ලොව තිබෙන වියළිම හා පහත්ම භූමිය ඩැනකිල් | Page 2 | සිළුමිණ

ලොව තිබෙන වියළිම හා පහත්ම භූමිය ඩැනකිල්

මුහුදු මට්ටමේ සිට මීටර් 130ක් පමණ පහළින් පිහිටි වසරකටම මිලිමීටර් 100-200ක වර්ෂාපතනයක් සහිත වියළි ඩැනකිල් පහත් භූමිය (Danakil Depression) ලොව තිබෙන වියළිම හා පහත්ම ස්ථාන අතරින් එකක් වන අතර මීට අමතරව මෙම ස්ථානය ලොව වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය වැඩිම මිනිසුන් ජීවත්වන වන ස්ථානය ලෙසින් හඳුන්වනු ලබයි. වාර්ෂික සාමාන්‍යය උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ක් පමණක් වූවත් බොහෝ දිනවල මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 පවා ඉක්මවන්නේ වාසය කිරීමට අපහසු භූමියක් බවට මෙය පත් කරමිනි. උතුරු ඉතියෝපියාවේ පිහිටා තිබෙන මෙම පහත් භූමි ප්‍රදේශය භූ තැටි තුනක් හා සම්බන්ධ සුවිශේෂී භූ පිහිටීමක් වන අතර රතු මුහුදෙහි දක්ෂිණ සීමාවද මේ අසළ පිහිටා තිබෙන්නේ මේ සියල්ලම එක්වී පිටසක්වළ ග්‍රහලොවක වැනි පිහිටීමක් ප්‍රදර්ශනය කරමිනි.

ගිනිකඳු, භූගත ලාවා මාර්ග, උණුදිය උල්පත් වැනි දෑ හා ලවණ නිධි මෙම ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන්ම දකින්නට ලැබෙන අතර සමහර ස්ථානවල මීටර තුනක පමණ ඝනකමකින් යුතු ලුණු තට්ටුවක් කිලෝමීටර් පහක් පමණ දුරට පැතිරී තිබේ. මීට අමතරව ගිනිකඳු සංකීර්ණ නිසා සෑදුණ සල්ෆර්, පොස්පරස් හා යකඩ ලවණ කඳු මෙම ප්‍රදේශයට එක් කරනු ලබන්නේ ඉතාම සුවිශේෂී වූ සුන්දරත්වයකි. Dallol යනු ලෝක යුද සමයේ මෙහි පොස්පරස් වැනි ලවණ කැණීම් සඳහා පැමිණ තිබූ ඇමෙරිකානුවන් හා යුරෝපීයයන් පදිංචි වී සිටි කුඩා නගරයක් වන අතර වර්තමානයේ එය භූත නගරයක් ලෙසින් හඳුන්වනු ලබන්නේ එය අතහැර දැමූ ගරාවැටුණු නගරයක් නිසයි. නමුත් මෙම ප්‍රදේශයේ මේ වනවිට අෆාර් මිනිසුන් විසින් ලුණු කැණීම්වල නිරතවෙමින් ජීවත් වී සිටියි. අෆාර් මිනිසුන් යනු අප්‍රිකානු ස්වදේශික ගෝත්‍රයක් වන අතර ඔවුන් ඉතියෝපියාව, එරිත්‍රියාව, ජිබුටි හා සෝමාලියාව පුරා පැතිර සිටියි. අහිකුණ්ඨක ජීවිතයකට සමාන ජීවිතයක් මෙම ප්‍රදේශයේ වෙසෙන අෆාර් ජනයා ගත කරන අතර ඔවුන් මෙහි තිබෙන ලුණු කඩා ඒවා ඔටුවන් පිටෙහි අසල තිබෙන නගරයක් වෙත ගෙන ගොස් විකුනා ජීවත් වෙයි.

ලුණු රත්‍රන් වලට වඩා මොවුනට වටින අතර කාෂ්ටක දරුණු කාලගුණයට ඔවුන් පරිණාමය වී තිබෙන්නේ ජලය ස්වල්පයක් ලබා ගනිමින් හරිහමන් ආහාරයක් නොමැතිව දින ගනන් සිටීමට හැකි ලෙසයි. ලුණු පටවාගත් ඔටුවන් එක පෙළට දුම්රියක් මෙන් දක්කාගෙන දින කිහිපයක් මෙම තෙරක් නොපෙනෙන ලවණ කතරෙහි ගමන් කරන්නේ බොහෝවිට වතුර බෝතලයක් හා පාන් රාත්තලක් පමණක් ළඟ තබාගනිමිනි. අෆාර් යන්නෙහි අර්ථය ඔවුන්ගේ භාෂාවට අනුව දුහුවිලි නැහැවුනු යන්න වන අතර එය ඔවුන්ගේ භාහිර පෙනුමට සාධාරණයක් ඉටු කරයි. මෙම පහත් බිමෙහි භූ තැටි සෑම වසරකටම සෙන්ටිමීටර 1කට ආසන්න ප්‍රමාණයකින් එකිනෙකින් ඈතට ගමන් කරන්නේ තවත් වසර මිලියන ගණනකින් මෙම ප්‍රදේශය වෙන්වී රතු මුහුදේ ජලය මෙම ප්‍රදේශයට පැමිණ අලුත් මුහුදක් සාදා මෙම සුවිශේෂී ස්ථානය සදහටම ජලයෙන් වසා දැමීමටයි.

 

Comments