බ්‍රිට්නිට යළි මංගල සීනු | Page 2 | සිළුමිණ

බ්‍රිට්නිට යළි මංගල සීනු

90 දශකය තුළ ලොව පුරා රසික ජනතාව අතර ප්‍රසාදයක් දිනා ගත් පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් තවමත් ගී ලොව වැජඹෙනවා. ළඟදීම මේ සුපිරි ගායිකාවගේ ජීවිතය වෙනසකට ලක් වීමට නියමිත බවයි හොලිවුඩ් ආරංචි සඳහන් කරන්නේ.

අසාර්ථක විවාහ ජීවිත ගත කළ බ්‍රිට්නිට මීට අවුරුදු 3කට පෙර තවත් පෙම්වතෙකු මුණ ගැසුණා. ඔහු, සෑම් අස්සාරි. ප්‍රවීණ නිරූපණ ශිල්පියෙකු වන ඔහු, ඉරාන ජාතිකයෙක්. මේ වන විට 25 වැනි වියෙහි පසුවනවා. බ්‍රිට්නිගේ වයස 37ක්. කොහොම වෙතත්, මෑතකදී විකාශය වූ රූපවාහිනී වැඩසටහනකට සහභාගිවූ සෑම් පැවසුවේ ළඟදීම තමන් සහ බ්‍රිට්නි අතර විවාහය සිදුවන බවයි. සෑම් සහ බ්‍රිට්නි අතර පවතින වයස් පරතරය ප්‍රශ්නයක් වේදැයි මේ අතර බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. එයට ප්‍රතිචාර දැක්වූ දෙදෙනාගේ ම සමීපතමයන් පවසන්නේ බ්‍රිට්නි ගේ ජීවිතයට මීට පෙර සමීප වූ පෙම්වතුන්ට වඩා සෑම් අස්සාරි බ්‍රිට්නිව හොඳින් අව‍බෝධ කර ගෙන සිටින බවයි.

බ්‍රිට්නි, පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඇය මීට පෙර රැප් ගායක කෙවින් ෆෙඩර්ලයින් සමඟ ගත කළ ජීවිතයේදී සීන් සහ ජේඩන් යන පුතුන් දෙදෙනා බිහි කළා. බ්‍රිට්නි මුලින්ම විවාහ වුණේ 2004 දී. ඒ, හොලිවුඩ් නළු ජේසන් ඇලෙක්සැන්ඩර් සමඟයි. ඔහු, බ්‍රිට්නිගේ කුඩා අවධියෙහි පටන් ඇයව හඳුනන මිතුරෙක්. නමුත් ඒ විවාහය පැවතුණේ දින 2ක් පමණයි. ඉන්පසුව හමුවු කෙවින් බ්‍රිට්නි අතිනත ගත්තේ 2004 සැප්තැම්බර් මාසයේදීයි. නමුත් 2006 අගභාගයේදී බ්‍රිට්නි, කෙවින්ගෙන් නිත්‍යනුකූලව වෙන්වුණා. කෙවින්ගෙන් සමුගත් පසුවයි, බ්‍රිට්නිට සෑම් අස්සාරිව හමුවුණේ.

Comments