ඔයා ඒ්න්ජල් කිව්වෙ මේ මළ පෙරේතිටද? | Page 2 | සිළුමිණ

ඔයා ඒ්න්ජල් කිව්වෙ මේ මළ පෙරේතිටද?

ළදරු පාසලින් ලද කැඳවීම අරබයාද මවුපියන් කලහ කරගන්නා ආකාරය අෂේන් විදහා ගත් දෙනෙතින් බලා සිටියේය. එපරිද්දෙන් ම ඔහු මේ මධ්‍යහ්නයේදී ද පියා සහ ගුරුතුමිය වෙත රැඳුණු නෙතින් නිසලව පසුවෙයි. “දරුවෙක් ගැන කතා කරන්න අම්මයි තාත්තයි දෙන්ම ඉන්න ඕනනේ.” “අෂේන් මොනවද කළේ මැඩම්?” අෂේන්ගේ මව පිළිබඳව කතා කරන්නට මැළිවූ නලින් නොඉවසිල්ලෙන් ප්‍රශ්න කළේය.

“අනේ චම්පා අක්කේ ඔයා හිටියනං... ඔයාගෙ දුව මෙච්චරටම හිතුවක්කාර වෙන්නෙ නෑ අක්කේ... අයියටයි මටයි දෙන්නට ම බයයි මේ කෙල්ල ගැන. ඒ බය ඒ දුක මේ කෙල්ලට තේරෙන්නෙ නෑ අක්කේ.”

ඇය අවනඩුව කියා පෑවේ දෙවසරකින් නොදුටු නෑනණ්ඩිය සමඟිනි. ඒ පරිද්දෙන් ම අමාලිද සිහිලැල් දියෙන් නැහැවෙමින් සිය මව සිහිපත් කළාය.

“තවත් ඉතිං මං මේ ගෙදර ඉන්න එකේ තේරුමක් නෑ අම්මේ. තාත්තයි නැන්දයි එකතුවෙලා මාව නලින්ට කසාද බන්දලා දෙයි. බ්‍රයන්ගෙන් බේරෙන්න මම නලින්ගෙ ගෙදර හැංගුණු එක මොනතරම් මොට්ටකමක්ද... ඒත් ඉතිං ඒ ‍කිසිම දෙයක් ප්ලෑන් කරලා කළා නෙමේනේ.”‍‍

කඳුළු සලනවා වෙනුවට ඇය හිසට වධ දෙමින් කල්පනා කළාය. පියා සහ නැන්දණිය නොකැලඹෙන පරිද්දෙන් තමා ක්‍රියා කළ යුතු බව සිතුවාය.

“ගෑනු ළමයෙක් වුණාම රස්සාවක් කරන්නට ඕන අමා. කෝටිපතියෙක් බැන්දත් වැඩක් නෑ ඉල්ලන හැම රුපියලටම හේතු දක්වන්න ඕන.”

චම්පගේ මිහිරි හා කාරුණික හඬ ඇගේ දෙසවන රැව් දුන්නේය.

“රස්සාවක්... ඔව් රස්සාවක්... මම රස්සාවක් කරන්න ඕන.”

හොඳම උත්තරය ලැබුණේ යැයි ඉපිල ගිය යුවතිය දොර මඳක් විවර කළාය.

“නැන්දේ.. නැන්දේ.. මට රස්සාවක් ඕන... මම ඉක්මනටම රස්සාවක් හොයාගන්න ඕන...”

ඇගේ උස් හඬ ගෙතුළ නිහැඬියාව බිඳ දැමුවේය.

එය නොදරුවෙකු ඇඳි මල් වත්තක් සදිසිය. හිතුමතේ පාට උලා උලුප්පන ලද ලොකු මල් සහ දිග නටු සිහි ගන්වන ළදරු පාසල තුළ බුම්මා ගත්වනම සිටින පියපුතු දෙපළ දෙස ප්‍රධාන පාලිකාව හෙළන්නේ බැරෑරුම් බැල්මකි.

“අෂේන්ගේ අම්මත් ආවා නම් තමා හොඳ”

නලින් පිළිතුරක් සොයන්නට වෙහෙසුණේය.

“මට එයාර්පෝට් යන්න ඕන. ග්‍රේස් ආන්ටි එන්නෙ අවුරුදු දෙකකට පස්සෙ. ඉතිං කොහොමද නොගිහිං ඉන්නෙ? එයා මොනවා හිතයිද...?”

බිරියගේ වචන ඔහුගේ දෙකනේ රැව් දෙයි.

“එතකොට ඔයාට තමුන්ගෙ දරුවට වඩා ඒ ගෑනි වටිනවා..”

ඇය නිබඳ හැඩ ගන්වන, වර්ණ ගන්වන දෙබැම ඉහළ නංවමින් විමතිය ද විරෝධය ද පළ කළාය.

“ග්‍රේස් ආන්ටිට ද ඔයා ඔය ගෑනි කිව්වෙ?”

“ඇයි ඒ ගෑනි ගෑනියෙක් නෙමේද?”

ඔහු මුව කොන ඇද කළේය. ඒ සාවඥ ඉඟියෙන් ඇය කුපිත වූවාය.

“මතකම නෑ එතකොට. ගේ හදනකොට වාහනේ ගන්නකොට උදව් කළෙත් ඔයා ඔය දැන් ගෑනි කියන ග්‍රේස් ආන්ටිම තමා කියලා..”

“ඒ හැම සතයක්ම මම ගෙවල තියෙන්නෙ. ඔයා උඩ පැන්නට මම කවදාවත් කැමති වුණේ නෑ නෑදෑයන්ගෙන් සල්ලි ඉල්ලන්න.”

ළදරු පාසලින් ලද කැඳවීම අරබයාද මවුපියන් කලහ කරගන්නා ආකාරය අෂේන් විදහා ගත් දෙනෙතින් බලා සිටියේය. එපරිද්දෙන් ම ඔහු මේ මධ්‍යහ්නයේදී ද පියා සහ ගුරුතුමිය වෙත රැඳුණු නෙතින් නිසලව පසුවෙයි.

“දරුවෙක් ගැන කතා කරන්න අම්මයි තාත්තයි දෙන්නම ඉන්න ඕනනේ.”

“අෂේන් මොනවද කළේ මැඩම්?” අෂේන්ගේ මව පිළිබඳව කතා කරන්නට මැළිවූ නලින් නොඉවසිල්ලෙන් ප්‍රශ්න කළේය.

“අෂේන් මොනවද නොකළේ කියලයි අහන්න ඕනැ මිස්ට නලින්”

ඔහු දුර්මුඛව සිය පුත්‍රයාගේ වැරදි ලැයිස්තුවක් අසා සිටින්නට සූදානම් විය.

“දවසින් දවස අෂේන් නරක් වෙනවා. අනෙක් ළමයින්ව හපනවා. සූරනවා. කොනිත්තනවා. මෙතන වරද කරන්නෙ අෂේන් නෙමේ. අෂේන්ගේ අම්මා තාත්තා.... තරහ වෙන්න එපා මිස්ට නලින්. ළමයින් සම්බන්ධයෙන් වැඩිහිටියන්ට යුතුකමක් වගකීමක් තියෙනවා. ඒක මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ...”

පියා පත්ව සිටින දුෂ්කරතාව නොතකන දරුවා හිටි හැටියේ කෑගෑවේය.

“ඒන්ජල්... තාත්තෙ අර.. අර.. ඒන්ජල්...”

හැරී බැලූ නලින් දුටුවේ සුරඟනක නොව අමාලිය. ඇය දැකීමෙන් හටගත් සොම්නස හීන කරන්නේ ඇය සමඟ සිටින තරුණයාය. ඔවුන් නැවත එක්ව දකින්නට ඔහු අපේක්ෂා නොකළේය. එහෙත් ඒ ප්‍රීතිමත් තුරුණු මුහුණු ඔහුගේ කලකිරීම දුරු කරයි.

ළදරු පාසල් පාලිකාවගේ අවවාද අනුශාසනා ආදියට නිහඬව සවන් දෙන්නට ඔහු වගබලා ගත්තේ නළියන ළමයා කැටිව පිටව යාමට නොඉවසිල්ලෙනි.

“ඔන්න ආයෙත් නම් දඟ කරන්න එපා අෂේන්...”

ඇය පියාටද පුත්‍රයාට ද සමු දුන්නාය.

“දඟ කරන්නැති ළමයි ඉන්නවාද මේ ලෝකේ?” යි පෙරළා ප්‍රශ්න නොකර සිටීම දුෂ්කර විය. එහෙත් ගේට්ටුව අබියස රැඳී සිටින අමාලි සහ බ්‍රයන් වෙනුවෙන් ඔහු නිහඬවම ඉදිරියට ගමන් කළේය.

“අෂේන්...” යි හඬ ගෑ අමාලි තමාගේ දෙපයේ එල්ලුණු ළමයා වඩා ගත්තාය.

“ඔයා ඒන්ජල් කීවේ මේ මළ පෙරේතිටද...?” යි බ්‍රයන් සරදම් කළේය.

අෂේන් හිස සැලුවේය. අමාලි විමතියෙන් ද සොම්නසින් ද හිනැහුණාය.

“ඔයා මට ඒන්ජල් කියනවා මට ඇහිලම නෑනේ”

“ඉතිං මං කිව්වෙ නෑනේ”

බ්‍රයන්ට පමණක් නොව නලින්ට ද සිනා පහළ විය.

“එතකොට...? ඇයි එහෙනම් දැං කීවෙ..?”

“ඔයා ගියාට පස්සෙ තමා මට හිතුණෙ ඔයා ඒන්ජල් කෙනෙක් කියලා..”

ළමා සිතක නොකිලිටි අවංක හැඟීම් ගෙන හැර පාන කල අමාලි හැඟීම්බර වූවාය. ඇය ඔහුගේ මුහුණ සිප ගත්තාය.

“පොඩි එකාව රවට්ටගෙන නේද ගානට මෙයා...?” යි බ්‍රයන් ඇසුවේ නලින් වෙත හැරෙමිනි.

එහෙත් නලින්ගේ මුහුණ වසා පැතිර ගිය සෙනෙහසද සොම්නසද තරුණයාගේ මුව’ග හසරැල්ල උදුරා ගත්තේය.

“ඔයා හරි නරකයි. ඇයි ආවෙ නැත්තේ...?”

අෂේන් සිය මිතුරියට චෝදනා කළේය.

“ඉතිං මේ ආවෙ..”

“මං බලාගෙන හිටියනෙ... ඔයා ආවෙ නෑනේ...”

තමාද ඇය දකින්නට පෙරුම් පිරූ බව හෙළි නොකළ නලින් මඳ සිනාවක් පෑවේය.

“අපි මොනා හරි බොමුද?”

“තැඹිලි?”

අමාලිද බ්‍රයන්ද එක විට හඬ ගෑ කල නලින් පමණක් නොව අෂේන්ද සිනාසුණේය. දරුවන් කැටිව යන්නට පැමිණි මවුපියන් ඒ කුඩා කණ්ඩායම දෙස හෙළුවේ නොපහන් බැල්මකි.

“අමාලි නඟින්න කාර් එකට” නලින් ඇරැයුම් කළේය.

“මං නං යන්නෙ බයික් එකේ”

අෂේන් නොපැකිළ සිය ආශාව හෙළි කළේය.

බ්‍රයන් සාඩම්බර බැල්මක් එක්ක හිස සැලුවේය.

“කාර් කැලේ.. අපේ බයික් එක්ක..” යි අමාලිට පමණක් ඇසෙන්නට කොඳුළේය. ඇය හඬ නඟා හිනැහුණාය.

“නෑ පුතා. අපි කාර් එකේ යමු”

ඒ සිනාවෙන් වේදනාවට පත් නලින් සිය පුත්‍රයාගේ කුඩා අතක් අල්ලා ගත්තේය.

“බෑ.. බෑ.. මට බයික් එකේ යන්න ඕන...”

මඳක් සිතා බැලූ අමාලි විසඳුමක් යෝජනා කළාය.

“අපි බයික් එකේ එන්නම්. බ්‍රයන් කාර් එකේ යන්න.”

නලින් බියෙන් ද සැකයෙන් ද පීඩා වින්දේය.

“අෂේන්ට හෙල්මට් එකකුත් නෑනේ. අමාලිට ලයිෂන් තියෙනවද?”

බ්‍රයන් සිය හිස් ආවරණය අමාලි වෙත දිගු කළේය.

“ඔයාගෙ හෙල්මට් එක දාන්න අෂේන්ට. එතකොට හරිනෙ..”

“හෙල්මට් එකක් නැතිව බයික් එකකට නඟින්නවත් හොඳ නෑ..” යි අමාලි කීවේ දිගු කලක් මුළුල්ලේ යතුරුපැදිය ධාවනය කරන්නියක සේය.

ලබන සතියට‍...

Comments