‘සුපර් ස්ටාර්’ නිසා O/L ලිව්වේ නැහැ... | Page 2 | සිළුමිණ

‘සුපර් ස්ටාර්’ නිසා O/L ලිව්වේ නැහැ...

නුදුරේදීම මගේ රසිකයන්ට මගේ අලුත්ම ගීතය රස විඳින්නට හැකියාව ලැබේවි.

රියැලිටි වැඩසටහන් මාලාවේ පෙරගමන්කරුවා වූ ‘සිරස’ නාළිකාව මෙරට ඇරඹි ‘සිරස සුපර් ස්ටාර්’ හරහා අපේ ගායන ක්ෂේත්‍රයට දක්ෂ තරු රැසක් බිහිවුණා. දිල්කි වැලිවත්ත කියන්නේ ඒ තරු අතර බැබළුණු තවත් එක් තාරුකාවක් කියන්නට පුළුවන්.

2009 - 2010 වසරේ පැවති ‘සුපර් ස්ටාර් තුන්වන අදියරේ අවසන් 6 දෙනා අතරට තේරී පත්වූ ඇය සිය ගායන ප්‍රතිභාව තුළින් එදා මුළු රටක් සිය වසඟයට හසු කරගැනීමට සමත් වුණා. කලක නිහැඬියාවෙන් පසු ඔන්න දිල්කිට ආදරය කළ ආදරණීය රසිකයන්ට ඇය ගැන අලුත් ආරංචියක් කියන්නටයි මේ සූදානම. මේ අලුත් ආරංචියත් ඇගේ අලුත්ම තොරතුරුත් අපට කියන්නට පසුගිය දිනක ඇය රසඳුනට ගොඩවැදුණා.

රුවන් පුරයෙන් ක්ෂේත්‍රයට පිවිසි දිල්කි නොසිතූ අයුරින් ක්ෂේත්‍රයේ නමක් තබන්නට හැකියාව ලැබුණා. ඇයට තිබෙන්නේ ඇයටම ආවේණික වූ ගැඹුරු කටහඬක්. එදා සුපර් ස්ටාර් වේදිකාවේ ඇය ගැයූ ගීත රසවිඳි රසික ඔබ මෙන්ම තරගාවලිය විනිශ්චය කළ විනිසුරු මඬුල්ල ඇගේ ගායන හැකියාව පිළිබඳව ප්‍රශංසාවට ලක් කළ හැටි ඔබට මතක ඇති.

‘සුපර් ස්ටාර්’ තරගාවලියට සහභාගි වන විටත් ‘දිල්කි’ පාසල් ශිෂ්‍යාවක්. ඇය ඒ අතීතය සිහිපත් කරමින්ම කතාබහට පිවිසුණා.

“ඒ සඳහා ඇයදුම්පත් යොමු කළේ මගේ අම්මා. ඇය තමයි එදා ඉඳලා අද වනතුරු මගේ සංගීත ගමනට අතහිත දෙන්නේ. මාව දිරිමත් කරන්නේ. ‘සුපර් ස්ටාර්’ සඳහා සහභාගී වන විට මම පාසල් ශිෂ්‍යාවක්. සාමාන්‍ය පෙළ විභාගය ලියලා තිබුණෙත් නෑ. ඒ වකවානුව වන විට තරගාවලියේ අවසන් අදියර නිසා O/L වැඩකටයුතු අවුරුද්දකින් කල් දමන්නටත් සිදුවුණා.”

රත්නපුර prinstan ජාත්‍යන්තර පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ දිල්කි වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ රත්නපුර ලයිසියම් ජාත්‍යන්තර පාසලෙනි. ඇගේ දෙමාපියන් කලාවට සම්බන්ධ නොවුණත් වෘත්තියෙන් දේශීය වෛද්‍යවරියක වන දිල්කිගේ මව සර්වාංග පිළිබඳ විශේෂඥවරියකි. වෘත්තියෙන් දේශීය වෛද්‍යවරයෙකු වන පියා මැණික් ව්‍යාපාරිකයෙකි. එහෙත් ඔවුන් දෙදෙනාම කලාවට ආදරය කරන නිසා දිල්කිගේ හැකියාවන් හඳුනාගෙන ඇයව සංගීත කලාව තුළින් ඉදිරියට යන්නට දිල්කිට මඟ පෙන්වීය.

‍බොහෝ දෙනෙක් කලාව ජීවිතය කරගන්න ආස වුණත් ජනප්‍රියතාවය කියන්නෙ ඒ ජීවිතයේ හීනයක් වෙන්නට පුළුවන්. නමුත් දිල්කි වැලිවත්ත කියන්නේ සුපර් ස්ටාර් තුන්වන අදියරේදී සිය හඬින් කරළියේ දස්කම්පාමින් රසික හදවත් තුළ තවමත් රැඳී සිටිනා තාරුකාවක්.

සුපර් ස්ටාර් වලින් පස්සේ දිල්කි සංගීතයෙන් ඈත් වෙලාද කියලා දිල්කිට ආදරය කරපු රසිකයින් අපෙන් තොරතුරු විමසුවා. ඉතිං එයට පිළිතුරක් ලබා දෙන්නට අපි දිල්කිට අවස්ථාව ලබා දුන්නා.

“මම සංගීතයට ගොඩක් ආදරය කරනවා. ඒ නිසා සංගීතයෙන් මම කවදාවත් ඈත් වෙලා නෑ. ඇත්තටම මම කලක් නිහඬව හිටියෙ කලාවෙන් ඈත්වෙලා නෙවෙයි. සුපර්ස්ටාර් වලින් පස්සේ ම‍ෙග් අතපසු වුණු ඉගෙනීමේ කටයුතුවලට පූර්වකාලීනව සම්බන්ධ වෙලා හිටියා. ඊට වසරකට විතර පසුව මම මඟහැරුණු සංගීත පිළිබඳ ඉගෙනුම් ක්‍රියාවලියේ මඟ හැරුණු වැඩවල නිරත වුණා. ඒත් දැන් මම නැවත සංගීත වැඩකටයුතුවල නිරතවෙලා ඉන්නවා.”

කාලෙකට පස්සේ නිහඬව හිටපු දිල්කි ඔන්න නැවත ගීත ගැයීම ආරම්භ කළ බව ඇගේ හඬට ප්‍රිය කළ රසික රසිකාවියන්ට සුබ ආරංචියක් වේවි. ඒ ‍ෙම් දිනවල ස්වාධීන රූපවාහිනි නාළිකාවේ සතියේ දිනවල විකාශය වන “සුසුමක ඉම” ටෙලිනාට්‍යයේ තේමා ගීතය සඳුන් පෙරේරා සමඟ මියුරු හඬින් ගායනා කරන්නේත් දිල්කියි. ඒ සඳහා ප්‍රේක්ෂකයන්ගේ ඉහළ ප්‍රතිචාර ලැබෙන බවත් ඇය පැවසුවේ සතුටිනි.

තරඟකරුවන් ලක්ෂ ගණනක් අතුරින් දක්ෂයන් අතර කරට කර තරග කරමින් වේදිකාවේ සිය ගායන හැකියාව පෙන්වූ දිල්කිට ප්‍රසංග වේදිකාවේ ද ලැබෙන්නේ උණුසුම් ප්‍රතිචාර.

දිල්කිට ආදරය කරන රසිකයින් වෙනුවෙන් අලුත්ම ගීතයක් තිළිණ කරන්නට යනවා කියන ආරංචියත් ඇය මුලින්ම කීවේ ‘රසඳුන’ ටය.

“රාජ තෙයිලම්පලම්” යටතේ මගේම ගීතයක් කරගෙන යනවා. ජනවාරි මාසය වන විට එහි වැඩකටයුතු අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. නුදුරේදීම මගේ ආදරණීය රසිකයන්ට මගේ අලුත්ම ගීතය රස විඳින්නට හැකියාව ලැබේවි.

ඇය මීට පෙර ගායන කළ ‘පණ වගේ’ ගීතයට ද ඉහළ රසික ප්‍රතිචාර ලැබුණා. මේ වන විට ඇගේම කියා ගීත 5ක් පමණ ගායනා කර ඇති ඇයට අනන්‍යවූ ශෛලියකින් වෙනස්ම ආකාරයේ නිර්මාණ ඇගේ රසිකයින්ට තිළිණ කරන්නටයි අපේක්ෂා කරන්නේ. ඇගේ කලා ගමන තුළ අතහිත දුන් බොහෝ පිරිසක් ඉන්නවලු. ඒ හැම දෙනාම ඇය ඇයගේම වචනයෙන් මතක් කළේ මෙහෙමයි.

“මුලින්ම මම ස්තුති කරන්න ඕනි මගේ අම්මටයි, තාත්තටයි පවුලේ අයටයි. විශේෂයෙන් මගේ ස්වාමිපුරුෂයා. ඔහු මගේ කලා කටයුතුවලට පූර්ණ නිදහස දීලා තියෙනවා. ඒ වගේම මෙතෙක් මම පැමිණි ගමන් මගේ නම් වශයෙන් මතක් ‍නොකළද වචනයකින් හරි අතහිත දුන් සැම දෙනාටම හදවතින්ම තුති පුදන්නට මේ වෙලාව යොදා ගන්නවා.”

දිල්කිගේ අනාගත බලාපොරොත්තුව සංගීතය කියන පුළුල් විෂය පිළිබඳ ගැඹුරින් හදාරමින් සිය හැකියාවන් තුළින් පිරිපුන් ගායිකාවක් විදිහට ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමලු. ඉතිං එහෙනම් දිල්කි සිතන අයුරින් සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්නට රසඳුන අපත් ඇයට සුබ පවතනවා.

ඡායා - ටෙනිසන් එදිරිසිංහ

Comments