ඇස් වටා කළු පැහැය ගෙද­ර­දීම නැති කර ගන්න පුංචි පුංචි ක්‍රම ටිකක් | සිළුමිණ

ඇස් වටා කළු පැහැය ගෙද­ර­දීම නැති කර ගන්න පුංචි පුංචි ක්‍රම ටිකක්

ඇස් යට කළු වීම කියන්නේ අද බොහෝ දෙනෙකුට තියන ගැටලුවක්. මේකට විවිධ හේතූන් බලපානවා. ඉන් කිහිපයක් ලෙසට වයසට යෑම, සමේ වියළි බව, දිගු වේලාවක් හැඬීම, දිගු වේලාවක් පරිගණකය ඉදිරියේ වැඩ කිරීම, මානසික ආතතිය, නින්ද අඩුකම, පෝෂ්‍යදායි ආහාර නොගැනීම ආදිය ඉන් කිහිපයක් ලෙස දක්වන්න පුළුවන්. ඇස් යට කළු වීම කියන්නේ බරපතළ සමේ රෝගයක් නෙවෙයි. ඒත් මේ නිසා ඔබට ඉතාමත් විඩාබර මෙන්ම වයසින් වැඩි පෙනුමක් ගේනවා. අද කියන්නේ ඇස් යට කළු වීම වළක්වාගන්න ගෙදරදීම කරන්න පුළුවන් ප්‍රතිකාර කිහිපයක් ගැනයි. ඔබත් ඇස් යට කළු වීම නිසා කනස්සල්ලෙන් ඉන්න කෙනෙක් නම් ගෙදරදීම කරන්න පුළුවන් මේ ක්‍රම අත්හදා බලන්න.

ආමන්ඩ් ඔයිල්

ආමන්ඩ් ඔයිල් කියන්නේ ඔබේ ඇස් වටා ඇති අඳුරු බව ඉවත් කිරීම සඳහා යොදා ගන්න පුළුවන් ඉතාම හොඳ තෙල් වර්ගයක්. දිනපතාම ආමන්ඩ් ඔයිල් භාවිත කරන්න පුළුවන් නම් ඔබට ඉක්මනින්ම ඔබේ ඇස් යට අඳුරු බව නැති කර ගන්න පුළුවන්. ඒ වගේම ඔබට ආමන්ඩ් තෙල් සමඟ විටමින් E තෙලුත් මිශ්‍ර කර ආලේප කිරීමත් කරන්න පුළුවන්.

රාත්‍රී නින්දට යාමට පෙර ආමන්ඩ් තෙල් ස්වල්පයක් ගෙන ඔබේ ඇස් වටා අලේප කර මෘදුව සම්බාහනය කරන්න. රාත්‍රිය පුරාම එය තිබෙන්නට හැර පසුදා උදෑසන සීතල වතුරෙන් සෝදා හරින්න. අඳුරු ගතිය නැතිවන තුරු දිනපතා මෙය සිදු කරන්න.

පිපිඤ්ඤා

පිපිඤ්ඤා කියන්නේ ‍සම පැහැපත් කිරීමටත් බහුලව යොදාගන්නා ඉතාම පෝෂ්‍යදායී එළවළුවක්. මෙයින් ඔබගේ දෑස්වල ඇති විඩාබර පෙනුම නැති කරයි. එමෙන්ම මෙයින් ඔබේ ඇස් වටා සම සිනිඳු කර නැවුම් පෙනුමක් ලබා දෙයි.

පිපිඤ්ඤා ගෙඩියක් ගෙන තරමක් සිහින් පෙති කපා ඒවා මිනිත්තු 30ක් ශීතකරණයේ දමා සිසිල් කර ගන්න. ඉන්පසු එම පෙති මිනිත්තු 10ක් පමණ ඇස් මත තබාගෙන හිඳ ඉවත් කර ජලයෙන් සෝදා හරින්න. දවසට දෙපාරක් සතියක් හෝ ඊට වඩා වැඩි කාලයක් මෙය සිදු කරන්න.

පිපිඤ්ඤා යුෂ හා දෙහි යුෂ සමාන ප්‍රමාණවලින් ගෙන මිශ්‍ර කර එය ඇස් වටා තවරා මිනිත්තු 15 පමණ තබා ජලයෙන් සෝදා හරින්න. සතියක් පමණ මෙසේ කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගත හැක.

අර්තාපල්

අර්තාපල් කියන්නෙත් ස්වභාවික බ්ලීචින් අඩංගු ඇස් යට අවපැහැ ගැන්වීම සුව කරන දෙයක්.

අර්තාපල් ගෙඩියක් ගෙන සිහින්ව කපා මිරිකා යුෂ ලබා ගන්න. අයි පෑඩ් කපු පුලුන් එම යුෂ වලින් පොඟවා ඔබේ ඇස්මත තබන්න. මෙලෙස විනාඩි 10 හෝ 15 පමණ හිඳ එවා ඉවත් කර සීතල වතුරෙන් ඇස් සෝදන්න. සති කිහිපයක් දිනකට වරක් හෝ දෙවරක් මෙය කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

අර්තාපල් යුෂ වෙනුවට ඔබට මේ සඳහා අල පෙති ද භාවිත කළ හැක.

රෝස වතුර

රෝස වතුර කියන්නේ සමට ඉතාම හොඳ සත්කාරයක්. මෙමඟින් ඔබේ ඇස්වල ඇති වයසින් වැඩි පෙනුම නැති කර තරුණ පෙනුමක් ලබා දෙනවා. මෙය ස්කින් ටෝනර් එකක් විදියටත් ක්‍රියා කරනවා.

අයි පෑඩ් හෝ කපු පුළුන් ගෙන රෝස වතුරේ මිනිත්තු කිහිපයක් හොඳින් පොඟවා ගන්න. ඊළඟට ඒවා ඔබේ ඇස් මත තබා මිනිත්තු 15ක් පමණ සිටින්න. ඉන් පසු ඉවත් කරන්න. දිනකට දෙවරක් මෙය සිදු කරන්න.

තක්කාලි

තක්කාලි කියන්නෙත් ස්වභාවික බ්ලීචින් අඩංගු ඔබේ සම පැහැපත් කරන දෙයක්.

තක්කාලි යුෂ තේ හැන්දක් හා දෙහි යුෂ තේ හැදි භාගයක් මිශ්‍ර කර ඇස් වටා ආලේප කර මිනිත්තු 15ක් පමණ තබා සෝදන්න. සතියකට දෙවතාවක් පමණ මෙය සිදු කරන්න. මේ සඳහා තක්කාලි යුෂ පමණක් ද භාවිතා කළ හැක.

දෙහි

දෙහිවල ඇති විටමින් C ඇස් වටා ඇති අඳුරු පැහැය නැති කිරීමට උපකාරී වේ.

කපු පුළුන් හෝ අයි පෑඩ් ආධාරයෙන් දෙහි යුෂ ඔබේ ඇස්වල ආලේප කර මිනිත්තු 10ක් පමණ තබා සෝදා හරින්න. සති කිහිපයක් දිනපතා මෙසේ කිරීමෙන් ඔබට ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැක.

දෙහි යුෂ මේස හැන්දකට තක්කාලි මදය මේස හැන්දක්, කඩල පිටි ඉතාම ස්වල්පයක් හා කහ කුඩු ස්වල්පයක් දමා හොඳින් මිශ්‍ර කර ඇස් වටා ආලේප කර මිනිත්තු 10ක් 15ක් පමණ තබා සෝදා හරින්න. සතියකට දෙවතාවක් හෝ තෙවතාවක් කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගත හැක. දෙහි යුෂ හේතුවෙන් යම් ආසාත්මිකතාවයක් ඇති වුවහොත් භාවිතය නවත්වන්න.

පොල් තෙල්

පොල් තෙල් භාවිත කර ඇස් වටා සම්බාහනය කිරීමත් ඇස්වල අඳුරු පැහැය නැති කරගන්න පුළුවන් හොඳ සත්කාරයක්. එයින් ඔබේ ඇස් හොඳින් මොයිස්චරයිස් වීමද සිදුවේ.

පොල්තෙල් ස්වල්පයක් ගෙන ඔබේ ඇස් වටා ආලේප කර මෘදු ලෙස සම්බාහනය කරන්න. ඉන් පසු පැය කිහිපයකට පසු සෝදා හරින්න.

තේ බෑග් (Tea Bags)

තේ වල අඩංගු කැෆේන් හා antioksidant ඇස් වටා ඇති අඳුරු පැහැය නැති කිරීමට ක්‍රියා කරයි. එමෙන්ම මෙමගින් ඇස් වටා ඇති රැලි වැටීම් ආදියත් නැති කරයි.

පාවිච්චි කළ තේ බෑග් දෙකක් පැය එකහමාරක් පමණ ශීතකරණයේ තබා සිසිල් කර ගන්න. ඉන්පසු ඒවා ඔබේ දෑස්මත තබා මිනිත්තු 10 ක් 15ක් පමණ සිට ඒවා ඉවත් කර ඔබේ මුහුණ සෝදා ගන්න. මෙය දිනපතාම සිදු කළ හැක.

සීතල වෙළුම්

ඇස් වටා සීතල වෙළුම් තැබීමෙන් රුධිර නහර සංකෝචනය කර ඇස් වටා ඇති අවපැහැවීම් නැති කරයි.

පිරිසිදු රෙදි කැබැල්ලක් සීතල වතුරෙන් හෝ කිරිවලින් පොඟවා ගන්න. ඉන්පසු ඒවා ඔබේ දෑස් මත තබා මිනිත්තු කිහිපයක් හිඳ ඉවත් කරන්න.

මේ වෙනුවට ඔබට අයිස් කියුබ් දෙකක් පිරිසුදු රෙදි කඩක ඔතා ඔ‍බගේ ඇස් යට මිනිත්තු කිහිපයක් තබාගෙන සිටීමත් කරන්න පුළුවන්.

කහ

ගොඩක් රූපලාවණ්‍ය කටයුතු සඳහා යොදා ගන්නා කහ වලටත් ඔබේ ඇස් වටා ඇති අඳුරු පැහැය ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා.

* අන්නාසි යුෂ ස්වල්පයක් සමඟ කහ ස්වල්පයක් මිශ්‍ර කර අඳුරු පැහැ ප්‍රදේශයේ ආලේප කර මිනිත්තු 10ක් පමණ තබා ඉවත් කරන්න.

අමතර කරුණු

* ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.

* නිතර ඔබේ ඇස් පිරිමැදීමෙන් හා පොඩි කිරීමෙන් වළකින්න.

* නින්දට යාමට පෙර ඔබේ මේකප් ඉවත් කරන්න.

* හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්න.

* දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න.

* විටමින් A, C, E බහුල සමබල ආහාරයක් ගන්න.

මේ දේවල් නිසි විධියට කළොත් අනිවාර්යයෙන්ම ඔබට ඔබේ ඇස් වටා ඇති අඳුරු පැහැය නැති කර සුන්දර දෑසකට උරුමකම් කියන්න පුළුවන් වේවි.

 

Health සඟරාව සහ

අන්තර්ජාලය ඇසුරිනි.

Comments