ඔබ මේ සිපිරිගෙට යළි නම් එන්ට එපා! | සිළුමිණ

ඔබ මේ සිපිරිගෙට යළි නම් එන්ට එපා!

සිරගෙදර මෙන්ම සිරකරුවන් පිළිබඳව ද මට ඇත්තේ ඉතා සීමිත අත්දැකීම් කීපයක් වන අතර ඒවා සියල්ලක් ම පාහේ හද කම්පා කරවන අතිශය සංවේදී සැමරුම් බව පළමුවෙන් ම සඳහන් කළ යුතුය. කොළඹ බේස්ලයින් පාරට නුදුරුව පිහිටා තිබෙන වැලිකඩ හිරගෙදර වටා ඉදිකර තිබෙන යෝධ තාප්පය ඒ මඟ ඔස්සේ දෛනික ව ගමන් කරන බොහෝ දෙනෙකුට සුපුරුදු දර්ශනයක් වුව ද ඒ තාප්පය ඇතුළත ජීවිතය කෙබඳු විය හැකිදැයි එයින් කී දෙනෙක් කල්පනා කරත්දැයි මම නොදනිමි. “සිරකරුවෝද මනුෂ්‍යයෝය” යන වැකිය හා සිරකරුවකු විසින්ම අඳින ලද ‘දරුවකු වඩා ගෙන සිටින මවකගේ චිත්‍රය’ද අප සිත්හි විවිධ මනෝභාව ඇති කරවන සුළු ය. එසේ වුවද සිරගෙදර යනු කිසිසේත් කෙනකු පය නොගැසිය යුතු ස්ථානයක් බව අප බොහෝ දෙනෙකු කල්පනා කරන්නකි. එය ඉතා ස්වාභාවික සිතිවිල්ලකි. එහෙත් පසුගිය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙහි ඒ හිරගෙදර අප බොහෝ දෙනෙකුගේ අවධානය යොමු කරගත් සුවිශේෂ සිදුවීමක් දැකගත හැකි විය. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සිරකරුවන් නිදහස් කිරීමේ රාජ්‍ය උත්සවයයි.

වැලිකඩ හිරගෙදර ක්‍රීඩාංගනයේ සුදු වතින් සැරසී සන්සුන් ව හිඳ ගෙන සිටි රැඳවියන්ගේ දසුන මෙන්ම ඔවුන් අබියස ඉදි වූ කුඩා වේදිකාවේ සිට ඔවුන් අමතා කතා කළ මෛත්‍රී ජනාධිපතිවරයාගේ වදන් තුළ නිදන් ව තිබුණු භාවමය කම්පනය ද ඒ මොහොතෙහි එහි සිටි අයගේ පමණක් නොව රූපවාහිනී ඔස්සේ එය නැරඹුවන්ගේද හද සසල කළ බව නිසැක ය.

ක්‍රීඩාංගනයේ සිටි සියල්ලෝ ම කිසියම් වරදකට දඩුවම් ලද්දෝ ය. දැන හෝ නොදැන හොඳ නරක පිළිබඳ හෘදය සාක්ෂිය බිදී ගිය මොහොතක සිදු වූ වරද ඔවුන්ට සිර ගෙයි දොර හැර දුන් බව නිසැකය. එහෙත් ඔවුන්ට නිදහසේ ජීවත්වීමේ නිදහස ලබාදීමට රටේ රාජ්‍ය නායකයා සිරගෙදරට පැමිණීම ඔවුන්ට ආශ්වාදජනක අත්දැකීමක් වන්නට ඇත. හිරගෙදර හා රජගෙදර යනු අහසට පොළව මෙන් ය. එහෙත් ඒ රජගෙදර නිවසන ජනාධිපතිවරයා හිරදෙර සිරකාරයන් අබියස ය.

ජනාධිපතිවරයා හිරගෙදරට පැමිණියේ රාජ්‍ය නායකයා ලෙස ව්‍යවස්ථානුකූල ව තමන්ට හිමි වී තිබෙන බලතල අනුව හිරකාරයන්ට පොදු සමාව ලබා දීමේ රාජ්‍ය උත්සවයට සහභාගි වීමට ය. සිරකරුවන් 738 කට හා සිරකාරියන් 26 දෙනෙකුට එම පොදු සමාව ලබා ගැනීමේ භාග්‍ය හිමි වී තිබුණි. කුමක් වුවත් එය බන්ධනාගාර ඉතිහාසයේ සුවිශේෂ වාර්තාවකි. ඒ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා එයට සහභාගිවීමත් ඒ සා විශාල සංඛ්‍යාවකට සමාව ලබාදීමත් නිසා ය.

මේ සඳහා තෝරා ගන්නා ලද පිරිසද විවිධ පිරික්සුම් වලින් පෙරා ගන්නා ලද අය වූහ. ඒ අතර ස්ත්‍රී දූෂණ, බාල අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් හා වෙනත් දරුණු ගණයේ අපරාධකරුවන් නොවූ බවද සඳහන් කළ යුතුය. වැලිකඩ හිරගෙදරට අමතරව වෙනත් හිරගෙවල් කීපයකින් ම තෝරා ගන්නා ලද රැඳවියන් පිරිසක් එහි වූහ. එලිමහන් ක්‍රීඩාංගනය සිසාරා හිඳගත් ඔවුන් බොහෝ දෙනෙකුගේ මුහුණු අපට නොපෙනුණි. එහෙත් හිරකරුවන්ට නියමිත ජම්පරය වෙනුවට සුදු වතින් සැරසුණු ඔවුන්ගෙන් පිළිබිඹු වූයේ තැන්පත් විලාසයකි.

වසර ගණනක් මුළුල්ලේ වැතිර සිටි සීතල පොළවෙන් එහා තිබෙන ලෝකයකට පා නැඟීමේ බලාපොරොත්තුව නම් ඒ හැම කෙනෙකු ම තුළ වූ බව නිසැකය. හිරගෙදර ජීවිතයට සමුදිය නොහැකි කිසිවෙක් ඒ පිරිස අතර නොවුවද ඒවේලේ ඔවුන්ගේ සිත් සතන් තුළ කිසියම් දුක් අඳුරක් වූ බව ද කල්පනා කළ හැකිය.

වේදිකාව මත රඟදැක්වුණු විචිත්‍රාංග මෙන්ම ජනාධිපතිවරයා විසින් කරන ලද භාවාත්මක දේශනයද හද සසල කරවන සුළු විය. සුනිල් එදිරිසිංහයන්ගේ ‘මල්ලියෙ නරක මිතුරන් ඇසුරට යන්ට එපා’ යනුවෙන් පසුබිමින් ඇසුණු ගීතයට ඉදිරිපත් වූ රංගනයට එක් වු රැඳවියකගේ ඇස අග කඳුළ වේදිකාවට වැටුණි. මෛත්‍රී ජනාධිපතිවරයාගේ වදන් තුළ රැව් දුන්නේ ද අතිශය සංවේදි ස්වරයකි.

මෛත්‍රී ජනාධිපතිවරයා කතා කළේද හිරගෙදර අඳුරු කුටියක හිරකාරයකු ලෙස ගෙවුණු සිය ජීවිත අත්දැකීම්ද ආවර්ජනය කරමින් ය.

1971 අප්‍රේල් කැරැල්ල වෙනුවෙන් පාසල් සිසුවකු ලෙස එදා මඩකලපුවේ අඳුරු කුටියක තමන් සිර කර තිබුණත් ඒ කැරැල්ලට මොනම ආකාරයක හෝ සම්බන්ධයක් තමන්ට නොවූ බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

කාගේදෝ බහකට චේගුවේරා හංවඩුව වැදුණු එකල උසස් පෙළ හදාරමින් සිටි පාසැල් සිසුවා අද ජනපතිය. නිරපරාදේ වසරකුත් තුන් මසක් හිරබත් රස විදීමට එදා තරුණ මෛත්‍රීට සිදු වීම දෛවයේ සරදමක් වැන්න. එහෙත් හිරදෙර ජිවිතය සිය ඉරණම සකසා ගත් පහළොස් මසක දුෂ්කර ක්‍රියාවක් බඳු අත්දැකීමක් වු බව ජනාධිපතිවරයා පැහැදිලි කළේ, එහි සිටි සියලු ම රැදවියන්ගේ ඇසට කඳුළක බරත් හා හිතට අධිෂ්ඨානශීලි හැඟීමක් ද එක් කරමින් ය. මේ වදන් මොනතරම් සීතලද?

“මම 72 තමයි බන්ධනාගාරයේ සිට මාංචු දාගෙන මාංචුවලට හිරවුණු දෑත්වලින් ගලන ලේ සමඟ උහන මහා විද්‍යාලයට ගිහින් විභාගේ ලිව්වේ. මාංචු ගැලෙවුවාම මගේ අත කැපිලා ගලන ලේ වලින් උත්තර පත්‍රයට ලේ ගලනවා. නිවැරදිකාරයෙක් වෙච්ච මා කළුවර කාමරයක් ඇතුළට දාලා බරපතල වැරුද්දක් කළ මිනිහකුට දෙන දඬුවමක් නේද මේ දීලා තියෙන්නේ කියලා හිතෙන කොට මගේ ඇස්වලින් කඳුළු වැටෙනවා. උත්තර පත්‍රය ලියනකොට ඇස් වලින් ගලන කඳුළුයි, අත්වලින් ගලන ලේයි එකට එක් වුණා. පාසල් ශිෂ්‍යයෙක් විදියට මගේ දැඟලිල්ලත්, ඒ කාලේත් පෙන්නූ ටිකක් ඕනෑවට වඩා කතා බහ කිරීම ආදියත් තමයි මාස 15ක් බරපතළ වැරැද්දකට සිර දඳුවම් ලැබුණු කෙනකුට වගේ දුක් විඳින්න හේතු වූණේ. ඒ මාස 15න් එක දවසක්වත් ඒ කාමරයකින් එළියට ගත්තේ නැහැ.”

සිර ගෙදර ජීවිතය මොනතරම් කටුක ද? “සීතල පොළවම සිරි යහනක් වේවායි” මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පැතුම නන්දා මාලිනිය ගයන්නී ය; එහෙත් ඒ තමා හිරගෙදර යථාර්ථය. මේ බලන්න ජනපතිඳුන්ගේ ආවර්ජනය

“වසර එක හමාරක් ශිෂ්‍යයෙක් විදියට හිරගෙදර කාමරයක් ඇතුළේ ඉඳලා කාමරයේ දොර යටින් හදලා තිබුණු පුංචි හිලෙන් දෙන පිඟානේ කෑම තමයි ඒ මාස 15කට වැඩි කාලයක් මම කෑවේ. අපිව එක දවසක්වත් නිදහසේ හුළං වදින්නවත් කාමරෙන් එළියට අරගත්තේ නැහැ. වැසිකිළි යන්නයි, නාන්නයි විතරයි එළියට ගත්තේ දවසට දෙපාරක්. පළමුවෙනි මාස තුනේ මාස එකහමාරක් මම ඇඳගෙන හිටියේ මා අත්අඩංගුවට ගන්නකොට ඇඳගෙන හිටපු සරමයි ෂර්ට් එකයි.”

වැරදිකරුවන්ට පමණක් නොව මානව හිතවාදීන්, විප්ලවවාදීන්, විද්වතුන්, කලාකරුවන් ආදි විවිධ පුද්ගලයන්ට ද හිර ගෙවල්වල ගත කිරීමට සිදු වු අවස්ථා ඉතිහාසයේ සඳහන් ව ඇත. මහත්මා ගාන්ධි, මෙන්ම නෙල්සන් මැන්ඩේලා මගේ මතකයට නැගෙයි. දොස්තයෙව්ස්කි මෙන්ම මැක්සිම් ගෝර්කිට ද හිරගෙදර දොර හැරුණි. රුසියානු මහ ලේඛක ලියෝ තොල්ස්තෝයිගේ නවකතාවක හිරගෙය පමණක් නොව නීතියේ යුක්තිය ගැන කරන බරපතල විමසුමක් මට මතක ය.

දිමිත්‍රි නමැති තරුණයකු විසින් හිරගෙය පිළිබඳ කරනු ලබන ඒ අනාවරණය අවනීතියේ පවුරු පදනම් යුක්තිය වෙනුවෙන් බිඳ දැමීමක් ලෙස කලා විචාරකයෝ හැඳින්වූහ. තොල්ස්තෝයිගේ අවධාරණය නීතිය කඩන අය සුරැකීමට නොව නොකළ වරදකට හා මානව වර්ගයාගේ විමුක්තිය උදෙසා අවිහිංසාවාදී අරගල වල නිරත වු අය වෙනුවෙනි. ප්‍රවේණිදාසයන් හා වහලුන් ලෙස පීඩනයට පත් වු මිනිසුන් වෙනුවෙනි.

මෛත්‍රී ජනාධිපතිවරයා ද එදා වැලිකඩ හිරදෙර ක්‍රිඩාංගනයේ සිටි හත්සියයකට අධික රැඳවියන් අමතා කළ දෙසුම හෘදයංගම ආයාචනයක් වැන්න. මානව දයාවේ කඳුළ හා මනුෂ්‍යත්වයේ ආදරණීය හැඟීම් වලින් තෙත් වු ජනාධිපතිවරයාගේ වදන් රැඳවියන් පමණක් නොව වේදිකාවේ අසුන් ගෙන සිටි ආරාධිතයන්ගේ ද දෑසට කඳුළක් එක් කරන්නක් ම විය.

“ඔබට මම ආදරයෙන් කියන්නේ ඔබ ජනාධිපති සමාව ලබලා ගිහින් නැවත වැරදි කළොත් වැරදි සමාජයට එකතු වුණොත් බනින්නේ ඔබට නෙවෙයි. මේ සමාජයේ ඔබ නැවත වැරැද්දක් කරලා ඔබ අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන පොලිසියේ නිලධාරීන් ඔබ ජනාධිපති සමාව ලැබ නැවත වැරදි කරලායි මේ ඇවිත් තිබෙන්නේ කියලා දැනගත්තහම එදාට ඒ නිලධාරීනුත් බනින්නේ ඔබට නොව මටයි. ඔබ එක්කෙනෙක්වත් මම එක දවසක්වත් ඇසුරු කරලා නැහැ. නමුත් නොදන්න, නොදැකපු ඔබ කෙරෙහි මේ රටේ ප්‍රධාන මහජන සේවකයා විදියටත් වසර එක හමාරක් සිරගෙදරක අසීරුවෙන් අමාරුවෙන් කාලය ගත කළ ශිෂ්‍යයෙක් විදියටත් මගේ හෘදය සාක්ෂියේ කතාවත් එක්ක මම ඔබ කෙරෙහි විශ්වාසය තියලා තිබෙනවා.”

මහත්මා ගාන්ධිතුමන් වරක් සඳහන් කළේ ‘වැරදිකරුවකුට සමාව දීමට හැකි වන්නේ ප්‍රබල ආත්ම ශක්තියකින් යුතු ධෛර්ය සම්පන්න පුද්ගලයකුට පමණක් බවය.’ මෛත්‍රී ජනාධිපතිවරයා ඒ පිළිබඳව පරමාදර්ශී නායකයකු බව රට ම දනී. ඒ මෙයට පෙර තමන් ඝාතනය කිරීමට පැමිණි එල්.ටී.ටී.ඊ ඝාතකයාට ද සමාව ලබා දුන් නිසාය. එදා රැඳවියන් අබියස ජනාධිපතිවරයා ඒ මතකයද ආවර්ජනය කළේ මෙසේය.

“2006 මා මරන්න ඇවිත් අධිකරණය විසින් බන්ධනාගාරගත කර සිටි පුද්ගලයකුට මම සමාව දුන්නා. මා ඝාතනය කරන්න ආවයි කියලා අධිකරණයේ ඔප්පු වූ තැනැත්තාත් මම නිදහස් කරලා සමාජ ගත කළා. මම එයින් මාස කිහිපයකට පෙර ඔහුගේ නිවසට ගියා. ඔහුගේ දෙමව්පියන් හමුවුණා; මම සොයා බැලුවා ඔහු කොහොමද ජීවත් වෙන්නේ කියලා. මම ඔහුට කිව්වා ඔබට ජීවත්වීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් කියන්න මම ඔබට ජීවත්වෙන්න උදව් කරන්නම් කියල”

සමාජයේ යහපැවත්ම හා පොදු ජන අයිතිය සුරැකීම සඳහා නීතිය අවශ්‍ය බව සැබෑ ය. එහෙත් නීතිය මගින්ම ඒ අරමුණු ඉටු කර ගත හැකිද? ආලෝකය අපට දැනෙන්නේ අඳුර පවතින නිසා ය. නීතිය ද අපට දැනෙන්නේ අනීතිය හෙවත් අවනීතිය පවතින නිසා ය. අවනීතියෙන් මිදීම සඳහා නීතිය ක්‍රියාත්මක විය යුතුය. මෛත්‍රී ජනාධිපතිවරයා නීතියේ ගිලිහීම පිළිබඳ දාර්ශනික විමසුමක් ද කරයි

“ලෝකයේ සිරගෙවල් පිරී තිබෙන්නේ දුප්පත්කම නිසයි. ජනතාව තුළ දුප්පත්කම නැත්නම් සොරකම් කිරීම වැනි අපරාධවලට ලක් වන්නේ නැහැ. රටක සිරගෙවල් පිරෙන්නේ ඒ රටේ දුගී භාවය වැඩි නිසයි. දුගී භාවය පිළිබඳව සංඛ්‍යාලේඛන අපේ රටේ ඉදිරිපත් වෙනවා. නමුත් අපි පිළිගන්නට ඕනෑ මේ රටේ ජනගහනයෙන් සියයට 40ක් දුගී භාවයෙන් පෙළෙනවා”

බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේත් දුගීභාවය මහ ව්‍යාධියක් හෙවත් බරපතල රෝගයක් බවය. සංවිධානාත්මක අපරාධ, සොරකම් ඕනෑම සමාජයක දැක ගත හැකිය. එහෙත් ආධ්‍යාත්මික වශයෙන් යහපත් සමාජයක් ගොඩ නැංවීමට දුගීභාවය තුරන් කළ යුතුය. ජනාධිපතිවරයා පවසන්නේත් සිරගෙය හා දඬුවම යහපත් සමාජයක පදනම නොවන බවය. නීතියට උඩින් තිබෙන දහම යුක්තිය බවත් ඒ සඳහා දුගී බවින් තොර නිරෝගී සමාජයක් ඇතිවිය යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

එදා පොදු සමාව හිමි වූ අයගේ අනාගතය ගොඩ නගා ගැනීම සඳහා අත හිත දීමට ජනාධිපතිවරයා ඉදිරිපත් වීම ද විශේෂයෙන් සඳහන් කළ යුතුය. ජනාධිපතිවරයා පෙන්වා දුන් පරිදි ම අද මෙරටේ ආර්ථිකය පාලනය කරන්නේ 15ක් වැනි සුළු පිරිසකි.

ධනය බෙදී නොයෑම හෙවත් ධනවාදයට එරෙහිව මාක්ස්වාදය ඉදිරිපත්ව තිබුණ ද, ධනවාදය අද පාරිභෝගික ධානවාදයක් ලෙස ව්‍යාප්ත වී තිබෙන ආකාරයද අපි දකිමු. කාල්මාක්ස් අපේක්ෂා කළ සමාජවාදය මෙන්ම බුදුන් වහන්සේ වදාල සමානාත්මතාව හා මනුෂ්‍යත්වය පදනම් වු උත්තර සමාජය කවදා මෙරට පහළ වේද? ස්වාර්ථයට වඩා පරාර්ථය උතුම් කොට සලකන ඒ සමාජය කවදා යථාර්ථයක් වනු ඇද්ද?

කුමක් වුවත් අද අප ජීවත්වන්නේ භීෂණය, ඝාතනය මෙන්ම හිංසාව, ත්‍රස්තවාදය ගංවතුරක් මෙන් ගලා යන ලොවකය. මානව හිතවාදය ගැන කතා කරන ඇමෙරිකාව එක් සැණකින් ගුවනින් බෝම්බ හෙලා දහස් ගණනක් මරුමුව හෙළති. ත්‍රස්තවාදය මැඬලීය යුතුයැයි ඝෝෂා කරන බලවත් රටවල් නවීන අවි ආයුධ නිපදවා ඒවා ත්‍රස්තවාදීන් අතට පත් කරයි. ලොව යහපත් තැනක් කළ හැක්කේ එබඳු විකෘතීන් ගෙන් තොර යහපත් ධාර්මික පාලකයන් බිහිවුවහොත් පමණි.

ජනාධිපතිවරයා අවසන් වශයෙන් අවධාරණය කරන්නේද එවන් යහපත් දේශයක් සඳහා සියලු දෙනාම එකාවන්ව කැපවිය යුතු බව ය.

මාස 15 වැනි කාලයක් කුහුඹුවකුටවත් වරදක් නොකළ වැරදිකාර පාසල් සිසුවකුට ඒ හිරගෙදරින් ලද පන්නරය රජගෙදර දක්වා යෑමට හේතු වූයේ නම් මේ හිරෙන් නිදහස ලබන ඔබට ද මෙරටේ විශිෂ්ටයකු, යහපත් සමාජ ක්‍රියාකාරකයකු වීමට බාධාවක් නැති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. මේ සටහන අවසන් කිරීමට ද එදා ජනාධිපතිවරයා විසින් පවසන ලද මේ වචන කීපය උචිත යැයි මම කල්පනා කරමි.

“ඔබෙන් මා නැවත නැවතත් ඉල්ලා සිටින්නේ ඔබ අද එළියට ගොස් හොඳ කෙනෙක් වෙන්න. කිසිසේත් නරක අයට එකතු වෙන්න එපා. නැවත සිරගෙදරට ආවොත්, පොලිසියට අසුවුණොත් එදාට ඔබ නෙවෙයි බැනුම් අහන්නේ මමයි.”

Comments