විප්ලවයේ අළු මතින් නැඟි කියුබාවේ දියුණුවේ රහස | සිළුමිණ

විප්ලවයේ අළු මතින් නැඟි කියුබාවේ දියුණුවේ රහස

ශ්‍රේෂ්ඨ කියුබානු විප්ලවය නිම වී මේ වනවිට දසක හයක් ගෙවී ගොස් තිබේ. 1953 ජූලි 26 වැනි දින සිට 1959 ජනවාරි 01 වැනි දින දක්වා පුරා වසර 06යි මාස 07කුත් දින 06ක් පැවති විප්ලවය ජයගෙන කියුබානු ජනරජය පිහිටුවීමෙන් පසුව පවා ශ්‍රේෂ්ඨ කියුබාවට සහ එහි වෙසෙන වීරෝධාර ජනතාවට ජාත්‍යන්තර වශයෙන් විඳින්නට සිදුවූ අතවර, අකටයුතුකම් අපමණය.

විශේෂයෙන් ම ඇමෙරිකා එක්සත් ජනපදය කියුබාවට එරෙහිව වාණිජ, ආර්ථික හා මූල්‍ය සම්බාධක පැනවීම ආරම්භ කළේ කියුබානු විප්ලවයෙන් වසර දෙකක් ගතවන්නටත් පෙර ය. ඒ, 1960 ඔක්තෝබර් 19 වැනි දින කියුබානු රජය ඇමෙරිකාවට අයත්ව තිබූ කියුබානු තෙල් පිරිපහදුව ජනසතු කිරීමත් සමඟ ය. එහි දී ඇමරිකාව ආහාර හා ඖෂධ හැර අන් සියලු දෑ කියුබාවට අපනයනය කිරීම සම්පුර්ණයෙන් ම තහනම් කළේ ය. අනතුරුව එම සම්බාධක පැනවීම තවදුරටත් දැඩි කළ ඔවුන් 1962 පෙබරවාරි 07 වැනි දින ආහාර හා ඖෂධ ඇතුළු සියලු ම අපනයන නවතා දැමුවේ, ආහාර හා මානුෂීය සැපයුම් සඳහා සම්බාධක පැනවීම් සිදු නොකරන තත්ත්වයක් යටතේ ය. එහෙත්, එම සම්බාධක පැනවීම්වලින් කියුබාව පීඩාවට පත්කරන්නට කිසිවකු සමත් නොවූයේ, බැටිස්ටාගේ මිලිටරි ආඥාදායකත්වයට එරෙහිව දීර්ඝ කාලයක් සටන් වැද පන්නරය ලැබ සිටි වීරෝධාර ජනතාවක් කියුබානු දේශයේ වාසය කළ හෙයිනි.

බැටිස්ටාගේ මිලිටරි ආඥාදායකත්වයට එරෙහි කියුබානු විප්ලවය ආරම්භ වූයේ ශ්‍රේෂ්ඨ කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ සහෝදරයාගේ ‘ජූලි 26 ව්‍යාපාරය’ විසින් මෙහෙයවන ලද කැරැල්ලකිනි. හිටපු සොල්දාදුවකු වූ බැසිස්ටා හමුදා කුමන්ත්‍රණයකින් කියුබාවේ බලය අල්ලාගෙන මැතිවරණ අවලංගු කරමින්, විවිධ සංවිධානාත්මක අපරාධවල යෙදෙමින් ඒකාධිපති පාලනයකට කියුබාව රැගෙන යාමත්, කියුබානු ආර්ථිකයේ විශේෂයෙන් ම උක්වගාවේ සහ අනෙකුත් දේශීය සම්පත්වල ආධිපත්‍ය ඇමෙරිකානු සමාගම්වලට පැවරීම නිසාත් ජනතාවට විරැකියාවෙන් හා ජල හිඟයෙන් පීඩා විඳින්නට සිදු වීමත් මෙම කැරැල්ලට හේතු විය.

එවකට තරුණ නීති ශිෂ්‍යයකුව සිටි ෆිදෙල් කැස්ත්‍රෝ බැටිස්ටාගේ දූෂණ හා අපරාධ සම්බන්ධයෙන් චෝදනා කරමින් ඔහු බලයෙන් පහකරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එහෙත්, කැස්ත්‍රෝගේ ව්‍යවස්ථාමය තර්ක අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. බැටිස්ටාගේ රාජ්‍ය තන්ත්‍රය නීති මාර්ගයෙන් ඉවත් නොකළ හැකි බව වටහා ගත් කැස්ත්‍රෝ සන්නද්ධ විප්ලවයක් දියත් කිරීමට තීරණය කළේ ය. එහි ප්‍රතිඵලය ලෙස ඔහු සිය සොහොයුරා වූ රාහුල් කැස්ත්‍රෝ හා එක්ව‘ද මූමන්ට්‘නමැති සංවිධානය පිහිටුවා ගන්නා ලද අතර, 1952 වනවිට හවානා හි කම්කරුවන් 1200ක් ඊට බඳවා ගන්නටත්, අවි ආයුධ ගබඩා කරගන්නටත් ඔවුහු කටයුතු කළෝ ය.

බැටිස්ටා පාලනයට එරෙහිව ‘ද මූමන්ට්’ සංවිධානය එල්ල කළ පළමු ප්‍රහාරය ‘මොන්කාඩා’ ප්‍රහාරය යි. 1953 ජූලි 26 වැනි දින ඉහත සංවිධානයේ සටන්කරුවන් 69 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ‘මොන්කාඩා’ සහ ‘බයාමෝහි’ බැරැක්කවලට ප්‍රහාර එල්ල කරන ලද අතර, එම සටනේ දී නව දෙනකු මියගිය බවත්, 56 දෙනෙකු බැටිස්ටා හමුදා විසින් අල්ලා ගැනීමෙන් පසුව ඝාතනය කරන ලද බවත් ෆිදෙල් කැස්ත්‍රෝ සිය ස්වයං අපදානයේ සඳහන් කර තිබේ.

ෆිදෙල් සහ රාහුල් ඇතුළු විප්ලවවාදීන් බොහෝදෙනෙකු පසුව අත්අඩංගුවට ගෙන සිරගත කරන ලද අතර, ඉන් අනතුරුව පැවති අතිශය දේශපාලන නඩු විභාගයක දී කියුබානුවන්ට වැදගත් වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව පැය හතරකට ආසන්න කාලයක් කතා කළ ෆිදෙල් කැස්ත්‍රෝ සහෝදරයා එහි දී කළ ‘ඉතිහාසය මා නිවැරදි කරනු ඇත’ යන උදාර ප්‍රකාශය දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් සටහන් වී තිබේ. එහෙත්, එම නඩුව අවසානයේ ෆිදෙල් හා රාහුල් දෙසොහොයුරන්ට ‘ප්‍රසිඩියෝ මොඩෙලෝ’ බන්ධනාගාරයේ පිළිවෙලින් වසර 15 හා වසර 13 බැගින් වූ සිර දඬුවම් නියම වී ය. එසේ වුව ද, දැඩි දේශපාලන බලපෑම් හේතුවෙන් 1955 දී ‘මොන්කාඩා’ ප්‍රහාරකයන් ඇතුළු සියලු ම කියුබානු සිරකරුවන් නිදහස් කිරීමට බැටිස්ටා රජයට සිදු විය.

රාහුල් කැස්ත්‍රෝ ද සමඟ මෙක්සිකෝවේ යුද පුහුණුව ලබමින් සිටි ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයාට ආජන්ටිනාවේ විප්ලවවාදියකු වූ අර්නෙස්ටෝ චේ ගුවේරා මුණගැසෙන්නේ 1955 ජූනි මාසයේ දී ය. 1956 අගබාගය වනවිට උපාධිධාරීන්ට රැකියා සොයාගැනීමට අපහසුවීම නිසා කියුබාව පුරා ශිෂ්‍ය විරෝධතා පැනනැගුණු අතර, මෙම විරෝධතා ඉතාමත් ම්ලේච්ඡ ආකාරයෙන් මර්ධනය කරන ලදී. එහි ප්‍රතිඵලය ලෙස 1956 නොවැම්බර් 26 වැනි දින හවානා විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමන ලද අතර, එය නැවත විවෘත වූයේ, 1959 පිහිටුවන ලද පළමු විප්ලවාවාදී කියුබානු රජය යටතේ ය. 1956 නොවැම්බර් 25 වැනි දින ෆිදෙල්, රාහුල්, චේ ගුවේරා ඇතුළු විප්ලවවාදීන් පිරිසක් ‘ග්‍රාන්මා’ නම් යාත්‍රාවෙන් මෙක්සිකෝවේ සිට සියරට පැමිණියේ බැරිස්ටා හමුදාවන්ට තවත් ප්‍රහාරයක් එල්ල කරන අපේක්ෂාවෙනි. එහෙත්, මුහුදු ගමනේ දී සිදුවූ ප්‍රමාදය හේතුවෙන් සැලසුම් කළ ප්‍රහාරය අසාර්ථක වීම නිසා විසිර ගිය ඔවුහු කුඩා කණ්ඩායම් වශයෙන් ‘සියෙරා මාස්ට්‍රා’ කඳුකරයට පිවිසෙන්නට පටන් ගත් හ. ඉන් දින තුනකට පසු බැටිස්ටා හමුදාව මෙම පිරිසේ බොහෝදෙනෙකුට පහර දී මරා දැමූ හ.

දිවි ගලවා ගත් ෆිදෙල්, රාහුල්, චේ ගුවේරා ඇතුළු විප්ලවවාදීහු ‘සියෙරා මාස්ට්‍රා’ කඳුකරයට පලාගොස් එහි සිට සංවිධාන කටයුතුවල නිරත වූ හ. එහි දී ගොවීන් මෙන් ම, කාන්තාවන් ද විප්ලවවාදීන් ලෙස ඔවුන් හා එක් වූ බැවින්, ගරිල්ලා හමුදාවේ සංවිධාන ශක්තිය වැඩිකර ගැනීමටත්, විටින් විට බැටිස්ටාගේ හමුදා කණ්ඩායම්වලට පහර දෙන්නටත් ඔවුනට හැකිවීය. කඳුකර ගරිල්ලන් පාලනය කිරීම සඳහා ‘සියෙරා මාස්ට්‍රා’ ප්‍රදේශයට හමුදා යෙදවීම බැටිස්ටා විසින් වැඩිකරනු ලැබුව ද, විප්ලවවාදීන්ට එරෙහිව සටන් කළ සෑම අවස්ථාවක ම බැටිස්ටාගේ හමුදාවන්ට පසුබැසීමට සිදුවිය.

අවසානයේ කැස්ත්‍රෝ සහෝදරයාගේ මෙම සටන්කාමී ප්‍රහාරයන්ට බැටිස්ටා ප්‍රතිචාර දැක්වූයේ, සොල්දාදුවන් 12,000 ක් යොදවා ‘ඔපරේෂන් වෙරෝනා’ නම් මෙහෙයුම මගින් කඳුකරයට පහර දීමෙනි. 1958 ජූලි 11 සිට 21 දක්වා පැවති මෙම සටනේ දී කැස්ත්‍රෝගේ හමුදා විසින් බැටිස්ටාගේ බලඇණි 500ක් පරාජය කරන ලද අතර, සොල්දාදුවන් 240 දෙනෙකු සිරභාරයට ගන්නා ලදී. මෙහි දී කැස්ත්‍රෝගේ හමුදාවට අහිමිවූයේ විප්ලවවාදීන් තිදෙනෙකුගේ ජීවිත පමණි.

කෙසේ වුව ද, චේ ගුවේරාගේ නායකත්වය යටතේ 1958 දෙසැම්බර් 30 වැනි දින දියත් වූ ‘යගුවාජේ’ සටනත්, 1958 දෙසැම්බර් 30 වැනි දින දියත් වූ ‘සැන්ටා ක්ලාරා’ සටනත් බැටිස්ටා භීතියට පත්කළේ ය. ෆිදෙල් කැස්ත්‍රෝ සහෝදරයාගේ විප්ලවකාරී හමුදා හමුවේ තමා පරාජයට පත්වන බව වටහාගත් බැටිස්ටා 1959 ජනවාරි 01 වැනි දින ඩොමිනිකන් රාජ්‍යය වෙත පළා ගියේ ය.

එතැන් පටන් කියුබාව මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් රාජ්‍යයක් ලෙස කටයුතු කරන්නට පටන් ගත්ත ද, කියුබාවේ වීරයා ලෙස සැලකෙන හොසේ මාටේගේ ද්‍රෘෂ්ටිවාදය කියුබානු දේශපාලනයේ ප්‍රධාන ප්‍රභවය ලෙස භාවිතයට ගැනීමට ඔවුහු කිසිවිටෙකත් අමතක නොකළෝ ය.විප්ලවයෙන් පසුව දැඩිව එල්ල වූ එක්සත් ජනපද ආර්ථික සම්බාධක හමුවේ කියුබාවට නොසැලී සිටින්නට ආධාර කළේ සෝවියට් සමූහාණ්ඩුව යි. 1991 දී සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටීම නිසා හුදෙකලා වූ කියුබානු ජනරජය බොලීවියාව, වෙනිසියුලාව, මහජන චීන සමූහාණ්ඩුව, රුසියාව ඇතුළු රටවල් 160 ක් සමඟ විධිමත් සබඳතා පවත්වාගෙන ගියේ ය. කියුබාවට ඇත්තේ සැලසුම් සහගත ආර්ථිකයකි. එරට බොහෝ කර්මාන්ත රජය සතුවන අතර, ඒවා ක්‍රියාත්මක කරනු ලබන්නේ එරට ශ්‍රම බලකාය විසිනි. කියුබාවේ ඒක පුද්ගල ආදායම අවසන්වරට වාර්තා වූ 2015 දී ඇමරිකානු ඩොලර් 21,016.65 ක අගයක් ගත්තේ ය. 2018 වර්ෂයේ එහි විරැකියා අනුපාතය 2.26%ක් වූ අතර, එය ඊට පෙර වර්ෂයට වඩා 0.01% ක අඩුවීමකි.

කියුබාවේ වැඩිහිටි මරණ අනුපාතය දහසකට 8.9ක් වන අතර, ළදරු මරණ අනුපාතය සජීවී දරු උපත් දහසකට 3.7 කි. මාතෘ මරණ අනුපාතය සජීවී දරු උපත් 100,000 කට 80කි. කියුබාවේ පුද්ගල ආයු අපේක්ෂාව අවුරුදු 78ක 79ක තරම් ඉහළ අගයක් ගෙන තිබේ.

මෙතරම් ඉහළ සමාජ දර්ශකයන් ප්‍රදර්ශනය කිරීමට කියුබාවට හැකිවූයේ ඔවුන් ඉතාමත් විධිමත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරන හෙයිනි. කියුබානු රජය ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන අතර, සියලුම පුරවැසියන්ට සෞඛ්‍ය සේවා සැපයීම සඳහා වන මූල්‍ය හා පරිපාලන වගකීම භාරගෙන ක්‍රියාකරයි. සියලුම සෞඛ්‍ය සේවාවන් රජය මගින් පවත්වාගෙන යන බැවින්, පෞද්ගලික රෝහල් හෝ පෞද්ගලික සෞඛ්‍ය සායන කියුබාවේ දක්නට නැත.

මෙතරම් දියුණු සෞඛ්‍ය සේවා පද්ධතියක් කියුබාවේ පවතින්නේ එරට ක්‍රියාත්මක වෛද්‍ය අධ්‍යාපන ක්‍රමය හේතුවෙනි. කියුබාවේ වෛද්‍ය විශ්වවිද්‍යාලය එරට සෞඛ්‍ය සේවාවන්ගෙන් විනිර්මුක්ත වෙන ම ආයතනයක් නොවේ.

වෛද්‍ය හා හෙද සිසුන් පුහුණුව ලබන පළමු වසරේ සිට ම මෙම ජාතික පද්ධතිය තුළින් ඔවුන්ට උපදේශක හා සීමාවාසික පුහුණුව ලබාදීම සිදුකරයි. වෛද්‍ය අධ්‍යාපනය ද සමඟ සැබෑ මානව දයාව ද එන්නත් කරති. කියුබාව නිර්මාණය කරන බොහෝ වෛද්‍යවරු ස්වේච්ඡාවෙන් ලොව බොහෝ රටවල වෛද්‍ය සේවයේ නිරතව සිටිති. වර්තමානයේ කොරෝනා ව්‍යසනයෙන් පීඩා විඳින ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය වැනි රටවල් බොහොමයක දිවි පරදුවට තබමින් ඔවුහු මේ වනවිටත් සේවය කරමින් සිටිති.

1900 තරම් ඈත අතීතයේ ද, කියුබාවේ සාක්ෂරතා අනුපාතය 36.1%කි. එය සංවර්ධනය වෙමින් පවත්නා රටවල් අතර ඉහළ ම අගයකි. ඈත අතීතයේ සිට ම කියුබාවට ශක්තිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් තිබුණ ද, ඊට සහභාගි වූයේ රටේ දරුවන්ගෙන් අඩක් පමණි. දුගී කියුබානු දරුවන්ට පාසල්වලට ඇතුළත්වීමට අවස්ථාව නොලැබුණු අතර, එරට නගරවලට සාපේක්ෂව ග්‍රාමීය ප්‍රදේශවල සාක්ෂරතා අනුපාතය අඩුමට්ටමක පැවතිණි. 1959 ට පෙර වයස අවුරුදු 15 ට වැඩි කියුබානුවන්ගෙන් 22%ක් ම නූගත් පුද්ගලයන් ය.

විප්ලවයෙන් පසු බලයට පත් කියුබානු නව රජය මෙම සාක්ෂරතා ගැටලුව කෙරෙහි දැඩි අවධානයක් යොමු කළේ ය.

ඒ අනුව, 1959 අප්‍රේල් වනවිට රට පුරා සාක්ෂරතා මධ්‍යස්ථාන 817ක් ස්ථාපනය කරනු ලැබී ය. මේ ආකාරයට ඉතාමත් කෙටි කාලයක් තුළ කියුබානු නව රජය අධ්‍යාපන ක්‍රමයේ විශාල වෙනස්කම් රැසක් සිදුකළ අතර, ඒ හේතුවෙන් 2000 වනවිට වයස අවුරුදු 15-24 අතර කියුබානුවන්ගෙන් 97%ක් සාක්ෂරතාවෙන් පිරිපුන්ව සිටිය හ.

මේ අනුව බලන විට කියුබාව අධ්‍යාපනය සඳහා විශාල ප්‍රමුඛත්වයක් දී කටයුතු කරන රටකි.

ඇමෙරිකානු මහාද්වීපයේ පැරණිතම විශ්වවිද්‍යාලය වන 1727 ආරම්භ කරන ලද හවානා විශ්වවිද්‍යාලය සහ උසස් අන්දමින් පවත්වාගෙන යන තවත් විශ්වවිද්‍යාල ගණනාවක් කියුබාව සතු ය. කියුබානු විප්ලවයෙන් පසු ෆිදෙල් කැස්ත්‍රෝ සහෝදරයා එරට සියලු ම පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතන ජනසතු කරන ලද අතර, අධ්‍යාපන වියදම් සඳහා ඉහළ ප්‍රමුඛතාවක් ලැබෙන අයුරින් සියල්ල රජය මගින් ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් නිර්මාණය කළේ ය.

සියලු ම කියුබානු ළමුන්ට ව්‍යතිරේකයකින් තොරව පාසල් අධ්‍යාපනය සහතික කර ඇති අතර, එය සම්පූර්ණයෙන් ම නොමිලේ ලබාදෙයි. රටේ දුර බැහැර ප්‍රදේශවල වෙසෙන ඉතා දුප්පත් හෝ විශේෂ ඉගෙනුම් අවශ්‍යතා ඇති දරුවන්ට පවා අධ්‍යාපනය අහිමි නොවේ.

කියුබාවේ කෘෂිකර්මාන්තය වසර සිය ගණනක් තිස්සේ එරට ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 30%ක් පමණ කෘෂිකර්මාන්තය සඳහා යොදාගෙන ඇති අතර, එරට වැඩකරන ජනතාවගෙන් 20%ක් පමණ කෘෂිකර්මාන්තයේ නියැළී සිටිති.

කියුබාවේ ප්‍රධාන කෘෂි වගාවක් වන්නේ ඇමරිකානු හා කැරිබියානු කලාපයට ආවේණික ‘කසාවා’ වගාව යි. ඊට අමතරව, සිට්ට්‍රස්, කෝපි, අර්තාපල්, වී, උක්, දුම්කොළ සහ ඝර්ම කලාපීය පලතුරු වගාවන් කියුබානු ආර්ථිකය වඩ වඩා ශක්තිමත් කරයි.

අධිරාජ්‍යවාදීන්ට හිස නොනැමීමේ ස්ථිරසාර ප්‍රතිපත්තියකින් කටයුතු කරමින් සිටින කියුබාව දහසකුත් එකක් දුෂ්කරතා මධ්‍යයේ සෑම ක්‍ෂේත්‍රයකම ඔවුන් අත්පත් කරගෙන ඇති දැනුම, නිර්මාණය කර තිබෙන නව සැලසුම් හා ප්‍රතිපත්ති අප රට තුළ ද යථාර්තයක් බවට පත්කර ගැනීමට නම් ඒවා වඩාත් සමීපව හා වඩාත් සාවධානව පරිශීලනය කළ යුතුව තිබේ.

Comments