රංගන ශිල්පී කුමුදු පාලිතට කලාශූරී විභූෂණ සම්මානයක්.. | Page 2 | සිළුමිණ

රංගන ශිල්පී කුමුදු පාලිතට කලාශූරී විභූෂණ සම්මානයක්..

සාමදාන විනිශ්චකාර ඩී.පී කුමුදු පාලිත ජයවීර ‘කීර්ති ශ්‍රී දේශබන්ධු කලාශූරි අධ්‍යාපන විභූෂණ‘ ගෞරව සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබුවේය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මෙම උලෙළේදී ඔහුට මේ සම්මානය පිරිනැමුණේ ලෝක ජනගහන දිනයට සමගාමීව විවිධ කලා කුසලතා වෙනුවෙන් දැක්වු දක්ෂතා ඇගයීම වෙනුවෙනි.

තිර රචනය, ගීත ගායනය හා රචනය, කෙටිකතා සහ නාට්‍ය රචනය යන කලා කුසලතාවලින් හෙබි ඔහු ටවර්හෝල් යුගයේ රංගධර‍යකු හා නාඩගම් නුර්ති නාට්‍ය රචකයකු, නිෂ්පාදකයකු වන ධර්මදාස කුරප්පු මහතා සමඟ ටවර්හෝල් ගීත ගායනා කරමින් ගීත සංස්කර්ණ කටයුතු සඳහා දායක වී තිබේ. සංගීත විශාරද ගුණදාස ප්‍රේමවර්ධනයන් යටතේ සාහිත්‍ය හදාරමින් සංගීත ප්‍රසංග කිහිපයකටම ගායනා ඉදිරිපත් කරමින් සිය දක්ෂතා පෙන්වා ඇති ඔහු රූපවාහිනි තිර රචනය පිළිබඳව ද හැදැරීම් කර තිබේ.

‘අධිපතියා‘ ‘ජබොක්‘ ‘සොයන්නෝ‘ වැනි නාට්‍ය කිහිපයකම පිටපත් රචනයෙන් දායකවී ඇති ඔහු එහි අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේය. සයිමන් නවගත්තේගමයන් විසින් ලෝක ආගම් දින වෙනුවෙන් රචිත ‘ලෝකෝත්‍ර‘ නාට්‍යයේ ද සිය රංගන කුසලතාව පෙන්වූ ඔහු අසූව දශකයේ සිට නාට්‍ය සියයකට ආසන්න ප්‍රමාණයකට රංගන දායකත්වය ලබා දි තිබේ. ‘මායාවරු‘, සරා, දිනවසර, සෝබන නානා, ගුත්තිල මූසිල, සේනක නාඩගම, ස්වර්ග ඒජන්ට්, නරි කෝලං, ඔහු රගපෑ නාට්‍ය අතරින් කිහිපයකි.

 

Comments