මවකගේ හිතේ ගින්දර නිවූ ඡායාරූප හිතවත්තු | සිළුමිණ

මවකගේ හිතේ ගින්දර නිවූ ඡායාරූප හිතවත්තු

ආබා­ධිත දිය­ණිය වෙනුවෙන් ජීවි­තය කැප කළ අම්මාට සැන­සි­ල්ලක්

අවු­රුදු හත­ළිස් අටක්ම පන්ස­ල­කට ගිහින් නැහැ

දුකට පත් මිනිසුන් වෙනුවෙන් උදව් කිරීමට රාජ්‍ය ආයතන, ස්වෙච්ඡා සංවිධාන, මෙන්ම පුද්ගලයෝද වෙති. මේ කොතරම් දේ තිබුණ ද කිසිවෙකුගේ ඇස නොගැටුණ හව්හරණක් නැතිව අසරණ වූ පවුල් ඕනෑ තරම් අපට හමු වෙයි. එවැනි මවකට සහ දියණියකට පිහිටවූ කතාවකි මේ.

ආබාධිත දියණියක හා තනි වූ මේ මව වසර ගණනාවක් තිස්සේ විඳි දුක කියා නිම කළ නොහැකි තරම්ය. කේ. ස්වර්ණලතා අසූ තුන් හැවිරිදි මවකි. ඇයගේ ආබාධිත දියණියගේ වයස අවුරුදු හතළිස් අටකි. වසර ගණනාවක් තිස්සේ දියණිය බලාගනිමින් ජීවිතය ගෙන ගිය මේ අම්මාට කිසි දිනෙක තමන්ට කියා ජීවිතයක් තිබුණේ නැත.

“ දුවව හොඳ කරගන්න නොකරපු දෙයක් නැහැ. ඒත් එයාව සුව කරන්න බැහැ කියලා දොස්තර මහත්තුරු කිව්වා. මගේ මහත්තයා ආරියදාස හෙට්ටිආරච්චි. ඔහු මහඉලුප්පල්ලම කෘෂිකර්ම ආයතනයේ වැඩ කළා. ඔහුට වකුගඩු රෝගය වැලදුණා. වකුගඩු දෙකම නරක් වුණා. ඔහු ඒ රෝගයෙන් මිය ගියා. ඒ කාලේ බොහෝම අඩු මුදලක වැටුපක් මහත්තයාට ලැබුණේ. ඔහුගෙන් ලැබුණ පැන්ෂන් එකෙන් තමයි අපි බොහෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මගෙ කුසින් වදාපු දරුවා අත්හැරලා දාන්න මට හිතුණේ නැහැ. මම දුවව මට පුළුවන් විදිහට බලාගත්තා. අපට ජීවත් වෙන්න හරි හමන් රස්සාවක් තිබුණේ නැහැ. පුතෙක් හිටියා. පුතා අනතුරකින් මැරුණා. අපේ නිවෙස අසලම ඥාති පුතෙක් ඉන්නවා. එයා අපි ගැන බලනවා. කාලයක් තිස්සේ මම පිළිකා රෝගයකින් පෙළෙනවා. ඒත් මට එක දිගට ඒ වෙනුවෙන් ප්‍රතිකාර ගන්න විදිහක් නැහැ. මම දුවව කාට බාරදීලා යන්නද?”

වයෝවෘද්ධ මාතාව පවසන්නට වූයේ කනගාටුවෙනි. කිසිදු කෙනෙකුගේ හව්හරණක් නැතිව සිටි මේ මවට සහ දියණියට පිහිට වන්නට පිරිසක් ඉදිරිපත් වූයේ මේ අතරය. මේ පිරිස අතර පෙරමුණ ගත්තේ ලේක්හවුස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පියෙකු වන සමන් ශ්‍රී වෙදගේය.

“ මට මේ අම්මත් දුවත් ගැන මුලින්ම කිව්වේ දිනමිණ පුවත්පතේ මාධ්‍යවේදී සොයුරියක වන බුද්ධිකා ඉඹුලාන. (බුද්ධිකා සොයුරියට ඇය ගැන දන්වා තිබුණේ රසදුන කර්තෘ මනෝලි සුබසිංහ සොයුරිය.) ඇය මට කිව්වේ කාට හෝ කියා ඒ අම්මාගේ නිවෙසට විදුලිය අරගෙන දෙන්න කියලා. මම දානපතියන් කිහිප දෙනෙකුටම කිව්වත් කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. අන්තිමට මම හිතුවා මේ අසරණ අම්මා වෙනුවෙන් කුමක් හෝ කළ යුතුයි කියලා. අපේ ඡායාරූප ශිල්පියෙකුව සිටි චමින්ද කුමාරසිංහ සහෝදරයාට මම මේ ගැන කිව්වා. ඔහුත් ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පියෙකු වූ මහින්ද විතානාච්චි, ඡායාරූප ශිල්පි සරත් වීරසිංහ යන සොයුරන් මේ කටයුත්තට එක් වුණා. දවසක් අපි එහෙ ගිහිල්ලා ගේ වයරින් කරලා විදුලිය ලබා දුන්නා. පල්ලේගම විදුහල්පතිතුමාත් අපට උදව් කළා. ඒ වගේම ගම්පහ ශ්‍රී ලංගම ප්‍රාදේශීය කළමනාකාරිනි(මුදල්) සචිත්‍රා කොඩිතුවක්කු මෙනෙවිය අම්මටයි දුවටයි ඇදුම් පැලඳුම් ගෙනැවිත් දුන්නා. අපි හැමෝටම එකතු 

වෙලා මේ අයට උදව් කරන්න ලැබීම සතුටක්.”

කාගේ කාගේත් ශ්‍රමයෙන් නිවෙසට විදුලිය ලැබෙද්දී ඒ වෙනුවෙන් මුදල් වියදම් කළේ සමන්ය. ඒ තමන්ගේ වැටුපෙන් මාසිකව ඉතිරි කරගන්නා ලද මුදල්ය. ඇතැම් අවස්ථාවල මුදල් මදි වෙද්දි ඔහු රන්ආභරණ ද උකස් තැබුවේය.

වසර ගණනාවක් තිස්සේ ආබාධිත දියණිය වෙනුවෙන් ජීවිතය කැප කළ අම්මා පන්සලකට ගිය කාලයක් කියන්නට දන්නේ නැත.

“ මම මේ දරුවා දාලා කොහේවත් යන්නේ නැහැ. හැම දේම එයාට කරලා දෙන්න ඕනෑ. එයාට ඇවිදින්න බැහැ. එහෙම කෙනෙක් ගෙදර දාලා මම කොහොමද පන්සල් යන්නේ. මේ දරුවෝ ඉදිරිපත් වෙලා අඳුරේ හිටපු අපිට විදුලිය ලබාදීම ලොකු පිනක්. දැන් මගේ දුව ඉන්නේ වික්ටෝරියා නිවාසයේ. ඒක මගේ හිතට ලොකු සහනයක්. මට දැන් දෙයියනේ කියලා සැනසිල්ලේ ඇස්දෙක පියා ගන්නට පුළුවන්. අපිට උදව් කරපු හැමෝටම බොහෝම පින්.”

වයෝවෘද්ධ අම්මා පවසන්නේ දෑත් එක්කොට පින් දෙමිනි.

හැම මිනිසෙකුම අසත්පුරුෂ නැත. ඔවුහු අන් දුකේදි පිහිටට එනු ඇත. මවත් දියණියත් වෙසෙන නිවෙසට විදුලිය ලබාදීමෙන් නොනැවතුණ සමන්ගේ ඊළග ප්‍රයත්නය වූයේ මේ අම්මා නිදහස් කිරීමය.

“මේ අම්මා ආබාධිත දරුවෙකු සමඟ පුදුම දුකක් විඳින්නේ. පිළිකා රෝගයෙන් පෙළෙන ඇය නිසි වේලාවට බෙහෙත් ගන්නේ නැහැ. කවදාවත් ඒ අම්මා වන්දනාවක ගිහින් නැහැ. මම උත්සාහ කරන්නේ එළැඹෙන ජනවාරි මාසයේ දිනෙක මේ අම්මා ජයසිරි මහ බෝධිය වඳින්න එක්ක යන්න. අපේ වීරෙයි එයාගේ බිරිඳයි මේ අම්මා ඒ ගමන එක්ක යන්න සුදානම් වෙලා ඉන්නේ. මම කොළධ දිසාපතිතුමාට කතා කරලා, මේ මවගේ දියණිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයට ඇතුළු කළා. දැන් ඒ අම්මාට තමන්ගේ අසනීප වලට බෙහෙත් ගන්න යන්න පුළුවන්. මේ අම්මාත් ඇගේ දියණියත් වෙනුවෙන් මෙවැනි සත්කාර්යක් කරන්නට පුළුවන්කම ලැබුණේ මගේ මිත්‍රයන්ගෙන් ලැබුණ දායකත්වය නිසයි. රෝහිත කුමාර, වික්ටෝරියා නිවාසයේ අධ්‍යක්ෂ ඩී.කේ . තෙවරප්පෙරුම, ප්‍රධාන හෙදි පාලිකාව, නේවාසික රාජරත්න මෙන්ම එම නිවාසයේ රියැදුරු ගාමිණි යන අය අපට සහාය දැක්වූවා.

සමන් පවසන්නේ තමන්ට දුකටපත් මවකගේ සිතේ සැනසිල්ල උදා කරදීමට හැකි වීම ගැන සතුටෙනි.

ඡායාරූප - තිලක් පෙරේරා

Comments