පුදුමයි! ඒත් ඇත්තයි!! | සිළුමිණ

පුදුමයි! ඒත් ඇත්තයි!!

දුම්කොළ කර්මාන්තකරුවන් වාසියට යොදන උපක්‍රමවලින් දරුවන් මෙන්ම තරුණයන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ව දුම්කොළ සහ දුම්වැටි භාවිතයෙන් වළක්වා ගනිමු යන්න මැයි 31 දා සමරන ලෝක දුම්වැටි විරෝධි දිනයේ තේමාවයි.

1988 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ෙලා්ක දුම්වැටි විෙරා්ධී දිනය ෙලස දිනයක් වෙන් කරමින් දුම්වැටියට එරෙහිව ලොවම අවදි කිරීමට කටයුතු කෙරිණි. මේ වන විට ලෝකයේ බිලියන 1.3ක පමණ ප්‍රමාණයක් දුම්පානයට ඇබ්බැහි වී සිටී. ඉන් බිලියන 1.1ක පමණ පිරිසක් අප රටද අයත් වන අඩු ආදායම්ලාභී ජනයා වෙසෙන රටවලට අයත්ය.

මේ වන විට කූට උපක්‍රම යොදමින් දුම්වැටි කර්මාන්තකරුවන් දුම්පානයට පොලඹවා ගැනීමට වෙර දරන්නෙ දරුවන් සහ තරුණයන්ය. එලෙස දරුවන් සහ තරුණයන් සිය මාරක දුම්වැටියට පොලඹවා ගනිමින් කූට වෙළෙදුන් වසරකට ඩොලර් බිලියන ගණනින් ඉපැයීම් සිදු කරති. එම නිසා මෙවර තේමාවෙන්ද දුම්වැටි විරෝධයට හඬක් නඟමින් සැවොම පවසන්නෙ මෙකී මාරක රකුසාගෙන් දරුවන් සහ තරුණ පරපුර ගලවා ගැනීමට මනා ලෙස පෙළ ගැසිය යුතු බවයි. මේ වන විට පෙන්නුම් කරන දත්තවලින් දුම්වැටියක් මිලදී ගන්නා 50%ක් පමණ මරණයට පත්කරන ප්‍රධානම ‘මාරකය‘ දුම්වැටිය බවයි. දිනකට මෙරටේ පමණක් 60 දෙනෙකු දුම්පානය නිසා මරණයට පත්වන අතර සෑම තත්පර හතරකට වරක් මේ මිහිපිට කොතැනක හෝ කෙනෙකු දුම්කොළ භාවිතය නිසා මරණයට පත් වේ. එහි ඇති අන්ත ඛේදනීය තත්ත්වය නම් සෑම තත්පර 30කට වරක් අයෙක් මිය යන්නෙ අක්‍රීය දුම්පානය නැතිනම් දුම්පානය කරන අයෙක් අසල සිටීමෙන් දුම ආඝ්‍රාණය වීමෙනි. ඒ අනුව මේ වන විට ලොව තිබෙන භයානකම ව්‍යසනයක් ලෙස දුම්වැටිය හඳුනාගෙන අවසන්ය.

ලෝකයාටම වසංගතයක්ව පවතින කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ දුම්පානය කරන්නන්ට ඉන් අත්වන භයානක ඵලවිපාක බොහෝ සෙයින් වැඩි බව පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ටෙඩ්රෝස් ඇඩ්නම් මහතාද පැවැසීය.දුම්වැටියට දිනක් නොව දින 365ම සැවොම විරෝධීව කටයුතු කළ යුතු බව අපට කීවේ දුම්වැටියෙන් මෙරට ජනයා ගලවා ගැනීමට ඉමහත් සේවයක් කරන දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියෙහි සභාපති ආචාර්ය, සමාධි රාජපක්ෂ පවසන්නේ, “අපි මේ මොහොතේ සියලු ශක්තිය යොදවන්නෙ දරුවන් සහ තරුණයන් කූට දුම්කොළ කර්මාන්තකරුවන්ගෙන් ආරක්ෂා කරගැනීමටයි. 2015 දී පමණ කළ පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා, ලංකාවේ දුම්වැටියට නැඹුරු වන වයස අවුරුදු 20,21ත් අතර බවට. කූට වෙළෙඳුන් මේ වයස් සීමාවල තරුණයන් ඉලක්ක කරගෙන නොයෙක් වෙළෙඳ උපක්‍රම යොදනවා. එකක්, දරුවන් සහ තරුණයන් ආකර්ෂණය කරන රසකාරක. අද වන විට ලෝකය පුරා රසකාරක වර්ග 15000ක් පමණ භාවිත වෙනවා. තව සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධන වෙළෙඳ උපක්‍රම, උත්සව සහ සැණකෙළිවලට අනුග්‍රහය, ඇතැම් අවස්ථාවලදී දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයන්, කාමුක මෝස්තර, විනෝදාත්මක මාදිලියේ නිෂ්පාදන සමඟ ඔවුනගේ නිෂ්පාදන බද්ධ කරනවා. නොමිලේ සාම්පල් බෙදාහැරීම, සිල්ලරට දුම්වැටි අලෙවිය මඟින් ළමයින්ට මිලදී ගැනීමේ හැකියාව ඉහළ ගොස් තිබෙනවා. දරුවන්ට පෙනෙන ආකාරයට දුම්වැටි අලෙවිය, එසේම පාසල්වලට ආසන්නව වෙනත් පාරිභෝගික නිෂ්පාදන හා මුසුව දුම්වැටි අලෙවිය.

එවැනි කූට උපක්‍රම යොදනවා මේ අය දරුවන් සහ තරුණයන් මේ සඳහා පොලඹවා ගැනීමට. ඉතින් මේ බහුජාතික කූට කොම්පැනිකාරයන්ගෙ ඉලක්කය දරුවන් සහ තරුණයන්.

දුම්කොළ කර්මාන්තය යනු වසරකට ඩොලර් බිලියන සංඛ්‍යාවක ආදායමක් උපයන කර්මාන්තයක්. මේ කූට වෙළෙඳුන්ට තිබෙන අධික මුදල් කන්දරාව නිසා නොයෙක් ආකාරයේ කූට උපක්‍රම යොදනවා දුම්පානය තරුණයන් සහ ළමුන් අතර ප්‍රචලිත කිරීමට. එම නිසා මේ මොහොතේ දෙමාපියන් සහ වැඩිහිටියන්ට ලොකු වගකීමක් තිබෙනවා, තමන්ගේ පාසල් හෝ විශ්වවිද්‍යාල හෝ යන දරුවන්ට නිදහස භුක්ති විඳීමට ඉඩ ලබා දෙනවා වගේම ඔවුන් පිළිබඳ දැඩි අවධානයකින් සිටීමට. අපේ රටේ තවමත් සිල්ලරට දුම්වැටි විකිණීම තහනම් කර නැහැ. එසේ විකුණන නිසා ඉතාම අඩු ආදායම්ලාභීන්ට වගේම දරුවන්ටත් දුම්වැටි මිලදී ගැනීමේ හැකියාව ඉහළයි. මොකද පැකට් ගණන් මිලදී ගන්න මුදල් නැති වුණාට දුම්වැටියක් දෙකක් මිලදී ගැනීමට ඕනෑම අයකුට පුළුවන්කම තියෙනවා.“

මේ වන විට දුම්කොළ සහ මධ්‍යසාර අධිකාරිය වෙර දරන්නේ සිල්ලරට දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමට අවැසි නීතිමය කෙටුම්පත් සම්පාදනය කිරීමටයි. එසේ වුවහොත් දරුවන් සේම මුදල් හිඟකමෙන් පෙළෙන අයවලුන්ද දුම්වැටියෙන් මුදාගැනීමට එය මනා පිටිවහලක් වේ. තවද පාසල් අවට දුම්වැටි අලෙවි නොකිරීමේ සීමාවද මීටර් 500ක දුරක් දක්වා පුළුල් කිරීමටද එම අධිකාරිය උත්සාහ කරමින් සිටී. මෙරට තුළ දුම්පානය කරන පිරිස සියයට 16කි. එම ප්‍රමාණයෙන් වැඩිපුරම දුම්වැටියට ඇබ්බැහි වී සිටින්නෙ කොළඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවල පිරිසයි. කෙසේ හෝ සමස්තයක් ලෙස ගත් කල මෙරට තුළ මෑත කාලයේ දුම්පානයට ඇබ්බැහි වීම අඩු තත්ත්වයක පවතින අතර එය යම් පමණක අස්වැසිල්ලකි.

දුම්පානයෙන් මිනිසාට ඉමහත් ව්‍යසනයක් ගෙන දෙන්නෙ බෝ නොවන රෝගවලට ගොදුරු වීමෙනි. මෙරට තුළ සිදුවන මරණවලින් 83%කටම හේතුව බෝ නොවන රෝග ලෙස සැලැකේ. ඒ අනුව පිළිකාව, දියවැඩියාව, හෘද රෝග, අංශභාග හෙවත් ආඝාතය, ඇදුම, වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග සියල්ලටම ප්‍රධාන ලෙසටම දුම්පානය බලපායි. මෙලෙස මාරක බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීමටනම් දුම්පානය හෝ දුම්කොළ භාවිතයෙන් සියයට සියයක්ම තොර විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග පිළිබඳ ඒකකයේ අධ්‍යක්ෂිකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි පවසන්නීය.

“ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ සියලු රටවලට ගොස් පාසල් ළමුන් සම්බන්ධකර සිදුකරන සමීක්ෂණවලට සමගාමීව අපේ රටේ කළ සමීක්ෂණවලින් හෙළි වෙලා තියෙනවා, අපේ රටේ දුම්පානයේ අඩුවක් තිබෙන බව. ඒ එක් සමීක්ෂණයකින් හෙළි වුණේ සියයට 1.5ක් ප්‍රතිශතයක් දුම්පානය කරන බව. එය වෙනත් රටවල් හා සසඳන කල ඉතා අඩු අගයක්. හැබැයි වැඩිහිටි පාර්ශ්වය ගත්තොත් එය සියයට 29ක් තරම් ඉහළ අගයක්.

බෝ නොවන රෝග වැලඳීමට බලපාන මිනිස් චර්යා රටාවන් හතරක් හඳුනාගෙන තිබෙනවා. ඒ, දුම්පානය, මත්පැන්, අයහපත් ආහාර පුරුදු සහ ශරීර ක්‍රියාකාරකම් නොමැති වීම. මේවා අතරින් බෝ නොවන රෝගවලින් මියයෑමට වැඩිම බලපෑමක් කරන්නෙ දුම්පානය. හැබැයි මේ චර්යා රටා හතරෙන් මිනිසුන්ට පහසුවෙන්ම පාලනය කරගන්න පුළුවන්කම තියෙන්නෙත් දුම්පානය. අපේ ඒකකයෙන් බෝ නොවන රෝගවලින් ප්‍රජාව ගලවා ගැනීමට බොහෝ සේ වැඩසටහන් සිදු කරනවා. එහිදී ප්‍රාදේශීය රෝහල්වල සුවදිවි සායන දහසක් පමණ පවත්වනවා. එම සායනවලට එන වැඩිහිටියන් බෝ නොවන රෝගවලින් ගලවා ගැනීමට අවශ්‍ය සියලුම උපදෙස් ලබා දෙනවා. තව පාසල් තුළ දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කරනවා. දුම්පානය නතර කිරීම එතරම් අපහසු දෙයක් නොවේ, එහෙම දුම්පානය කරන අයවලුන් එන්න අපේ සායනවලට. ඒවායේ දෙන උපදෙස් පිළිපැද්දොත් ඉතාම කෙටි කලකින් පහසුවෙන්ම දුම්පානයෙන් මිදෙන්න පුළුවන්. එය ඔබට පමණක් නොවේ ප්‍රජාව ඇතුළු රටට ලෝකයට කරන ඉමහත් සෙතක්.“

දුම්පානය නිසා ඇතිවන භයංකරම බෝ නොවන රෝගී තත්ත්වයක් ලෙස පිළිකාව සැලැකේ. දුම්පානයෙන් තොරව සිටියහොත් මෙරට ජනයා ගොදුරු වන පිළිකා කාරක තත්ත්වයෙන් සියයට 20කට පමණ ගැලවිය හැකිය. එය බෝ නොවන රෝගවලට රජය වැය කරන ඉමහත් වූ මුදල් කන්දරාවෙන් බොහෝ ප්‍රමාණයක් ඉතිරි කරගැනීමටද කදිම අවස්ථාවකි. දුම්පානය සහ දුම්කොළ භාවිතය නිසා මෙරට පිළිකා මර්දනයට බලපා ඇති තත්ත්වය කෙබඳුද යන්න ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානකී විදානපතිරණ අපට පැහැදිලි කළාය. “ශරීරයේ ප්‍රධාන අවයව 12ක හටගන්නා පිළිකාවලට මේ දුම්කොළ සෘජුවම බලපානවා. එය දුම්පානය හෝ බුලත්විට සමඟ දුම්කොළ කෑම නිසා සිදු වෙනවා.

මෙරට සිදුවන පිළිකා මරණවලින් 30%කට බලපාන්නෙ දුම්කොළ ශරීරයට ඇතුළු වීම. තවත් වර්ග කළොත් පෙනහලු පිළිකාවලින් 80%කටම බලපාන්නෙ දුම්පානය. ඒ වගේම දුම්පානය කරන අයට සෙසු පුද්ගලයන්ට වඩා මුඛ පිළිකා හටගැනීමේ අවස්ථාව දහ ගුණයකින් වැඩියි.

ගිය වසරේ සංඛ්‍යා ලේඛන දත්ත අනුව මෙරට තුළ පිළිකා රෝගීන් 23350ක් වාර්තා වී තිබේ. ඒ අනුව දිනකට පිළිකාව වැලඳි ඇති ප්‍රමාණය 64කි. එම වර්ෂයේ පිළිකා රෝගයෙන් මියගිය ප්‍රමාණය 14063කි. එය දිනකට 38කි. එම දත්තවලින් හෙළි වූ ආකාරයට රටපුරා පිළිකා රෝගීන් 56000ක් පමණ වාර්තා විණි. මේ වන විට එම ප්‍රමාණය බොහෝ සෙයින් වැඩි වී ඇති බවත් මෙරට තුළින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නෙ මුඛ පිළිකා ඇතුළු දුම්පානය නිසා හටගන්නා පිළිකාය.දුම්පානයෙන් පිළිකා හටගැනීමෙන් අන්ත අසරණ වන බොහෝ දෙනෙකුට සරණක් වූ ආයතනයක් ලෙස පිළිකා සරණ සංගමය හැඳින්විය හැකිය. එම සංගමයේ ප්‍රධාන අනුශාසිකා කොළඹ විශ්වවිද්‍යාලයේ වසර 42ක සේවයෙන් පසු ඉසිඹු ලැබ සිටින සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රාණි මුණසිංහ ද දුම්පානයට එරෙහි සිය කාර්යභාරය අපට කීවාය. “මං දුම්පානයට එරෙහිව නැඟි සිටියේ 1974 කාලයේ සිටයි. ලංකාවේ ප්‍රවාහනය ගැන සොයා බැලීමට පත්කළ කමිටුවක සාමාජිකයෙක් ලෙස මම ඒ කාලේ පත්වුණා. එහිදී මට පැවරුණේ දුම්බීම ගැන සොයා බලන ලෙස. ඒ කාලේ අද වගේ නෙමේ බස්වල දුම්පානය කරනවා. මම ඒ ගවේෂණයෙන් පසු යෝජනා කළා බස්රථවල දුම්බීම තහනම් ලෙසින් දැන්වීම් ප්‍රදර්ශනය කරන ලෙසට. පසු කාලයේදී පිළිකා සරණ සංගමයට එකතු වීමත් සමඟ මේ වන විට අපි රටපුරා යමින් පිළිකාවෙන් සිදුවන භයානක තත්ත්වයන් ගැන ජනතාවට පහදා දෙනවා... අපි අත්දකිනවා මේ දුම්පානය නිසා පිළිකා වැලඳි රටේ මිනිස්සු විඳින දුක. හැබැයි දැන් පරම්පරාව දුම්පානය කිරීම බොහෝ සෙයින් අඩුයි. එය හොඳ ප්‍රවණතාවක්.“

මෙරටින් දුම්බීම තුරන් කිරීමට නීතියෙන් පවතින ඇතැම් හිඩැස් ඉමහත් බාධාවක් බව බොහෝ දෙනකුගේ අදහසයි. එසේම දුම්පානය කරන දරුවෙක්, තරුණයෙක් පමණක් නොව වැඩිහිටියෙක් වුවද ඉන් ගලවා ගැනීමට නම් පවුලෙන් හෝ සමාජයෙන් කොන්නොකළ යුතු බවත් සිදුවිය යුත්තේ ඔවුන් හට නිසි මඟ පෙන්වා දීමයි. එසේම මෙකී මාරයාගෙන් දරු පරපුර ඇතුළු තරුණ පරපුර ගලවා ගැනීමට දෙමාපියන් ඇතුළු වැඩිහිටියන්ටද පවතින්නෙ ඉමහත් වගකීමකි. මාධ්‍ය දසුන්හි දුම්පානය කරන දර්ශන බොඳ කර පෙන්වන අවස්ථාවන්හි දරුවන්ට ඇතිවන කුතුහලය පිළිබඳව වැඩිහිටියන් එසැණින් දරුවන්ව දැනුවත් කළ යුතුයි. මෙහි තියෙන ඵලවිපාක, ආදීනව පැහැදිලි කර දිය යුතුයි. මිතුරන් මොනතරම් බලපෑම් කළත් මෙය මඟහැරිය යුතුම දෙයක් බව පැහැදිලි කරමින් දරුවන් ගැන මනා වගකීමකින් ඔවුන් පිළිබඳව දැඩි අවධානයකින් පසුවීම සිය දරුවන් දුම්පානයෙන් ගලවා ගැනීමට හොඳම මඟකි.

Comments