ජාතික ආර­ක්ෂා­වට මිලි­ටරි පාල­ක­යෙකු ඕනෑය කියන මතය වැරැදියි | Page 2 | සිළුමිණ

ජාතික ආර­ක්ෂා­වට මිලි­ටරි පාල­ක­යෙකු ඕනෑය කියන මතය වැරැදියි

ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජය­ග්‍ර­හ­ණය කරන අපේ­ක්ෂ­ක­යාට තිබෙන ප්‍රධාන අභි­යෝ­ග­යක් තමයි ස්ථාවර ආර්ථි­ක­යක් ඇති කිරීම. ජාතික ජන­බ­ල­වේ­ගය නියෝ­ජ­නය කරන බුද්ධි­ම­තෙකු හැටි­යට මේ ගැට­ලු­වට යොජනා කරන විස­ඳුම මොකක්ද?

මේ අභි­යෝ­ගයේ ප්‍රධාන කොටස් දෙකක් අප දකි­නවා. පළමු වැනි කාර­ණය ණය අර්බු­දය. අපට ගොඩ එන්න බැරි තර­මට මේ ණය අර්බු­දය උග්‍ර­වෙලා. වාර්ෂික ණය පොලී ගෙවන්න රාජ්‍ය ආදා­යම ප්‍රමා­ණ­වත් නොවන නිසා ණය ගෙවීම සඳහා නැවත ණය ගැනීම එහෙ­මත් නැති නම් රජය සතු ආර්ථික මර්ම­ස්ථාන, ආර­ක්ෂාවේ මර්ම­ස්ථාන විකි­ණීම හැර වික­ල්ප­යක් නැති තත්ත්ව­යට අද පත් වෙලා. 2020 සිට රට බාර­ගන්න ජනා­ධි­ප­ති­ව­ර­යට වච­න­ව­ලින් එක එක දේවල් කිය­න­වාට වඩා ප්‍රායෝ­ගි­කව ඊට මුහුණ දෙන්න පුළු­වන් වැඩ­පි­ළි­වෙ­ලක් අවශ්‍ය වෙනවා.

දෙවැනි කාර­ණය දේශීය වශ­යෙන් අපේ නිෂ්පා­ද­නය වැඩි කර­ගැ­නීම සඳහා අනු­ග­ම­නය කළ යුතු ක්‍රියා­මාර්ග මොන­වාද කියන එක. මේ වන විට අපේ රටේ නිෂ්පා­ද­නය සතු­ටු­දා­යක මට්ටම නැහැ. අපට නිෂ්පා­ද­නය කර­ගත හැකි බොහෝ දේ පවා ආන­ය­නය කර­නවා. උදා­හ­ර­ණ­යක් විදි­යට මත්ස්‍ය නිෂ්පා­දන ආන­ය­නය කිරීම සඳහා වස­ර­කට ඩොලර් කෝටි ගණ­නක් වැය කර­නවා. අපේ රටේ අව­ශ්‍ය­තා­වන්ට සරි­ලන විදි­යට ඊට මැදි­හත් වෙන්න බැරි­ක­මක් අපට නැහැ. නමුත් රට වටේම මුහුද තියා­ගෙන ඒ සඳහා වැඩ­පි­ළි­වෙ­ළක් නැති නිසාම මත්ස්‍ය නිෂ්පා­දන ආන­ය­නය කර­නවා.

එළ­වළු පල­තුරු ධාන්‍ය, කුකු­ල්මස්, බිත්තර හා කිරි නිෂ්පා­දන අපට රට තුළම නිෂ්පා­ද­නය කර ගන්න පුළු­වන්. එම­ඟින් විදේශ රට­ව­ලට ඇදී යන මුදල් අප රට තුළම රඳ­වා­ගන්න හැකි­යාව ලැබෙ­නවා. මීට අම­ත­රව අපේ රටේ තිබුණු සුළු පරි­මාණ, මධ්‍ය පරි­මාණ හා මහා පරි­මාණ කර්මාන්ත බිඳ­වැ­ටිලා තියෙ­නවා. නිෂ්පා­දන ක්‍රියා­ව­ලිය ශක්ති­මත් කරලා කෘෂි­කර්ම ක්ෂේත්‍රයේ, කර්මාන්ත ක්ෂේත්‍රයේ නව තත්ත්ව­යන් හඳු­නා­ග­නි­මින් ඒවා වැඩි දියුණු කරලා ජාතික ආදා­යම වැඩි කර­ගැ­නීමේ ක්‍රියා­ව­ලිය ඉදි­රි­යට ගැනී­මට විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් අවශ්‍ය වෙනවා. එම­ඟින් ජන­තාව වෙත තව තවත් බදු බර වැඩි නොකර ජාතික ආදා­යම වර්ධ­නය කිරී­මෙන් ආර්ථික සමෘ­ද්ධිය ඇති කිරීම අපගේ උපාය මාර්ග­යයි අප ජන­ගත කළ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නයේ ඒ සම්බ­න්ධ­යෙන් සවි­ස්ත­රා­ත්මක වැඩ පිළි­වෙ­ළක් ඉදි­රි­පත් කර තිබෙ­නවා.

2015ට පෙර තිබුණු තත්ත්ව­යෙන් වෙනස් දේශ­පා­ලන වට­පි­ටා­වක් වර්ත­මාන රජය යටතේ නිර්මා­ණය වෙනවා. විශේ­ෂ­යෙන් ම ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ශක්ති­මත් කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියා­මාර්ග. ඒවා ඔබේ ආණ්ඩු­වක් යටතේ අහෝසි කර­න­වාද නැති නම් තවත් ඉදි­රි­යට ගෙනි­ය­න­වාද?

2015 ජන­වාරි අට වැනිදා මේ රටේ බහු­තර ජන­තාව ඒක­රාශී වී පරා­ජ­යට පත් කළේ මහින්ද රාජ­පක්ෂ සහ ඔහුගේ සහ­ච­ර­යන් විත­රක් ම නෙමෙයි. ඒ මහින්ද රාජ­පක්ෂ පාල­න­යත් එක්ක බැඳුණු ප්‍රජා­තන්ත්‍ර විරෝධි ස්වභා­වය, ඒකා­ධි­ප­ති­ත්වය හා ඔවුන් විසින් ඇති කළ ආර්ථික ගැටලු ආදී සියලු දේම පරා­ජය කරනු ලැබුවා. මේ රජය යටතේ වඩා පුළුල් ආකා­ර­යෙන් නොවු­ණත්; ඔවුන් විසින් ඇති කළ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ක්‍රියා­මාර්ග තුළ ඒ සඳහා වන ප්‍රවේ­ශ­යක් අපි දකි­නවා.

දේශ­පා­ල­නයේ තිබුණු බල තුල­නය තුළත් ජන­තාව පැත්තෙන් කිසි­යම් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ඉඩක් ඉන් අත් පත් වී තිබෙ­නවා. නමුත් මෙරටේ බහු­තර ජන­තාව බලා­පො­රොත්තු වුණු පුළුල් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අව­කා­ශය ඒ ඔස්සේ නිර්මා­ණය වුණා කියලා අප විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ජාතික ජන­බ­ල­වේ­ගය හැටි­යට මේ කොමි­ෂන් සභා­ව­ලට දුන්නු බල­තල තව­දු­ර­ටත් පුළුල් කරන අත­රම ඒවා ප්‍රායෝ­ගි­කව ක්‍රියා­ත්මක කිරීම සඳහා අවශ්‍ය කරන මැදි­හත් වීමත් අප කර­නවා.

පොලිස් කොමි­සන් සභාවේ ක්‍රියා­කා­ර­කම් පිළි­බඳ ගැඹු­රින් විග්‍රහා කරලා බල­න­කොට ඔය කියන ස්වාධී­න­ත්වය තියෙ­න­වද කියන ප්‍රශ්නය මතු වෙනවා. තොර­තුරු දැන­ගැ­නීමේ පනත ක්‍රියා­ත්මක වුණාට තොර­තුරු දැන­ගැ­නීමේ මහ­ජන අව­ශ්‍ය­තාව නැති නම් ඒ අයි­ති­වා­සි­කම හරි­ය­ටම සිද්ධ­වෙ­න­වද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙ­නවා. ඒව­ගේම ඒකා­ධි­පති ස්වභා­වය මුළු­ම­නින්ම නව­ත්තලා ජන­හි­ත­කාමී ප්‍රජා­ත­න්ත්‍ර­වාදී සත්‍ය ලෙසම මහ­ජ­න­තාව සම්බන්ධ කර­ගත් රාජ්‍ය පාල­න­යක් නිර්මා­ණය කිරී­මට අපි අපේක්ෂා කර­නවා. ඒ සඳහා මේ රටේ උග­තුන්, බුද්ධි­ම­තුන්, කලා­ක­රු­වන් හා පුර­වැ­සි­යන් හැමෝම ඒකා­බද්ධ කර­ගෙන පුළුල් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී වැඩ පිළි­වෙ­ළක් අප මේවන විට සමාජ ගත කර තිබෙ­නවා.

අප්‍රේල් 21 එල්ල වූ ත්‍රස්ත­වාදී ප්‍රහා­ර­යත් එක්ක අප විසින් 2015 දී කර­ළි­යට ගෙනා බොහෝ සාධ­නීය ජන­තා­වාදී ප්‍රමු­ඛතා යට­පත් වී නැව­තත් මිලි­ටරි පාල­ක­යකු රටට අව­ශ්‍යයි කියන මතය ජන­ගත කර තිබෙ­නවා. ඇත්ත­ටම මේ මොහොතේ රටේ ප්‍රමු­ඛ­තාව හිමි විය යුත්තේ ජාතික ආර­ක්ෂා­ව­ටද? නැති නම් වෙනත් දේව­ල්ව­ල­ටද?

මතු­පි­ටින් බැලු­වම අප්‍රේල් 21 ප්‍රහා­රය ආග­මික කණ්ඩා­ය­මක් එල්ල කර­ගෙන සිදු කළ ප්‍රහා­ර­යක් ලෙස පෙනු­ණත් අප එය දකින්නේ මේ රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට එල්ල වූ මරු­ප­හ­රක් ලෙසයි. ගොඩ­නැ­ගි­ලි­ව­ලට මිනිස් ජීවි­ත­ව­ලට සිදු වූ හානිය ඉතාම බර­ප­තළ වුවත් අපට ඒ ගැන කිසි­යම් තක්සේ­රු­ව­කට එන්න පුළු­වන්. නමුත් ඉන් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ව්‍යූහ­යට ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අව­කා­ශ­යට එල්ල වූ හානිය තක්සේරු කරන්න බැරි තරම්. ඒ නිසාම 2015 දී පරා­ජ­යට පත් වූ දුෂ්ට බල­වේග නැවත ජාති­වාදී ආග­ම්වාදී ප්‍රව­ණ­තා­වක් සමඟ පෙර­ටත් වඩා ප්‍රබල ආකා­ර­යෙන් හිස ඔසවා තිබෙ­නවා.

ඒ නිසා මිලි­ටරි පාල­ක­යෙකු දැඩි පාල­ක­යෙකු මේ රටට ඕන කියන මතය අද ඔවුන්ට සමා­ජ­ගත කරන්න හැකි වී තිබෙ­නවා. නමුත් මේ මොහොතේ ජාතික ආර­ක්ෂාව සැල­කිය යුතු මට්ට­ම­කින් බිඳ වැටිල තියෙ­නව කියල ජාතික ජන­බ­ල­වේ­ගය විදි­යට අප විශ්වාස කරන්නේ නැහැ. මොකද කල් ඇතිව බුද්ධි තොර­තුරු අපට ලැබී තිබුණා. එහෙම නම් ඔවුන් කියන විදි­යට බුද්ධි අංශය දුර්වල වෙලත් නැහැ. එහෙම නම් මෙතැන තිබුණේ ඒ සඳහා ක්‍රියා­මාර්ග ගැනීමේ පසු බෑමක් පම­ණයි. ඒ මත කවුරු හරි කිය­නවා නම් බුද්ධි අංශ දුර්ව­ලයි ඒ නිසා ජාතික ආර­ක්ෂාව නඟා හිට­වන්න අපව බල­යට ගෙන්න කියලා ඒක බොළඳ තර්ක­යක්.

ඒ නිසා ජාතික ආර­ක්ෂාව සඳහා දැඩි මිල්ටරි පාල­ක­යෙකු ඕනෑය කියන මතය අප දැඩිසේ ප්‍රති­ක්ෂේප කර­නවා. ඒ නිසා අපි ජන­තා­වට කියන්නේ යලි මේ රටේ ජන­තාව ජාති­වා­ද­යට ආග­ම්වා­ද­යට ගැටු­ම්ව­ලට යොමු කරන මේ ප්‍රව­ණ­තාව ඉතාම පිළි­කු­ලෙන් යුතුව පරා­ජය කරන්න ඕනෑ කිය­ලයි.

Comments