නෙළුම්විල | සිළුමිණ

නෙළුම්විල

සීනි බෝල

මම අපේ ‍ගෙයි ඉස්තෝප්පුවට වී සුදු ආච්චි දෙස බලා සිටිමි. ඇය සිය කුඩා කඩයේ සිට මදෙස බලා සිටී. අපේ ගේ ඇත්තේ පාරෙන් මෙහා පැත්තේ ය. ඇගේ කඩය ඇත්තේ පාරෙන් එහා පැත්තේ ය.

ටිකකින් සුදු ආච්චි මට එහි එන්නැයි අතින් සන් කරයි. ඒ ඇසිල්ලේ ම මම පාර හරහා පැන ඇගේ කඩයට දුවමි.

කඩයේ නොයෙක් බඩු තිබුණත් මට පේන්නේ සිනි බෝල බෝතල් පේළිය පමණි. ඒවායේ පාට පාට සීනි බෝල තිබේ. ඒ හැම ජාතියක් ම රස වුව ද මා ආසා කරන්නේ රෝසපාට සීනි බෝලවලට බව ඇය දනී.

සීනි බෝල බෝතලයේ ලොකු මූඩිය කරකවා ගලවන සුදු ආච්චි ඊට අත දා සීනි බෝල අහුරක් ගෙන එය කරදාසි කොළයක ඔතා මා අත තබයි. සීනි බෝල මුල අතට ගන්නා ඇසිල්ලේ මම ආපසු දුව එමි. මගේ දිවිල්ල නතර වන්නේ අපේ ඉස්තෝප්පු පඩිය කෙළවරේ ඇති පේර ගස් සෙවණේ ය. එතැන සැගැවුණු පසු කාටවත් මා නොපෙනේ. මම එහි සැඟවී සීනිබෝල රස විඳිමි.

ඇතැම් විට අම්මා මා අල්ලා ගනී. එවිට මම සීනිබෝල ටික වහා සඟවමි.“කෝ කට අරින්ඩ බලන්ඩ” අම්මා මට අණ කරයි.

“මං සීනිබෝල කෑවෙ නෑ. සුදු ආච්චි මට සීනිබෝල දුන්නෙත් නෑ” මම එක දිගට කියාගෙන යමි.

අම්මා මගේ අතින් අල්ලාගෙන මා ගෙතුළට කැඳවාගෙන යයි. ඇය නවතින්නේ කුස්සියේ ය.

“ඔය සීනිබෝල කැවිල්ල හින්ද දත් ටිකත් නරක්වෙලා යයි. මගෙං ගුටිපාරක් කන්නෙ නැතුව වහාම කට හෝදල දානව!” අම්මා ගේ හඬ ටිකින් ටික සැර වෙයි. මම වහා ම ඇයට කීකරු වෙමි. අම්මා සුදු ආච්චිට දොස් කියනු ඇතැයි මට සිතේ.

“අම්ම සුදු ආච්චිට බණින්ඩ එපා! එයා මට අඬගහල සීනි බෝල දුන්නෙ නෑ” මම ගොත ගසමින් කියමි.

“ඕක තමයි කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ කියන්නෙ. ආපුදෙංකො අද තාත්ත. මං කියන්නංකො පුතණ්ඩියගෙ තරම”

මම හෙමින් ම ගෙට ගොස් ඇඳේ පෙරළෙමි. කෙසේ හෝ සුදු ආච්චි බේරාගත යුතු ය. අම්මා රැවැට්ටිය යුතු යැයි මට සිතේ. මම නැඟිට ඇය සොයා යමි. ඇය වැඩක් කරමින් සිටී.

මම ඇයට තුරුල් වෙමි.

“මොකද මේ වදේ” ඇය වැඩේ නවත්වා මා හුරතල් කරයි. ඇගේ මුහුණේ හිනාවක් තිබේ . ඇය සතුටිනි.

“අම්මෙ”

“ඇයි මගෙ පැටියො?”

“තාත්තට කියන්නෙ නෑ නේද? තාත්ත සුදු ආච්චිට බණින්නෙ නෑ නේද?”

“නෑ මගෙ පැටියො”

මම අම්මා සිප ගනිමි. ඇය ද මා සිප ගනී.

සුදු ආච්චි දින කිහිපයකින් මට අත වැනුවේ නැත. මා තුළ ඇතිවන්නේ දුකකි. ඇය මා දෙස නොබලා කඩේ වැඩ කරයි. මට සිනිබෝල නොදෙන ලෙස අම්මා ඇයට කියා තිබෙනවා විය යුතුය.

ඊ ළඟ දින කිහිපය මා ගත කළේ උපක්‍රමයක් ගැන සිතමිනි. සුදු ආච්චි බැණුම් අහන්නේ මට නිකං සීනිබෝල දෙන නිසා ය. මා කළ යුත්තේ කාසියක් දී සීනිබෝල ගැනීම ය.

මේ කල්පනාවෙන් සතුටට පත් මම කාසියක් සොයන්නට පටන් ගතිමි. මට හතරැස් කාසියක් අසු විය. මම වහා ම එය මිට මොළවාගෙන සුදු ආච්චි ගේ කඩයට දුව ගියෙමි.

“සුදු ආච්චියෙ, මේක අරං මට සීනි බෝල දෙන්ඩ!” මම අත්ල විදහා පෑවෙමි.

සුදු ආච්චි ඇස් ලොකු කර එදෙස බැලුවා ය. අනතුරු ව එය රැගෙන ටක්ගා ලාච්චුවට දාගත් ඇය සීනිබෝල අහුරක් කොළයක ඔතා මා අත තැබුවා ය.

එතැන් පටන් හතරැස් කාසි සෙවීම මගේ විනෝදය විය. බොහෝ විට අම්මා ගේ ලාච්චුවට යතුරු දා නොතිබිණ. යතුරු දා තිබුණු විටෙක මේස රෙද්ද යටින් හතරැස් කාසියක් සොයා ගැනීමට අමාරු නොවී ය.

මෙසේ කලක් යනවිට හතරැස් කාසි හිඟ විය. මා පිස්සුවෙන් මෙන් ඒවා සොයන්නට වුවත් පලක් නොවී ය.

තාත්තා ගේ පෙට්ටියක හතරැස් කාසියට ටිකක් ලොකු බෙලෙක් කෑලි මහ ගොඩක් විය. මම ඉන් එකක් ගෙන කොන් හතර කළු ගලක අතුල්ලා එය හතරැස් කාසි කාසියක් බවට පත්කර ගතිමි.

මා තැනූ කාසිය අතට ගත් සුදු ආච්චි කිසි අමුත්තක් නොපෙන්වා සුපුරුදු සිනිබෝල මුල මා අත තැබුවා ය. ආච්චි රැවටුණා යයි සතුට පත් මම රස කරමින් සිනිබෝල කෑවෙමි.

ඊ ළඟ දවසේ ද කාසියක් තනාගත් හැටියේ ම මම සුදු ආච්චි ගේ කඩයට දුව ගියෙමි.

“ආ චූටි පුතේ, අර ඔයා මට දීල තිබුණෙ සත පහක් නෙමේනෙ. බෙලෙක් කෑල්ලක්නෙ. මේ බලන්ඩකො!” සුදු ආච්චි මා දුටු හැටියේ ම හතරැස් බෙලෙක් පතුර මට පෙන්නුවා ය.

මගේ හොර වැඩේ අසුවූයෙන් මම ගල් ගැසුණෙමි. මොහොතක් බිම බලාගෙන සිටි මම ඊ ළඟට බියෙන් මෙන් සුදු ආච්චි දෙස බැලුවෙමි. ඇගේ මුහුණේ වූයේ සුපුරුදු සිනාව ම ය. තරහක් අමනාපයක් ගෑවී නොතිබිණ. ඒ වන විටත් සුරතේ තිබූ බොරු සතපහ වමතට මාරු කරගත් මම එය ඇයට නොපෙනෙන ලෙස තරයේ මිරිකාගෙන ආපසු හැරුණෙමි.

“චූටි පුතේ යන්ඩෙපා ඔහොම ඩිංගක් ඉන්ඩකො!”

මම නැවතුණෙමි. ඇය සුපුරුදු පරිදිම මා ආසා කරන සීනි බෝල බෝතලයට අත දා අහුරක් ගෙන කොළයක ඔතා මට දුන්නා ය.

“ආ මේක මං ගාණෙ”

මා ගෙදර ආවේ හිස බිමට නැඹුරු කරගෙන ඉබි ගමනිනි.

මා තමා රැවැට්ටුවේ යැයි ඇය මට බැන්නේ නැත. මින් මතු එබඳු වැඩ නොකරන්නැයි අවවාද කළේ ද නැත. ඇය කළේ එය සැහැල්ලුවෙන් පෙන්වා දීම පමණ ය.

මම සුපුරුදු පේර ගස් හෙවණේ හිඳ සීනිබෝලයක් මුවෙහි ලා ගතිමි. මගේ හිත කවදාවත් නැති තරමට තැන්පත් ව තිබිණ.

දෙවන සීනිබෝලය මුවෙහි ලා ගන්නා විට මට තවත් යමක් සිහිපත් විය. ඇය මා දුන් බොරු සතපහ ගත්තේ ලාච්චුවේ තිබූ සල්ලි දමන බෙලෙක් පෙට්ටියෙන් නොවේ. වෙන ම තැනකිනි. එසේ නම් ඇය මා එය ඇගේ අතට දුන් මොහොතේ ම එය බොරු සතපහක් බව දැන සිටියා විය යුතු ය. මා තුළ ලොකු ලැජ්ජාවක් ඇති විය. එසේ දැන‍ගෙනත් ඇය මට ඒ බව නොහඟවා සිනි බෝල දුන්නා ය. මගේ හිස බර විය. මම දෙදණ මත දෑත නවා තබා ඒ මත හිස හොවාගතිමි.

මා හිස එසවූයේ සුදු ආච්චි ගැන ඇතිවූ පැහැදීමෙනි. ඇය මගේ වරද මට කෙළින් නොකීවේ මා ලැජ්ජාවට පත්වන බව දැන ගෙන විය යුතු ය. එසේ නම් ඇය ඒ ගැන අපේ ගෙදර අයට ද නොකියනවා ඇත. මා තුන්වැනි සින බෝලය මුවෙහි ලා ගත්තේ සුදු ආච්චි කොච්චර හොඳ දැයි සිතමිනි. එවිට සීනි බෝලයේ රස වැඩි වැඩියෙන් මට දැනිණ. සීනිබෝල සියල්ල රසවිඳ මා පේර සෙවණෙන් නැගිට්ටේ මින් මතු අනුන් නොරැවටිය යුතු ය යන අදිටන හිතේ පැළ කරගෙන ය.

ගෙතුළට යෑමට පෙර නැවතී මම සුදු ආච්චි ගේ කඩය දෙස බැලුවෙමි. ඈ මට හිනාවක් පෑවා ය. “චූටි පුතා බයවෙන්ඩ එපා! මං අර බොරු සතපහ ගැන කාටවත් කියන්නෙ නෑ” වැනි හැඟීමක් ඒ හිනාවේ සැඟවී ඇතැයි මට සිතිණ. මම ඇයට කළගුණ පෙන්වන සිනාවක් පෑවෙමි.

මෑතක දී මා උපන් ගමට ගියේ දසක හතරකට පමණ පසුව ය. සුදු ආච්චිලා ගේ කඩ කෑල්ල මෙලොවින් මැකී ගොස් ඇත්තේ බොහෝ කලකට පෙර ය. ඒ කඩ කෑල්ල තිබුණේ මෙන්න මේ හරියේ යැයි මම හිත් හෝදිසියෙන් තීන්දුවකට ආවෙමි. ඒත් සුදු ආච්චට පින් සිදුවන්නට ඉන් පසු මම කිසි දිනෙක කිසිවකුට අබමල් රේණුවක් තරමින්වත් රැවටිල්ලක් නොකළෙමි.

අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරෙනි.

Comments