
රුවන්ගිට අභියෝගයක් වුණු භික්ෂුණී චරිතය
සුබා තෙරණිය තියන්නේ භික්ෂුණී ශාසනයේ සිටි ලස්සනම තෙරණියක්. එහෙත් බොහෝ දෙනෙක් ඒ ගැන දන්නේ නැහැ. හැබැයි ඒ නොදන්න සුබා තෙරණිය ගැන අපේ සමාජයේ කතා බහක් ආරම්භ වෙලා තිබෙනවා. ඒ මේ දිනවල තිරගත වෙන සුබා තෙරණියගේ කතාව පාදක කරගනිමින් නිර්මාණය කර තිබෙන චිත්‍රපටය නිසා. මේ තෙරණියගේ චරිතයට පණ පොවන්නේ අපේ රංගන කේෂ්ත්‍රයේ ඉන්න සුරූපී රංගන ශිල්පිනියක්. මේ රංගන ශිල්පිනිය දිහා බලද්දි සුබා තෙරණිය ජීවමානව ඉන්නවද කියලා චිත්‍රපටිය බලපු ප්‍රේක්ෂකයෝ අහන්න ගත්තා. ඇය රුවන්ගි රත්නායක. ඒ නිසා අපිත් රුවන්ගිට කතා කළා.
‘‘ඇත්තටම මේ චරිතය මට මගේ වාසනාවට ලැබුණු චරිතයක්. ඒ වගේම අනෙක් පැත්තෙන් ලොකු අභියෝගයක්. මම හිතුවා මට පුළුවන් උපරිමයෙන් මේ චරිතය සඳහා සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනෑ කියලා. චිත්‍රපටය බලපු අයගෙන් වගේම රූපවාහිනිවල ප්‍රචාරය වන දැන්වීම් දැකපු අය පවා මට සුබ පතලා කතා කරනවා. ඒ එන ඇමතුම් දිහා බැලුවම මට හිතෙනවා මගෙන් ඒ චරිතයට සාධාරණයක් ඉටු වෙන්න ඇති කියලා. මම හිතන්නේ ගොඩක් අය මේ තෙරණිය ගැන දන්නේ නැහැ. මේ නිර්මාණයත් එක්ක බොහෝ දෙනෙක් සුබා තෙරෙණිය ගැන හොයන්න පටන් ගෙන තිබෙනවා. කවුද මේ සුබා තෙරණිය කියන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි අපේ භික්ෂුණී ශාසනයේ තවත් මෙවැනි ම තෙරණින් වහන්සේලා ඉන්නවද කියල හොයන්න පවා පෙලඹිලා තිබෙනවා.‘‘
මේරියන්ස් නලින්ගෙන් ආරාධනාවක්!
‘‘කිසිම ආණ්ඩුවකට බරක් නොවුණ කේෂ්ත්‍රය තමයි සංගීත කේෂ්ත්‍රය. එහෙත් මේ එල්ල වුණ ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟ මේ සංගීත ලෝකයේ එළිමහන් ප්‍රසංගවල කටයුතු කරන සංගීත කණ්ඩායම්, ගායක, ගායිකාවන්, සංගීත සපයන්නන්, ශබ්ද පරිපාලකයන් පමණක් නෙවෙයි කඩල විකුණන, සරුවත් විකුණන වෙළෙන්දාට පවා බින්දුවේ ලකුණ තමයි ලැබිලා තිබෙන්නේ. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී කාලේ, යුද්දේ පැවැති කාලයේ පවා මේ රටේ සංගීත ප්‍රසංග පැවැත්වුණා. අපට තාමත් මේ රටේ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විශ්වාසයි. රටේ පාලකයන්ගෙන් පමණක් නොවෙයි සියලුම බලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමු විය යුතුයි. කිසිවකුට බරක් නොවුණ මේ ක්ෂේත්‍රයට අවශ්‍ය නිදහස් පරිසරය හදල දෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම සියලුම සංගීත කණ්ඩායම්වල නායකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා ඔබටත් වගකීමක් තිබෙනවා රටේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කරන සියලුම කටයුතුවල සංගීත කණ්ඩායම්වල සහයෝගය ලබාදෙන්න කියලා. මොකද එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එහා ගිය අන්තවාදී ත්‍රස්තවාදයකටයි අපි මුහුණ දෙන්නේ. එය අති භයානකයි. කොහොමද, කොතැන, මොන විදියටද එන්නේ කියල අපි දන්නේ නැහැ. නමුත් රටක් විදියට අපි එක තැන නතර වෙන්න බැහැ. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා යළි ගොඩනගමු.‘‘
රොඩ්නි ගෙදරට වෙලා කනස්සල්ලෙන්
‘‘පසුගිය දා එල්ල වුණ ත්‍රස්තවාදි ප්‍රහාරයත් එක්ක අපිටත් ගෙවල්වලට වෙල ඉන්නයි වෙලා තිබෙන්නේ. මොකද කලා නිර්මාණයක් බලන්න තරම් මිනිස්සුන්ගේ හිතේ සැනසීමක් නැහැ නේ. අනික පුටුවක වාඩි වෙලා කලා නිර්මාණය නෙවෙයි බලන්න වෙන්නේ තමන්ගේ ළඟ ඉන්න කෙනා ගැනයි බලන්න වෙන්නේ. රටේ ජාතික ආරක්ෂාව ගැන නිවැරැදිව කටයුතු කළා නම් මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.‘‘ රොඩ්නි වර්ණකුල රංගන ශිල්පියා මොනවද මේ දවස්වල කරන්නේ කියලා අහන්න කතා කළාම ඔහු කතාව පටන් ගත්තේ ඒ විදියට.
‘‘යුද්ධය තිබුණු කාලේවත් අපිට මේ වගේ දෙයක් වෙලා නැහැ. පසුගිය කාලයේ අපි නිදහසේ නිර්මාණ කළා. ඒ දේවල් පෙන්නුවා. අපේ රසිකයෝ ඇවිත් ඒ දේවල් නිදහසේ බැලුවා. මේ සිද්ධියත් එක්ක කී දෙනෙක් අසරණ වෙලාද, සමහරුන්ට එදා වේල පවා හොයාගන්න බැරිවෙලා තිබෙන්නේ. සමහර උත්සවවලට ප්‍රභූ අය ආවම ආරක්ෂාව දාලා සෝදිසි කරලා ඇතුළට ගන්නවා වගේ වේදිකා නාට්‍යයක් බලන්න සල්ලි දීලා එන මිනිස්සු ඇඟපත අතපතගාල ගන්න පුළුවන්ද?. එහෙම නාට්‍ය බලන්න සෙනඟ ඒවිද? මේක සුන්දර, ලස්සන රටක්. අපි හැම ජාතියක්ම සාමාකාමීව තමයි හිටියේ. අපේ නිර්මාණ බැලුවේ ජාති, ආගම් භේදයකින් තොරව. එහෙම තිබුණ රටට මේ වගේ දෙයක් වුණාම කොහොමද දරාගන්නේ. කොච්චර ප්‍රශ්න තිබුණත් ඒ හැමදේම දරාගෙන හිනාවෙලා තමයි අපේ මිනිස්සු හිටියේ. ඒ තත්ත්වයට රට යළි කවදා එයිද දන්නේ නැහැ. එතකන් අපිට වෙන්නේ ගෙවල්වලට වෙලා බලාගෙන එන්න තමයි.‘‘
නිහාල් කියන පත්තරේ විස්තරේ
අපේ ගායන කේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණ ගායන ශිල්පියකු වන නිහාල් නෙල්සන් මහතා ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පියෙක්. එහෙත් පසුගිය දවස්වල නම් ඔහු දකින්න ලැබුණේ අඩුවෙන්. ඇයි නිහාල් අයියා නිහඬ වෙලා ඉන්නේ කියලා අහන්න ‘රසඳුන‘ අපි නිහාල් නෙල්සන් මහත්මයට කතා කළා.
‘‘හලෝ නිහාල් නෙල්සන් මහත්මයා.‘‘
‘‘ඔව් කතා කරනවා.‘‘
‘‘මම රසඳුන පත්තරෙන්.‘‘
‘‘කියන්න මල්ලී.‘‘
‘‘පසුගිය ටිකේ සංගීත ප්‍රසංගවලවත්, වෙනත් කලා වැඩවලවත් වැඩිය දැක්කේ නැහැ. ඒ මොකද?‘‘
‘‘පසුගියදා එල්ල වුණ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා සංගීත ප්‍රසංග අවලංගු වුණා. නැත්නම් අප්‍රේල්, මැයි මාස කියන්නේ කලාකරුවන්ට වැඩ තිබෙන මාස දෙකක්. ඒත් ආරක්ෂක හේතූන් මත ප්‍රසංග අවලංගු වුණා. ඒ හින්දා ගෙදරට වෙලා ඉන්නවා. හැබැයි මට විතරක් නෙවෙයි පොදුවේ ගත්ත ම කලාකරුවන් හැමෝටම මේ ප්‍රශ්නය බලපාල තිබෙනවා. ටික කාලයක් යද්දි මේ තත්ත්වය වෙනස් වෙලා සාමාන්‍ය තත්ත්වයට හැරේවි කියලා හිතනව. එහෙම වුණොත් අපිට යළිත් ප්‍රසංග ලැබේවි.‘‘
‘‘මොකක්ද නිහාල් අයියා ලයිට් බිලක්වත් ගෙවා ගන්න බැරුව ඉන්නව කියලා කියලා තිබුණේ‘‘
‘‘හොඳ කතාවක් තමයි ඇහුවේ. පසුගිය දවසක පත්තෙරේකින් මගෙන් විස්තර ඇහුවා. එතකොට මම කිව්වා මේ ඇති වෙලා තිබෙන තත්ත්වයත් එක්ක පොදුවේ ගත්තම බොහොමයක් කලාකරුවන්ට විදුලි බිලක්වත් ගෙවා ගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ කියලා. එහෙම නැතුව මම ගැන පෞද්ගලිකව කියපු කතාවක් නෙවෙයි. මොකද කලාකරුවන්ට වැටුපක්, දීමනාවක්, විශ්‍රාම වැටුපක් නැහැ. ප්‍රසංගයකට හරි, කලා කටයුත්තකට හරි සහභාගි වෙලා ගන්න දෙයින් තමයි ජීවත් වෙන්නේ. මම ඒ වගේ දේවල් තමයි කිව්වේ. හැබැයි ඒ මාධ්‍යවේදියා ලියපු කතාවේ ඒ දේවල් තිබෙනවා. ඒත් හෙඩින් එකට දාල තිබුණේ වෙනස් දෙයක්. ඒක දැක්ක ගමන් බොහෝ දෙනෙක් මට කතා කරන්න ගත්තා. ඇයි හම්බ කරන ඒවට මොකද කරන්නේ ඇහුවා. පස්සේ තමයි මාත් හරි විස්තරේ දැක්කේ. ඒ කතා කළ ගොඩක් අය හෙඩින් එක විතරයි කියවලා තිබෙන්නේ. එහෙම නැතුව සම්පූර්ණ විස්තරේ කියවලා නැහැ. අපි විතරක් නෙවෙයි සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ පිරිසකට මේ ප්‍රශ්නයෙන් පහර වැදිලා තිබෙනවා. කඩල විකුණන අහිංසක වෙළෙන්දට පවා මින් බැට කන්න සිදුවෙලා තිබෙනවා. එක පැත්තකින් මේ සිදුවුණ දෙයින් අපිත් පාඩමක් ඉගෙන ගත්තා. ඉදිරියේදී අපිත් යම් මුදලක් හරි ඉතිරි කරගන්න පුරුදු වෙන්න ඕනැ. ඒකයි මම කිව්වේ මේ සිදුවීමෙන් අපිටත් හොඳ පාඩමක් ඉගෙන ගන්න ලැබුණා කියලා. අනෙක් කාරණය තමයි මල්ලී අපිට ජාති, ආගම්,පාට පක්ෂ භේද නැහැ. අපි කලාකරුවෝ. ඒ නිසා සමස්ත ජනතාවගෙන් ඉල්ලනවා මේ රට පරිස්සම් කරගනිමු. එතකොට අපි කාටත් සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්.‘‘