ස්වයංක්‍රීය භ්‍රමණ සූර්ය පැනල ව්‍යාපෘතිය වව්නියාවේ | Page 2 | සිළුමිණ

ස්වයංක්‍රීය භ්‍රමණ සූර්ය පැනල ව්‍යාපෘතිය වව්නියාවේ

විදුලිබලය යනු අද ලංකාවේ පමණක් නොව ලෝකයේ ජීවත්වන සියලු පුරවැසියන්ටම සෑම අතින්ම අත්‍යාවශ්‍ය මෙන්ම නැතුවම බැරි දෙයකි.

වරතමාන ලෝකයේ ශක්ති ප්‍රභවයන් අතරින් විදුලිබල ශක්තිය ඉදිරියෙන් සිටියි. මේ වන විට විදුලිබලය නිෂ්පාදනය කිරීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති අතර එය පාරිසරික විනාශයක් බවට ද පත්ව තිබෙන බව නොරහසකි. ගල් අඟුරු, ජලය, ඉන්ධන යන ශක්ති ප්‍රභවයන් ක්‍ෂයවීම ආරම්භවීමත් සමගම සුර්ය බලය සහ සුළං බලය මගින් විදුලිය උත්පාදනයට විද්‍යාඥයන්ගේ අවධානය මේ වන විට යොමුව තිබේ.

ශ්‍රී ලංකාවද කාලයක සිට විදුලි අර්බුදයට මුහුණ දෙමින් පවතින රටක් ලෙස හැදින්විය හැකිය. ජල විදුලි බලාගාර, ගල් අගුරු හා ඉන්ධන බලශක්ති කෙරෙහි පමණක් විශ්වාසය තැබීම නිසා සාමාන්‍ය ජන ජීවිතයට බාධා පමුණුවමින් නිෂ්පාදන ක්‍ෂේත්‍රය අඩාළ කරමින් රටට අවශ්‍ය විදුලිබලය සැපයීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී තිබේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසන්නේ අනාගත බලශක්ති අර්බුදයට විසදුම් ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සූර්යබල විදුලි උත්පාදනය සදහා ආයෝජකයන් දිරිමත් කරමින් සිටින බවයි.

විශේෂයෙන් ශ්‍රී ලංකාව සමකයට ආසන්නව පිහිටි රටක් බැවින් බොහෝ ප්‍රදේශවලට වියළි සූර්ය තාපය උපරිමයෙන් ලැබේ. කර්කටක හා මකර නිවර්තන කලාප අතර සූර්ය කලාපයේ පිහිටි රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැක.

ශ්‍රී ලංකාවේ සෑම වර්ග මීටරයකටම ශක්ති ඒකක 1700 සිට 2000 දක්වා ප්‍රමාණයක් වාර්ෂිකව ලැබෙන බවත් ගණන් බලා ඇත. මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් සූර්යබල ශක්ති නිෂ්පාදන ව්‍යාපෘති සදහා ආයෝජකයන් දිරිගැන්වීමට ආයෝජන මණ්ඩලය කටයුතු කරමින් සිටී.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ව්‍යාපෘතියක් ලෙස මෙගාවොට් 10ක විදුලි බලයක් ජනනය කළ හැකි වයිටෙක් ලංකා පවර් කෝපරේෂන් සමාගම වව්නියාවේ සූර්ය විදුලි බලාගාරයක් ස්ථාපිත කර ඇත.

ඒ සදහා රුපියල් බිලියන 2.3ක ආයෝජනයක් කර තිබේ. අක්කර 54 ක් පුරා සූර්ය පැනල 35721ක් මෙහි ස්ථාපිතය. මෙම පද්ධතිය මගින් දිනකට ඒකක 55000 – 60000 අතර ප්‍රමාණයක් ජනිත කරයි. ඒ අනුව දිනකට රුපියල් ලක්‍ෂ 11ක පමණ ආදායමක් උපයයි. 100%ක් පරසර හිතකාමී ලෙස මෙය හැදින්විය හැකිය.ආරක්‍ෂිත වැටට අවශ්‍ය ලී දඩු දකුණු අප්‍රිකාවෙන් ආනයනය කර තිබේ.

වව්නියාව විදුලි කොට්ඨාශයේ දිවාකාලයේ විදුලි අවශ්‍යතාවයෙන් 1/3ක් සැපිරීමට මෙම ව්‍යාපෘතියට හැකි වී තිබේ. සියලුම සේවකයන් ශ්‍රී ලාංකිකයන් වන අතර ඉන් 95% ක් එම ප්‍රදේශය අවට අය වෙති.

මෙම ව්‍යාපෘතිය පිළිබදව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් වන චම්පිකා මලල්ගොඩ මහත්මිය මෙසේද කීවාය. පරිසර හිතකාමී ආර්ථිකයට සෘජුවම දායක වන ව්‍යාපෘති සදහා අපගේ උපරිම සහයෝගය ලබාදෙනවා.

මෙය නවීනතම තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් පරිසරය හා අවට ගම්වාසීන් හා බද්ධවී සිදුකරන ව්‍යාපෘතියක්. ඒවගේම අගනුවරින් බැහැරව ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය මෙන්ම එම ප්‍රදේශවල රැකියා උත්පාදනයට ද අවස්ථාව ලැබී තිබෙනවා. අනාගත බලශක්ති අවශ්‍යතාව සපුරාගැනීමට මෙවැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභේදයන් අනුගමනය කල යුතුයි.

මෙවැනි ව්‍යාපෘති සදහා ඕනෑම ආයෝජකයෙකුට අවස්ථාව හා මගපෙන්වීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් නිරතුරුව සිදුකරනු ලබනවා. එය ජාතික බලශක්ති අර්බුදයට මහගු පිටුවහලක් බවද ඇය කීවාය.

වයිඩෙක්සා ලංකා සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීයව චලනය වන සූර්ය පැනල සවිකර ඇති ව්‍යාපෘතියයි. මේ හේතුවෙන් සෑම සුර්ය පැනලයක්ම හිරුගේ දිශාවට ස්වයංක්‍රීයව විවෘත වේ.

එය අංශක +50 හා – 50 දක්වා දෙපසට ස්වයංක්‍රීයව භ්‍රමණය වේ. මෙමගින් උපරිම බලශක්තිය ග්‍රහනය කරගත හැකි බව මෙහෙයුම් කළමනාකරු ඉංජිනේරු කනගරත්නම් රාජ් කුමාර් මහතා පවසයි.

මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන අතර මෙය වටා ඉදිකොට ඇති ආරක්‍ෂක වැට සදහා අවශ්‍ය කරන ලී කණු දකුණු අප්‍රිකාවෙන් ආනයනය කර ඇත.

ඒ මත සවිකර ඇති සූර්යකෝෂ පැනල මගින් රාත්‍රියේදි අවශ්‍ය ආලෝකය ලබා දේ. සියලු විදුලි රැහැන් භූගත කර ආරක්‍ෂිතව ජාලගත කර ඇති බව ව්‍යාපෘතියේ මෙහෙයුම් හා සංවර්ධන කළමණාකරු ඉංජිනේරු සංජීව ධර්මප්‍රිය මහතා පවසයි.

ව්‍යාපෘතියේ සියලු කාර්ය මණ්ඩලය දේශීය ශ්‍රමිකයන් වන අතර ඉන් 95% ක්ම එම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මෙම ව්‍යාපෘතිය මඟින් වව්නියාව විදුලිබල කොට්ඨාශයේ දිවාකාලයේ විදුලිබල අවශ්‍යතාවයෙන් 1/3 ක් පමණ සපුරාලිය හැකි බව සංජීව මහතා සඳහන් කළේය.

වයිටෙක් සමාගම තම ආදායමෙන් කොටසක් ප්‍රදේශයේ සමාජ සුභ සාධන ව්‍යාපෘති සදහා යොදවනු ලැබේ. වව්නියාව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ බෝධිසීමා පවුර හා චෛත්‍ය ආරක්‍ෂිත වැට ද ඉදිකර විහාරස්ථානයේ දියුණුව සදහා විශාල දායකත්වයක් ලබාදේ.

තවද සූර්යතාප පැනලයක් මෙම විහාරස්ථානයේ සවිකිරීමටද සැලසුම්කර ඇත. කනර්සින්නකුලම් ළදරු පාසල සහ නව ගොඩනැගිල්ලක් ඉදිකොට දී ඇත. මීට අමතරව ප්‍රදේශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම සදහා වාර්ෂිකව පාසැල් නිල ඇදුම්, සපත්තු සහ පාසැල් පොත් පත් ලබා දීමට කටයුතු කරයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ මෙවැනි ව්‍යාපෘති කිහිපයක්ම පවතී. එම ව්‍යාපෘතීන්ද සාර්ථක ව්‍යාපෘතීන් වේ. මීට අමතරව සුළං බල විදුලි නිෂ්පාදන ව්‍යාපෘතින් කිහිපයක් ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මකය.

Comments