාලයක් පුරා සිදු කරනා පුහුණු වීමකින් තමන්ටත් නොදැනීම තමන්ගේ මොළයේ ස්නායු ආවේග ඇතුළු රසායනික ක්‍රියාවලීන් වල වෙනස මරාගෙන මැරෙන ත්‍රස්තයන් නිර්මාණය කරයි. අන්තවාදී ආගමික මතයක් මේ සමඟ එල්ලී තිබෙනා කල තමන්ගේ විශ්වාස හා බැඳුණු මතවාද මොළයේ රසායනික වෙනස් වීම තව තවත් උත්තේජනය කරන්නේ ය. කෙනෙක් ඉස්ලාමය සාමයට මඟක් කොටගෙන සාම සම්මාන දිනද්දී තවත් කෙනකු ඉස්ලාමය විනාශකාරී අන්තවාදයට මඟක් කරගන්නේ සිරුර තුළ සිදුවන ජීව ක්‍රියා පවා වෙනස් කරවමිනි. අමතක නොකළ යුත්ත මේ කිසිවක් නොවේ; ලෝකයේ විද්වතුන්, විශ්වවිද්‍යාල සිදුකර ඇති අධ්‍යයන අපිට දෙන පණිවුඩයි.ඒ ‘අන්තවාදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකු දිනකින් දෙකකින් බිහි වන්නේ නැත‘ යන්නයි!

Comments