හිරුට මුවා වී සුදු වෙන්න ගිහින් පිළි­කා­වෙන් මැරෙන්න හදන ලංකාවේ මිනිස්සු | Page 2 | සිළුමිණ

හිරුට මුවා වී සුදු වෙන්න ගිහින් පිළි­කා­වෙන් මැරෙන්න හදන ලංකාවේ මිනිස්සු

 

පේ මුතුන් මිත්තන් හිරු එළි­යට බියෙන් සන් ක්‍රීම් හෝ වැස්ලීන් ඇඟ ගල්වා­ගෙන නොසිටි බව කවු­රුත් දනිති. ඔවුන් අව්වේ පිට­තට යෑමට අප මෙන් බිය වූවේ ද නැත. ඇත්ත වශ­යෙන්ම, ඔවුහු එය ජීවි­තයේ මූලි­කාං­ග­යක් ලෙස දුටහ. නමුත් ඔවුන් එසේ හිරු එළි­යට බිය නොවී තම දින චර්යාව සිදු කර­ගැ­නීම ඔවුන්ගේ ජීවි­ත­ව­ලට ඉම­හත් ප්‍රති­ලාභ ගෙන දීමට හේතු වූවක් බව, කොටින්ම ඒ ප්‍රති­ලාභ ඔවුන්ගේ ඇට කටු ශක්ති­මත් කිරීමේ සිට, පිළිකා, හද­වත් රෝග වලින් වැළකී දීර්ඝා­යුෂ විඳීම දක්වා වන පුළුල් පරා­ස­යක විහි­දුණු බවත් ඔබ දැන සිටි­යාද?

 

සන් ක්‍රීම්

එහෙත් ප්‍රධාන ධාරාවේ සෞඛ්‍ය උප­දේ­ශය වන්නේ හිරු එළි­යෙන් සැඟවී පලා­යෑම ය. ගෝලීය සන්ස්ක්‍රීන් සහ ශරී­රා­ලේ­පන කර්මා­න්තයෙ වප­ස­රිය මේ වන විටත් වස­ර­කට ඇම­රි­කන් ඩොලර් බිලි­යන 15ක් පමණ වෙයි. එය ඉදිරි වර්ෂ 5 තුළ දී බිලි­යන 24ක් දක්වා ප්‍රසා­ර­ණය වෙතැයි ගණන් බලා තිබේ. රුපි­ය­ල්ව­ලින් නම් එය, රුපි­යල් කෝටි හාර­ලක්ෂ තිස්තුන් දාහක් ඉක්මවා යන වෙළෙ­ඳ­පො­ළකි. ශරී­රා­ලේ­පන කර්මා­න්ත­ක­රු­වන් බිලි­ය­න­ප­ති­යන් කළ පෙර කී ජන­ප්‍රිය වෛද්‍ය උප­දේ­ශය අකු­ර­ටම විශ්වාස කිරීම නිසා, වෙළෙඳ දැන්වී­ම්වල කියන කියන ශරී­රා­ලේ­පන ඇඟ ගල්වා­ගෙන හිරුට බියෙන් සැඟ­වෙ­න්නට හදන අස­රණ පාරි­භෝ­ගි­ක­යන් කෝටි ගණ­නක් අමා­රුවේ දමා තිබෙන බව, අධ්‍ය­යන වාර්තා කිය­වී­මෙන් හෙළි වෙයි.

 

පිළිකා හැදෙන්නේ සූර්ය­යාට මුහුණ දීමෙන් ද, වහන් වීමෙන් ද?

සූර්යයා යනු අපගේ සමේ තානයේ වාද්‍ය වෘන්ද­යයි. සමේ වර්ණය සෑදී ඇත්තේ මෙල­නී­න්ව­ලිනි. මෙල­නීන් අහි­ත­කර සූර්ය විකි­ර­ණ­ව­ලින් අපේ සම ආරක්ෂා කරන ස්වභා­වික රැක­වලා වේ.

මීට අවු­රුදු පනස් දහ­ස­කට පෙර අපගේ කාල වර්ණ සමක් ඇති අප්‍රි­කානු මුතුන් මිත්තෝ උතු­රට සංක්‍ර­ම­ණය වී යුරෝ­පයේ හා ආසි­යාවේ පදිංචි වූහ. එසේ උතු­රට ගිය අපගේ ඥාතීන්ට අඩු තීව්‍ර­තා­වක් සහිත හිරු එළි­යට පරි­ණා­මය වන්නට සිදු විය. ඔවුන්ට තව­දු­ර­ටත් හිරු කිරණේ අහි­ත­කර බල­පෑ­මට යටත් වන්නට අවශ්‍ය වන්නේ නැත. ඒ අනුව ඔවුන්ට මෙල­නි­න්වල පැවැත්ම තීර­ණා­ත්මක නැත. හිරු එළිය අඩු­වෙන් ලැබෙන ධ්‍රැවා­සන්න ප්‍රදේ­ශ­වල පරි­ණා­මය වූ මනු­ෂ්‍යන්ගේ සම මත පෙර කී මෙල­නින් ඇත්තේ අඩු­වෙන්ය. ඔවුන් සුද්දන් සහ සුද්දි­යන් වූවේ එසේ ය.

සූර්ය­යාගේ පාර­ජ­ම්බුල කිර­ණ­ව­ලට වැඩි කාල­යක් නිරා­ව­ර­ණය වීම නිසා විශේ­ෂ­යෙන් සුදු ජාති­ක­යන්ගේ චර්ම සෛල­ව­ලට වැඩි හානි­යක් සිදු කරයි. ඇම­රි­කානු පිළිකා සංග­ම­යට අනුව, සමට අහි­ත­කර ලෙස බල­පාන ප්‍රධාන ප්‍රභ­වය පාර­ජ­ම්බුල කිරණ වේ. පසු­ගිය සිය­වස් කිහි­පය තුළ සුදු මිනි­සුන් ලෝකය පුරා සංක්‍ර­ම­ණය වීමට පට­න්ගැ­නී­මත්, ඔවුන්ගේ චර්යා සහ සංස්කෘ­තික ලක්ෂණ වෙනස් වීමත් නිසා අහි­ත­කර සූර්ය විකි­ර­ණ­ව­ලට ගොදුරු වීම වැඩි විය. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස චර්ම පිළිකා වසං­ග­ත­ය­කට සුදු ජාති­කයෝ ගොදුරු වූහ. එකී චර්ම පිළිකා භීති­කා­වෙන් ජන­තාව බේරා­ගැ­නීම සඳහා ඉදි­රි­පත් වූයේ විද්‍යා­ඥ­යන් නොව, පුළුල් පරා­ස­යක සන්ස්ක්‍රීන් ඇතුළු චර්මා­ලේ­පන කර්මා­න්ත­ක­රුවෝ ය.

අඳුරු සමක් ඇති පුද්ග­ල­යන්ට සමේ පිළිකා ඇති වීමේ අව­දා­නම යුරෝ­පීය සුදු සමක් ඇති අයට වඩා අඩුය. මන්ද ඔවුන්ගේ සමේ මෙල­නින් වැඩි ප්‍රමා­ණ­යක් ඇති බැවිනි. අප්‍රි­කා­වට සමී­පව සිටි මිනි­සුන් සහ සම­ක­යට ආස­න්නව සිටි මිනි­සුන්ගේ සමේ ස්වාභා­වි­ක­වම වැඩි මෙල­නින් ප්‍රමා­ණ­යක් නිප­ද­වන අතර, එකී ස්වභා­වික සංසි­ද්ධිය නිසා අඳුරු සමක් ඇත්තන්ට හිරු කිර­ණින් ඉම­හත් ආර­ක්ෂා­වක් සැලසේ. ගෝලීය චර්ම පිළි­කා­ව­ලට අදාළ දත්ත පරික්ෂා කිරී­මේදී එම තත්ත්වය මැන­වින් ප්‍රකට කෙරෙයි.

ලොව වැඩි­යෙන්ම චර්ම පිළිකා වාර්තා වන රට­වල් 20ම සුදු සම් ඇත්තන් සුල­භව ජීවත් වන යුරෝපා රට­වල් වන අතර, කළු සහ තලෙළු ඡවි වර්ණ ඇති රට­ව­ල්වල චර්ම පිළිකා වාර්තා වීම් ඉතා අවම අග­යක් ගනී. ලොව වැඩිම චර්ම පිළිකා රෝගීන් ප්‍රමා­ණ­යක් වාර්තා වන ඕස්ට්‍රෙ­ලි­යාවේ සුදු ජාති­ක­ය­න්ගෙන් තුන් දෙනෙ­කු­ගෙන් දෙදෙ­නෙ­කු­ටම ජීවිත කාලය තුළ දී චර්ම රෝග­යක් වැල­ඳෙන බව වාර්තා වෙයි. https://www.cancer.org.au/about-cancer/types-of-cancer/skin-cancer.html

2017 දී ප්‍රකා­ශ­යට පත් කරන ලද ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ සමේ පිළිකා මරණ අනු­පා­තය 0.17%කි. චර්ම රෝග වාර්තා වීම අතින් ලංකාව සිටින්නේ 128 වන ස්ථානයේ ය. චර්ම පිළිකා සඳහා ආහා­රයේ සහ ජලයේ අන්ත­ර්ගත ආස­නික් බැර ලෝහය සහ චර්මා­ලේ­ප­න­වල අන්ත­ර්ගත රස­දිය, ඊයම් වැනි බැර­ලෝහ ද බල­පායි. පසු­ගිය දසක කිහි­පයේ දී ඉවක් බවක් නැතිව තීව්‍ර කෙරුණු රසා­ය­නික ගොවි­තැනේ කරු­මය නිසා සහ නියා­ම­න­යක් සහ නීති ප්‍රති­පා­ද­න­ය­කින් තොරව වෙළෙ­ඳ­පොළ ආක්‍ර­ම­ණය කර තිබෙන චර්මා­ලේ­පන වර්ග, ඇඟ ගැල්වී­මට මෙරට පාරි­භෝ­ගි­ක­යන් පෙලඹී සිටින නිසා ආස­නික්, රස­දිය සහ ලෙඩ් වැනි බැර­ලෝහ ශරී­ර­ගත වීමේ අව­දා­න­මක් ද සහි­තව මෙරට ජන­තාව ජීවත් වෙති.

එබැ­වින් අහි­ත­කර සූර්ය කිරණ නිසා පම­ණක් වැල­ඳෙන චර්ම පිළිකා ප්‍රමා­ණය තවත් අඩු විය හැකිය. චර්ම පිළිකා බිල්ලා විකු­ණන් කන විල­වුන් කර්මා­න්ත­ක­රු­වන් විසින් මුළු­ම­නින්ම පාහේ අණ­ස­කට නතු කර ගෙන සිටින ඉන්දි­යාව ද චර්ම පිළිකා අඩු­වෙන්ම වාර්තා වන රටකි.

 

දරුණු පිළිකා සහ විට­මින් ඩී උෟන­තාව අතර ළඟ  සම්බ­න්ධ­යක්.

විට­මින් ඩී ඌන­තාව, සෞඛ්‍ය­මය ප්‍රති­වි­පාක රාශි­යක් ඇති කරන බර­ප­තළ සෞඛ්‍ය ගැට­ලු­වක් වෙයි. එය දිය­වැ­ඩි­යාව, රූමැ­ටික් ආත­ර­යි­ටිස්, පාකි­න්සන්, ඇල්ස­යි­මර් රෝගය, ඔස්ටි­යෝ­මා­ලේ­ෂියා, ඔස්ටි­යෝ­පො­රෝ­සිස් සහ පිළි­කා­වල සිට අස්ථි බිඳීම් දක්වා සම්බන්ධ වේ. බොහෝ පර්යේ­ෂණ මඟන් සීරම් විට­මින් ඩී සාන්ද්‍ර­ණය සහ පිය­යුරු, මහාන්ත්‍ර, වකු­ගඩු, පෙණ­හලු සහ අග්න්‍යා­ශය ඇතුළු පිළිකා කිහි­ප­යක් ඇති වීම සමඟ ප්‍රති­ලෝම සම්බ­න්ධ­තා­ව­යක් පෙන්නුම් කර ඇත. ඇතැම් අධ්‍ය­යන වාර්තා පෙන්වා දෙන්නේ, විවිධ පිළිකා වර්ග 20ක් පමණ සූර්ය පාර­ජ­ම්බුල කිරණ හා රුධි­ර­ගත විට­මින් ඩී සාන්ද්‍ර­ණ­යට ප්‍රති­ලෝ­මව සම්බන්ධ වන බව යි.

පෘතු­වියේ සූර්ය­යාගේ පාර­ජ­ම්බුල කිරණ වැඩි ප්‍රමා­ණ­යක් ලබා ගන්නා ස්ථාන­වල ජීවත් වන පුද්ග­ල­යන්ට අවම වශ­යෙන් පිළිකා ඇති බව ඔබ දැන සිටි­යාද?. එයින් අද­හස් කරන්නේ සූර්යා­ලෝ­කය පිළිකා වැල­ඳීමේ අව­දා­නම අඩු කරන බවයි.

වැඩි හිරු එළි­යක් ලබා ගැනී­මට හැකි මිනි­සුන්ට පිළිකා වැල­ඳීමේ අව­දා­නම අඩු බව 2016 වර්ෂයේ දී ඩර්මටෝ එන්ඩො­ක්‍ර­ය­ලොජි ජර්න­ලයේ පළ කෙරී තිබුණු පර්යේ­ෂණ වාර්තා­ව­කින් ද හෙළි වී ඇත. හිරු එළිය සමේ පිළිකා, පුරස්ථි පිළිකා, පෙණ­හලු පිළිකා, මහාන්ත්‍ර පිළිකා, ලියු­කේ­මි­යාව, පිය­යුරු පිළිකා, මුත්‍රා­ශයේ පිළිකා සහ ලිම්ෆෝමා පිළිකා අව­දා­නම සැල­කිය යුතු ප්‍රමා­ණ­ය­කින් අඩු කරන බව හෙළි වී ඇත. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4862378/

විට­මින් ඩී ඌන­තාව දරුණු ගණයේ පිය­යුරු පිළි­කා­වට හේතු වන බව, ලොව පුරා සිදු කර ඇති අධ්‍ය­යන ගණ­නා­ව­කින්ම තහ­වුරු වී තිබේ. පිය­යුරු පිළිකා රෝගය සඳහා ප්‍රති­කාර ගන්නා අත­රම විට­මින් ඩී අති­රේ­ක­යන් ද ලබා ගන්නා රෝගීන්ගේ රෝගය සුව වීම සඳහා වැඩි ප්‍රව­ණ­තා­ව­යක් පෙන්නුම් කරන බව නව­තම අය­ර්ලන්ත පර්යේ­ෂ­ණ­යක් හෙළි­ද­රව් කරයි. https://www.irishtimes.com/news/health/irish-researchers-find-vitamin-d-...

පිය­යුරු පිළිකා ඇති කාන්තා­වන් අතර, විට­මින් ඩී ඌන­තාව බහු­ලව දක්නට ලැබෙන අතර, එය පිළි­කාව පැති­රීමේ හා මර­ණ­යට පත් වීමේ අව­දා­නම වැඩි කරන බව සොයා­ගෙන තිබේ. පිය­යුරු පිළි­කා­වක් හඳු­නා­ගන්නා මුල් අව­ස්ථා­වේදී විට­මින් ඩී ඌන­තා­‍ෙව­න් පෙළෙන කාන්තා­ව­කගේ පිළි­කාව පැති­රීමේ අව­දා­නම 94%ක් පමණ වන බවත්, විට­මින් ඩී ඌන­තා­වෙන් නොපෙ­ළෙන පිය­යුරු පිළිකා රෝගි­යෙ­කුට සාපේ­ක්ෂව, ඌන­තා­වෙන් පෙළෙන රෝගි­යකු ඉදිරි වසර 10 තුළ, මිය යෑමේ අව­දා­නම 73% ක් බවත් තවත් අධ්‍ය­ය­න­ය­කින් හෙළි වී ඇත. https://www.webmd.com/breast-cancer/news/20080516/vitamin-d-deficiency-w...

මේ අනුව බොහෝ අධ්‍ය­ය­න­ව­ලින් කිය­වෙන්නේ පෙර කී මාරා­න්තික පිළිකා රෝග­ව­ලින් වැළකී සිටි­න්නට වුව­මනා අය සහ එකී පිළිකා රෝග­ව­ලට ප්‍රති­කාර ගන්නා රෝගීන්ද, තම දෛනික විට­මින් ඩී අව­ශ්‍ය­තාව ප්‍රමා­ණ­වත් ලෙස සපු­රා­ගැ­නීම කෙරෙහි උනන්දු වීම අත්‍ය­වශ්‍ය බවයි.

 

මිනිස්සු බිලි­ය­න­යක් අන­තුරේ

ලොව පුරා විට­මින් ඩී ඌන­තා­වෙන් පෙළෙන සංඛ්‍යාව ආසන්න වශ­යෙන් බිලි­ය­න­යකි. ලෝකයේ මනුෂ්‍ය ජන­ග­හ­නය මේ වන විට ආසන්න වශ­යෙන් බිලි­යන 7.7කි. වෙනත් වච­න­ව­ලින් කිව­හොත්, පෘථි­වි­වාසි සෑම මිනි­සුන් අට දෙනෙ­කු­ගෙන් එක් අයෙක් විට­මින් ඩී ඌන­තා­වෙන් පෙළෙයි. හිරු එළිය ප්‍රමා­ණ­වත්ව නොලැ­බෙන ධ්‍රැවා­සන්න රට­ව­ල්වල ජන­තාව තුළ මුලින් පැවති විට­මින් ඩී ඌන­තාව මේ වන විට වසර පුරාම ඇති පදම් හිරු එළිය ලැබෙන සම­කය ආසන්න රට­ව­ල්වල ද බර­ප­තළ සෞඛ්‍ය ගැට­ලු­වක් වෙමින් පව­තින බව අධ්‍ය­ය­න­ව­ලින් පෙන්නුම් කෙරේ.

සංස්කෘ­තික හේතු, චර්යා රටා සහ රැකීරක්ෂා ශීඝ්‍ර­යෙන් වෙනස් වෙමින් තිබෙන, එමෙන්ම විලා­සිතා සහ රූප­ලා­වණ්‍ය නිෂ්පා­ද­න­වල උම­තුව විසින් ගිල­ගත්, එහෙත් හිරු එළිය හොඳින් ලැබෙන රටක් වන අපගේ අස­ල්වාසි රටේ සිදු කර තිබෙන අධ්‍ය­ය­න­ය­කින් හෙළි වී තිබෙන තොර­තුරු අප මවිත කර­වන සුලුය. සමස්ත ඉන්දි­යානු ජන­ග­හ­න­යෙන් සිය­යට 79.33කට ආසන්න පිරි­සක් විට­මින් ඩී ඌණ­තා­වෙන් පෙළෙන බවත්, ඉන්දි­යාවේ කාන්තා­ව­න්ගෙන් සිය­යට 81.39ක් විට­මින් ඩී ඌන­තා­වෙන් පෙළෙන බවත්, වික­ලාංග විද්‍යාව පිළි­බද අන්ත­ර්ජා­තික සඟ­රාවේ අධ්‍ය­ය­නය වාර්තා­වක පෙන්වා දෙයි.

https://pdfs.semanticscholar.org/bc57/3482c82eb98b4cdd5319cb92a86f44dbdc...

ඉන්දි­යා­ව­ටත් වඩා හිරු එළිය යහ­මින් ලැබෙන අරාබි රට­ව­ල සිදු කර තිබෙන අධ්‍ය­ය­න­ය­න්වල ප්‍රති­ඵල ඊටත් වඩා ඛේද­නීය තත්ත්ව­යක් පෙන්නුම් කරයි. සවුදි අරා­බියේ කිං සවුඩ් විශ්වවිද්‍යා­ල­යීය වෛද්‍ය විද්‍යා­ලයේ සිදු කර තිබෙන අධ්‍ය­ය­න­ය­කට අනුව, එරට ගර්භිණී මවු­ව­රු­න්ගෙන් සිය­යට 85කට වඩා සංඛ්‍යා­වක් සහ නව ජන්මී­න්ගෙන් සිය­යට 88කට වඩා වැඩි සංඛ්‍යා­වක් විට­මින් ඩී ඌන­තා­වට ගොදු­රුව සිටින බව හෙළි වී ඇත. එවැනි අධ්‍ය­යන කිහි­ප­යක්ම පසු­ගිය වස­ර­වල දී අරාබි රට­ව­ල සිදු කෙරී තිබෙන අතර, සංස්කෘ­තික සහ ආග­මික හේතු මත, ආරාබි රට­ව­ල පිරිමි පක්ෂ­යට වඩා අඩු­වෙන් හිරු එළිය ලබන කාන්තා­වන් පිරි­මින්ට සාපේ­ක්ෂව වැඩි විට­මින් ඩී ඌන­තා­ව­කින් පෙළෙන බවත් මෙම අධ්‍ය­යන වැඩි­දු­ර­ටත් හෙළි කරයි. https://www.ncbi.nlm.nih.gov/pubmed/?term=Extremely+High+Prevalence+of+M...

සාමා­න්‍ය­යෙන් ස්ත්‍රීන්ට වඩා පුරු­ෂ­යන් අතර පිළිකා රෝග බහුල බව, ස්ත්‍රී පුරුෂ භාවය අනුව පිළිකා රෝග වැල­ඳීම පිළි­බඳ ගෝලීය දත්ත අධ්‍ය­ය­නය කිරී­මෙන් වට­හා­ගත හැකිය. එහෙත් විට­මින් ඩී ඌන­තා­වට වැඩි­පුර ගොදු­රුව සිටින ස්ත්‍රීන් ජීවත් වන රට­ව­ල පිරිමි පාර්ශ්ව­යට වඩා ස්ත්‍රීන් අතර පිළිකා වැල­ඳීමේ ප්‍රව­ණ­තාව ඉහළ යෑමට විට­මින් ඩී ඌන­තාව බලපා ඇත්දැයි විමසා බැලිය යුතුව ඇත. ශ්‍රී ලංකාව, ඉන්දි­යාව සහ අරාබි රට­වල් ද පිරි­මින්ට සාපේ­ක්ෂව ස්ත්‍රීන්ට පිළිකා රෝග වැල­ඳීමේ අව­දා­නම වැඩි රට­වල් අතර වෙයි.

විට­මින් ඩී උන­තා­වෙන් දරුණු ලෙස පෙළෙන අරාබි රට­වල ස්ත්‍රීන් අතර පිළිකා රෝගය ශීඝ්‍ර­යෙන් ඉහළ යමින් පැව­තී­මට වෙනත් හේතු අතර විට­මින් ඩී ඌන­තාව ද බර­ප­තළ සාධ­ක­යක් විය හැකිය. https://www.timesofisrael.com/cancer-cases-drop-among-men-almost-double-...

 

විට­මින් ඩී ලබා­ගන්න වැඩි කාල­යක් අව්වේ සිටිය යුතු වේද?

හිරු එළියේ තිබෙන බී නැමති පාර­ජ­ම්බුල කිර­ණ­ව­ලට (UV-B) සම නිරා­ව­ර­ණය වීමේ දී සමේ විට­මින් ඩී සංශ්ලේ­ෂ­ණය වෙයි. මාන­ව­යාගේ ප්‍රධා­නම විට­මින් ඩී ප්‍රභ­වය වන්නේ ද හිරු එළි­යයි. එය ආහා­ර­ව­ලින් හෝ විට­මින් පෙති, අති­රේ­ක­ව­ලින් ලග­න්න­වාට වඩා ලාභ­දා­යක සහ ගුණා­ත්මක ප්‍රභ­වය ද වෙයි. මෙල­නින් වැඩි කළු සමක් ඇති අයට අවශ්‍ය විට­මින් ඩී ප්‍රමා­ණය සංශ්ලේ­ෂ­ණය කර ගන්නට වැඩි කාල­යක් උදෑ­සන හිරු එළි­යට නිරා­ව­ර­ණය වීමත්, පැහැ­පත් සහ සුදු සමක් ඇති උද­වි­යට ඊට අඩු කාල­යක් ද අවැසි වෙයි.

පාර­ජ­ම්බුල කිර­ණ­ව­ලින් අන­තු­රක් නොවන පෙර­වරු දහය දක්වා වන උදෑ­සන කාලයේ දී සමේ පැහැය අනුව, හිරු එළි­යට මිනිත්තු 15 ත් 45 ත් අතර කාල­යක් අවම වශ­යෙන් මුහුණ සහ දෙඅත් නිරා­ව­ර­ණය කර­ගැ­නීම ප්‍රමා­ණ­වත් බව, විද්‍යා­ඥ­යන් හා චර්ම රෝග විශේ­ෂ­ඥ­යන් යෝජනා කර­නවා. මෙවැනි කෙටි කාල­ය­ක්වත් සූර්යා­ලෝ­ක­යට නිරා­ව­ර­ණය වී සිටි­න්නට වත්මන් ලෝකයේ මිනි­සුන්ට අව­ස්ථා­වක් නැති වීම සහ උන­න්දු­වක් නැති වීමේ ආදී­නව සිය ජීවි­ත­ව­ලින් ගෙවා දම­මින් සිටී.

 

අපේ රටේ තත්ත්වය

ශ්‍රී ලාංකි­ක­යන් වන අප ප්‍රමා­ණ­වත් හිරු එළි­යක් ලබා­ග­න්නවා ඇතැයි ද, අපේ රටේ උද­විය අතර විට­මින් ඩී ඌන­තාව බර­ප­තළ ලෙස නැති බවත් අපි කලක් විශ්වාස කළෙමු. එහෙත්, අපේ රටේ බොහෝ දරු­වන් හා වැඩි­හි­ටි­යන් විට­මින් ඩී ඌණ­තා­ව­යෙන් පෙළෙන බව අධ්‍ය­ය­න­ව­ලින් පැහැ­දි­ලි­වම පෙනී ගොස් ඇතැයි, ශ්‍රී ලංකාවේ පළමු ළමා අන්ත­රා­ස­ර්ග­වේදී විශේ­ෂඥ වෛද්‍ය නවෝදා අත­පත්තු මහ­ත්මිය පව­ස­න්නීය. http://www.sundaytimes.lk/170716/mediscene/let-the-sun-shine-on-you-2497...

මෑත කාලයේ දී, මෙරට ජන­තාව වස­ඟ­කාරි, අධි­පා­රි­භෝ­ජන ජීවන රටා­ව­කට ආසක්ත වීම හේතු­වෙන් සොබා­ද­හ­මෙන් මෙන්ම සූර්යා­ලෝ­ක­යෙන් ද වේග­යෙන් ඈත් වෙමින් සිටිති. ලාංකි­ක­යන් වන අපගේ වර්ත­මාන ජීවන රටාව, මුළු­ම­නින්ම හිරු එළි­යෙන් සැඟ­වෙ­න්නට අනු­බල දෙන්නක් වෙයි. මේ වන විට බොහෝ දරු­වන් හිරු එළියේ ඇවි­දීම සඳහා පිට­තට ගෙන යන බවක් දැක ගන්නට නොහැ­කිය. වැඩි­හිටි දරු­වන් එළි­ම­හනේ සෙල්ලම් නොක­රන බවත් ඔවුන් පරි­ග­ණ­ක­ව­ලට ඇලී ගැලී සිටින නිසා හෝ රූප­වා­හි­නිය අසල හෝ උප­කා­රක පන්ති­වල දිවා කාලය ගත කරන බැවින් සූර්ය­යාට නිරා­ව­ර­ණය වීම බෙහෙ­වින්ම අඩු ය.

වැඩි­හි­ටි­යන් වූ පසු ද ඔවුහු සූර්යා­ලෝ­කය ඇඟේ වැදී­මට බියක් දක්වති. සූර්යා­ලෝ­කය යහ­මින් වැටෙන කාල වේලා­ව­ල්ව­ලදී එක්කෝ මහ­මඟ වාහ­න­වල ය. නොඑ­සේ­නම්, කාර්යා­ල­ව­ලය. ලංකාවේ ස්ත්‍රීන් බොහෝ දෙනෙ­කුට උදේ වරුවේ හිරු එළියේ පහස විඳි­න්නට නොහැකි වී තිබේ. ඒ, ඔවුන් උදේ වරුවේ පවා, මහ­මඟ ගමන් බිමන් යෑමේ දී හිරු ආව­රණ අලේ­පන ගල්වා, කුඩ­යක් ඉහලා ගෙන යෑමට පුරුදු වී සිටින නිසා ය. වෙළෙඳ දැන්වී­ම්ව­ලින් පතු­රු­වන සුදු වීමේ උම­තුව මේ තත්ත්වය තව තවත් තීව්‍ර කර ඇත.

ලංකාවේ පාස­ල්වල ද මේ වන විට හිරු එළියේ ගත කරන විෂය බාහිර ක්‍රියා­කා­රි­ත්ව­යන් බර­ප­තළ ලෙස උදා­සීන කර දමා තිබේ. රටේ තවත් කණ්ඩා­ය­මක් ඔවුන්ගේ ආග­මික විශ්වා­ස­යන් නිසා සම්පූ­ර්ණ­යෙන්ම සිරුර වසා­ගෙන හිරුට මුවා වී සිටීමේ සංස්කෘ­තික රැල්ල­කට යට වී සිටිති. නව දැනු­මෙන් යථා­වත් නොවන මෙරට ජන­තාව හිරු­ගෙන් වසං වී බර­ප­තළ ලෙස තම සෞඛ්‍ය තත්ත්වය අන­තුරේ වට්ටවා ගනි­මින් සිටින බව සිහිය ඇත්තන් විසින් කල්ප­නා­වට ගත යුතුව ඇත. අධ්‍යා­පන, සෞඛ්‍ය, සංස්කෘ­තික අංශ­වල මෙන්ම රටේ පාල­නා­ධි­කා­රි­ත්වය ද ජන­තා­වට හිරු එළිය ප්‍රමා­ණ­වත්ව සහ ගුණා­ත්ම­කව ලැබීම සහ­තික කරන නව්‍ය ක්‍රම­වේද ස්ථාප­නය කිරීම කෙරෙහි අව­ධා­නය යොමු කළ යුතුව ඇත.

 

Comments