එක පන්තියේ අඹ­යා­ළු­වන් පර සතු­රන් වී මිනී මරා­ගන්නා රත්ම­ලානේ පාතාල සුල­මුල | Page 2 | සිළුමිණ

එක පන්තියේ අඹ­යා­ළු­වන් පර සතු­රන් වී මිනී මරා­ගන්නා රත්ම­ලානේ පාතාල සුල­මුල

ටේ නීතිය අතට ගෙන ගල්කි­ස්සේත් රත්ම­ලා­නේත් මිනී මරණ ගොනා­කෝ­විලේ රොහා සහ අංජු­ගේත් ගැටුම මේ වන­වි­ටත් ඇත්තේ ජීවි­ත­ව­ලට ඉව අල්ල­මිනි. පසු­ගිය දශක දෙක තුළ දෙපැත්තේ තිහ­කට ආසන්න සංඛ්‍යා­වක් එකි­නෙකා මරා­ගෙ­නය. තවත් එකි­නෙ­කාගේ ජීවි­ත­ව­ලට එකි­නෙකා ඉව අල්ල­මිනි. ගොනා­කෝ­විලේ රොහාගේ ගෝල­යින්, හිත­ව­තුන් සොය සොයා මරා දමන අංජු මේ වන­විට ඩුබා­යි­ව­ලය. ටෙස්ට් ක්‍රීඩක ධනං­ජය සිල්වාගේ පියා අංජු අතින් ඝාත­නය වන්නේත්, ධනං­ජය හා සොයුරා ඝාත­න­යට කුම­න්ත්‍ර­ණය වන්නේත් ඔවුන් රොහා සමග සබ­ඳ­කම් ඇතැයි අංජු විශ්වාස කළ නිසාය. අප­රාධ රැසක් සම්බ­න්ධව ගොනා කෝවිලේ රොහා බන්ධ­නා­ගා­ර­ග­ත­වය. අප­රාධ මෙහෙ­ය­වෙන්නේ ඩුබා­යි­වල සිට හා බන්ධ­නා­ගා­රයේ සිටය.

මේ මොහොත වන­විට අංජුගේ ගෝල­යන් ගිනි අවි රැගෙන රොහාගේ ගෝල­යන් සොය­මින් එළි­පිට හැසි­රෙ­න්නේය. ගැට­ලු­ව­ක්වන අව­ස්ථා­ව­කදී අංජු සිය ගෝල­යන් ඩුබායි ගෙන්වා ගන්නේය. නොමැ­ති­නම් පොලි­සිය බැලන්ස් කර බන්ධ­නා­ගා­රය ඇතු­ළට යවා ගන්නේය. මේ ගැටුමේ කෙළ­ව­රක් දකි­න්නට නැත. මිනී කඳු ගොඩ ගැසූ මේ කාකොට ගැනීමේ මුල රොහාගේ අතින් අංජුගේ සහෝ­ද­රයා ඝාත­නය වීමය.

අංජුගේ සහෝ­ද­ර­යාට කීවේ ලංසියා කියාය. ලංසියා යුරෝ­පීය පෙනු­මක් සහිත කඩ­ව­සම් තරු­ණ­යෙකි. ලන්සි­යාත් රොහා­නුත් කාල­යක් ගජ මිතු­රන්ය. ඒ ගටුම පිලි­බඳ කතාව 80 දස­කයේ මුල් භාගය දක්වාම දිව යන්නෙකි.

එකල රත්ම­ලාන හොල්ල­ගෙන සිටියේ ලන්සි­යාගේ බාප්ප­ලාය. එකල මුළු රත්ම­ලා­නම හෙල්ලී ගියේ ලංසි­යා­ගේත් ලොකු බාප්පාගේ නම­ටය. ඔහු රාජාය. රත්ම­ලානේ රාජා යැයි කී විට එකල නොදන්නා කෙනෙක් නැති තරම්ය. රත්ම­ලා­න­ටම පිළි­ල­යක් වූ රාජා 88 – 89 භීෂ­ණයේ ගොදු­රක් බවට පත්වූ­යේය. චන්ඩි­කාර ලන්සි­යාගේ බාප්පා­වරු කිහිප දෙනෙක්ම මිය යන්නේ අකා­ල­යේය.

ලන්සි­යාත් රොහාත් අංජුත් අධ්‍යා­ප­නය ලබන්නේ ගල්කිස්සේ පිහිටි ප්‍රසිද්ධ විද්‍යා­ල­ය­කිනි. රොහාත් ලන්සි­යාත් එක පන්තියේ මිතු­රන්ය. අංජු එකල පොඩි කොල්ලෙකි. මේ තිදෙ­නාම සාමාන්‍ය පෙළෙන් ඉහ­ළට අධ්‍යා­ප­න­යක් ලබා ඇති බවක් දැන ගන්නට නැත. ලන්සි­යා­ටත් රොහා­ටත් එකල පැවැති එකම ආශාව වූයේ ඇග පත පුම්බා ගන්න­ටය. ඔවුන් කාය­ව­ර්ධන ක්‍රීඩා­වට යොමු­වන්නේ ඒ අනු­වය. ලන්සි­යාගේ බාප්පලා ගමේ චණ්ඩින් වූවත් ඔවුන් ලන්සි­යාට ඒ චණ්ඩි­කම් ඇඟට ගන්නට ඉඩ දුන්නේ නැත. ගමේ සාමාන්‍ය පවු­ලක දරු­වෙක් වූ රොහා­ටත් ඒ නිසා ලන්සියා සමග එක්ව කිසි­වෙ­කු­ටත් වැඩ පෙන්න­න්නට ඉඩක් නොවීය. ලන්සි­යාත් රොහාත් අතර පැවැති මිතු දම කොත­ර­ම්දැයි සඳ­හන් කළ­හො­ත්එ­කල ඔවුන් කෑවේ බිව්වේ එක­ටය. ඇදුම් පවා ඇන්දේ එකම විදි­හ­ටය.

ඒ බැදී­මට කණ­කොකා හැඬ­වෙන්නේ ලන්සි­යාගේ ඥාති දිය­ණි­ය­කට රොහාගේ මිතු­රෙක් පෙම් කර­න්නට ගොසිනි. ඒ බව දැන­ගත් රංජි නැමැති ලන්සි­යාගේ බාප්පා එම මිතු­රා­වත් රොහා­වත් නිව­සට කැඳවා අත­පය දිග­හැර සල­කන්නේ බඩ­ක­ට­පු­රාය. එම පාවා­දීම පිටු­පස සිටියේ ලන්සි­යාය. ඒ බව දැන­ගත් රොහා ලන්සි­යා­ගෙන් ඈත් විය. රොහා තෙල­වල පැත්තේ පිහිටි ප්‍රසිද්ධ ඇඟ­ළුම් කම්හ­ලක ආර­ක්ෂක අංශ සාමා­ජි­ක­යෙක් ලෙස සේව­යට ගියේ පවුලේ වැඩි මහල් දරුවූ වූ බැවින් පවුලේ බර කරට ගන්න­ටය. එම රැකි­යා­වෙන් ලැබෙන සොච්චම් පවුලේ බර කෙසේ වෙතත් ඔහු­ටද ජීව­ත්ව­න්නට ප්‍රමා­ණ­ව­තක් නොවීය. ඔහු අලුත් තැනක රක්ෂා­ව­කට ගියේ. ඒ මොර­ටුවේ අව­න්හ­ලක වේට­ර්ව­ර­යෙක් ලෙසිනි. රොහාගේ ජීවි­තය කණ­පිට පෙර­ලෙන්නේ එහි­දීය. ඒ එකල මොර­ටුව හොල්ලා­ගෙන සිටි මොරටු සමන්ව දැන හඳුනා ගන්නට ලැබී­මෙනි. මොරටු සමන් එම හෝට­ල­යට නිතර ආ ගිය අයෙකි. එහිදී මොරටු සමන් දැන­හ­ඳුනා ගන්නා රෙහා පාතා­ල­යට අත­පොත් තබන්නේ ද මොරටු සමන්ගේ ආශි­ර්වා­ද­යෙනි. ඒ ලන්සි­යාගේ බාප්පා­ගෙන් පළි­ග­න්න­ටය.

ඒ බව ලන්සි­යාගේ බාප්පාගේ කණ වැකී­මත් සමග රොහාට සිදු­වන්නේ අත්බෝ­ම්බ­යක් ලඟ තබා ගැනීමේ චෝද­නා­ව­කට ගල්කිස්ස පොලි­සියේ අත්අ­ඩං­ගු­වට පත්ව බන්ධ­නා­ගා­ර­ගත වන්න­ටය. ඒ පිටු­පස සිටියේ පොලි­සිය සමග ඉතා කිට්ටු සම්බ­න්ධ­කම් පැවැති ලන්සි­යාගේ තවත් බාප්පෙකි. දෙහි­වල ගල්කිස්ස නගර සභාවේ මන්ත්‍රී­ව­ර­යෙක්වූ ඔහුව බොහෝ දෙනා හඳු­න්වනු ලැබුවේ පොඩි මහ­ත්තයා යැයි කියාය.

නොකල වර­ද­කට බන්ධ­නා­ගා­ර­ග­ත­වන රොහා මාස ගණ­නා­ව­කට පසු එළි­යට එන්නේ අප­රාධ ලෝකයේ වැඩ කරු­වන් රැසක් සමග සම්බ­න්ධ­කම් ඇති­කර ගනි­මිනි. විශේෂ කාර්ය බල­කා­යෙන් පළා­විත් සිටි සෙබ­ලෙක් වන බයි­සි­කල් බේබි නැමැති ප්‍රකට වෙඩි­ක්ක­රුවා දැන හදුනා ගන්නට රොහාට අව­ස්ථාව ලැබෙන්නේ බන්ධ­නා­ගා­ර­යේ­දීය. රොහා බන්ධ­නා­ගා­ර­යෙන් එළි­යට එන්නේ අප­රාධ ලොකයේ පරි­ණ­ත­යෙක් ලෙසය. ඒ එදා ඔහුගේ කණට ගැසූ ලන්සි­යාග් බාප්පාට බන්ධ­නා­ගා­ර­යේදී දැන හඳු­නා­ගත් වෙඩි­ක්ක­රු­වෙක් යොදා පාන­දු­රේදී වෙඩි තබා මරා දම­මිනි. ලන්සි­යාගේ බාප්පා­ව­රුන්ගේ හිරි­හැ­ර­ව­ලට ලක්වුණු තරු­ණ­යින් රොත්තක්ම රොහා වටා එක්වන්නේ ඒත් එක්ක­මය. ඒ අය අතර බොරු­පන සංජීව, පිංවත්තේ කළු, මහේෂ්, වාසනා ඇතුළු පිරි­සක්ම සිටි­යහ.

බන්ධ­නා­ගා­ර­යෙන් එළි­යට පැමිණි රොහා සිය නාමය ඉදි­රියේ පළමු මිනිස් ඝාත­නය පොලිස් පොත්වල ලියවා ගන්නේය. ඒ පොලි­සිය සමග එක්ව බෝම්බ­යක් අතින් දම්මවා තමාව හිර­ග­ත­කල පොඩි මහ­ත්තයා මරා දැමී­මෙනි. දෙහි­වල ගල්කිස්ස මහා නගර සභාවේ මන්ත්‍රී­ව­ර­යෙක්වූ පොඩි මහ­ත්ත­යාට එදා රොහා වෙඩි තබා මරා දමන්නේ මහා නගර සභාව තුළ­දී­මය. මොරටු සමන්ද වෙඩි ප්‍රහා­ර­ය­කට ලක්ව ඝාත­නය වන්නේ මේ අතර තුර­දීය. මොරටු සමන්ගේ හිඩැ­සට නිත­ර­ග­යෙන් පත්වන්නේ රොහාය. ඒ වන විට රොහා රටේ නම­ගිය කොල්ක­රු­වෙක් බව­ටද පත්ව සිටි­යේය. රන් භාණ්ඩ අලෙ­වි­සල් ඔහුට පෙන්නන්ට බැරිය. රට වටේම කරක් ගස­මින් ඔහු රන් භාණ්ඩ අලෙ­වි­සල් කොල්ල­කෑ­වේය. ඔහුව පොලි­සි­ය­ටත් හිස­ර­ද­යක් විය. එම හිස­ර­ද­යෙන් පොලි­සිය ගැල­වෙන්නේ බොම්බ­යක් සමග රොහා ඇතුළු ඔහුගේ කල්ලියේ හය දෙනෙක්ම හිරේට යව­මිනි.

වසර දෙක­කට ආසන්න කාල­යක් බන්ධ­නා­ගා­ර­ග­තව සිටින රොහා සිය ගෝල­බා­ල­යින් සමග ඇප මත එළි­යට එන්නේ 2006 වස­රේ­දීය. ඒ වන විට ලන්සියා සිටින්නේ සිය බාප්පා­වරු මරා දැමු­වාට රොහා­ගෙන් පළි ගන්නට සූදා­න­මිනි. පිරිස් බල­යෙන් මෙන්ම ආයුධ අතින්ද ලන්සියා සිටියේ රොහාට වඩා බල­ව­ත්වය. ලන්සියා මත්කුඩු ජාවා­ර­ම­ටද අත තබා තිබුණේ ගල්කිස්සේ සිට පාන­දුර දක්වාම බලය අල්ල­මිනි. රොහාද සටන අත­හැ­රියේ නැත. ඔහුත් මත්කුඩු ජාවා­ර­මට අත තැබු­වේය. ඒ ලන්සි­යාගේ බලය හීන කර­න්න­ටය. ලන්සියා මත්කුඩු බෙදූ තැන්ව­ල­ටම රොහාද බෙද­න්නට ගත්තේය. ලන්සි­යාත් රොහාත් අතර පාතා­ලයේ ගැටුම් ඇති­වන්නේ ඒත් එක්ක­මය. මේ ගැටුම පාල­නය කිරී­මට බැරිම තැන පොලි­සිය කරන්නේ බොම්බ­යක් සමග අල්ලා රොහාව නැව­තත් ඇතු­ළට දැමී­මය.

එසේ වූ පම­ණින් දෙපැත්තේ ගැටු­මට නිමක් වූයේ නැත. රොහා බන්ධ­නා­ගා­රය ඇතුළේ සිට සිය ගෝල­බා­ල­යින් ලන්සි­යාට එරෙ­හිව මෙහෙ­ය­ව­න්නට ගත්තේය. දෙපැ­ත්තේම තරු­ණ­යින් එකි­නෙකා මරා ගන්නා විට මේ කල්ලි දෙක සමා­දාන කර­න්නට ඉදි­රි­ප­ත්වන්නේ මොර­ටුවේ එකල සිටි අණ්ඩුවේ දේශ­පා­ලන බල­ව­තාය. එම දේශ­පා­ලන බල­වතා ඊට මැදි­හත් වන්නේ “බලන්න සර්, මුං එකට හැදිච්ච කොල්ලො, දැන් මරා ගන්නවා. දවස ගානේ එක එකා මැරෙ­නවා. සර්වත් මුංට ටිකක් කථා­ක­රල මේ මරා ගැනිල්ල නව­ත්තල දෙන්න“ යැයි ලන්සි­යාගේ මව­ගෙන් ලද ඉල්ලී­ම­ක­ටය.

ඒ වන විට රොහා සිටින්නේ බන්ධ­නා­ග­ර­යේය. රොහා වෙනු­වෙන් එම සාම සාක­ච්ඡා­වට එක්වන්නේ රොහාගේ ගෝල­බා­ල­යින්ය. ලන්සි­යාත් ඔහුගේ ගෝල­යින් සමග එම සාක­ච්ඡා­වට එක්ව සිටි­යහ. දේශ­පා­ලන බල­වතා ඉදි­රියේ දෙපැත්ත සාම ගිවි­සු­ම­කට එළ­ඹෙන්නේ එකි­නෙකා වැල­ඳ­ගෙන නැව­තත් මරා නොගන්නා බවට ප්‍රතිඥා දෙමිනි. ගොනා­කො­විලේ පොදු­ජය මාවතේ පිහිටි රොහාගේ ලෑලි නිවස දෙම­හල් සුවි­සල් මන්දි­ර­යක් ලෙස ගොඩ නැගෙ­න්නේද මේ කාල­යේ­දීය. ගෙට ගෙව­දීමේ උත්ස­වය සම­රන්නේ මහ ඉහ­ළිනි. ඒ වන විටත් රොහා සිටින්නේ බන්ධ­නා­ග­ර­යේය. ප්‍රාදේ­ශීය දේශ­පා­ල­න­ඥ­ය­න්ටත් පොලි­සි­ය­ටත් ආරා­ධනා ලැබ තිබුණු එම උත්ස­ව­යට ලන්සි­යාට මෙන්ම ඔහුගේ ගෝල­බා­ල­යි­න්ටත් ආරා­ධනා ලැබී තිබු­ණේය. ඒ දෙපැත්ත දැන් සාම දාන බව තව­දු­ර­ටත් තහ­වුරු කර­මිනි.

ලන්සි­යා­ගේත් රොහා­ගේත් මේ එක්වීම කේල­ම්ව­ලින් යැපුණු දෙපැ­ත්තේම කිහිප දෙනෙ­කුට දැඩිව බල­පෑ­වේය. ඔවුන් දෙපැ­ත­ක්තට කේලම් කිය­මින් හැම විටම උත්සාහ ගත්තේ ගැටු­මක් අවු­ලු­ව­න්න­ටය. ලන්සියා කෙසේ වෙතත් එම කේලම් වලින් රොහා ඇවි­ස්සෙ­න්නට ගියේ නැත. ඒ නිසාම 2013 වසරේ රොහා ඇප­මත එළි­යට එන තුරුම දෙපැ­ත්තම සාම­කාමී විය.

රොහා එළි­යට ආවත් වැඩි පුර ගමේ රැඳී සිටියේ නැත. ඔහු ගත කර­න්නට වූයේ සැග­වුණු ජීවි­ත­යකි. ඒ වන විට කොළඹ හොල්ලා­ගෙන සිටි පාතා­ලයේ වැඩ කරු­වන් රැසක් සම­ගින්ද රොහාට ලොකු සම්බ­න්ධ­කම් ගොඩ නැගී තිබු­ණේය. දකුණු පළාත් සභා මැති­ව­ර­ණය පැවැති සම­යේදී ඔහු දකුණේ දේශ­පා­ල­න­ඥ­යෙ­කුට වැඩ කර­න්නට යන්නේ ඒ හිත­ව­ත්කම් මත ඇති­වුණු සම්බ­න්ධ­ක­මක් ඔස්සේය. මැති­ව­රණ ජය­ග්‍ර­හ­ණ­යෙන් පසු එම දේශ­පා­ල­ඥයා දකුණු පළාත් සභාවේ ඇම­ති­ධු­ර­යක්ද දැරු­වේය. මහි­යං­ග­නය පැත්තේද දේශ­පා­ල­න­ඥ­යෙ­කුගේ මැති­ව­රණ කට­යුතු වලට රොහා සම්බ­න්ධව සිටි­යේය. ඒ සිය ගෝල­යින් රොත්තක්ද සම­ගිනි. එම දේශ­පා­ල­ඥයා දැන් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යෙකි.

ඒ වන විට රොහාගේ හොදම මිතුරා බවට පත්ව සිටින්නේ දිනේෂ්ය. රත්ම­ලාන පැත්තේ ඔහුට කියන්නේ පොලී දිනේෂ් යැයි කියාය. රොහා­ගේත් ලන්සි­යාගේ ගැටු­ම්ව­ලට නැව­තීමේ තිත කැබී­මෙන් පසු කේලම් වලින් යැපුණු රොහාගේ දෙදෙ­නෙක් කරන්නේ දිනේෂ් සහ රොහා අතර ගැටු­මක් ඇති­ක­ර­ව­න්නට උත්සහ ගැනී­මය. ඒ ලන්සියා සමග දිනේෂ් එක්ව රොහාව මරා දැමී­මට සැළ­සුම් කරන බව රොහාට කිය­මිනි. රොහාගේ මත්කුඩු ජාලයේ වැඩි කොට­සක් මෙහෙ­ය­වනු ලැබුවේ දිනේෂ්ය. ඒ වන විට රොහාගේ මත්කුඩු අලෙ­වි­යද පහත බැස තිබු­ණේය. කේලම් කාර­යින් දෙදෙනා ඒත්තු ගන්වන්නේ ලන්සි­යාගේ උව­ම­නා­වට දිනේෂ් විසින් රොහාගේ මත්කුඩු නිසි පරිදි බෙදා නොහ­රින බවය.

රොහා ඒ ලණුව කෑවේය. ඔහු සිය මිතු­රාව මරා දැමී­මට තීර­ණය කළේය. වෙඩි­ක්ක­රු­වන් යොදා තෙල­වල පිහිටි සැලුන් එක­කදී දිනේෂ්ට වෙඩි තැබූ­වත් ඒ වෙඩිල්ල වදින්නේ වෙනත් අයෙ­කු­ටය. ඒ 2014 වස­රේ­දීය. වෙඩි­ක්ක­රුවා බයි­සි­කල් බේබිය. අන­තු­රුව කල්දෙ­මු­ල්ලේදී බන්දු නැමැති ත්‍රී රෝද රථ රිය­දු­රෙ­කුට වෙඩි තබා මරා දමන්නේ තමා­ගෙන් එතෙක් කලක් මත් කුඩු ලබා­ගෙන බෙදා හරි­මින් සිටි ඔහු ලන්සි­යාට හේත්තු­වීමේ වර­ද­ටය.

මේ අතර දිනක් රොහාගේ බිරි­යගේ සහෝ­ද­රයා ත්‍රී රෝද රථ­ය­කින් එන්නේ සිය නැග­ණිය මුණ ගැසෙ­න්න­ටය. ඔහු බන්ධ­නා­ගාර නිල­ධා­රි­යෙකි. පොලිස් විශේෂ කාර්ය බල­කායේ සේවයේ නිර­තව සිටින ලන්සි­යාගේ ඥාති­යෙක් මෝටර් රථ­ය­කින් රොහාගේ නිවස ඉදි­රි­පි­ටින් ගමන් කර­න්නට යෙදෙන්නේ ඔය අතර තුර­දීය. රොහාගේ මස්සි­නාගේ ත්‍රී රෝද රථ­යෙන් ඒ වන විටත් මාර්ගය තිබෙන්නේ අව­හිර වීය. ඒ ගැන රොහාගේ මස්සිනා සහ ලන්සි­යාගේ ඥාතියා අතර ඇති­වන්නේ බහි­න්බස් වීමකි. එහිදී රොහාගේ මස්සි­නා­ගෙන් පහ­රක් වදින්නේ ලන්සි­යාගේ ඥාති­යා­ටය. එය කණ වැකුණු ලන්සියා එදා රොහාගේ නිව­සට කඩා වදින්නේ ගෝල­බා­ල­යින් රොත්තක් සම­ගිනි. ඒ වන විට නිවසේ සිටින්නේ බිරි­ඳගේ පියා පමණි. ඔහුගේ කටට පිස්තෝ­ලය දමා කර­කවා මර­ණීය තර්ජ­නය එල්ල කරන ලන්සියා “වැඩිය දග­ලන්න හැදු­වොත් තොපි ඔක්කොම බාව­නවා“ යැයි කිය­මින් යන්නට ගියේය.

රොහා­ගේත් ලන්සි­යා­ගේත් සාම ගිවි­සුම බිඳ වැටෙන්නේ ඒත් එක්ක­මය. දෙපැත්ත මරා ගන්නා විට රොහා ඩුබායි පනි­න්නේය. ඒ සුදු වෑන් රථ ඔහුව හඹා එන්නට වූ බැවිනි. ලන්සි­යාද සිදු වෑන් රථ වලට බියෙන් සැඟ­වු­නේය. ඔහු සැඟ­වෙන්නේ ජා-ඇල පැත්තේ කුලි­යට ගත් නිව­ස­කය. රොහා ඩුබායි රැඳී සිටියේ බ්ලූමැ­න්ඩල් සංඛ සහ ආමි සම්පත්ලා සම­ගිනි. මේ සියළු දෙනාම මෙර­ටට එන්නේ ඉකුත් මහා මැති­ව­රණ සම­යේ­දීය. මහ­නු­වර පැත්තේ දේශ­පා­ල­න­ඥ­යෙ­කුට එවර රොහා හේත්තු විය. මේ අතර ලන්සි­යාද කල­එළි බැස්සේය. ඒ වන­විට රොහාගේ කේල­ම්කාර ගෝල­බා­ල­යින් කිහිප දෙනෙක්ම සිටියේ ලන්සි­යාට හේතු­වීය. ඒ හයිය ඇඟට ගත් ලන්සියා රොහාව මරා දම­න්නට සැල­සුම් කළේය. එම කේල­ම්කා­ර­ය­න්ගෙන්ම කල්ති­යාම ඒ වග රොහාගේ කණ වැකී තිබු­ණේය. ලන්සි­යාට කලින් ක්‍රියා­ත්මක වූ රොහා මහර බන්ධ­නා­ගා­රය ඉදි­රි­පි­ටදී 2016 වසරේ ජුනි 23 වෙනිදා ලන්සි­යාව මරා දැම්මේය.

අංජු නැමැති පාතා­ලයේ අප­රා­ධ­කරු බිහි වන්නේ ඒත් සම­ගය. ඒ සිය සහෝ­ද­රයා වූ ලන්සියා මරා දැමූ රොහා­ගෙන් පලි ගන්න­ටය. ඒ වන විටත් අවස්ථා හය හත­ක­දීම රොහා විසින් අංජුට ඉව අල්ලා තිබුණි. අංජු පාසල් ශිෂ්‍ය­යෙක්ව සිටි­ය­දීත් වරක් රොහා අංජුට කොකා ගැස්සු­වේය. එම වෙඩි­ල්ලට බිලි වන්නේ අංජුගේ හොඳම මිතු­රාය. අංජුගේ හිතේ සිය මිතු­රාගේ මර­ණ­යද තදින්ම කා වැදී තිබුණි. ඔහු ආයු­ධය අතට ගන්නේ ඒ සිය­ල්ල­ගෙන්ම පළි ගන්නට සිතා­ගෙ­නය. ඔහුගේ මුල්ම බිල්ල රොහාගේ සමී­ප­ත­ම­යෙක් වූ ප්‍රභාත් නැමැ­ත්තාය. අංජු පිළි­ය­න්ද­ලදී ප්‍රභාත්ට වෙඩි තබා මරා දම­න්නේය. අන­තු­රුව අංජු අතින් ඝාත­නය වන්නේ රොහාගේ බාප්පාය. කැල­ණි­තිස්ස විදුලි බලා­ගා­රයේ සේව­කෙ­යෙක් වූ ඔහුව මරා දමන්නේ වාද්දූ­වේ­දීය. අන­තු­රුව දිගට හර­හට රොහාගේ ගෝල­බා­ල­යින් රැසක්ම අංජුගේ ඉල­ක්කය බවට පත්ව­න්නේය. අංජු මෙසේ ඝාතන අණ දෙන්නේ ඩුබායි සිටය.

රොහාගේ මත්කුඩු ජාලය පවා මේ වන විට අංජු බිඳ හෙලා හමා­රය. ඩුබායි සිට ඔහු දැන් සිටින්නේ බලය අල්ල­මිනි. රොහාට එලි­යට එන්නට ඇප කරු­වන් වන අය­ටද අංජු­ගෙන් කිසිදු සමා­වක් නැත. ඒ අතර රොහාත් කල් යල් බල­මිනි. පුරා වසර විස්සක් තිස්සේ දිග් ගැසෙන මේ පාතාල ගැටු­ම්ව­ලට තැබී­මට වග­කි­ව­යු­ත්තන් මීට වඩා අව­ධා­නය යොමු කළ යුතුය.

Comments