මහ සඟරුවන රකින ආණ්ඩුවේ 'සුරක්ෂාව' | සිළුමිණ

මහ සඟරුවන රකින ආණ්ඩුවේ 'සුරක්ෂාව'

ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය රැක ගැනීම සඳහා බුද්ධශාසන අමාත්‍යාංශය විසින් වැඩසටහන් රාශියක් මේ වසර තුළ ක්‍රියාත්මක කර තිබේ.

භික්ෂුන් වහන්සේලා ශාසනය හැර යාම සහ අලුතින් බොදු දරුවන් සසුන් ගත කිරීම අඩු වීම ප්‍රබල ගැටලුවක් වී ඇති අතර බුද්ධශාසන අමාත්‍යාංශය විසින් ඒ සඳහා වැඩපිළිවෙළ රාශියක් ආරම්භ කර තිබේ.

ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ දී මිහිඳු මහ රහතන් වහන්සේ විසින් හෙළදිවට බුදුසසුන හඳුන්වා දුන් දින පටන් අද දක්වා එකම රටක, එකම භාෂාවක් කථා කරමින් එකම ආගමක් අදහමින් වසර දෙදහස් තුන්සියයකට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව ලොව පවතින එකම ශිෂ්ටාචාරය සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයයි.

එය සිංහලේ ප්‍රෞඪත්වයයි. සියවස් හයක් තිස්සේ වාචිකව පවත්වාගෙන ආ නිර්මල බුදු දහම පළමු වන සියවසේදී ලේඛනගත කොට අද දක්වා සුරක්ෂිතව පවත්වාගෙන ආ පූජනීය වන්දනීය භික්ෂු පරපුර ජාතියේ ද ආගමේ ද මුර දේවතාවන් වන්නේ ය. බුදු දහම වසර පන් දහසක් තුරා රැක ගැනීම සිංහල ජාතිය සතු වගකීමකි. බුදු දහම චිරාත් කාලයක් පවතිනු ලබන්නේ භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසගේ විනයානුකූල බව, සිල්වත් බව හා ශ්‍රද්ධාසම්පන්න බව මතය. බුදු සසුන රැකගැනීම සඳහා මූලිකව ධර්මය ආරක්ෂා විය යුතු ය. විහාරා‍රාම ආරක්ෂා විය යුතු ය. ඒ වගකීම රජය වෙනුවෙන් උසුලන්නේ බුද්ධශාසන අමාත්‍යාංශයයි. ගරු බුද්ධශාසන අමාත්‍යතුමාගේ මෙහෙයවීමෙන් දියත් කරන්නා වූ මෙම ‘ශාසන සුරක්ෂා’ වැඩසටහන බුදු සසුනේ අනාගත පැවැත්ම සඳහා ම වන්නේ ය. එහි පැතිකඩයන් තුනකි.

බුදු පුත් සුරක්ෂා

සියලු ම භික්ෂු සංඝයාගේ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියාත්මක වන භික්ෂු රක්ෂණ යෝජනා ක්‍රමය.

බුදු පුත් මවුපිය සුරක්ෂා

සසුනට තම දරුවෙකු පූජා කළ දුප්පත් දෙමාපියන් ආරක්ෂා කර පවුලේ මූලික අවශ්‍යතාවයන් සපයමින් සැපවත් කිරීම ය.

බොදු අරම සුරක්ෂා

විහාරස්ථානයකට අවශ්‍ය මූලිකාංග නොමැති විහාරස්ථාන දියුණු කොට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සලසාදීම. භික්ෂුන් වහන්සේට ද දායකයින්ට ද හැකියාවක් නොමැති ආරාම අනාගතය සඳහා සුරක්ෂිත කිරීම.

භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසගේ ශ්‍රද්ධා සම්පන්න විනයගරුක පැවැත්ම බුදු සසුනේ පැවැත්මයි. එහි අනාගතයයි. වසර දෙදහස් තුන්සියයක් තිස්සේ අඛණ්ඩව එකම රටක, එකම භාෂාවක් කථා කරමින් එකම ආගමක් අදහමින් අද දක්වා පැවත එන ලෝකයේ ඇති එකම ශිෂ්ටාචාරය වූ (සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ නියමුවා හා මුර දේවතාවා වන්නේ මෙරටෙහි වැඩ සිටින පූජනීය වන්දනීය භික්ෂුන් වහන්සේය. උන්වහන්සේලාගේ පැවැත්ම සඳහා අවශ්‍ය වන භික්ෂු සුභසාධන රක්ෂණ වැඩපිළිවෙළක් ‘බුදු පුත් සුරක්ෂා’ නමින් බුද්ධශාසන අමාත්‍යාංශය යටතේ ඇති බුද්ධශාසන අරමුදල මඟින් 2019 ජූනි මස සිට ස්ථාපනය කරනු ලබන්නේ ය.

වගකීම සහ ක්‍රියාත්මක වීම

බුද්ධශාසන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත බුද්ධශාසන අරමුදල

ප්‍රතිලාභීන්

ශ්‍රී ලංකාවේ පදිංචි වෙනත් රාජ්‍ය අනුග්‍රහපිත රක්ෂණ ක්‍රමයකට ඇතුළත් නොවූ සියලු භික්ෂූන් සංඝයා වන්නේ ය. මේ සඳහා ස්ථාපිත ඉල්ලුම් පත්‍රයක් මඟින් ලියාපදිංචි විය යුතු ය.

රක්ෂණ ක්‍රමවේදය සහ වාරිකය.

*පෞද්ගලික රෝහලක රෝහල් ගතවීමකදී අවම හිමිකම් වටිනාකම රුපියල් 350,000.00ක්. (වර්ෂයකට යටත්ව)

*(එක් සිද්ධියක් සඳහා උපරිමය රුපියල් 200.000)

*කාමරගාස්තු (දිනකට රුපියල් 5000 උපරිම දින 10)

ඖෂධ, ශල්‍යාගාර වියදම රුපියල් 80,000.00

වෛද්‍ය ගාස්තු වියදම 50,000.00

වෛද්‍ය පරීක්ෂණ වියදම 40,000.00

ස්වාමීන් වහන්සේලා සඳහා හිමිවන

විශේෂිත ප්‍රතිලාභ පහත පරිදි වේ.

(හදවත් සැත්කම් සඳහා රුපියල් 10,000,000.00

පිළිකා රෝග සඳහා රුපියල් 500,000.00

වකුගඩු රෝග සඳහා රුපියල් 1,200, 00.00

මොලයේ ශල්‍යකාර්ම සඳහා රුපියල් 250,000.00

උකුල් ඇට බද්ධ කිරීම සඳහා රුපියල් 250,000.00

කොන්දේසි

1. වයස් සීමාව අදාළ නොවේ.

2. විදේශීය ප්‍රතිකාර ඉහත සඳහන් සීමාවන්ට යටත්ව ආවරණය කරනු ලැබේ.

3. මෙම රක්ෂණ යෝජනා ක්‍රමයෙහි අංක 5 යටතේ ආවරණය කරනු ලබන හදවත් සැත්කම්, Rf Ablation සඳහා වකුගඩු බද්ධ කිරීම සඳහා, මොළයේ ශල්‍ය කර්ම සඳහා සහ පිළිකා රෝග සඳහා වන හිමිකම් ජීවිත කාලය තුළ එක්වරක් පමණක් ආවරණය කරනු ලැබේ.

4. රෝහල් ගත වූ දින සිට දින 90 ක් ඇතුළත හිමිකම් අයදුම්පත ‍රෝග විනිශ්චය කාඩ්පතෙහි සහතික කළ පිටපතක් හා අනෙකුත් අදාළ ලිපි ලේඛන සමඟ බෞද්ධ කටයුතු සමායෝජක මඟින් භික්ෂූ ‍රක්ෂණ අරමුදල වෙත ලබාදිය යුතු ය.

බුදුපුත් මවුපිය සුරක්ෂා

දැනට ලංකාවේ වැඩවසන 30,000 ක් පමණ වූ භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරගැනීම බෞද්ධ සමාජයේත් රජයේත් වගකීම වන්නේ ය.

අද පවතින ප්‍රවණතාවය වන්නේ දිනකට භික්ෂූන් වහන්සේ 8 – 12 දක්වා වන ප්‍රමාණයක් උපැවිදිවීමය. අද පැවිදි බිමට ඇතුළත් වන සංඛ්‍යාව අඩු වන්නේ පැවිදි කරවීමට පිරිමි දරුවන් අඩුවීමය. බොහෝ විට වත්කම් උගත්කම් ඇති පවුල්වල මහණ කරවීම සඳහා පිරිමි දරුවන් නොමැත. දැනට පවතින තත්ත්වය අනුව දරුවෙකු ශාසනයට පූජා කරනු ලබන්නේ දිළිඳු පවුල්වල දෙමාපියන් ය. තරුණ භික්ෂුන් වහන්සේලා උපැවිදි වීම සඳහා වන ප්‍රබල හේතුවක් ලෙස පෙනී යන්නේ එම භික්ෂූන් වහන්සේලා ගේ පවුලේ ඇති දිළිඳුකම සහ අසරණකමින් තම දෙමාපියන් සහෝදර සහෝදරියන් මුදවා ගැනීම තමාගේ වගකිමක් ලෙස සලකා උපැවිදි වීමය. මෙම ඛේදවාචකයෙන් තරුණ භික්ෂූන් වහන්සේලා මුදවා භික්ෂූ ශාසනයේ අනාගත පැවැත්ම උදෙසා උපැවිදි වීම අවම කිරීම මුල්කොටගෙන, සසුනට තම දරුවෙකු පූජා කළ එම දෙමාපියන්ගේ සුබසාධනය සඳහා ‘බුදු පුත් මවුපිය සුරක්ෂා’ නමින් දියත් කරන මෙම වැඩපිළිවෙළ බුද්ධශාසන අමාත්‍යාංශය විසින් 2019 ජූනි මස ආරම්භ කරන්නේ ය. මේ සඳහා නිවසක් අහිමි දෙමාපියන්ට නිවසක් තනාදීම, ඔවුන්ගේ ලෙඩ දුක්වලට අතදීම, සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනයට උදව් කිරීම, ආදායම් මාර්ගයක් සඳහා අත දීමාදිය ඇතුළත් කොට ඇත.

බොදු අරම සුරක්ෂා

ශ්‍රී ලංකාවේ ඇති දාහතර දහසක් පමණ වන විහාරාරාම විවිධය. ඒවා අනුරාධපුරයේ පටන් පැවත එන පූජනීය පුරා විද්‍යාස්ථාන, සොළොස්මස්ථාන, රාජ මහා විහාර, ප්‍රධාන මූලස්ථාන, පන්සල්, ආරණ්‍ය සේනාසන, නාගරික පන්සල්, ග්‍රාමීය පන්සල් ආදී වශයෙන් හඳුනාගත හැක‍. මේ අතර පන්සල් බොහෝ ප්‍රමාණයක් සම්පත් සහිතය. පොහොසත් දායකාදීන්ගෙන් ඇප උපස්ථාන ලබයි. බුද්ධශාසන අමාත්‍යවරයා විසින් සියලුම විහාරස්ථාන දියුණුව, පහසුකම් ආදිය අනුව වර්ගීකරණය කොට ඇත. දැනට ඇති දත්තයන් අනුව විහාරස්ථාන හාරසියයකට වඩා භික්ෂූන් වහන්සේ නමක් පමණි. වාසයට සුදුසු අවාස ගෙයක් නොමැත. සුදුසු වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැත.

චෛත්‍යයක් සුදුසු බුදු මැඳුරක් නොමැත. මෙවැනි පහසුකම් අඩු හෝ රහිත හෝ වූ කුඩා විහාරස්ථාන දියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. මේ සඳහා ආදායම්ලාභී විහාරස්ථාන, දේවාල ආදී පූජනීය ස්ථානවලින් හැකියාවන් ඇති බෞද්ධ ව්‍යාපාරිකයින්, දානපතීන්ගේ ආධාර, සහයෝගය හා වගකීම් අවශ්‍ය වන්නේ ය. මෙම දුප්පත් පහසුකම් අඩු විහාරස්ථාන එක් එක් ආයතන හෝ පුද්ගලයින් භාරගෙන දියුණු කිරීම විශාල පුණ්‍ය කර්මයක් වන්නේ ය. බුදු සසුනේ පැවැත්ම සඳහා ලබාදෙන දායකත්වයක් වන්නේ ය. විස්තර වශයෙන් ආවාස ගෙයක්, විහාර ගෙයක්, වැසිකිළි කැසිකිළි පහසුකම්, දාන ශාලාවක් සහිත මුළුතැන්ගෙයක්, චෛත්‍යයක්, බෝධි ප්‍රාකාරයක්, බණ ශාලාවක් ආදිය වෙන් වෙන් වශයෙන් හඳුනාගත හැක.

බුද්ධ ශාසනය රකින්න අපි හුඟක් වැඩ කරනවා

බුද්ධ ශාසන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා

ලෝකයේ තිබෙන පැරණිතම මෙන් ම අසහාය ආගම බුද්ධ ධර්මයයි. මෙම ධර්මය කිසි කලෙක විනාශ නොවනු ඇති බව පැහැදිලිව ලෝකය හමුවේ සනාථ වී තිබෙනවා. එහෙත් ශ්‍රී ලංකාව තුළ බුද්ධ ශාසනය රැක ගැනීම වෙනුවෙන් බොහෝ ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බව අප කාටත් පිළිගන්නට සිදුවනවා. වර්තමානය දිහා බලද්දී අතීතයට වඩා වූ ප්‍රබල බලපෑමක් අප ආගමට තිබෙනවා. ඒ නිසා අප බෞද්ධයන් මෙන් ම රජයක් හැටියට මෙය රැක ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි. නිර්මල බුදු දහම අද ලෝකයම පිළිගන්නවා. විශේෂයෙන් යුරෝපයේ ජනතාව ඉතා වේගයෙන් බෞද්ධ දර්ශනය අවබෝධ කර ගනිමින් සිටිනවා.

මේ විශ්වය තුළ බුද්ධ ධර්මයේ මහා බලයක් තිබෙනවා. එය අපගේ ජාතිය අප රැක දෙනවා කියන එක මගේ මතයයි. මේ තරම් උත්තරීතර වූ ආගම ශාසනය රැකගත යුතුයි. ඒ සඳහා පාට පක්ෂ අපට වැදගත් නැහැ. සැවොම එකා ලෙස පෙළ ගැසිය යුතුයි.

සසුන් ගත වන භික්ෂූන් වහන්සේලාට මුහුණපෑමට සිදුවන නොයෙක් ආර්ථික අපහසුතා නිසා උන්වහන්සේලා ශාසනය හැර යනවා. ඒ නිසා එයට විසඳුමක් වශයෙන් මේ සුරක්ෂා ක්‍රමය හැඳින්විය හැකියි. මුදල් ඇතුළු අවශ්‍ය දේවල් යහමින් ලැබෙන පන්සල්වලට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලැබෙනවා. එහෙත් දුෂ්කරතා තිබෙන පන්සල් භික්ෂුන් වහන්සේලා රැසක් සිටිනවා. මේ ක්‍රමයට රාජ්‍ය ආයතනය රැසක් ඉදිරියේදී සහය ලබාදෙන බවට අපට විශ්වාසයි. රජයක් හැටියට අප මේ ඉටු කරන්නේ අපගේ වගකීමයි.

Comments