පවුරු බැඳගෙන සිතක වැජඹුණ රසවතී නැහැ කොයි ගියා... | සිළුමිණ

පවුරු බැඳගෙන සිතක වැජඹුණ රසවතී නැහැ කොයි ගියා...

නුහුරු නුපුරුදු රහස පිළිබඳ             

මිහිර ආදරයයි කියා

පවුරු බැඳගෙන සිතක වැජඹුණ

රසවතී නැහැ කොයි ගියා...

ආදරෙයි මං... ආ‍දරෙයි...

දම්මි තවමත් ආදරෙයි...

ආදරෙයි මං ආදරෙයි

සුගත් තවමත් ආදරෙයි...

ගොළු හදවතේ ධම්මි සුගත් ආදරයේ තේමා ගීතය ඔහු හා එක්ව ගැයූ මේ රසවතිය... අද ඔහු සිටින තැනටම නොඑන ගමන් ගියාය. ඇය ‘සිසින්ද්‍රා’ එකතුවේ දෙවන පුරුක ඉන්ද්‍රානි සේනාරත්නයන්ය.

ප්‍රවීණ ගායන ශිල්පී සංගීත අධ්‍යක්ෂ සිසිර සේනාරත්නයන්ගේ ජීවන සහකාරිය වූ මේ මධුර මනෝහාර ගීත කෝකිලාවිය 83 වැනි වියේදී පසුගියදා දිවි රඟ මඬලින් සමුගත්තා ය.

කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර කවි ගායනයට සැබෑ හපනියක් වුවත් පෙරුම් පිරුවේ පුවත්පත් කලාවේදිනියක වීමට ය. එහෙත් දෛවය ඇගේ දිවිය වෙනස් කළේ ය‍. කෝකිල හටන තරගයෙන් ජය ලබා ගුවන් විදුලියේ ළමා පිටියෙන් සිය හැකියාවන් ලොවට පෙන්වීමට බාලවියේ සිටම ඈට වාසනාව පෑදිනි, ගායක සුසිල් ප්‍රේමරත්නයන් සමඟින් “සොම්නස හෝ සංතාපය” හමුවේ ගීතයට අත්වැල් සපයන්නට මෙන් ම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ගුවන් විදුලි ගීත නාටකවල ගායනයෙන් එක්වන්නටත් පුංචි ඉන්ද්‍රානි සමත් වූවා ය. මර්සිලීන් ජයකොඩි පියතුමා විසින් ඈව සුනිල් ශාන්තයන්ට 12 හැවිරිදි වියේදී හඳුන්වාදීමෙන් පසුව ගුවන් විදුලියට වසර 25 ක් සපිරීම නිමිත්තෙන් පැවැති විශේෂ ගායන වැඩසටහන්වලට එක්වීම ඇගේ ගායන දිවියේ සුවිශේෂී මොහොතක් විය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටයට මර්සිලින් ජයකොඩි පියතුමා ලියා ඇය ගැයූ ‘සුදු සඳ එළියේ නළ මත’ ගීතය වඩාත් ජනප්‍රිය විය. රේඛාවට ගී ගැයීමට ඉන්දියාවට යන අතරේ ගුවන් යානයේදී ඇය තම ජීවන ගමනේ ඉරණම්කාරයා මුණ ගැසුණි. සිසිර සේනාරත්නයන්ගේ මියුරු හඬටම ගැළපෙන අපූරු හඬ පෞරුෂයක් ඇය සතු විය. ඒ නිසා ම ගහට පොත්ත මෙන් රන් රස මෙන් මේ ගී තරු යුවළ අගේට ගැළපුණි. මේ දෙදෙනාගේ මංගල සේයාරුව මඟුල්දා සවසම ලේක්හවුස් ජනතා පත්තරේ පළ විය.

ඉන්ද්‍රාණි, සිසිරගේ ජීවන ගමන් මගේ මෙන් ම සංගීත ගමනේ ද සහකාරිය වූවා ය. සිසිර ඉන්ද්‍රානි ‘සිසින්ද්‍රා’ ලෙස ගීත ලෝකයේ යුග ගණනක් මහා පෙරළියක් කළෝ ය. ‍ඒ නිසා ම එකළ මෙරට ප්‍රසංග කලාවේ සිසිර, ‍ඉන්ද්‍රාණි නැතිවම බැරි අපූරු සුසංයෝගයක් විය.

“ඕලු නෙළුම් නෙරිය රඟාලා, පිදුරු සෙවි කළ, ඈත අහසේ... මාගෙ පුතුට මල් යහන සදන්නයි.... ගයා ගීතයන් ගමේ වෙල් එළියේ, ආලෝකෙ පතුරා, නීල ජලාසේ රඟනා හංස කුමාරී, හිතන්නකෝ අයියේ, රතු පාට මල් මට තාම මතකයි, ඔබ නැති මේ බිම, මේ අපි යන්නේ කොයිබටද? මල් මල් මල් ලස්සන වනමල්, සුජාතා, ආදරණීය සුජාතා, නිල්මිණි දෑසේ මැවු ආලෝකේ, හඳ පානේ මල් පිපුණා, වනමලට ආසාවෙ වන බඹරා ආවාසේ, නැ‍ඟෙන වැටෙන වැටී නිදන පෙරැළෙන ලෝකේ, ඔබ ගතින් මා ළඟයි, ආදරය පෑ ඉරේෂා, මා ප්‍රේම ගීතේ ජීවේ සීතල දිය දහ‍රාවේ, මල් සූටික්කෝ සින්දු කියාපන්, වෙසක් කැකුළු සුළි සුළි නැ‍ඟෙනා, සොම්නස හෝ සන්තාපය හමුවේ, සීත සමීරේ, දඟකාරී මං මද්දුම දෝනී, සුදු සඳ එළියේ, නෙක ගීත මඟින් සිසිර - ඉන්ද්‍රානි රසික සිත් සතන් අමන්දානන්දයට පත් කළහ.

ගුවන් විදුලියේ ‘ඒ’ ශ්‍රේණියේ ගායිකාවක් වූ ඉන්ද්‍රානි සේනාරත්නයන් 1959 දී දීපශිඛා සම්මානය, ජනාධිපති සම්මානය (2000), OCIC සම්මානය (2001) සඳහා හිමිකම් පෑවේ ඇගේ ගායන කෞශල්‍යය මේ යැයි විශද කරමිනි.

සංජය, සුභානි, සමීර දරුවන් තිදෙනාගේ ආදරණීය දරු දැරියන්ට සෙනෙහෙබර ආච්චි, සීයා වුවද සිසිර ඉන්ද්‍රානි යුවළ ගතින් හා සිතින් තාරුණ්‍යයේ කිරුළු පලඳිමින් සිය සංගීත චාරිකාවේ අනවරත ගමනක යෙදුණහ.

සරල ගී, චිත්‍රපට පසුබිම් ගීත, යුග ගීත තුළින් දිනෙන් දින රසික හදේ ජීවමාන වෙමින් හැටේ දශකයේ පුදුමාකාර ජනප්‍රසාදයට පත්වීමට සමත් වූහ‍. ඒ නිසා ම දෙස් විදෙස් රටවලින් සිසිර හා ඉන්ද්‍රානිට ඉහළ ප්‍රතිචාර සමඟින් ඉහළ ඉල්ලුමක් ලැබුණි. සිසින්ද්‍රා ගීත ප්‍රසංගය රැගෙන සිසිර - ඉන්ද්‍රානි ප්‍රංසය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉතාලිය, ජර්මනිය, ඉන්දියාව, ඩුබායි, කුවේට් ආදී මැදපෙරදිග හා යුරෝපීය රටවල සංචාරය කරමින් රසික හද පිනවීමට සමත් වූහ.

දරු මුනුපුරු මිනිපිරියන් රැසක් සමඟින් ඇය ගත කළේ ආදරණීය විවාහ ජීවිතයකි. සිසිර දුකේදීත්, සැපේදීත් ඇගේ එකම සෙවණැල්ල විය. සිසිර - ඉන්ද්‍රානි විවාහ ජීවිතයේ පනස් වැනි සංවත්සරය ද ඔවුන් සැමරුයේ පුදුමාකාර සතුටකිනි.

“මට නැවතත්, ඉන්ද්‍රානි සමඟ විවාහ වෙන්න හිතෙනවා” සිසිර සේනාරත්නයන් වරෙක පුවත්පතකට කියා තිබුණි. ඒ ඔවුන්ගේ ආදරයේ සංකේතයයි.

තාරුණ්‍යය ඉක්මවා ගිය ද ඇයගේ කටහඬ පුදුම තරමේ සුරතල් බවකින් මිහිරි ස්වරයෙන් යුක්ත වූවාය. ඒ නිසාම ගුවන් විදුලියෙන් ඇසෙන ගීතයක මුල් පද පෙළින් ම ඉන්ද්‍රානිගේ කටහඬ හඳුනා ගැනීමට කාටත් අපහසු නොවිය.

ඉන්ද්‍රානි - සිසිර යුවළගේ ලොකු පුත් සංජය සේනාරත්න ජර්මනියේ පදිංචි අතර ජර්මන් ජාතික අංජලිකා සමඟ විවාහ වී දරුවන් සමඟින් ජීවත්වෙති. බාල පුතු සමීර ගායන ක්ෂේත්‍රයට සම්බන්ධ අතර ඔහුට පියාගේ කටහඬ පිහිටා ඇත. ඔහු යුනිලීවර් සමාගමේ විධායක නිලධාරියෙකි. සුභානි දුවගේ දරුවොත් දැන් ලොකු මහත් වී ඇත. ඉන්ද්‍රානි සේනාරත්නයන් මිත්තනියක ලෙස සැඳෑ සමය ගත කළේ හදපිරි සතුටිනි. කලක් රෝගාතුරව සිට 2015 දී තම ආදරණීය සැමියා සිසිර සේනාරත්න වියෝ වීමෙන් පසු ඉන්ද්‍රානි සිතින් වගේ ම ගතිනුත් රෝගාතුර වූයේ තම ජීවන සහකරුගේ වියෝවින්, ලද කම්පනයෙනි. මෙලොව උපන් අපි කවුරුත් ඒ ඉරණම් ගමන යා යුතුමයි. යුග යුග ගණනාවක් තිස්සේ සුවහසක් සංගීතකාමී හදවත් මියුරු සරින් සැනසූ ඉන්ද්‍රානි සේනාරත්නයන් ද ඒ ඉරණම් ගමන ගියා ය. ඔබ මිය ගියද ඔබේ හඬ කිසිදා මිය නොයනු ඇත.

 

ගයා ගීතයන් ගමේ වෙල් එළියේ

දුව පැන ඇවිදලා සෙල්ලම් කළේ...

ඔහු සමඟින් එදා ඒ ඈ තමා‍‍

අද නැතුවා වගේ ඇය මේ ගමේ...

 

නිශානී හේරත් බන්නැහැක

Comments