පාසල් වියේ සිටම සාහි­ත්‍ය­යට පෙම්බැඳි මංජුල සෙනෙ­වි­රත්ත | සිළුමිණ

පාසල් වියේ සිටම සාහි­ත්‍ය­යට පෙම්බැඳි මංජුල සෙනෙ­වි­රත්ත

මැකීගෙන යන පද්‍ය සාහිත්‍යය වෙනුවෙන් ඇප කැපවී සිටින මංජුල සෙනෙවිරත්න අද රසඳුනට කැන්දාගෙන එන්නෙමු.

මහනුවර දිස්ත්‍රික්කයේ, ගොමගොඩ, ඔරුතොට ගම්මානයේ මංජුල උපන්නේය. ඔහු මූලික අධ්‍යාපනය ලබන්නේද ගොමගොඩ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහා විද්‍යාලයෙනි.

උසස් පෙළ කලා අංශයෙන් ඉගෙනුම ලබා එය සාර්ථකව නිම කළ මංජුල පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධියක් ලැබීය. ඒ කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා උපාධියක්ද ප්‍රාදේශීය සංවර්ධන ඩිප්ලොමාවක්ද අධ්‍යාපනික වශයෙන් නිම කර ඇත.

ඒ පාසල් කාලයේ සිටම බිත්ති පුවත්පත් වලට සහ ළමා පත්තරවලට කවි, කතාන්දර ලියා ලේඛන කලාවට ප්‍රවිෂ්ට වී ඇත.

මංජුලගේ පළමු කාව්‍ය සංග්‍රහය සමාජ ප්‍රශ්න තේමා කරගෙන 2005 දී ‘කඳුළු සිතුවිලි’ නමින් එළිදැක් වුවේය. ඉන්පසු යුද්ධය නිමාවීමත් සමඟම 2009 දී ‘පමා වී ආ වසන්තය’, 2015 දී ‘ඉරිච්ච සඳ’ වැනි කාව්‍ය සංග්‍රහයන් භාෂා තුනෙන්ම එළිදැක්වූ ඔහු ‘දුම්බර සිත මල්වර වී’ හා ‘සීකර සංගුව’ වැනි කවි පොත් ද සංස්කරණය කර ඇත.

එසේම කඳුරට සේවය, රජරට සේවය වැනි ගුවන්විදුලි‍ වැඩසටහන්වලටද කවි නිර්මාණවලින් දායක වී ඇති මංජුල, සිය නිර්මාණ චාරිකාවේදී පාසල් කාලයේ සිටම ප්‍රාදේශීය මට්ටමෙන් හා සමස්ත ලංකා හොඳම කාව්‍ය නිර්මාණ සඳහා ජයග්‍රහණද අත්පත් කරගෙන ඇත්තේය.

“මට අවශ්‍ය වුණේ පද්‍ය සාහිතයේ චිරස්ථිතිය උ‍දෙසා භාෂා තුනෙන්ම කාව්‍ය සංග්‍රහයන් නිර්මාණය කිරීමයි. මගේ කාව්‍ය සංග්‍රහයන් නිර්මාණයට මම පාදක කරගත්තේ සමාජයේ කාලීනව පැවතුනු ප්‍රශ්න සහ අත්දැකීම්.

මගේ මේ පද්‍ය සාහිත්‍ය දිවියේ මෙතෙක් දුරක් යෑමට මට අත හිත දුන් අය බොහෝය. ඒ අතරින් මාගේ මවුපියන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත්, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන්, අබ්දුල් සාදිකින්, චන්ද්‍රසිරි දොඩම්ගොඩ මහතා හා විශ්ව ජයම්පති සොහොයුරා ගෞරවයෙන් මතක් කරනවා.”

ලිපිනය - අංක 52, මලුවේගම, ඔරුතොට, මහනුවර

 

 

Comments