රංගනය රංගනයක් කර නොගත් දයා තෙන්නකෝන් | සිළුමිණ

රංගනය රංගනයක් කර නොගත් දයා තෙන්නකෝන්

පසුගිය සති කිහිපය පුරා බැලූ විට කතා කිරීමට ඇත්තේ සිත් රිදුම් දෙන මාතෘකා මිස සිත් සතුටු වන කාරණා නොවේ. ඒ අතරින් තම රංගනය තුළින් ජවසම්පන්න ප්‍රකාශන ඉදිරිපත් කළ දයා තෙන්නකෝන් නම් වූ අනගිභවනීය රංගන ශිල්පියා ද සකලවිද කලා කටයුතු සියල්ල හැරදමා දෙනෙත් පියා ගත්තේය.දයා තෙන්නකෝන් රංගනය මැනවින් දත් රංගන ශිල්පියෙකි. මේ සොඳුරු රංගන ශිල්පියා ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ පාසල් සමයේ මිත්‍රයෙකි.

පතිරාජයන් මෙන්ම දයා තෙන්නකෝන් ද තම අධ්‍යාපනය ලැබුවේ මහනුවර ධර්මරාජයේය. 1941නොවැම්බර් මස 28 වනදා උපන් දයා තෙන්නකෝන් ඔහුගේ පළමු චිත්‍රපටය ලෙසින් සම්බන්ධ වන්නේ විජය කුමාරතුංග මෙන්ම නවක නළු නිළියන්, නිෂ්පාදක කණ්ඩායමේ නව ශිල්පීන් හඳුන්වා දුන් සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයෙනි. ඒ 1969 වසරයි.එසේ ආරම්භ වූ ඔහුගේ සිනමා ගමන් මගේ අවසානයක් නොවිය. චිත්‍රපට 25කටත් වඩා ඔහු රංගනයෙන් සම්බන්ධ විය.

වෙස්ගත්තෝ, සිහින ලොවක් ,අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත් , අනූපමා, කාංචනා කරුමක්කාරයෝ, පාර දිගේ, සොල්දාදු උන්නැහේ, වදුල, සිසිල ගිනිගනී ,ගිනි ගනී ,සෙයිලම ,මාරුතය ,තරණය , විසිදැල ,අන්තිම රැය, අම්මාවරුණේ, වියපත් බඹරා ,28 ,ස්වරූප ,දඩබිම ඒ අතරින් සමහරකි . මේ චිත්‍රපට අතරින් ඔහු රංගනයෙන් සම්බන්ධ වූ බොහෝ චරිත ප්‍රේක්ෂක සිත් සතන් තුළ මතකයේ තිබෙනවා නොඅනුමානය. මේ අතර නොයෙකුත් කලා අංශයන්ට සම්බන්ධ වූ දයා තෙන්නකෝන් දායක වූ ප්‍රථම කලා අංගය ලෙසින් දැක්වෙන්නේ "බෝසතාණෙනි" නාටකයයි. ධර්මසේන පතිරාජයන්ගේ සිනමා නිර්මාණයන් තුළින් කැපී පෙනෙන චරිත රංගනයන්ට සමත්කම් දැක්වූ දයා තෙන්නකෝන් කොරා සහ අන්ධයා, දුන්න දුනුගමුවේ, නැට්ටුක්කාරි, හිත හොඳ අම්මණ්ඩි, මුතුකුමාරි, ඇසළ සඳහා අවන්හල වැනි කලා කෘතීන් හා සම්බන්ධ විය.

ගුවන්විදුලි මෙන්ම චිත්‍රපට, වේදිකා නාට්‍ය ,ටෙලි නාට්‍යවලට ද සම්බන්ධ වූ ඔහු බොහෝ දෙනකුගේ මතකයට එක්වූ චරිතයක් ලෙසින් සම්බන්ධ වූයේ තට්ටු ගෙවල් ටෙලි නාට්‍ය තුළිනි. එමෙන්ම මෑත භාගයේ දිනපතා විකාශය වූ ටෙලි නාට්‍යයක් වූ වෙස් සමඟින්ද එක් වී කටයුතු කළේය. රංගන ශිල්පිනියක් වන ග්‍රේස් තෙන්නකෝන් සමග විවාහවී සිටි මෙතුමා ජ්‍යෙෂ්ඨ රංගධරයන් අතරින් බිහිවූ කුසලතා පූර්ණ රංගන ශිල්පීන් කුලකය තුළ ඉදිරියෙන්ම සිටි චරිතයකි. නමුත් ඒ සියල්ල දැන් අතීතයට මුහුව අවසන්ය. කලාවට බෙහෙවින්ම ආදරය කළ දයා තෙන්නකෝන් නම් සුන්දර මිනිසා පසුගිය පෙබරවාරි මාසයේ මුහුණු පොතේ තැබූ සටහනකින් මෙය අවසන් කිරීම සුදුසු යැයි සිතේ. මන්ද ඔහු නළුවකු නොවී රංගන ශිල්පියෙකු වූ නිසාය.

Comments