තැන්පතු සෙල්ලමෙන් ලෙල්ලම් වුණු ‘ද ෆිනෑන්ස්’ | සිළුමිණ

තැන්පතු සෙල්ලමෙන් ලෙල්ලම් වුණු ‘ද ෆිනෑන්ස්’

ශ්‍රි ලංකාවේ පැරණිතම මූල්‍ය පහසුකම් සැපයීමේ ආයතතය වන්නේ ‘ද ෆිනෑන්ස් සමාගම‘යි. 1940 එය පොදු ව්‍යාපාරයක් බවට පත් වන්නේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මුල්ම පොදු ව්‍යාපාර දහයෙන් එකක් ලෙසිනි. පසුගිය 22 වැනි සිකුරාදා මේ පැරණි මූල්‍ය ආයතනය මිනිසකුගේ සාමාන්‍ය ආයු කාලයකට සමාන කාලයක් ආයු වළඳා ඈවර කිරීමකට ලක් වූයේ වසර 12කට පමණ කාලයක් යම් ආබාධ සහිතව මහ බැංකුවේ පූර්ණ රැකවරණය සතුව පවතිද්දීය.

2008 වසර ලෝකයටම දැවැන්ත ආර්ථික කුණාටු හැමූ වසරකි. මේ නිසා ඇමෙරිකාවේ මහා බැංකු පවා වැටෙද්දී ආර්ථික විශේෂඥයන් කීවේ බොහෝ මූල්‍ය ආයතන විශාල වී ඇති තරම අනුව වැටෙන්නට ලොකු වැඩි (Too big to fail) බව ය. මේ රටේ මූල්‍ය කවුරුත් නම කී පමණින් දන්නා “බලගතු ගෘහස්ත සන්නාමයක්“ වූ ද ෆිනෑන්ස් අර්බුදයට ලක් වූයේ ඒ නිසා නොවේ. එයට මුල පුරන්නේ සෙලින්කෝ ව්‍යාපාර සමූහය 2008 වසරේදී ද අර්බුදයට ලක් වීමය.

සෙලින්කෝ සමාගමේ මෙම අර්බුදය නිර්මාණය වන්නේ සක්විති රණසිංහගේ තැනපතු වංචාව සහ හුංගම දඬුවම් මුදලාලි හෙවත් පියදාස රත්නායකගේ නීත්‍යනුකල නොවන මුදල් තැන්පතු ලබා ගැනීමේ සිදුවීම් පත්තු වීමත් සමගිනි. නව කොරෝනා වයිරසය මෙන් වේගයෙන් පැතිර ගිය මෙම අර්බුදයෙන් වැඩිම බලපෑම එල්ල වූයේ සෙලින්කෝ ව්‍යාපාර සමූහයට අයත් ගෝල්ඩන් කී සමාගමටය. ඒ සමඟ එය සෙලින්කෝ පවුලට සම්බන්ධ සියලුම ආයතන හරහා වේගයෙන් පැතිර ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස සෙලින්කෝ සමූහයට අයත් සමාගම් රැසක් දැඩි අර්බුදයකට මුහුණ දුන්නේය. මේ සමාගම් අතර පැවැති විශේෂ සමාගමක් වන්නේ ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම ලෙසින් සැලකෙන ද ෆිනෑන්ස් සමාගමය. ද ෆිනෑන්ස් සමාගම සුද්දන්ගේ කාලයේ සිට පැවතෙන සමාගමකි. මුලින්ම වාහන අලෙවි කිරීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක වු මෙම සමාගමට කෙමෙන් සිය වත්කම් බැරකම් තර කර ගැනීමට හැකි විය.

ද ෆිනෑන්ස් සෙලින්කෝ සමූහයට අයිති සමාගමක් බව මේ රටේ බොහෝ දෙනකු දැන සිටියේ නැත. ඔවුන්ට ඒ බව දැන ගැනීමට අවශ්‍ය වුණේද නැත. හේතුව වසර දශක අටකට එහා ඉතිහාසයක් ඇති සන්නාමයක් හා විශ්වාසයක් ඊට හිමි විමය. කෙසේ වුවද, ද ෆිනෑන්ස් සමාගම සෘජුවම සෙලින්කෝ පවුලේ සම්බන්ධයක් මුල සිටම තිබිණි.

ඒ අනුව සෙලින්කෝ සමාගමේ නිර්මාතෘවරයකු වන ජස්ටින් කොතලාවල ද ශ්‍රී ලංකාවේ පැරණිතම ෆිනෑන්ස් සමාගමේ ආරම්භක සාමාජිකයකු විය. ඔහු හිටපු අගමැතිවරයකු වූ ශ්‍රිමත් ජොන් කොතලාවලගේ සොහොයුරාගේ පුතෙකි. 1966 දී ඔහු සමාගමේ සභාපති ධුරයට පත් වන අතර එයින් පසුව මෙම සමාගම සෙලින්කෝ පවුලේ වැඩි බරක් සහිව ඉදිරියට ගිය සමාගමක් ලෙස සැලකේ. ලලිත් කොතලාවල මේ අර්බුදය ඇති වන විට ද ෆිනෑන්ස් සභාපති ලෙස කටයුතු කළේය. කොළඹ කොටස් වෙළෙඳපොලේ ලයිස්තුගත සමාගමක් වන මෙය මහ බැංකුවේ ද ලියාපදිංචි සමාගමක් ලෙස ඉතා ශක්තිමක් බවකින් යුතුව පවත්වාගෙන ගියේය.

එසේ වුවද එය ඉහත කී වැටෙන්නට ලොකු වැඩි තරමට ව්‍යාප්ත වී තිබූ සෙලින්කෝ සමූහයට අයත් සමාගමක් ලෙස 2008 වසරේ සිට සෙලින්කෝ අර්බුය සමඟ අර්බුදවලට මුහුණ දුන්නේය. ද ෆිනෑන්ස් සමග තවත් සෙලින්කෝ සමාගම් අටක් මේ අනුව දැවන්ත ද්‍රවශීලතා අර්බුදයකට නිරාවරණය විය. සෙලින්කෝ යටතේ තිබූ ඇතැම් මූල්‍ය සමාගම් ශ්‍රි ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී තිබූ අතර ඇතැම් සමාගම් එසේ වූයේ නැත. කෙසේ වුවද ලියාපදිංචි වී තිබූ සමාගම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් විය. මේ මැදිහත්විම තුළ ද ෆිනැන්ස් සමාගමේ කළමණාකාරීත්වයත් මහ බැංකුව යටතට පත් විය.

කෙසේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් සමාගමක් ලෙස වැජඹුණද මෙම සමාගම ට ලැබු අමාවක මහ බැංකුව යටතේ පැවැති කිසිදු කළමණාකාරීත්වයකින් අහවර වූයේ නැත. ආයතනය යළි නැඟිටුවීමට යම් යම් සාධනීය පියවර කිහිපයක් ගත්ත ද, ආයෝජකයන් ගණනාවක් මේ සඳහා අයෝජනය කිරීමට ඉදිරිපත් වුවද ද ෆිනෑන්ස් සමාගම ගොඩ ගියේ නැත. එයින් අනතුරුව ප්‍රීති ජයවර්ධන නම් මූල්‍ය ක්ෂේත්‍ර ප්‍රවීණයා එහි සබාපතිවරයා ලෙස පත් කළේය. වරින් වර විවිධ විවිධ යෝජනා මෙන්ම විවිධ ප්‍රවර්ධන වැඩසටහන්ද ඊට පත් වූ විවිධ අධ්‍යක්ෂ මණ්ඩල යටතේ ක්‍රියාත්මක විය. ආයෝජකයන් විසි ගණනක් මේ කීර්තිමත් සන්නාමය හිමි කර ගැනීමට උත්සාහ කළහ. කෙසේ වුවද මෙම ආයෝජකයන්ගේ සුදුසුකම් නුසුදුසුකම් පිළිබඳව කෙරුණු ඇගයීම් මෙන්ම ඊට පත් කෙරුණු ඇතැම් අධ්‍යක්ෂ මණ්ඩල මෙම ආයෝජකයන්ගෙන් යටි මඩි ගැහිලි බලාපොරොත්තු වීම් වැනි කරුණු මැද ආයෝජකයෝ කෙමෙන් පස්සට ගියහ. එය දැවැන්ත පරිහානියට මුල පිරීමකි.

2008 වසරේ අර්බුදය හමුවේ මහ බැංකුවේ පාලනයට මෙම ආයතතනය පත් වන මොහොත වනවිට එහි වටිනාකම රුපියල් මිලියන 1427ක් වූ බව එම සමාගමේ සේවක සංගමයේ ලේකම් ශානක ද සිල්වා පවසයි. ඔහු පවසන්නේ මෙවැන්නකි.‘මෙම සමාගමේ 2008 වසර වනවිට බිලියන 36.7ක වත්කම් සහ බිලියන 35.5ක වගකීම් තිබුණා. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වරින් වර බොහෝ පුද්ගලයන් මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළා. එයින් මම දකින විදිහට සාර්ථකව මෙම සමාගම අලුත් හැරවුමකට ගෙන එන්නට හැකි වුණේ 2014 වසරේ පත් වුණු අධ්‍යක්ෂවරුන්ටයි. ඔවුන් යම් හැරවුමක් දෙන්න කටයුතු කළා.

2015 අවුරුද්දේ පත් වුණු යහපාලන ආණ්ඩුව මේ වැඩපිළිවෙල විනාශ කළා. වරක් ඔවුන් මෙහි සභාපති තතනතුරට පත් කළේ බේකරි සමාගමක හිමිකරුවෙක් . ඔවුන් මොනවද දන්නේ මූල්‍ය ආයතන පරිපාලනය ගැන. මේ ආකාරයට මහ බැංකුව මඟින් පත් කළ කිසිදු අධ්‍යක්ෂ මණ්ඩලයක් සමාගම සාර්ථකව ක්‍රියාත්මක කළේ නැහැ. නමුත් 2019 වසරෙදිත් ඉතා හොඳ ප්‍රවර්ධන වැඩසටහනක් මඟින් අපට රුපියල් මිලියන 946ක තැන්පතු ලබා ගත හැකි වුණා. ඒත් සති කිහිපයක් යද්දී අපේ ගිණුම් සියල්ල අක්‍රිය කිරීමට මහ බැංකුවම කටයුතු කළා. අර අලුත් තැන්පතුකරුවන් තුළත් අප කෙරෙහි තිබූ විශ්වාසය බිඳ වැටුණා. මේ සියලු විපත්වලට මහ බැංකුවත් සෘජුවම වගකිව යුතුයි.

මොකද වසර 12ක්ම මේ සමාගම පැවතුණේ මහ බැංකුවේ පාලනය යටතේ. එහෙම පැවතුණු සමාගමක් ඈවර කිරීමට මුදල් මණ්ඩලය තීරණය කිරීම කනගාටුවට කරුණක්. අනෙක් අතට පෙබරවාරි මාසයේ අගමැතිතුමා ප්‍රකාශ කළා අවුරුදු 80ක් පැරණි මේ සමාගම වහන්න දෙන්නේ නෑ කියලා. එහෙත් මහ බැංකුව එය කළා. අපි ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ සමාගම වහන්න නොදී රැක ගන්න කියලයි. සමාගම රැක ගැනීමට අවශ්‍ය වෙහෙස දරන්න අදටත් එහි සේවයකන් සූදානම්. හොඳ දක්ෂ වගකීම් සහගත අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ එය සිදු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා‘

මහ බැංකුව පවසන්නේ විවිධ උපායමාර්ග ඔස්සේ ද ෆිනෑන්ස් ආයතනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැරූ සියලු ප්‍රයත්න අසමත් වී ඇති බවය. එනම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ම පත් කරන ලද අධ්‍යක්ෂ මණ්ඩල හරහා මෙතෙක් කලක් සිදු කරන ලද ක්‍රමෝපාය අසාර්ථක වී ඇති බවය. මහ බැංකුව පසුගිය ඔක්තෝබර් මාසයේදී දැනුම් දුන්නේ මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් පාර්ශ්වයන්ගේ යහපත සඳහා 2019 ඔක්තෝබර් 23 දින සිට බලපැවැත්වෙන පරිදි ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යෑම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කරන බවය.

මුදල් ව්‍යාපාර පනත ප්‍රකාර ව නියම කර ඇති කාල රාමුව තුළ දී එම බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීමට එදිරි ව ලිඛිත ව වලංගු විරෝධතාවක් ගොනු කිරීමට ආයතනය අසමත් විය. මේ අනුව 2019 දෙසැම්බර් 21 දිනෙන් පසු ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනයේ බලපත්‍රය අවලංගු කිරීමේ හැකියාව මුදල් ව්‍යාපාර පනත ප්‍රකාර ව හැකි වුණත් එසේ නොකළේ ව්‍යාපාර කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා සුදුසු ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත සැලැස්මක් සහ වලංගු ශේෂ තහවුරුවක් සමඟ විශ්වසනීය ආයෝජකයකු හඳුනා ගැනීමට කැමැත්ත පළ කිරීමේ ලියවිලි කැඳවීමට නැවත වරක් මුදල් මණ්ඩලය විසින් අවසර ලබා දීම නිසාය. එසේ වුවද එවැනි ආයෝජකයකු හඳුනා ගැනීමට ආයතනය මේ දක්වා සමත්ව නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය සතියේ ව්‍යාපාර බලපත්‍රය අවලංගු කරන්නේ එවැනි පසුබිමකය.

ද ෆිනෑන්ස් සේවක සංගමයට අනුව එම සමාගමේ මේ වනවිට සේවකයන් 400 කට අධික සංඛ්‍යාවක් සේවය කරති. ඔවුන්ට පසුගිය මාස තුනක වැටුප් හිමිව නැත. එක අතකින් කොරෝනා වසංගතය නිසා ලෝකයේම රැකියා අර්බුදයකට යන අවස්ථාවේ මෙම අර්බුදය නිසා ද ෆිනෑන්ස් සමාගම මත යැපෙන තුන් දහසක පමණ පිරිසක් දැවැන්ත අර්බුදයකට මුහුණ දී ඇත. ඔවුන් සම්බන්ධයෙන් කවර විසඳුමකට යන්නේද පිළිබඳව මේ වන තෙක් කතා බහට ලක් ව නැත.

ද ෆිනෑන්ස් සමාගමේ මුදල් තැන්පත් කල තැන්පතුකරුවෝ 145,172ක් සිටිති. එයින් සියයට 93ක්ම එනම් 135, 100 දෙනා රුපියල් ලක්ෂ 6කට වඩා අඩුවෙන් මුදල් තැන්පත් කළ අය වෙති. සෙසු සියයට 7 ඊට එහා වටිනාකමින් මුදල් තන්පත්කළ වුන්ය. ඔවුන්ට යළි මුදල් ලබා දෙන ආකාරය පිළිබඳව මහ බැංකුව පසුගියදා පැහැදිලි කළේය. ඒ අනුව මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය මගින්, එහි රක්ෂණය කර ඇති තැන්පතුකරුවන් සඳහා, පවතින නීති හා විධිවිධාන යට‍තේ තැන්පතු සඳහා වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබනු ඇති බවය. එමගින් ආයතනයේ සමස්ත තැන්පතුකරුවන්ගෙන් 93%කට (තැන්පතුකරුවන් අතරින් 135100, කට) තම මුළු මුදල ම ආවරණය කරගැනීමට හැකියාවක් ඇති අතර අනෙකුත් 7%ක (තැන්පතුකරුවන් 10,072කට) තැන්පතුකරුවන් හට තමන්ගේ තැන්පතු මුදලින් කොටසක් වශයෙන් රු. 600,000ක මුදලක් ලැබෙන අතර ඉතිරි මුදල ආයතනය ඈවර කරන අවස්ථාවේ දී හිමිකම් පෑමේ ප්‍රමුඛතාවන්ට යටත් ව ආවරණය කර ගැනීමේ හැකියාවක් පවතී.

මෙම තැන්පතුකරුවන්ගෙන් බහුතතරයක් තම දිවිය පුරා උපැයූ මුදල් තැන්පතුවක බහා පොලියෙන් තම විශ්‍රාම දිවිය ගත කරන්නට සැලසුම් කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ය. ඔවුන්ට පසුගිය කාලය පුරා සිත සතුටු විය හැකි ප්‍රතිලාභයක් හිමි වූයේ නැත. ඔවුන්ට මේ ඈවර අවස්ථාවේදිවත් යම් සහනයක් සැලසීම මහ බැංකුවේ වගකීමක් වන්නේය. එසේම මේ වන විට ලෝකයේම අර්බුදයට ලක් ව ඇති රැකියා සම්බන්ධ ගැටලුවේදී ඒ ගොඩට එකතු වන ‍ද ෆිනෑන්ස් සේවකයන්ද රටට බරක් වන්නේය. මේ කරුණු සියල්ල මැද කාටත් සාධනීය වූ පියවර පිළිබඳව ඉදිරියේදී සිතන්නට සිදුව ඇත.

Comments