මේ අරුම පුදුම පිරිස මේ විශේෂිත ඇඳුමත් සමඟ දක්නට ලැබෙන්නේ වර්ෂයකට එක් වතාවක් පමණි. එසේ දකින්නට ලැබෙන්නේද දෙසැම්බර් මාසයේ මුල් සතියේ සිට ජනවාරි මාසයේ මැද දක්වා පමණකි. ඉන් පසුව මේ පුද්ගලයන් සමාජයේ සුපුරුදු ලෙස ජීවත් වූවත් ඔවුන් කාල වර්න ඇඳුම් ඇඳ සිටිනු දකින්නට ලැබෙන්නේ නැත.
ඔවුහු කාලවර්ණ ඇඳුමින් සැරසී මාලයක් ගෙලේ බැඳගත් දා පටන් සාමිවරුන්ය. නිකම්ම නිකන් සාමිවරු නොව ‘අයියප්පර් සාමි වරුන්ය’. ‘අයියපර්’ යනු කතරගම දෙවියන්ගේ සහෝදරයෙකු ලෙස සැලකෙයි. ඒ අනුව අයියප්පර් යනුද දෙවියෙකි. මේ දෙවියන් වෙනුවෙන් මාසයක් තිස්සේ කැපවන පිරිස අයියප්පර් සාමිවරු වෙති. මේ දිනවල මුළු උතුරු ප්‍රදේශය පුරාම කළු පැහැති ඇඳුමින් සැරසෙන අයියප්පර්සාමී නමින් හදුන්වන පිරිසක් සිටිති. (මේ අය සිටින්නේ උතුරේ පමණක් යැයි මා විශ්වාස කළත් මේ මෑතකදී කඩවත නගරයේද අයියප්පර් සාමි කෙනෙකු සිටිනු දැක ගන්නට ලැබිණි. ඔහු ඇතැම් විට උතුරේ සිට කිසියම් අවශ්‍යතාවක් සඳහා කඩවතට ගොස් සිටියේදැයි සිතන්නටද පුළුවන.) කෙසේ වෙතත් ඔවුන් හින්දු පූජකවරුන් නොවූවත් ඔවුන්ගේ ආගමෙහි එක් කොටසක් වෙනුවෙන් දින ගණනාවකට ඔවුන්ගේ ජීවිතය හා ආත්මය අයියප්පර් දෙවියන් උදෙසා කැප කළ පිරිසකි.
මේ අවස්ථාවේදී වවුනියාවේ ගණේෂපුරම් ප්‍රදේශයේ ගුණසීලන් ඥානප්‍රකාශ් මුලින්ම විස්තර කළේ මේ අයියප්පර් දෙවියන් පිළිබදවය.
“අයියප්පර් දෙවියන් කියන්නේ කතරගම දෙවියන්ගේ සහෝදරයෙක් කියලා විශ්වාසයක් තියෙනවා. මේ දෙවියන්ගේ විශාලම කෝවිල පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ. මේ දෙවියන්ගෙන් හින්දු බැතිමතුන්ට විශාල පිහිටක් ආධාරයක් තියෙන නිසා පුළුවන් අය ඒ දෙවියන්ට බාර වෙලා කේරලයේ තියෙන මහ දේවාලයට අවුරුද්දකට සැරයක් යනවා. මේ අවුරුද්දේ ජනවාරි මාසේ තමයි ඒ අයියප්පර් කෝවිලේ වාර්ෂික මංගල්ලය තියෙන්නේ. අපි ඊට දවස් දෙක තුනකට කළින් එහෙ යන්න ඕනෑ. වාර්ෂික මංගල්ලයට යන්න කැමති උදවිය කෝවිලේ උත්සවයට මාස එකහමාරකට කළින් දෙවියන්ට බාර වෙන්න ඕනෑ. එහෙම බාර වුණාම ඒ අයට මස් මාළු කන්න බැහැ. මළ ගෙවල්වල යන්න බැහැ. වෙනත් කිල්ලට අහුවෙන තැන් වලට යන්න බැහැ. රා අරක්කු සිගරට් වගේ දේවල් පාවිච්චි කරන්න තහනම්. කේරලයේ කෝවිලට ගිහින් ආපහු ඇවිත් ගමේ තියන කෝවිලට ගිහින් බාර ඔප්පු කරන තුරුම වෙනදා අඳින සාමාන්‍ය ඇදුම් අඳින්න අපට බැහැ. ගමේ කෝවිලට බාර වුණු දවසේ ඉදලා අපි කළු ඇදුම් අඳින්නේ. සෙරෙප්පු සපත්තු දාන්න තහනම්. වෙන වෙන විච්චූර්ණ කරන්න බැහැ. කේරළේ අයියප්පර් දේවාලයට ගිහින් බාර ඔප්පු කරලා ඇවිත් ගමේ කෝවිලේදී බාර නිදහස් කරනවා. මෙයින් අපට විශාල පිහිටක් ආශිර්වාදයක් තියෙනවා. අයියප්පර් සාමීවරුන්ට මස් මාළු අනුභව කිරීම තහනම්. ඒ වුණත් මස් මාළු අලෙවි කිරීමට පුළුවන්.”
ඥාන ප්‍රකාශ් පවසන අන්දමටම කළු ඇදුම් ඇදගෙන ඔවුන්ගේ සියලු දෛනික ජීවනෝපාය මාර්ගයන් ඒ අන්දමටම සිදු කරමින් අයියප්පර් සාමීලා උතුරු ප්‍රදේශය පුරා ඇවිදිති. මේ දිනවල ඔවුන් වැඩි වශයෙන් ඇවිදින්නේ ඉන්දියාවට යාමට අවශ්‍ය වීසා පහසුකම් සලසා ගැනීම පිණිසය. එක් අයියප්පර් සාමීවරයෙක් එළවළු වෙළෙඳාම් කරද්දී තවත් සාමිවරයෙක් වාහන වලට හුළං පුරවමින් සිටිනු දක්නට ලැබුණි. මේ ආදී වශයෙන් ඔවුන් දෛනිකව සිය රැකියාවල නිරිත වේ. රැකියාවෙන් ලැබෙන කීයක් හෝ ඔවුන් ඉතිරි කර ගන්නේ ඉන්දියාවට යාම සඳහාය. ඉන්දියාවේ කෝවිලට යාමට නොහැකි අය බාර හාර වී ඉන්දියාවට යන පිරිසට පඬුරු ලබාදීමත් උදව් උපකාර කිරීමත් සිදු කරන බවත් මේ සාමිවරුන් කියා සිටියේය. අතර මඟදී හමුවන පිරිස් ඔවුන්ට සාමී යනුවෙන් ආමන්ත්‍රණය කරණ අතර එසේ ආමන්ත්‍රණය කරණු ලබන අයට ඔවුන් සිය දකුණු අත ඔහුගේ හදවත මත තබා පෙරළා ආශිර්වාද කරයි.
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ පිහිටි අයියප්පර් කොවිලට ගොස් ආපසු පැමිණීමෙන් පසුව මේ
තැනැත්තන්ගේ සාමීත්ත්වය ඉවත්ව යන්නේ ඉබේය. ඉන් පසුව ඔවුන්ට කිසිවෙකුත් සාමී යන නමින් ආමන්ත්‍රණය නොකරයි. හරියටම මෙය බුදු දහමේ තාවකාලික පැවිද්ද මෙන් ක්‍රියාවකි. මීට පෙර කාලයේදී කාන්තාවන්ට කුමන හෝ හේතුවක් මතවත් අයියප්පර් කෝවිලකට යාමට නොහැකිය. ඒ නිසා කාන්තාවන්ට මාල දමා කළු ඇදුම් ඇඳගෙන ගෙන අයියපර් සාමි කෙනෙක් විය නොහැක. ඇය චන්ද්‍රන් සෙල්වරාණී සාමිවරිය මේ ගැන මෙසේ විස්තර කළාය.
“ඉස්සර කාලේ කාන්තාවන්ට මේ මාල දාලා කලු ඇදුම් ඇඳලා සාමි කෙනෙක් වෙන්න දුන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඒ කෝවලකට යන්න දුන්නෙවත් නැහැ. කාන්තාවෝ මේ සම්බන්ධයෙන් ලොකූ ඉල්ලීමක් කළා. ලංකාවේ කාන්තාවන්ට වඩා මේ ඉල්ලීම කළේ ඉන්දියාවේ කේරළයේ කාන්තාවනි. ඒ ඉල්ලපු සෑම වාරයකදිම අයියප්පර් කෝවිලේ බාරකාර මණ්ඩලය එක එක හේතුන් කියලා කාන්තාවන්ට අවස්ථාව දුන්නේ නෑ. මෙහෙම ගිහින් අවසානෙදි ඉන්දීය රජය හරහා මේ ප්‍රශ්නයට බලපෑම් ආවා. දැන් අවුරුද්දකට කළින් කාන්තාවන්ට මේ සදහා අවසර ලැබුණා. උතුරේ කාන්තාවන් කේරළයේ අයියප්පර් කෝවිලට යන්න බාර වෙලා මාල දාලා කලු ඇදුම් ඇන්දේ මේ සැරේ තමයි. මේ කෝවිලට යන්නත් ඒ විදිහට සාමි කෙනෙක් වෙන්නත් කාන්තාවන්ට අවසර දීමේදී පිරිමින්ට වඩා විශේෂ නීතිරීති ගොඩාක් පනවලා තියෙනවා.මුල්ම නීතිය තමයි වයස අවුරුදු පණස් පහට වඩා වැඩි වෙන්න ඕනේ. වයස එහෙම වැඩි වුණත් මාස් ශුද්ධිය තවමත් පවතින අයට යන්න බැහැ. ඒක නතර වෙලාම තියෙන්න ඕනේ.
මාල දැම්ම දවසේ ඉදලා ඉන්දියාවට ගිහින් බාරය ඔප්පු කරලා එනකල් ගෙදර ස්වාමියත් එක්ක අඹුසැමියන් විදිහට ජීවත් වෙන්න තහනම්. මේ වගේ නීති ගොඩාක් එක්ක තමයි කාන්තාවන්ට අයියප්පර් කෝවිල්වලට යන්න අවසරයත් ඉන්දියාවේ මහ කෝවිලට යන්නටත් අවසර ලබලා දීලා තියෙන්නේ.
ඉස්සර මේ අයියප්පර් කෝවිල් උතුරු පළාතෙ තිබුණේ ඉතාම අඩුවෙන්. දැන් විශාල පිරිසක් අයියප්පර් සාමිලා වෙලා ඉන්දියාවට යන නිසා වවුනියාවෙත් ලොකූ කෝවිලක් තියනවා. මේ කෝවිලේ පූජාව තියනවා මේ දවස්වල ඒ පූජවට දැන් කාන්තාවන්ටත් යන්න පුලුවන්කම තියනවා. මගෙ ජීවිතේ පළවෙනි වතාවට තමයි සාමිවරියක් වුණේ. ඒත්මට දැන් තේරෙනවා මේකේ විශාල බලයක් හාස්කමක් තියනවා කියලා.මොකද මේ කාලයේදී අපි හොර බොරු කරන්නේ නෑ. මස් මාලු කන්නේ නෑ. අයියප්පර් දෙවියන් වෙනුවෙන්ම ජීවිතේ කැප කරලයි තියෙන්නේ.”
ඇතැම් අවස්ථාවල අයියප්පර් සාමිලා සමාජය තුළ අපහසුතාවට ලක්වෙති. මහමග සිටින පොලීසිය ඔවුන්ව නවත්තන්නේ ඔවුන්ගේ ඇදුම සහ ලොකු මාලය දකින විට විශාල සැකයක් ඇතිවන බැවිනි. ඉතා සූක්ෂමව විමසා බලන විට බොහෝ පූජකවරුන්ට වඩා ගුණ ධර්මයන් රැසක් ඔවුන් මේ මාසයක කාලය
තුළ ඔවුන්ගේ ජීවිතය තුළ වගා කර ගනිති. මීට වසර දෙකකට ඉහත සිට මේ අයියප්පර් සාමිවරු තවත් හේතුවක් නිසා පීඩා විදිති.යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ සාමාජිකයින් ලෙස මේසාමිවරු දෙස බලන ආරක්ෂක අංශ ඔවුන්ව නතර කොට පරීක්ෂා කොට යවනු ලබයි. එසේ කළ පසුව ඒ සාමිවරු ආපසු යන්නේ සාමිගේ දකුණු අත ඔහුගේ පපුව මත තබා හිස නමා ආශීර්වාද කිරීමෙන් පසුවය.
අවුරුද්දකට වරක් ජනසමාජයට පැමිණෙන මේ අයියපර් සාමිවරු පිළිබදව සමාජය දැනුවත් කිරීමේ වැඩ සටහනක් මුලින්ම සංස්කෘතික අමාත්‍යංශයෙන් සිදුවිය යුතුය. ඊළගට සිදුවිය යුත්තේ ඔවුන්ගේ ශීලයට හා ගරුත්වයට හානි නොවන අන්දමට සමාජයෙන් සැලකිලි ලැබෙන ක්‍රමයක් සකස් වීමයි.