කලාව කියන්නේ වෘත්තියකට එහා ගිය සේවාවක් | Page 2 | සිළුමිණ

කලාව කියන්නේ වෘත්තියකට එහා ගිය සේවාවක්

රැල්ල පසුපස නොයා රසිකයන් වෙනුවෙන් වින්දනීය යමක් දීමට වෙර දරනා නවක ගීත රචකයකු, සංගීතඥයකු ලෙස පූර්ණිම හසරංග හැඳින්විය හැක. කඹුරුපිටිය නාරන්දෙණිය ජාතික පාසලේ සිප්සතර හදාරන සමයේම ගීත රචනයට, සංගීතයට යොමු වූ පූර්ණ 'ඉරුමලී' නමින් පසුගියදා එළිදැක්වූ පළමු ගීත නිර්මාණයෙන්ම රසික හදවත් දිනාගැනීමට සමත්ව සිටී.

 කොහොමද ගීත කලාවට යොමු වුණේ?

ඒක වුණේ මෙහෙමයි, නවය ශ්‍රේණිය වගේ ඉගෙන ගනිද්දී පාසලේ යාළුවො කීපදෙනෙක් එකතු වෙලා පුංචි සංගීත කණ්ඩායමක් හදාගත්තා. ඊට පස්සේ ඒ කණ්ඩායම් වෙනස් වුණත් එදා ඒ ආරම්භ කළ ගමන තමයි මේ දක්වා පැමිණ තිබෙන්නෙ. මුල් කාලේ බේස් ගිටාර් වාදනය කළත් පස්සෙ කීබෝඩ් වාදනයට යොමු වුණා. දැන් මං කී බෝඩ් වාදකයෙක් වගේම ගායනයටත් යොමු වෙලා සිටිනවා. ඊට අමතරව ගීත රචනා කලාවත් කරනවා. හැබැයි මම පාසලේදී විෂයක් ලෙස මේ කිසිවක් කළේ නැහැ. විෂයක් ලෙස හැදෑරුවේ චිත්‍ර කලාව. එහෙත් පාසල් කාලයේදීම සංගීතයේ මුලකුරු කියවීමට හැකිවීම මගේ මේ ගමනට ලොකු ශක්තියක් වුණා.

ඔබ සංගීතයට අමතරව ගීත රචනයට එක්වුණේ...?

ගීත රචනා කලාවට හරිම ආසයි. ඉතින් පුළුවන් හැම වෙලේම කුමක් හෝ මාතෘකාවක් ඔස්සේ පද රචනයක් කිරීමට මං උත්සාහ ගත්තා. ඒ විදිහට මම මේ වන විට ගීත රචනා රැසක්ම කර තිබෙනවා. එහෙම ආරම්භ කළ ගීත රචනා කලාවේ මේ වන විට ගීත රචකයෙක් ලෙස ක්ෂේත්‍රයේ කිහිපදෙනකු වෙනුවෙන්ම ගීත නිර්මාණ කර තිබෙනවා. ඒ අතරින් වත්මනෙහි ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබෙන ඉෂාන් මෙන්ඩිස් රංගන ශිල්පියාගේ ගීත දෙකක් වගේම සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනෙකුටත් නිර්මාණ කිහිපයක් කර තිබෙනවා. ඒ අතරේ මගේම තවත් ගීත දෙකක් නිර්මාණය කර අවසන් කරලයි තියෙන්නෙ. එම ගීත දෙකෙන් එකක් සංගීතවත් කළේ විශාරද සත්සර සේදරහෙට්ටි මහතා.

සංගීතය ඔබගේ වෘත්තිය ද?

නෑ... මම වෙනත් වෘත්තියක නියැළි සිටින ගමන් නිරත වන කෙනෙක්. කලාව, සංගීතය කියන්නේ මට වෘත්තීයකට එහා ගිය ගෞරවනීය සේවාවක්.

ඔබට මේ ගමන එද්දී ලැබුණු සහාය ගැනත් මතක් කළොත්...?

පාසල් යන කාලයේ චන්ද්‍රිකා දමයන්ති ගුරු මෑණියන්ගෙන් ලැබුණේ ලොකු ශක්තියක්. පසු කාලයේදී මගේ ආදරණීම මිත්‍රයෙක් වූ සාරංග පතිරණගෙන් ලැබෙන සහාය මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම මගේ පවුලේ අයගෙන් මට ලොකු රුකුලක් ලැබෙනවා. එසේම මේ අවස්ථාවේ විශේෂයෙන්ම පුවත්පත් මාධ්‍යය අප වැනි නවකයන්ට ලබා දෙන සහාය අගය කොට සලකනවා.

මේ ගමනෙදී ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද?

ඇත්තටම මගේ අනාගත බලාපොරොත්තුව රටේ සංගීත ක්ෂේත්‍රයට මට පුළුවන් උපරීමයෙන් හොඳ නිර්මාණ දායාද කරමින් කෙටි ගමනක් නොයා දීර්ඝ ගමනක් යාමයි.

ඡායාරූප - සමීර දිල්ෂාන්

Comments