අලුතින් බිහිවන තරු තමන්ගේ තැන තියාගන්නවනම් ‍හොඳයි | Page 2 | සිළුමිණ

අලුතින් බිහිවන තරු තමන්ගේ තැන තියාගන්නවනම් ‍හොඳයි

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොළ

වෙන අයට වගේ දරු මුනුපුරන්ගෙ ප්‍රශ්න මට නෑ

මම ශාස්ත්‍රීය සංගීතය ඉගෙනගත් කෙනෙක් නොවෙයි

නවකයන් අප දෙන ආදර්ශ පිළිපදින්නෙ නෑ

ඇය දැන් ජීවිතයේ සැඳෑ සමය ගෙවන්නීය. කලක් ඇගේ සුමියුරු හඬ මෙරට සිනමාව ආක්‍රමණය කළායැයි කීවොත්

මා නිවැරදිය. ඒ එදත් අදත් ශ්‍රී ලාංකේය ගී අඹරේ සදාතනික ගීත කෝකිලාවිය වන්නේ ඇයම නිසාය. ඇය අප කවුරුත් දන්නා හඳුනන. තම හඬින් අප වසඟයට පත්කළ සම්මානනීය ගායිකා ලතා වල්පොළය. ඇගේ මියුරු හඬ සසරේ

පතාගෙන ආ උරුමයක්දැයි මට සිතේ. ඇය දැන් මිත්තණ­ියක වුවද ඇගේ හඬ තවමත් තාරුණ්‍යයෙන් අනූනය.

වියපත් නොවූ ඒ ළබැඳි රාවය අප අමන්දානන්දයට පත් කරයි. සිය ජීවිතයේ සැඳැ සමය සැනහිල්ලේ ගතකරන

 

ගීත කෝකිලාවිය බැහැ දකින්නට අප ගියේ කලා දිවියේ අත්දැකීම් හා නවතම තොරතුරු දැනගැනීමටය.

මොනවද මේ දිනවල ඔබේ අලුත්ම තොරතුරු?

තීක්ෂණ සහ ග්‍රේෂන්ගේ පුතා මාරියෝ එක්ක ගීත දෙකක් කළා. ඒ වගේම ඔක්තෝබර් ඕස්ට්‍රේලියාවේ යන්නට අපේක්ෂාවෙන් ඉන්නවා. මේ දවස්වල මගේ බාල මුනුපුරාගේ විවාහ උත්සවයට සුදානම් වෙනවා. ඔක්තෝබර් තිස්වැනිදා තමයි එය තියෙන්නේ.

ගායන ක්ෂේත්‍රය තුළ දශක ගණනාවක් වනතුරුත් ඔබ ඔබේ හඬින් තවමත් අප පිනවනවා. මේ ගෙවන ජීවිතය ගැන දැනෙන හැඟිම කොයි වගේද?

මේ ගෙවෙන්නේ මගේ ජීවිතයේ හොඳම කාලය කියලයි මට හිතෙන්නේ. වෙන අයට වගේ දරු මුනුපුරන්ගෙ ප්‍රශ්න මට නෑ. බොහොම සතුටින් තමයි මගේ කාලය ගෙවෙන්නේ.

මේවන විට කොපමණ ගීත ප්‍රමාණයක් ගායනා

කර තියෙනවද?

උත්තර දිය නොහැකි ප්‍රශ්නයක් තමයි ඔබ ඇහුවේ (සිනාසෙමින්), මොකද හරියටම සංඛ්‍යාත්මකව කොපමණදැයි කීමට නොහැකි තරම්. චිත්‍රපට ගීත පන්සීයකට අධික ප්‍රමාණයක් ගායනා කරලා තියෙනවා.

ජීවිතයේ ආපස්සට හැරිලා බලද්දී මෙතෙක් පැමිණි ගමන් මඟ පිළිබඳ ඔබට දැනෙන හැඟීම කොයිවගේද?

මමත් හිතුවේ නෑ මේතරම් දුර එන්න ලැබෙයි කියලා. අද වනවිට මම නොසිතූ ගමනක් ඇවිත් ති‍‍ෙයනවා. ඒ නිසා මගේ ජීවිතයේ අ‍ාපස්සට හැරිලා බලද්දි මට සතුටු වෙන්නට පුළුවන්.

ජීවිතේ අමතක නොවන තැන් ගැන

කතා කළොත්?

එහෙම සිදුවීම් නම් ඕනෑතරම්. මම සින්දු කියන්න ගත් මුල්ම කාලේ විදෙස් ප්‍රසංගයකට ආරාධනාවක් ලැබුණා. මොන රටේද කියලා මට මතකනෑ. ඒ ප්‍රසංගයට යන්න ෆ්ලයිට් එකට නැගලා අහස උඩට නගිනවත් එක්කම කඩන් වැටෙන්න වගේ අපිට දැනුණා. එදා මට මතකයි මගේ ලොකු පුතත් මාත් එක්ක හිටියා. ඒ සිදුවීම නම් මට අමතක වෙන්නේ නෑ.

පරිණත ගායන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයේ

නවකයින්ට දෙන අවවාද මොනවාද?

නවකයින්ට අද කිසිම අවවාදයක් දෙන්නට විදිහක් නැහැ. අපි දෙන ආදර්ශ ඔවුන් පිළිගන්නේ නැති තත්ත්වයට පත්වෙලා. ඔවුන‍්දෙන අවවාද අද අපිට පිළිගන්නට වෙලා තියෙන්නේ. ඕකයි නවකයින්ගේ තත්ත්වය.

ගායන හැකියාව කියන්නේ ඇත්තටම සංසාරගත

පුරුද්දක්ද?

සැබවින්ම මම ඒ දෙයට එකඟ වෙනවා. මම ‍වගේ කෙනකුට ඒක හරියටම හරි කියන්නට පුළුවන්. මොකද මම ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගත් කෙනෙක් නෙමෙයි. ඒත් ඕනෑම සංගීත අධ්‍යක්ෂවරයෙක් යටතේ ගීත ගායනා කිරීමේ හැකියාව මට ලැබුණේ ඇත්තටම සංසාරගත පුරුද්දක් නිසා කියලා මම විශ්වාස කරනවා.

මගේ ගායන වරම මට දෙවියන්ගෙන් ලැබුණු වරමක්.

එදා සහ අද ගායන ක්ෂේත්‍රයේ ඔබ දකින වෙනස්කම්

මොනවාද?

එදා ගායන ශිල්පීන් ශිල්පිනියන් හිටියේ ඇඟිලිවලින් ගණන් කළහැකි සීමිත පිරිසක් පමණයි. ඒත් එද‍ාට වඩා අද හාත්පසින්ම වෙනස්. දවසින් දවස ක්ෂේත්‍රයට නවකයින් බිහිවෙනවා. වසරකට දහස් ගණනින් ගායක ගායිකාවන් බිහිවෙනවා. ඒත් ඒ අයගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් එදා බිහිවූ ගායන ශිල්පීන් අදටත් ජීවමානයි.

අද ඉන්නේ එක් රැයකින් ජනප්‍රිය වන ගී තරුද?

එහෙම අය නම් ඕනෑ තරම් ඉන්නවා. ඒත් ඒ බිහිවන තරු තමන්ගේ තැන තියාගන්නට දන්නේ නෑ. තරගකාරීත්වය වැඩි නිසා ඒ හැම කෙනෙක්ම ‍හොඳ පදනමක් තියාගෙන එන්න ඔනෑ කියලයි මගේ අදහස.

ඒ කියන්නේ ක්ෂේත්‍රය තුළ නමක් තියාගන්න නම්

තමාටම කියලා අන්‍යතාවයක් තිබිය යුතුද? ඒ ප්‍රවීණතාව

යමෙකු ඉදිරියට හදාගන්නේ කොහොමද?

දැන්නම් මුදල් නැතිව කිසිවක් කරන්න බෑ. යමෙකු ගීත ගායනයට කොතරම් දක්ෂ වුවත් මුදල් නොමැතිනම් ඔහුට හෝ ඇයට අද ඉදිරියට යන්නට බෑ. බලන්න දැන් තමන්ගේම කියලා ගීතයක් කළොත් එය වීඩියෝ කරන්නට, තැටිගත කරන්නට මුදල් තිබිය යුතුයයි. නමුත් එදා එහෙම ගැටලුවක් තිබුණේ නෑ.

දැන් එදා වගේ නෙමෙයි ලොකු තරගයක් තියෙනවා. ඒ නිසා එය එතරම් ලෙහෙසි පහසු නෑ. තමන්ගේ අන්‍යතාවය රැකගැනීමටත්, එය ඉදිරියට රැගෙන යාමත් එනිසා අමාරුයි. සියලු දෙනාම යන්නේ මුදල් පසුපස‍යි.

ඔබ වඩාත් කැමති ගායක ගායිකාවන් කවුද?

චිත්‍රාල් සෝමපාල‍යන්ගේ මව මා ගොඩක් ආදරය කරපු කෙනෙක්. මොකද මා ගීත කියන්නට පුළුවන් ක්‍රමවේදය කිවේ එතුමියයි. එතුමියගෙ ගීත කියලා තමයි මම ගීත කියන්නට පුරුදු වුණේ. ඉන් පසුව මම වැඩිපුරම ඇලුම් කළේ රුක්මණී දේවිටයි.

ඔ‍බ දැන් මිත්තණියක්?

ඇත්තටම එය මගේ වාසනාව. මොකද මගේ මුනුපුරාට දැන් තුන්වැනි දරුවත් ලැබිලා තියෙනවා. මගේ දරුවන්ට වඩා මගේ මුනුපුරන් මිණිබිරියන් මට ආදරෙයි.

ඔවුන් කලාවට ඇලුම් කරනවා ඇති?

කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ මගේ දරු මුනුපුරන් වගේම පවුලට සම්බන්ධ වන අයත් ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමට උනන්දුවක් නෑ.

මගේ දුව ධම්මිත් කලාව ගැන එතරම් පැහැදීමක් නෑ. අපි කියලා කියලා තමයි කුමක් හෝ දෙයකට යවන්නේ.

පවුලේ විස්තර ගැන කතා කළොත්?

මගේ ලොකු පුතා සුනෙත් වල්පොළ. ඔහුට එක් පුතෙක් ඉන්නවා. දෙවැන්නා අමිත් වල්පොළ, ඔහුට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දුව නීතීඥවරියක්, පුතා අබුඩාබිවල සංගීතය හදාරනවා. දුව ධම්මි, ඇය විවාහවෙලා ඉන්නේ මහින්ද බණ්ඩාර සමඟ. ධම්මිට පුතාලාම තුන්දෙනෙක්. දෙන්නෙක් ඕස‍්ට්‍රෙලියාවේ. දුවගේ දෙවැන්නා තිසර බණ්ඩාර, ජනප්‍රිය සංගිත අධ්‍යක්ෂවරයෙක්, වයලීන් වාදකයෙක් වශයෙන් කටයුතු කරනවා.

මොනවද ඔ‍බේ ඉදිරි බලාපොරොත්තු?

ජීවිතය ගැන එතරම් ලොකු බලාපොරොත්තු නැහැ. හැබැයි මගේ එක් ආශාවක් තියෙනවා මගේ දරුවොයි, මුනුපුරොයි, කලාලොවේ හිතවතුන් ඇතුළු මේ සියලු දෙනාම සහභාගී කරගෙන ගීත ප්‍රසංගයක් කරන්නට. ඒකට අවස්ථාවක් ලැබෙයිද කියලා මා දන්නේ නෑ.

 

 

Comments