
ප්‍රවීණ රංගධර
ඩග්ලස් රණසිංහයන්ගෙන් ආධුනිකයන්ට උපදෙසක්
සම්ප්‍රදාය වෙනස් කිරීම රැඩිකල් නොවෙයි
මගේ පුතා නළුවෙක් වුණත් කමක් නෑ හැබැයි උගත් වෙන්න ඕනෑ
කුමාරිගෙ කිරි කෝපි එකට යාළුවොත් කැමැතියි
ඉන්දියන් නාට්‍යවලට ඇබ්බැහි වෙන්න එපා. ඒවායේ තියෙන්නේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය සහ පලිගැනීම. එනිසා හොඳ නරක තෝරා බේරාගෙන කලාත්මක දේ රසවිඳින්න.
කලාලොවේ සොඳුරු කැදැල්ලක වතගොත සොයා යන ගමනේදි අපි මෙවර නැවතුණේ බොහොම නිහඬ, එහෙත් ගාම්භීර වු පුංචි කැදැල්ලක.
ඒ තමයි කවුරුත් ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පී ඩග්ලස් රණසිංහ, කුමාරි රණසිංහ ආදර කැදැල්ල. දශක පහකට වැඩි කාලයක සිට සිංහල සිනමාව, ටෙලි නාට්‍ය , වේදිකාව යන කලා මාධ්‍යයන් තුනම එක ලෙස ජයගත් කලාකරුවකු ලෙස ඩග්ලස් හැඳින්විය හැකියි. මේ නිහතමානී කලාකරුවාගේ පිටකෝට්ටේ පිහිටි සුන්දර කැදැල්ලේ ගතකළ සොඳුරු කතාබහයි; මේ.
මේ දවස්වල මොකද කරන්නේ? සංවාදය අරඹන්නට පෙරම ප්‍රවීණ කලාකරු ඩග්ලස් රණසිංහයන්ට පැනයකි. ඔහු වෙනදා දකින ළෙංගතුකමෙන් මුව සරසාගෙන අසුනකට බර දී පිළිතුරු බඳින්නට සැරසෙයි. මේ දිනවල විකාශයවන ‘සංගීතේ‘, ‘තෝඩු‘ ටෙලි නාට්‍ය දෙකේ රංගනයෙන් දායක වෙනවා. ‘මනුසත්තු‘ ටෙලිනාට්‍ය තවම විකාශය වූයේ නැහැ. එය ළඟදීම විකාශයවෙයි. ‘රජදහන‘, ‘සිනෙමා‘,‘ විසංගමනය‘, චිත්‍රපට එන්න තියෙනවා. ඕව තමයි මේ දවස්වල කෙරෙන කලාකටයුතු. දැන් මම කලාවට ඇවිත් අඩසියවසක් ගතවුණා. මේ තාක් චිත්‍රපට, සහ ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට දායක වී තිබෙනවා‘
ඔහු සුසුමක් පිටකරයි.. කලාවෙන් කොතරම් ප්‍රවීණ වුවත් මනුෂ්‍යත්වය අතින් කොතරම් නිහතමානීද..?
‘ගොඩක් අය අහනවා මම මෙතෙක්කල් රඟපෑ චරිත අතුරෙන් කැමැත්තෙන් රඟ පෑ චරිත මොනවද කියලා. මට ඉතින් කියන්න තියෙන්නෙ මම රඟ පෑ හැම චරිතයක්ම බොහොම කැමැත්තෙන් රඟපෑ චරිත කියලා. ඒ අතරින් ‘රෝමියෝ ජුලියට්‘ සහ ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ ‘අක්කර පහ‘ චිත්‍රපටයේ කළ රංගනයට තමයි වඩාත් කැමැති‘
ඔහු වැනි ප්‍රවීණ රංගන ශිල්පියකු සමග කලාව ගැන කතාකරනවිට රංගන පාසලකට ගියාක් මෙන් යැයි සිතෙයි. ඒ තරමටම ඔහු කලාව පිළිබඳව බොහෝ දේ ඇසූ පිරූය. ‘ ඉස්සර වගේම තවමත් මට නිර්මාණ ලැබෙන නිසා ගෙදර ඉන්න ලැබෙන්නේ කලාතුරකින් දවසක තමයි. එහෙම ඉන්න දවසටත් ඉතින් පුතාගේ වැඩ . එයාව පංති ගෙනියනවා. ගේනවා. පුතා උසස් පෙළ හදාරනවා ගණිත අංශයෙන්‘
පියා පුතු ගැන පවසද්දී ඔහුගේ දෑසෙහි බලාපොරොත්තු ගොන්නකි. දරුවන්ට යහපත් අනාගතයක් පැතීම ඕනෑම මවුපියකුගේ ප්‍රාර්ථනාව නොවේද.? අපේ කතාබහ අතරට පැමිණි ශ්‍රිබෝධී ඉන්ද්‍රඛීල රණසිංහ පුතු පියා අසලට පැමිණ පුටුවකට බරදෙයි. ‘ මම තමයි පුතාට නම දැම්මේ. ඒක හරි ලස්සන කතාවක්. අපි බැඳපු අලුත මාස දෙකකට වරක් ශ්‍රි මහා බෝධියට හෝ මහනුවර දළඳා මාළිගාවට යනවා වන්දනා කරන්න. වරක් ශ්‍රි මහා බෝධියට ගිය විට කපු මහත්තයෙක්. මොණර පිලක් තියාගෙන ඉපදෙන්න ඉන්න දරුවා ගැනයි වෙන මොනව ගැනද භාර වෙන්න ආවෙ කියලා ඇහුවා. මම ඉතින් අනිත් කාරණය නිවෙසේ වැඩ අවසන් කරන්න යැයි කී විටම ඔහු යාතිකාව කළා. අපි වැදුම් පිදුම්කර එන ගමනේදි බිරිය මට බනිනවා ඇයි ඔයා බොරුවට කපු මහත්තයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියල කීවෙ කියල. මම කිව්ව ඉතින් මම කිව්වේ නෑ කපු මහත්තයනෙ කියල යාතිකාව කරේ කියල. කොහොමහරි අපි ගෙදර ඇවිත් සුමානයක් ගියේ නෑ අපිට දරුවෙක් ලැබෙන්න ඉන්නව කියල දැනගත්තා. ඒ නිසා තමයි පුතාට ශ්‍රි බෝධි කියන නමත් කරදරයක් නැතිවම අපි ළඟට ආපු නිසා ඉන්ද්‍රඛීල කියන නමත් දැම්මේ‘ ‘ පියා එසේ කියමින් සෙනෙහසින් පුතු තුරුලු කොට ගනියි. සැබැවින්ම මවුවරු මෙන්ම පියවරුන් දරුවන්ට මොන තරම් නම් ආදරණීයද?
‘මොවුන්ගේ ආදරය මැදට තුන්වැන්නෙක් ද එකතුවෙයි . සැබැවින්ම එය සුන්දර පවුලකි? ‘ මොනවද කුමාරි අක්කා රසටම උයන්නේ.. මගේ පැනය ඩග්ලස් අයියාටය..ඔහුගේ මුවට සිනාවක සේයා මැවෙයි. ‘ කුමාරි හදන කිරිකෝපි බොන්න මම හරිම කැමැතියි. ෂුටින් යනදාට වුණත් පාන්දරින්ම ඇය හදාදෙන කිරිකෝපිඑක බීල තමයි ගෙදරින් යන්නේ. ඒ වගේ තමයි කුමාරි රසට හදන පරිප්පු ව්‍යංජනය. මේ දෙකටම මම විතරක් නෙමෙයි අපේ ගෙදරට එන හිතවතුනුත් කැමැතියි. ඇය හදන ඕනෑම කෑමක් රසවත්‘.
පුතා දවසක කලාවට එයිද ? මගේ පැනයට මව, පියා මුහුණට මුහුණ බලාගෙනය. පියා පිළිතුරු බඳින්නට සැරසෙයි. ‘පුතා පුංචි කාලයේ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයක රඟපා තිබෙනවා. මම කළ ‘සසර චක්‍ර‘ ටෙලි නාට්‍යයේ පුංචි චරිතයක් කළා. ඉන් පසුව ‘දිය යට ගිනි‘ ටෙලි නාට්‍යයේත් ළමා චිත්‍රපටයකත් රඟපෑවා. අපි දෙන්න කවදාවත් පුතාට කලාවට එන්න එපා කියන්නෙ නෑ. මම කියන්නෙ හොඳට ඉගෙනගෙන කලාවට එන්න කියලා. ගොඩක් අය හිතනවා රඟපාන්න උගත්කමක් අවශ්‍ය නෑ කියා. හොඳ නළුවෙක් වීමට බුද්ධිමත්විය යුතුයි. අපි උගත් වු තරමට රංගන ක්ෂේත්‍රයට හොඳයි‘
ඩග්ලස් අයියාට බොහෝ තරුණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ආදරය කරන්න විශේෂ හේතුව කුමක්දැයි ඇසිය යුතුම පැනයකි. මන්ද ඔහු සිටින ඕනෑම රංගන පසුතලයක ඔහු වටකරගෙන තරුණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ය. ඒ තරමටම ඔවුන් ඩග්ලස් අයියාට ආදරය කරයි ‘මම තරුණ රංගන ශිල්පීන්ට සහ ශිල්පිනියන්ට කියන්නේ කාලය නිකරුණේ නාස්ති කරන්න එපා. අපි බස් එකේ ගියත්, කෝච්චියෙ ගියත් ඇසෙන දකින හැම චරිතයක්ම වෙනස් චරිත. එනිසා කලාකරුවන් ලෙස හැම වෙලේම විමසිල්ලෙන් වටපිටාව දෙස බැලිය යුතුයි. වර්තමානයේ බොහෝ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සම්මාන උලෙළකට ගියත් එයට උචිතලෙස අඳින්නෙ, පළඳින්නෙ නෑ. එවැනි දේ තුළින් ඔවුන් පෙන්වන්න උත්සාහ කරන්නෙ ඔවුන් රැඩිකල් කියලා. මමත් රැඩිකල්. එහෙත් මම රැඩිකල් අලුත් පරම්පරාව රැඩිකල් කියන විදිහට නෙමෙයි. ගොඩක් අය හිතනවා හැම දේටම විරෝධතාව දක්වන එක තමයි රැඩිකල් කියන්නේ කියල. කිසිම හේතු සාධකයක් නොමැතිව සාරධර්ම විනාශකරන එක හොඳ නැහැ. විශේෂයෙන් විනය ගැන සැලකිලිමත් විය යුතුයි‘
‘බිරිඳ නිතරම මගේ රංගනය ගැන විමසිලිමත්. චරිතවල හොඳ නරක පවසනවා. ඇය නිරතුරුවම මගේත්, පුතාගේත් ඕනෑ එපාකම් සොයා බලා ඉටුකරන මවක්, බිරියක්.
‘ෂුටින් නැතිදාට ගෙදර දොරේ වැඩවලට උදවුකරනවා. ඊට අමතරව අපේ ආර්ය පදනමේ වැඩකටයුතු වෙනුවෙන් කාලය යොදවනවා. මම එහි ජ්‍යෙෂ්ඨ සභාපති. මීට වසර දහයකට පෙර ආරම්භකළ ආර්ය පදනම යුද හමුදාව සමග එක්වී යුද්දයේදි මියගිය ,අසරණ වු , ආබාධිත වු සෙබළුන් වෙනුවෙන් ගෙවල් හදාදීම සහ ඔවුන්ට විවිධ අයුරින් සහයෝගය ලබාදීම කරනවා. පසුගිය 12දා අප සංවිධානය මගින් කොකාවිල් සැමරුම පැවැත්වුණා. අනාගතයේදි පොතක් ලියන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා‘
තවත් බොහෝ දේ කතාකරන්නට ඇතත් අපේ කතාබහ අවසන් කිරීමට කාලය එළැඹ තිබේ. තවත් සොදුරු කැදැල්ලකින් නික්ම යෑමට කාලය එළැඹ ඇත.අවසානයේ ඩග්ලස් අයියා කී තවත් දෙයකින් අපේ කතාබහ අවසන් කළ යුතුමය. ඉන්දියන් නාට්‍යවලට ඇබ්බැහි වෙන්න එපා. ඒවායේ තියෙන්නේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය සහ පලිගැනීම. එනිසා හොඳ නරක තෝරා බේරාගෙන කලාත්මක දේ රසවිඳින්න.
නයනා වෑත්තෑව
ඡායාරූප- අමිත් එස්. සේනාරත්න