ප්‍රසංග වේදිකාවේ අලුත්ම වින්දනය | සිළුමිණ

ප්‍රසංග වේදිකාවේ අලුත්ම වින්දනය

 මීගමුවේ

මෙරට සංගීත කණ්ඩායම් රටට හඳුන්වා දෙන BAND OF THE WEEK සමඟ මෙවර කතා බහට එක් වුයේ මීගමුවේ චිලී පේස්ට් සංගීත කණ්ඩායමයි. එම සංගීත කණ්ඩායමේ ආරම්භය සහ ඉදිරි ගමන් මග පිළිබඳ එහි නායක චතූ පතිරණ මෙලෙස කතාබහට එක්විණි.

ඔබ කවුරුද?

චතූ පතිරණ

ගම් පළාත?

මගේ ගම සීදූව. එහෙත් සංගීත කණ්ඩායම නියෝජනය කරන්නේ මීගමුව

පාසල් ගියේ?

කිඹුලපිටිය මහා විද්‍යාලයට

සංගීතයට යොමු වෙන්නේ?

පාසල් යන කාලයේ ඉදලා සංගීතයට යොමු වුණා. ගායන අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ පවා හිමිකරගෙන තිබෙනවා. හැබැයි මම හිතන්නේ මෙය මට සහජයෙන් ලැබුණු දෙයක් කියලා.

එතකොට චිලී පේස්ට් සංගීත කණ්ඩායම ආරම්භ වෙන්නේ කොහොමද?

මම පාසලෙන් ඉවත් වු දිනයේ සිට විවිධ සංගීත කණ්ඩායම්වල ගායන ශිල්පියෙක් විදියට කටයුතු කළා. එහෙම වැඩ කරද්දි මගේ ම කියලා සංගීත කණ්ඩායමක් පටන් ගන්න ඕන කියන සිතුවිල්ල සිතට ආවා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි චිලී පේස්ට් සංගීත කණ්ඩායම ආරම්භ කළේ.

ඇයි චිලී පේස්ට් කියන නම යොදන්න හිතුවේ?

මම බෞද්ධයෙක්. ඒ නිසා සංගීත කණ්ඩායමට නමක් දාන්න මගේ කේන්දර පවා බැලුවා. එහිදි ලැබුණු අකුරු අනුව සුරේෂ් අමරසිංහ කියන නිවේදක මහත්මය තමයි මේ නම ලබා දුන්නේ.

අපේ රටේ තිබෙන සංගීත කණ්ඩායම්වල නම් එක්ක බලද්දි මේ නම නුහුරුයි නේද?

චිලී පේස්ට් කිව්වම කවුරුත් දන්නේ ආහාරයට ගන්න කෑමක් ගැන. අපිට මෙවැනි නම් නුහුරු වුණාට විදෙස් රටවලට මේ වගේ නම් නුහුරු නැහැ. අනික මේ වගේ නමක් ඕනෑම කෙනෙකුට මතකයේ තිබෙනවා. ඒ නිසයි මේ නම යොදා ගත්තේ.

ඔබේ සංගීත කණ්ඩායම හැඩ කරන සමාජිකයන් ගැන කිව්වොත්?

ඩ්‍රම්ස්- චමිඳු කවිෂ්ක, ඔක්ට පෑඩ්- නිවෝද් සඳරුවන්, රිදම් ගිටාර්- සජීව් නිම්රා, කී බෝඩ්- මංජු දේවින්ද, ලීඩ් ගිටාර්-තිළිණ මධුෂාන්, බේස් ගිටාර්- චන්දන සඳරුවන්, ගායන ශිල්පීන් ලෙස රාජ් ජයසිංහ, සුජීව අක්මීමන, ප්‍රදීප් කටයුතු කරනවා.

මෙහිදි ඔබේ කණ්ඩායමට ම ආවේණික ක්‍රමවේද අනුගමනය කරනව නේද?

අපි සංගීත රටාවන් වගේම අපේ ඇඳුම පැළඳුම පවා අනෙක් කණ්ඩායම්වලට වඩා වෙනස් අයුරින් තමයි භාවිතා කරන්නේ. ඒ මඟින් අපි උත්සහ කරන්නේ රසිකයන් අපි සමඟ දිගින් දිගටම රඳවා ගැනීමයි.

අපේ ශිල්පීන්ට වැඩි කාලයක් එකම කණ්ඩායමේ රැඳෙන්න බැරි ඇයි?

ඊට ශිල්පීන් වගේම කණ්ඩායම්

මෙහෙය වන අයත් යම් තරමකින් වගකිව යුතුයි. මමත් සංගීත කණ්ඩායම් කිහිපයක වැඩ කර තිබෙන නිසා ඒ පිළිබඳ මටත් අද්දැකීම් ගොඩක් තිබෙනවා. ඒ නිසයි කිව්වේ මේ දෙපිරිසම ඊට වග කියන්න ඕනේ කියලා.

ඔබ වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. කොහොමද සංගීතය හා ව්‍යාපාර සමබරව කරගෙන යන්නේ?

මම කිසිම වේලාවක ව්‍යාපාර සහ සංගීතය කියන දේ පටලවාගෙන නැහැ. සංගීතයට දැඩි ආශාවක් දක්වන්නේ. ඒ නිසා මේ අංශ දෙකම සමබරව ගෙනයෑමේ හැකියාව තිබෙනවා.

සංගීතය අත්හරින්න හිතිලා නැද්ද?

ඇත්තටම ඇතැම් අවස්ථාවල එහෙම හිතිලා තිබෙනවා. එහෙත් ඒ දේ ඒ තත්ත්පරෙන් නැති වෙලා යනවා. ඒ මම සංගීතයට ආදරේ නිසා.

මේ දුර එන්න කවුරුද අතහිත දුන්නේ?

මගේ බිරිය, දරුවන්, පවුලේ අනෙක් සමාජිකයන්. සුරේෂ් අමරසිංහ, චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි මහත්වරු වගේම නම් ගම් නොකියපු බොහෝ පිරිසක් ඉන්නවා. ඒ හැමෝම මේ මොහොතේ මතක් කර සිටිනවා.

සංගීත කණ්ඩායමේ අනාගත බලාපොරොත්තු මොනවද?

කාගෙත් කතාබහට ලක් වුණ ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායම බවට පත්වීමයි.

Comments