අවිචාරයේ උල්ලංඝනය කෙරෙන විහාර දේවාලගම් ආඥා පනත | සිළුමිණ

අවිචාරයේ උල්ලංඝනය කෙරෙන විහාර දේවාලගම් ආඥා පනත

මහනුවර ජාතික කෞතුකාගාරයේ හිටපු අධිකාරි සෙනරත් පනාවත්ත

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ ගලිගමුව - අවිස්සාවේල්ල හන්දිය අසල ඇති බිසෝවෙල රාජ මහාවිහාරය ප්‍රසිද්ධ පුද බිමකි. මහනුවර සමයේ රචිත නම් පොත හෙවත් විහාර අස්නේ ද එය සඳහන් වේ. කොළඹ - මහනුවර මහා මාර්ගය පුද බිමක් හරහා යන එකම ඓතිහාසික ස්ථානයද එය වේ.

1831 දෙසැම්බර් මස කපිතාන් විලියම් ඩෝසන් නම් ඉංජිනේරුවා කොළඹ නුවර ප්‍රධාන මාර්ගය තැනීමේදී, මේ පුදබිම හරියට දෙකඩ වන අයුරින් පාර ඉදි කොට තිබේ. ඒ අනුව පන්සල් භූමිය, ඊට ඉහළින් කඳු ගැටයේ ඇති ලෙන් විහාරයෙන් වෙන් විය. විහාරයට අහිමි වූ ඉඩම් කොටසට ඉංග්‍රීසි ආණ්ඩුව යම් මුදලක් පන්සලේ නායක හිමිට ගෙව්වා විය යුතුය.

මහනුවර දුම්රිය ස්ථානය ගොඩනැඟුණේ සුදුහුම්පොළ රාජමහා විහාරයට අයත් ඉඩම් කොටසකය. ඒ සඳහා විහාරාධිපති හිමිට වන්දි මුදලක් ගෙවීය. එම මුදල විහාර කටයුතු සඳහා නොයොදවා, පෞද්ගලික කටයුතු වෙනුවෙන් පරිහරණය කළේය යන චෝදනාව මත නඩු නිමිත්තක් ද පැවතිණි. එයින් ගම්‍යවන්නේ, බිසෝවෙල විහාරයටත් පාර සඳහා යම් වන්දි මුදලක් ගෙවන්නට ඇති බවයි.

මුඛ පරම්පරා අනුව, සීතාවක 1 වන රාජසිංහ සමයට පෙරාතුව එකම සහෝදරියන් වූ බිසෝවරුන් දෙදෙනෙකු කිසියම් හේතුවක් නිසා බිසෝවෙල ගමේ හඳකැලේ මුකළානේ සැඟ වී සිට, පසුව ඒ දෙදෙනාගෙන් වැඩිමලා බිසෝවෙල බිහාරය ඉදි කළ අතර, බාලයා, වැඩි ඈතක් ‍නොවු අඬුවල්ගනේ විහාරය ඉදි කළ බව පැවසේ. දැනට පැවතෙන පිළිගැනීම වන්නේ එම විහාරස්ථානය මහනුවර සමයට අයත් බවයි.

විහාර දේවාල සම්බන්ධයෙන් ඉංග්‍රීසින් කළ විභාගයක දී එක් අයෙකු සාක්ෂි දුන්නේ, මෙය කොට්ටේ රාජධානිය සමයේ භුවනෙක බාහු නම් රජකු ඉදි කළ බවයි. කෝට්ටේ, 5 වැනි, 6 වැනි සහ 7 වැනි වශයෙන් භුවනෙකබාහු රජවරු තිදෙනෙකුම සිටි නමුත්, එහි සඳහන් වන්නේ මොන රජතුමා ද යන්න තීරණය කිරීමට අපහසු නැත.

අනුරාධපුර යුගයට

මෙහි මූලාරම්භය ක්‍රිස්තු පූර්ව තුන් වන සිය වසේ සිට 1 වන සියවස දක්වා කාලයට අයත් විය යුතුය. බිසෝවෙල ප්‍රධානම අංගය වන්නේ එහි ගල්ලෙන් විහාරයයි. එම ගල්ලෙන් විහාරයට වැඩි ඈතින් නොවු බෙලිගල් කෝරලේම පිහිටි අටුගොඩ සහ යටාල යන ගම්වල එවැනි ගල්ලෙන් කීපයකම කටාරම් කොටා ඇතැම් එවා පුජා කළ අයගේ නම් පවා සඳහන් කර තිබේ. ඒවායේ ඇති බ්‍රාහ්මි අක්ෂර ක්‍රි.පූර්ව 3 වන සිය වසේ සිට ක්‍රිස්තු වර්ෂ 1 වන සියවස් කාල පරාසයට අයත් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන ශුරිහු සඳහන් කරති.

ඒ යුගයේ භික්ෂුන් වහන්සේ වාසය කළේ වැඩි දියුණු කළ ස්වාභාවික ගල්ලෙන් තුළයි. බිසෝවෙල ගල්ලෙනේ කටාරම් ලෙන් ලිපියක් නැති වූවත්, එය සමකාලීන පරිශීලනය කළ ගල්ලෙනකි. එම නිසා බිසෝවෙල ගල්ලෙනේ මීට අවුරුදු 2000කට පමණ පෙර භික්ෂූන් වහන්සේ වාසය කළ ස්ථානයක් බවට තහවුරු වේ. පසු කලෙක සංඝයා වෙනුවෙන් පන්සල් ඉදිකිරීම ආරම්භ වෙත්ම, එයින් හිස් වූ ඇතැම් ලෙන් බුදු ගෙවල්වලට පරිවර්තනය විය. එයින් අනාවරණය වන අනෙක් වැදගත් කාරණය වන්නේ එම ලෙන්වල භාවනායෝගිව යෙදී සිටි භික්ෂූන් වහන්සේට ආවතේව, ඇපඋපස්ථාන, දානමාන යනාදිය සැපයීමට බිසෝවෙල, ගලිගමුව, අඔන්පිටිය, අටුගොඩ යනාදී ගම්වල දැනට අවුරුදු 2000කට පමණ පෙර සිට සෑහෙන ජනාවාසයක් තිබුණු බවයි. එම පුදබිම ද බොහෝ වරක් කඩින් කඩ පාළුවට ගොස් සම්පූර්ණයෙන් වනගත වී තිබිණි.

බිසෝවෙල විහාරයේ අතීතය සනිටුහන් කෙරෙන ගල්ලෙන හැර, පන්සල් භුමියේ පුරා විද්‍යාත්මක අවශේෂ කිසිවක් නැත. පුරාවෘත්තය අනුව දැනට පවතින බිසෝවෙල පුදබිම ඉදි කරනු ලැබුවේ කෝට්ටේ සමයේ නම්, අවම වශයෙන් එය ඉදිවන්න ඇත්තේ, 1521 – 1551 අතර කෝට්ටේ රජ කළ අවසාන බෞද්ධ රජු වූ සත් වන භුවනෙකබාහු සමයේ විය යුතුය. එමෙන්ම ඒ රජතුමාගේ ආරම්භක රාජ්‍ය වර්ෂ තුළ විය යුතුය. එයට හේතුව, එතෙක් කෝට්ටේ රාජධානියට අයත් වී තිබූ සතර කෝරලේ මෙන්ම තුන් කෝරලේ ඇතුළු විශාල ප්‍රදේශයක් 1521 – 1582 කාලය තුළ, විජයබා කොල්ලයෙන් පසු, භුවනෙකබාහු සොහොයුරන් තිදෙනා බෙදාගැනීමය.

මායාදුන්න කුමරු යටතේ වූ සීතාවක රාජධානිය, ඉන් අනතුරුව ඇති වූ යුද්ධවලදී බටහිර මුහුදු තීරයත්, උතුරේ සුළු ප්‍රමාණයක් හැර මුළු දිවයිනම ව‍ාගේ ඔහුගේ පුත් 1 වන රාජසිංහ රජතුමා යටත් කර ගත්තේය. නමුත් ඔහුගේ හදිසි අභාවයෙන් පසු සත් කෝරලය, සතර කෝරලය, තුන් කෝරලය සීතාවක, ගාලු කෝරලය ඇතුළු උතුරත්, බටහිර මුහුදු තීරයත් පෘතුගීසින් ට අයත් විය. පෘතුගීසීන් යටතට පත් නොවුයේ උඩරට රාජධානිය පමණි.

රෝමානු කතෝලික ලබ්ධිකයන් වූ පෘතුගීසීහු ඔවුන්ගේ වාර්තා වලින්ම අනාවරණය වන පරිදි ඉතාම නින්දිත, ක්‍රෑර පාලනයක් ගෙන ගියහ. යටත් කරගත් පළාත්වල පමණක් නොව, යටත් කර නොගත් මහනුවර වැනි ආක්‍රමණයට ප්‍රාප්ත වූ ප්‍රදේශවල තිබූ බෞද්ධ වෙහෙර විහාර පොත් ගුල් බොහෝ ගණනක් ගිනිබත් කර විනාශ කළහ. ඔවුන් යටතට පත් හතර කෝරලේ පිහිටි දඬුවල්ගනේ රජමහා විහාරය ද විනාශ කළ විහාරස්ථානයක් ලෙස පෘතුගීසි වාර්තාවල තිබේ. ඊට වැඩි ඈතක නොවු බිසෝවෙල රජමහා විහාරයද ඒ සමඟ ඔවුන්ට ගොදුරු වූවාට කිසිම සැකයක් නැත. දඬුවල්ගනේ මෙන්ම බිසෝවෙලද 1656 පෘතුගීසින් පලවාහරින තුරු අවුරුදු 150කට ආසන්න කාලයක් පාළුවට ගියා විය යුතුය.

බිසෝවෙල විහාරස්ථානයට මෑත ඉතිහාසයේ ප්‍රථම වරට ගම්බිම් පූජා කර ඇත්තේ කොට්ටේ යුගයේ විය හැකි වුවත් ඒ ගැන සාක්ෂි කිසිවක් සොයාගැනීමට නැත. මහනුවර යුගයේ පූජා කළ ගම්බිම් ගැන සන්නසක් ද තිබිය යුතු වුවත් දැනට එය සොයාගැනීමට නැත. ඒ සන්නස යමෙකු සොරකම් නොකළේ නම් විහාර දේවාල ඉඩම් මැණිමේ දී, විහාරාධිපති එය බලධරයනට සාක්ෂි ලෙස ඉදිරිපත් කළාට පසු නැවත ලබා නොගත්තා විය යුතුය.

විහාර දේවාල ඉඩම් මැනීම ආරම්භ කරනු ලැබුවේ ජෝර්ජ් ටනර් යටතේය. ඉඩම් අයිතිය තහවුරු කිරීම සඳහා ඒ අවස්ථාවේ විහාරාධිපතිවරුන් ඔහුට ඉදිරිපත් කළ සන්නස් නැවත හිමිකරුවන්ට බාර නොදුන් බවට ඒ කාලයේම ඔහුට විරුද්ධව පැමිණිලි ද ඉදිරිපත් විය. මහනුවර යුගයේ යම් රජකු හෝ දිසාපති වරයෙකු ගම්බිම් පුජා කර ඇති බවට සාක්ෂි වන්නේ, යම් ගම්බිම් ප්‍රමාණයක් තවම විහාරයට අනුබද්ධව පවතින බැවිනුත්, ඒ විහාර ස්ථානයේ ප්‍රධාන දායක පවුල් දෙක අද දක්වාම එම ඉඩම් භුක්තිවිඳින බැවිනුත්ය. ඒවාට, ගොඩ, මඩ සහ හේන් අයිති වේ.

විහාර දේවාලගම් ආඥා පනත

1856 – 1868 දක්වා ක්‍රියාත්මක වූ විහාර දේවාල අඥා පනත ය‍ටතේ, විහාර දේවාල සතු ඉඩම් මැන පිඹුරුපත් සකස් කිරීම ආරම්භ විය. බිසෝවෙල විහාරය සතු ගොඩ, මඩ, හේන් ඉඩම් ප්‍රමාණය අනිවාර්යෙන්ම දැනට වඩා විශාල වූවාට සැක නැත. නමුත් ඒ මැනුම්වලදී, විහාර භූමිය හැර රාජකාරි ඉඩම් ලෙස ඔවුන් ඉතිරි කර ඇත්තේ අක්කර 28, රූඩ් 1, පර්චස් 5 පමණ බව පෙනේ. ඒවාට ගොඩ, මඩ, ඕවිටි සහ හේන් අයත්ය. බොහෝ අවස්ථාවලදී විහාරවාසි හිමිවරුන් තම විහාර සන්තකව තිබූ පුජා භූමි විස්තර ඔවුනට සැපයුවද, ඒවා ඔප්පු කළ නොහැකි යන සරල පදනම මත එම ඉඩම් රාජසන්තක කරන ලදී. ඒවා මුඩු බිම් පනතට යටපත් කරන ලදී.

එම දරුණු පනත මඟින්, විහාර දේවාල සන්තක ඉඩම් පමණක් නොව, උඩරට ගොවිතැන්බත් කරගෙන ජීවොනෝපාය ගෙන ගිය දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ පාරම්පරික ඉඩම් ඉංග්‍රීසිහු කොල්ල කෑහ. ප්‍රසිද්ධ අපරාධයක් මෙන්ම විවෘත ප්‍රශ්නයක් වූ ඊට පිළියම් වශයෙන් උඩරට ගැමි පුනරුත්ථාපන කොමිෂන් සභාවක් පත් කළද, අද දක්වා, ඒ අසාධාරණයට පත් විහාරස්ථාන මෙන් ම ජනතාවට අපේක්ෂිත ප්‍රමාණයේ සහන සැලසී නැත. වගකිය යුතු කිසිවකු ඒ ප්‍රශ්නය දෙස නිසි ලෙස නොබැලුවත්, විශේෂයෙන් විහාර වෙනුවෙන් රජ දරුවන් ද සැදෑහැවතුන් ද බුදුන්ට පූජා කළ ඉඩම්වල අද ස්ථාවරව පදිංචි වී සිටින්නේ බහුතර වශයෙන් සිංහල නොවූ අන්‍යාගම්කාරයන් බව ප්‍රකට කරුණකි.

දළදා මාලිගාව, විහාර දේවාල මෙන් පොදු ජනයා සතුව තිබූ අක්කර දහස් ගණනක්, අංක 12 දරන 1840 පැන වූ මුඩුබිම් පනතින් ද, 1856 අංක 10 දරන ආඥ පනතේ ද යටතේ, රජය කොල්ල කෑවේය. එයට පෙර ද, පසුවද, 1833 -1906 කාලය තුළ පමණක් එසේ රාජසන්තක කළ අක්කර 17,98,212 රජය විකුණා දැමීය. එමෙන්ම, 1868 -1906 කාලය තුළ යුරෝපීයනට විකුණු ඉඩම් හැර, ඉන්දියානු දෙමළ, හෙට්ටි, බෝරා සහ පාසීන්ට අක්කර 7,37,250 විකුණා දැමීය. මේවා සියල්ලම පාරම්පරික ඉඩම් විය.

වසර 100කට පෙර තක්සේරුව

විහාර දේවාල රාජකාරි කළ පිරිස් සහ ඒවායේ අධිපතින් අතර සමීප සම්බන්ධයක් පැවතිණි. බුදු දහමට පහර ගැසීමට හොඳ මාර්ගයක් වන්නේ, එය කඩා බිඳ දැමීම බව අදහස් කළ ඉංග්‍රීසිහු රාජකාරි වෙනුවට වාර්ෂිකව ඉතා කුඩා මුදලක් එම ස්ථානවලට ගෙවිය හැකි වන පරිදි, නීති රීති වෙනස් කළහ. මුදලට ගිජු වූ ඇතැම් හිමිවරු ඊට කැමති වූහ.

එම වකවානුවේ සමාජයේ මුදල් පරිහරණය වූයේ ඉතා මඳ වශයෙනි. ඒ හේතුවෙන් මුදල් ගෙවීමට නොහැකි වූ ගැමියන් සහ හිමිවරුන් අතර භේද ඇති වී තිබූ සුහද සම්බන්ධය නැති විය. ඉංග්‍රීසීන්ට අවශ්‍ය වූයේ ද එයමය. මෙහි විස්මය වන්නේ, අවුරුදු සියයකටත් පෙර තක්සේරු කළ මේ වාර්ෂික මුදල අදත් එසේම පැවතීමයි. බොහෝ ස්ථානවල රාජකාරි හෝ මේ සුළු මුදල පවා ගෙවන්නේ නැත.

උදාහරණයක් ගත හොත්, මහනුවර නගර සීමාව තුළ අද මුදලෙන් තක්සේරු ක‍ළොත් බිලියන ගානක් වටිනා, දළදා මාලිගයට අයත් බිම්කඩක පිහිටි සුප්‍රසිද්ධ හෝටලයක් වර්ෂයකට දළදා පෙරහර සමයේ සැපයිය යුතු වන්නේ පොල්තෙල් සේරු 2ක් පමණි. මෑතදී එහි කළමනාකාර අධ්‍යක්ෂ ධූරය දැරූ අප මිත්‍රයෙකු පැවසුවේ, ඔහු දන්නා කාලයකදී, එවැන්නක් පවා සැපයුවේ නැති බවයි. ඒ ගැන වගකිය යුත්තෝ මුනිවත රකිති.

රාජකාරි ඉඩම් විකිණීම

බි‍සෝවෙල රජමහා විහාරයේ රාජකාරි ඉඩම් භුක්ති විඳින්නන් විසින් 1915 සිට මේ දක්වා වරින් වර සමහර ඉඩම් කට්ටි අයට විකුණා තිබේ. ශ්‍රී ලංකා නීතියේ මූලික සිද්ධාන්ත දෙකකි. එකක් වන්නේ රජය සන්තක ඉඩමක් මොන තරම් දීර්ඝ කාලයක් භුක්ති වින්ඳද, එය බුත්තියට සවි නොවීමයි. අනෙක වන්නේ, 1931 අංක 19 දරන, විහාර දේවාල ආඥා පනතේ 34 වන වගන්තිය අනුව, විහාර දේවාල සතු ඉඩම් බුත්තියට සවි නොවීමයි. මෙතරන දී ඉඩම් බුත්තියට අදාළ 1871-22 පනතේ ඉඩම් අයිතිය පිළිබඳ ඇති විධිවිධාන, විහාර දේවාල ආඥා පනත මගින් අබිබවා සිටින බැවින්, එම විධිවිධාන බල රහිත වන්නේය.

1953 දී, එවකට ලකිසුරු වෛකවුන්ට් සෝල්බරි සාමි පත් කළ විහාර දේවාලගම් හා නින්දගම් බුත්තිය පිළිබඳ කොමිසම බිසෝවෙල විහාරය ද සඳහන් කරමින්, “මේ සංස්ථාවන්ගේ චාරිත්‍ර වාරිත්‍ර හා ගෞරවය ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය ඉඩ කඩම් ආණ්ඩුවේ වියදමින් ලබා දීමට කටයුතු කළ යුතුයි” යැයි නිර්දේශ කළේය. මීපිටිය විහාරය වෙනුවෙන් මීපිටිය විහාරයේ එන්. සීලානන්ද ස්ථවිර සහ බිසෝවෙල විහාරය වෙනුවෙන් එහි විහාරාධිපති ඉඹුල්ගල මේධංකර ස්ථවිර ද, ප්‍රධාන දායක පවුල් දෙක නියෝජන කරමින් 1954.04.08 දින බිසෝවෙල පණ්ඩිතරන්න මුදියන්සේලාගේ පුංචිරාලහාමි මහතා ද සාක්ෂි දුන්හ. නමුත් ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු නොකළේය. එමෙන්ම නිර්දේශය ඉටු කර දෙන ලෙස වැඩ විසූ විහාරාධිපති හෝ ඉන් පසු එම තනතුරට පත් වූ කිසිම නායක හිමි නමක රජයෙන් ඉල්ලා සිටි බවක් නොපෙනේ. බොහෝ විට උන්වහන්සේ මේ වැදගත් නිර්දේශ ගැන මේ දක්වා නොදන්නවා ඇතැයි සිතමි.

අනීතික ඉඩම් වෙළෙඳාම

බිසෝවෙල රජමහා විහාරයේ රාජකාරි ඉඩම් භුක්ති විඳින්නවුන් විසින් 1915 සිට මේ දක්වා, වරින් වර, ඇතැම් ඉඩම් කට්ටි වශයෙන් අන් අයට විකුණා තිබෙන බව කලින් සඳහන් කළෙමි.ඒ ඉඩම් විකුණා ඇත්තේ සිවිල් නීතිය යටතේ බව පෙ‍නේ. ඒවාට නඩු හබ කියා තිබෙන්නේ ද සිවිල් නීතිය යටතේය. විහාර දේවාල සතු ඉඩම්, විකිණීමේ දී, බදු දීමේ දී, උකස් කිරීමේ දී හෝ වෙනත් අයුරකින් පැවරීමේදී, එවැන්නක් සිදු විය යුත්තේ විහාර දේවාලගම් ආඥා පනතේ විධිවිධානයට අනුකූලවය. එම ඉඩම් භුක්ති විඳින පරවෙණි පංගුකරු සිය පවුලේ අය අතර වුවත්, එවැනි පැවරීමක් කරන්නේ නම්, එය සිදු විය යුත්තේ විහාර දේවාල ආඥා පනතේ 26,27 (1) මෙන්ම 29 (2) වගන්තිවලට අනුකූලවය. එසේ නොවන්නේ නම්, එහි වලංගුභාවයක් නැත.

එපමණක් නොව ඉඩම් ලබන්නා 27(1) අනුව ක්‍රියා නොකළ හොත් 27 (3) වගන්තිය යටතේ “නීති වි‍රෝධි ක්‍රියාවක් කිරීම ගැන වැරදිකාරයෙකු වනවා පමණක් නොව, මහේස්ත්‍රාත් කෙනෙකුගේ විභාගයකදී වැරදිකාරයා යයි විනිශ්චය කරනු ලැබූ විට රුපියල් පන්සියයක දඩයකට හෝ දඩය නොගෙව්වොත් හය මාසයකට බරපතළ වැඩ නැතුව හිර අඩස්සියේ සිටීමට හෝ යටත් වේ.”

බිසෝවෙල විහාරයට අනුබද්ධ රාජකාරි ඉඩම් වරින් වර අතිනත මාරු වී ඇත්තේ සිවිල් නීතිය මත වීම පමණක් නොව නඩුහබ පවා කියවා ඇත්තේ ද සිවිල් නීතිය යටතේය. පැමිණිලි මෙන්ම වගඋත්තර පක්ෂය ඒ තත්ත්ව නොදැන සිටි නිසාත්, එමෙන්ම නීතිඥවරුන් නියම නීතිමය පැත්ත උසාවියට පෙන්වා නොදීම නිසාත්, නඩු තීන්දු ප්‍රකාශ කර ඇත්තේ සිවිල් නීතිය යටතේ බව පෙනේ. එය එසේ නම් ඒ තීන්දුවල නෛතික භාවයක් තිබිය නොහැකිය.

ඒ අනුව එදා සිට මේ දක්වා සිදු වූ සියලුම ගනුදෙනුවල වලංගු භාවයක් නැති බවත්, ඒ සියලුම ඉඩම් තවම නෛතිකව පන්සලේ ප්‍රධාන දායක පවුල් දෙක සතුව තිබෙන බව පෙන්වා දීමට තිබේ. එමෙන්ම රදා සහ බෙර පංගු ද ඔවුන් සතුව තිබිය යුතුය.

 

Comments