මගේ හීනය වුණේ ගාමිණී සර් ඇස් දෙකෙන් දකින්න | Page 2 | සිළුමිණ

මගේ හීනය වුණේ ගාමිණී සර් ඇස් දෙකෙන් දකින්න

ඩොනල්ඩ්ට උපන් ගමෙන් පිදෙන උපහාරය ඔක්තෝබර් 11 වැනිදා සවස 6ට දෙණියාය කොටපල ප්‍රාෙද්ශීය සභා ශ්‍රවණාගාරයේ දී

ධර්මසිරි  ගමගේ  මහත්තයා  තමයි මගේ  ගුරුවරයා. ඔහු නැතිනම් ඩොනල්ඩ්  ජයන්ත  කෙනෙක් අද  බිහි වෙන්නේ නැහැ

සිනමා අධ්‍යක්ෂණයේදී ඒ නිර්මාණය පුරා සියලු බර කරට ගන්නේ සහාය අධ්‍යක්ෂවරයාය. අප දන්නා ඉතිහාසයට අනුව නම් මෙරට 80 දශකයේ සිට සිනමාවේ සහය අධ්‍යක්ෂවරයකු ලෙස දිර්ඝ කලක් ඒ බර කරට අරන් ඇත්තේ අද අපේ කතානායකයා වන ඩොනල්ඩ් ජයන්ත ය. ඔහුට නම් ඒ දුක සතුටකි. ඒ සිනමාවට ඔහුගේ ඇති දැඩි ආදරය සහ උන්මාදය නිසාය.

සිංහල සිනමාවේ සාර්ථක ගමනක නියැළෙන ඔහුගේ මේ ගෙවෙන්නේ සහය අධ්‍යක්ෂණයේ තිස් පස් වසරය. පාසල් යන කාලේ ඉඳන් මම හරි ආසයි චිත්‍රපට බලන්න. මගේ ගම මාතර කොටපල. එහේ සිනමා ශාලා තුනක් තිබුණා. ඒ හැම ශාලාවකටම ගිහින් ගාමිණි - මාලිනි චිත්‍රපට බලන්න පුරුදු වෙලා හිටියා. ඒ දෙපළගේ චිත්‍රපටයක් ආවොත් 10.30, 2.30, 6.30 බලනවා. ලෙනින් මොරායස්, ජේ. සෙල්වරත්නම්, යසපාලිත නානායක්කාර වැනි අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටවලට බොහොම කැමැතියි. ගාමිණි ෆොනේසේකා තමයි මගේ සිනමා ලෝකයේ වීරයා. මම සිනමාවට සම්බන්ධ වෙන්න ප්‍රධාන හේතුවක් වුණෙත් එතුමා. එතුමාගේ චිත්‍රපට බලලා මටත් ආස හිතුණා කවදහරි දවසක සිනමාවේ ඉහළටම යන්න.

මේ උන්මාදයට ‍ෙගදරින් ලැබුණේ කොහොම ප්‍රතිචාරයක්ද?

“ඉගෙන ගන්න වයසේ ඉගෙන ගනින්“ කියලා චිත්‍රපට බලන්න ගෙදරින් සල්ලි දෙන්නේ නැහැ. ඒ කාලේ ටිකට් එක සත 55යි. මම කොහොම හරි ඒ ගාන යාළුවන්ගෙන් හොයන් ඇවිදගෙනම සිනමා ශාලාවට ගිහින් බලනවා. සල්ලි නැතිම දවස්වලට බලපු යාළුවන්ගෙන් කතාව අහගන්නවා. එහෙම නැත්නම් ඉස්සර සිනමා ශාලාවල චිත්‍රපටය යද්දි පිටට ඇහෙන විදිහට ස්පීකර්ස් දාලා තිබුණේ. සල්ලි නැති දවස්වලට මම එළියේ ඉඳන් මුළු චිත්‍රපටයේම දෙබස් අහන් ඉන්නවා. මගේ හීනය වුණේ කවදහරි දවසක ගාමිණි ෆොන්සේකා ඇස් දෙකෙන් දකින්න.

කොහොමද ඒ හීනේ සැබැ වුණේ?

අම්මාගේ මාර්ගයෙන් මට ප්‍රවීණ මාධ්‍යවේදී, චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි ගමගේ මහතා හඳුනා ගන්න ලැබෙනවා. අම්මා ඔහුට කියලා තිබුණා මගේ සිනමා උන්මාදය ගැන. ඒ කාලේ මම බොහොම කැමැත්තෙන් හිටියේ රඟපාන්න. ඒ අරමුණෙන් 1980දි මම කොළඹ ඇවිත් ධර්මසිරි සර් මුණ ගැසුණා. ඔහු මගෙන් ඇහුවා “ඔයා මොනවද කරන්න කැමැති“ කියලා. මම ඔහුට කිවුවා “සර් මම ආසයි ඉගෙන ගන්න“. ඔහු ඒ කාලේ ‘යොවුන් ජනතා‘ පුවත් පතේ කර්තෘ. පහන් වැට කියලා පොඩි සඟරාවකුත් කළා. මම ඊට සම්බන්ධ වෙලා වැඩ කළා. ඔය කාලේ ධර්මසිරි මහත්තයාගේ ‘යස ඉසුරු‘ කියන චිත්‍රපටයට සහාය කාර්මික ශිල්පියකු ලෙස සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලබා දෙනවා. මම හා හා පුරා කියලා සිනමාවට සම්බන්ධ වුණේ ‘යස ඉසුරු‘ චිත්‍රපටයෙන්. එදා මම විජය - මාලනි ඇස් දෙකෙන් දැක්කා. වසර ගණනක් කොළඹ හිටියත් මගේ වීරයා හමු වුණේ නැහැ. ඔහු ලෙහෙසියෙන් උත්සවවලට සහභාගී වෙන කෙනෙක් නෙමෙයි. 1986 ධර්මසිරි ගමගේ සර් “පූජා‘ චිත්‍රපටයේ වැඩ අරඹද්දී එහි අයි. එන් හේවාවසම් කියන් ප්‍රවීණ සහාය අධ්‍යක්ෂවරයා යටතේ මට දෙවන සහාය අධ්‍යක්ෂවරයා ලෙස වැඩ කරන්න ලැබෙනවා. ඒ චිත්‍රපටයේ මුහුරත් උත්සවයේදි තමයි ගාමිණි ෆොන්සේකා කියන මගේ වීරයාව මම ඇස් දෙකට දැක්කේ. මගේ ඇස්වලට කඳුළු ඉණුවා. ධර්මසිරි සර් එතුමාට මාව හඳුන්වා දුන්නේ මේ මගේ ඥාති පුතෙක් එයා ඔයාට හරිම ආසයි කියලා. මගේ වීරයා මගේ කරට අත දාගෙන ඇහුවා “තමුන් මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ“ කියලා. මම කිව්වා “මම ආදරේ කරන්නේ සිනමාවට. සර් නිසා තමයි මම සිනමාවට සම්බන්ධ වුණේ, දැන් මගේ එකම අරමුණ සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස ඉදිරියට යන්නයි“ කියලා. ඔහුගෙන් එදා මගේ සිනමා දිවියට විටිනාම උපදෙස ලැබුණා. “ඔබ සහාය අධ්‍යක්ෂවරයෙක් වෙනවා නම් බුද්ධිය, කැපවීම සහ උනන්දුව තියාගන්න, එතකොට මේ ගමන යන්න පුළුවන්“ කියලා. සහාය අධ්‍යක්ෂවරයකු ලෙස මම මුලින්ම කටයුතු කරන්නේ1986 ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘දැහැන‘ චිත්‍රපටයෙයි. මගේ ජීවිතේ වීරයා සහ මා සිනමාවේ ආදරය කළ ගාමිණි, මාලිනි වැනි ප්‍රවිණයෝ පසු කාලීනව මට ළඟින්ම ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. එය මගේ සිනමා දිවියේ ලැබූ ලොකු සතුටක් සහ ජයග්‍රහණයක්.

සහාය අධ්‍යක්ෂණයට ඔබ තෝරා ගන්නේ සිනමාව පමණද?

මම සිනමාවටයි ගොඩක් කැමැති. සිනමාවට තිබෙන ආදරේ සහ සිනමාව නිසයි මේ තරම් දුරක් ඇවිත් තිබෙන්නේ.

සහාය අධ්‍යක්ෂවරයෙක් වෘත්තීය දැනුම ගොඩ නැඟෙන්නේ කොහොමද?

සහාය අධ්‍යක්ෂණය කියන්නේ පන්ති ගිහින් ඉගෙන ගන්න පුළුවන් දේයක් නෙමෙයි. පොත පතේ දැනුම වගේම ප්‍රායෝගික දැනුම අත්‍යවශ්‍යයයි. ඉස්සර මම දර්ශනතලවලට ගිහින් මුළු දවසේම නොකා නොබී දර්ශනතලයේ සිද්ධ වෙන තාක්ෂණික, කාර්මික, පැලැඳුම්, වේශ නිරූපණය යන මේ හැම දේම අධ්‍යනය කරනවා. ප්‍රවීණ සහාය අධ්‍යක්ෂ අයි. එන් හේවාවසම් මහතාගෙන් මට ලැබුණු ගුරුහරුකම් මගේ වෘත්තිය ජීවිතයට ලොකු රුකුලක් වුණා. ධර්මසිරි සර් නැතිනම් ඩොනල්ඩ් ජයන්ත කෙනෙක් අද බිහි වෙන්නේ නැහැ. එතැන් සිට සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස වසර තිස් පහක මේ ගමන එන්න බොහෝ දෙනා උදව් කළා. ඒ ආශිර්වාදයෙන් තමයි චිත්‍රපට 57ක්සහාය අධ්‍යක්ෂණය කර ලංකාවේ වාර්තාවක් තියන්න හැකි වුණේ. යුග තුනක වැඩ කරන්න මට වාසනාව ලැබුණා. මගේ ඊළඟ ඉලක්කය චිත්‍රපට 100 ක සහාය අධ්‍යක්ෂවරයා වෙමින් ලෝක වාර්තාවක් තියන්නයි. ජීවත් වෙලා හිටියොත් අනිවාර්යයෙන්ම එය කරනවා.

ඔබ අධ්‍යක්ෂවරයකු වන්නේ වසර 30කට පසුව?

මගේ මුල් ඉලක්කය වුණේ මම කවදා හරි චිත්‍රපටයක් කරන්නේ චිත්‍රපට 50ක සහාය අධ්‍යක්ෂණය කරාට පසුවයි කියලා. මම චිත්‍රපට පහක් අවසන් කරද්දි තව චිත්‍රපට පහක අධ්‍යක්ෂවරුන් ඉන්නවා මම එනතුරු.මට අධ්‍යක්ෂණය කරනවා නම් නිෂ්පාදකවරු ඕනෑ තරම් . නමුත් මම වඩා කැමැති සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස අධ්‍යක්ෂවරු කිහිප දෙනෙක් සමග වැඩ කරලා ඔවුන්ගේ තිබෙන දක්ෂතා දැනුම මට ලබා ගන්න.

සහාය අධ්‍යක්ෂවරු කියන්නේ මේ ක්ෂේත්‍රයේ කිසිඳු ඇගැයීමකට ලක් නොවන පිරිසක් නේද?

වෙන රටවල සහාය අධ්‍යක්ෂවරයා කියන්නේ සම්මාන, උපහාර ලබන කෙනෙක්. හරියට බැලුවොත් ඔහු ඒ නිර්මාණ කණ්ඩායමේ සියල්ලන්ගේ දුක් ගන්නා රාළ කෙනෙක්. ඔහුගේ කාර්ය බැරෑරුම්. ඔහුට චිත්‍රපටය නැති කරන්නත් පුළුවන්. හදන්නත් පුළුවන් .නමුත් මට මේ හැම දේම ලැබිලා තියෙන්නේ සිනමාව නිසා. මෙ‍ෙතක් කල් මගේ ජීවිතේ හැම දේම සපුරා ගත්තේ කලාවෙන්. මම කලාවට ගොඩක් ආදරෙයි. සම්මාන බලාගෙන මම වැඩ නොකළත් සහාය අධ්‍යක්ෂවරයාගේ භූමිකාවට සිංහල සිනමාවේ සම්මාන, ඇගැයීම් ලැබෙනවා නම් එය අපේ ගමනට මහත් දිරියක්, ශක්තියක්. මට ලැබුණු ගෞරව සම්මාන 10 විතර ලැබි තිබෙනවා. ඕ.සිය.සී, පීපල්ස් ඇවොර්ඩ්ස්, දෙරණ සම්මාන උළෙල සහ එක් එක් සංවිධාන සහ අයතනවලින්. මේ මාසේ 11 වෙනිදාත් අපේ ගමේ මම වෙනුවෙන් මොරවක පේර්පස් කියන ආයතනයේ සංවිධානයෙන් උපහාර උත්සවයක් පවත්වන්න ඔවුන් කටයුතු කර තිබෙනවා. ඒ සියල්ල මට ලැබුණු ගරු සම්මාන. අද කලාකරුවාට කිසිම රාජ්‍ය අනුග්‍රහයක් නැහැ. චිත්‍රපට සංස්ථාවෙන් දෙන 5000 ක පෙන්ෂන් එක පුළුවන් නම් 10000 කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. සිංහල චිත්‍රපට 100 නාලිකාවල පෙන්වන්න. එක් චිත්‍රපටයකට 25000 බද්දක් අය කරගත්තොත් ඒ බද්ද වයෝවෘද්ධ කලාකරුවො වෙනුවෙන් හෝ මේ පැන්ෂන් එකට එකතු කරන්න පුළුවන්.

Comments