‘ගොඩ යන්න එක් වන්න’වෘත්තීය පුහුණු අධිකාරියෙන් තරුණ-තරුණියන්ට ආරාධනා | Page 2 | සිළුමිණ

‘ගොඩ යන්න එක් වන්න’වෘත්තීය පුහුණු අධිකාරියෙන් තරුණ-තරුණියන්ට ආරාධනා

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය 1995 ආරම්භ කරන ලද මෙරට තරුණ තරුණියන්ට මහඟු සේවාවක් ලබා දෙන ආයතනයකි. මෙම ආයතනය ඉකුත් සතියේ සිට නව මුහුණුවරක් ගත් අතර ඒ සම්බන්ධ එම අධිකාරියේ වර්තමාන සභාපති රවි ජයවර්ධන මහතා අදහස් දැක්වීය.

• වෘත්තීය පුහුණු අධිකාරිය අලුත් වූයේ කොහොමද?

ඇත්තටම අපි නව ලෝකයට ගැළපෙන විදියට ආයතන ව්‍යහුය වෙනස් කළා. විශේෂයෙන්ම නව තාක්ෂණයට ගැළපෙන ආකාරයට පුහුණු වෙන්නන් පෙළ ගැස්සුවා.

ඒ කියන්නේ පැරැණි ක්‍රම අයින් කළා කියන එක නෙමෙයි. වෘත්තීය පුහුණුව ලබා දෙන පාඨමාලා නවීකරණය කළා. තරුණ තරුණියන් නව ලෝකයට ගැළපෙන ආකාරයට මේවා පෙළ ගස්වලා තිබෙනවා.

“ගොඩ යන්න එක් වන්න” කියන තේමාව සමඟ අප අලුත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. මේ වන විට මෙම තේමාව ඇතුළත් කර ශ්‍රී ලංකාව පුරාම නාම පුවරු ඉදිකරගෙන යනවා. ඊට අමතරව පෝස්ටර්ස්, පුවත්පත් දැන්වීම් සහ රූපවාහිනි දැන්වීම්වලින්ද තරුණ තරුණියන් දැනුවත් කිරීමක් සිදු කරනවා.

අපගේ සමහර පාඨමාලාවන් උපාධිය දක්වා උසස් කිරීමට අප පියවර ගෙන තිබෙනවා. උසස් පෙළ සමත්ව අප සමඟ සම්න්ධ වන තරුණ තරුණියන්ට තාක්ෂණ විෂයන් හරහා මේ උපාධිය ලබා ගත හැකියි.

• ඔබ ආයතනයට වසරකට තරුණ තරුණියන් කොතරම් පිරිසක් සම්බන්ධ වෙනවාද?

අප ආයතනයෙන් පුහුණුව ලැබූ 35,000කට ආසන්න පිරිසක් වාර්ෂිකව පුහුණුව ලබා රැකියා වෙළෙඳපොළට පිවිසෙනවා. ඊට සමාන පිරිසක් පාඨමාලාව සඳහා වාර්ෂිකව ඇතුළත් වෙනවා.

පෙදරේරු, මෝටර් රථ අලුත්වැඩියාව, විද්‍යුත් සහ විදුලි ස‍ංදේශ, තොරතුරු සන්නිවේදන තාක්ෂණය, හෝටල් හා සංචාරක. මැණික් සහ ස්වර්ණාභරණ, පුද්ගල හා සමාජ, ආහාර හා තාක්ෂණ, දැව ආශ්‍රිත රෙදිපිළි හා ඇඟලුම්, ශීතකරණ හා වායුසමීකරණ ශිල්පි, කාර්යාල කළමනාකරණය, ධීවර හා මත්ස්‍ය වගාව, ලෝහ හා ඉං‍ජිනේරු, ගොඩනැඟිලි සහ ඉදිකිරීම්, මුද්‍රණ සහ ඇසුරුම්, කෘෂිකර්ම වැවිලි සහ පශු සම්පත්, සම් ආශ්‍රිත නිෂ්පාදන, ඇතුළු තවත් අංශ ගණනාවක් යටතේ අප ආයතනයේ පුහුණුව ලැබීමට තරුණ තරුණියන්ට හැකියාව තිබෙනවා.

අප ආයතනය මඟින් පුහුණුව ලැබූ තරුණ තරුණියන්ට විදේශ රටවලද රැකියාවලට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. මෙන්ම ඔවුන්ට හොඳ ඉල්ලුමක් තිබෙනවා.

• මේ සඳහා තරුණ තරුණියන් සම්බන්ධ වන්නේ කොහොමද?

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් ආවරණය වන පරිදි ජාතික වෘත්තීය පුහුණු ආයතන පිහිටුවා තිබෙනවා. ඕනෑම තරුණයෙකුට තරුණියකට එම ස්ථානවලට ගොස් සෘජුව සම්බන්ධ විය හැකියි. ඊට අමතරව (WWW. Vtasl.gov.lk), ([email protected]) යන විද්‍යුත් තැපෑල ඔස්සේ මෙන්ම මුහුණු පොතේ vta mediaunit හරහාද සම්බන්ධ විය හැකියි. දුරකතන අංක 0112352185, 0112352160 හෝ ෆැක්ස් අංක 0112502342 ට තොරතුරු ලබා දීමෙන්ද සම්බන්ධ විය හැකියි.

• ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ආයතනය පිළිබඳව හැඳින්වීමක් කළහොත්?

“ජීවිතයට හැකියාවක් හැකියාවට රැකියාවක්”

යන සමාරම්භක තේමාව යටතේ 1995 අගෝස්තු මස 16 වැනි දින අංක 12 දරන පාර්ලිමේන්තු පනත යටතේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ස්ථාපිත කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබා දෙමින් නූතන ලෝකයේ රැකියා අවස්ථා සඳහා පුහුණු කිරීම දැනට වසර 24ක සිට සිදු කෙරෙනවා.

ගෝලීය ආර්ථිකය තුළ ශීඝ්‍රයෙන් වෙනස්වන රැකියා ලෝකයේ විවිධ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි නිපුණතාවයෙන් පිරිපුන් ශීල්පීන් බිහිකිරීම අප ආයතනයේ අරමුණ හා වගකීම වෙනවා.

ජාතික වෘත්තීය පුහුණු ආයතන 8ක් දිස්ත්‍රික්ක වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 22ක් සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 187 ක් ඇතුළත්ව සමස්ත මධ්‍යස්ථාන 216කින් අප ආයතනය සමන්විත වෙනවා.

වර්තමානයේ ඉදිකිරීම්, සංචාරක සහ ඇඟලුම් ක්ෂේත්‍රයන්හි නිපුණ ශිල්පීන්ට දැඩි ඉල්ලුමක් පවතිනවා.

රාජ්‍ය පුද්ගලික සහයෝගිතා (public – private partnership) රාමුව තුළ අප විසින් පුද්ගලික අංශය සතු නවීන තාක්ෂණය දැනුම කළමනාකරණ උපායමාර්ගයන් හුවමාරු කර ගනිමින් පුහුණු ලාභීන්ගේ හා පුහුණුකරුවන්ගේ දැනුම කුසලතා සහ ආකල්ප යාවත්කාලීන කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් මේ වන විට ස්ථාපනය කර ක්‍රියාත්මක කරනු ලබයි. තාක්ෂණික විෂයධාරාවට සමගාමීව ඉංග්‍රිසි භාෂාවද වෘත්තීය අධ්‍යාපනයට අනිවාර්ය කර තිබේ.

ගුණාත්මක පුහුණුවක් තුළින් අප ආයතනයේ පුහුණුව ලබන තරුණ තරුණියන් හට දේශීය හා ‍විදේශීය රැකියා අවස්ථා දොරටු විවර කර ස්වයං රැකියා බිහිවීම මඟින් අප රටට ව්‍යවසායකයන් දායද කිරීම අරමුණු කර ගෙන තිබේ.

Comments