මෙන්න! එම් සී සී ගිවිසුමේ නොදත් ඇත්ත | සිළුමිණ

මෙන්න! එම් සී සී ගිවිසුමේ නොදත් ඇත්ත

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය(MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් වෙත මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් (කමිටු සභාපති) විසින් ජූනි 17 බාර දෙනු ලැබීය
සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය(MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් වෙත මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් (කමිටු සභාපති) විසින් ජූනි 17 බාර දෙනු ලැබීය

හශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් “එම් සී සී” ගිවිසුම වසර කිහිපයක් පුරා මෙරට දේශපාලනික වශයෙන් සංවාදයට ලක් වූ මාතෘකාවකි. මේ ගැන නැවත පුළුල් අවදානයක් යොමු වූයේ පසුගිය 25 වැනිදා “එම් සී සී“ සමාලෝචන කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට බාරදුන් අවසන් වාර්තාව පිළිබඳ තොරතුරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟය. මේ වනවිට ප්‍රධානතම දේශපාලන මාතෘකාව බවට එම්සීසී ගිවිසුම පත්ව තිබේ. මේ ඒ පිළිබඳව තබන සංක්ෂිප්ත සටහනකි.

 

සහශ්‍රක අභියෝගතා සමායතනය (MCC) යනු ඌණ සංවර්ධිත රටවල දිළිඳුකම පිටු දැකීම හා ආර්ථික වෘද්ධිය ඉදිරියේ ඇති සංරෝධක (Constraints) ඉවත් කිරීම උදෙසා අමෙරිකා එක්සත් ජනපදයේ මූල්‍යාධාර පිරිනැමීමේ ක්‍රියාවලිය වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපද ‍කොංග්‍රසයේ 2003 සහශ්‍රක අභියෝගතා පනතින් පිහිට වූ ආයතනයකි.

මෙම ගිවිසුම හරහා නැවත අය කර ගනු නොලබන ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 85ක්) සැපයීමට නියමිත විය. ඒ, ව්‍යාපෘති ආධාර වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 447.5ක් සහ පහසුකම් සැපයීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 32.5ක් වශයෙනි.මේ ආධාර මුදල ලබා දීමට නියමිත වූයේ ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා ය. එ් ප්‍රවාහන හා ඉඩම් ව්‍යාපෘති සඳහාය.

ඒ අනුව, ප්‍රවාහන ව්‍යාපෘතිය යටතේ මධ්‍යම වටරවුම් මාර්ග ජාලයට (Central Ring Road Network) ඇතුළත් ප්‍රදේශවල මාර්ග නවීකරණය කිරීම, මාර්ග තදබදය කළමනාකරණය කිරීම, පොදු බස් රථ සේවාව නවීකරණය කිරීම, මාර්ග තදබදය පාලනය කිරීම සඳහා ප්‍රවාහන කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීම ආදී කාර්යයන් සඳහා ය.

ඉඩම් ව්‍යාපෘතිය යටතේ තෝරාගත් දිස්ත්‍රික්ක 12ක රජයට අයත් සහ අයිතිකරුවන් සහිත ඉඩම් මැන නිසි ඔප්පුවක් නොමැතිව බලපත්‍ර මඟින් ඉඩම් අයිතිය ලබාගෙන සිටින පුද්ගලයින්ට නිසි ඔප්පු ලබා දීමත්, ඉඩම් ඔප්පු ඩිජිටල්කරණය හරහා වාර්තා පවත්වාගෙන යාමත් අපේක්ෂිත විය. පසුගිය රජය සමයේ බලාත්මක කිරීමට කටයුතු කරමින් තිබූ මෙම ගිවිසුමට එවක විපක්ෂය ලෙස කටයුතු කළ වත්මන් රජය විරුද්ධ විය. ඊට හේතුව වූයේ මෙලෙස වචනාර්ථ මඟින් සරසා තිබුණද මෙමඟින් මෙරට සෛවරීභාවයට, නිදහසට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුවන බව අවබෝධ වීමය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ අමෙරිකා එක්සත් ජනපදයේ සහශ්‍රක අභියෝගතා සංස්ථාවේ (Millennium challenge Corporation or MCC) ප්‍රතිදාන යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන සහ ඒ වෙනුවෙන් අත්සන් කිරීමට සකස් කරනු ලැබ තිබෙන ගිවිසුම් නැවත සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කළේය. ඒ අනුව මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් (කමිටු සභාපති), ප්‍රවාහන අර්ථශාස්ත්‍රඥ ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන අයගෙන් සමන්විත කමිටුවක් පත් කෙරිණි. මෙම කමිටුව විසින් විමර්ශනාත්මක අධ්‍යයනයකින් අනතුරුව ඒ පිළිබඳව තොරුතුරු සහ විමැසුම් සටහන් සමාලෝචනයන් ද සහිත කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලබාදීමට කටයුතු කළේය.

‘එම්.සී.සී’ ගිවිසුම පිළිබඳ සමාලෝචන වාර්තාව අදාළ කමිටුව විසින් ප්‍රකාශයට පත්කිරීමත් සමඟ කාගෙත් අවධානය යොමු වූයේ 2017 සහ 2018 වසරවලදී අදාළ ගිවිසුමේ අදියර දෙකක් අත්සන් තබා ඇති බව අනාවරණය වීමය. ඒ අනුව, අමෙරිකානු එක්සත් ජනපදය එවක පැවති රජයට පිළිවෙලින්, අමෙරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ අමෙරිකානු ඩොලර් මිලියන 2.6ක් ප්‍රදානය කර ඇති බව කියැවිණි. ඒ පිළිබඳ ගිණුම් වාර්තා කිසිදු තැනක සඳහන් නොවන බවද මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාව ප්‍රකාශයට පත්වීමත් සමඟ ඊට පසු දින ශ්‍රී ලංකා - අමෙරිකානු තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ‘එම්.සී.සී’ ක්‍රියාවලිය අවසන්ව නොතිබූ බැවින් ශ්‍රී ලංකා රජයට මුදල් ලබාදීමක් සිදු නොකළ බව ප්‍රකාශ කර තිබුණි. නමුත් ඒ ප්‍රකාශයට පරස්පර විරෝධී වාර්තාවක් අමෙරිකානු තානාපති කාර්යාලය 2018 වසරේ ජුනි මස 13 වැනිදා පළ කර තිබිණ. ඒ පිළිබඳව ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක් අනාවරණය කර තිබුණි. ඒ අනුව 2018 වසරේ ජුනි මාසයේ දී අමෙරිකානු රජයේ ආසියා ශාන්තිකර, යුරෝපා හා ලතින් අමෙරිකානු කලාප බාර ‘එම්.සී.සී’ විධායක අධ්‍යක්‍ෂ කැරොලීන් නගුයේන් ශ්‍රී ලංකාවේ චාරිකා කළ අතර ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය සමඟ ‘එම්.සී.සී’ ක්‍රියාවලියට අදාළව ගිවිසුමක් අත්සන් කළ බවය. “චාරිකාව අතරවාරයේ දී නගුයේන් හා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී රොබට් හිල්ටන් මුදල් අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 2.6ක අතිරේක මුදල් ප්‍රමාණයක් ලබාදීමේ ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවට එක්විය. ඒ පූර්ණ සංවර්ධන ක්‍රියාවලියට අවසන් වශයෙන් තහවුරු කිරීම සඳහාය. මේ මුදල ලබාදී ඇත්තේ, 2017 වසරේ ජුලි මාසයේ දී ‘එම්.සී.සී’ ආයතනය ශක්‍යතා අධ්‍යයනය සඳහා ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 7.4ක මුදලට අමතරවය”. එදා එම ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න සහ අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරු සහභාගි වූ බව ද අමෙරිකානු තානාපති කාර්යාලීය වාර්තාවේ සඳහන්වන බව” එම ප්‍රවෘත්තියේ දැක්වේ.

කමිටු වාර්ථාවේ දැක්වෙන අන්දමට “අමෙරිකා එක්සත් ජනප‍දයේ සංස්ථාපිත 2003 සහශ්‍රක අභියෝගතා පනතින් බලගැන්වුණු ‘එම්.සී.සී’ වැඩසටහන අඩු ආදායම්ලාභී හා අඩු මැදි ආදායම්ලාභී රටවල ආර්ථික වෘද්ධිය හමුවේ ඇති සංරෝධක දුරු කිරීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් ආරම්භ කරන ලද්දකි. ඔවුන් මේ වනවිට රටවල් 49 ක් සමඟ පර්යන්ත හෝ සංයුක්ත ගිවිසුම් 65 ක් අත්සන් කර ඇත. එම රටවල් අතර; නයිජිරියාව, යේමනය, මොරිටානියාව, ගැම්බියාව, ටැන්සානියාව, නිකරගුවාව, හොන්ඩුරාස්, මැඩගස්කරය, ආර්මේනියාව, මාලි හා මලාවි යන රටවල් වේ. එහෙත් එම රටවල් සමඟ එම්.සී.සී ගිවසුම මඟින් ඇති කරගෙන තිබූ සංයුක්තයන් බිඳ වැටී හෝ අතරමග නතරවී ඇත. අත්සන් කරන ලද ගිවිසුම්වලට පෙර හා පසු වසර පහක කාලය තුළ ඒ ඒ රටවල් අත්පත් කර ගත් වෘද්ධි වේගයන් අධ්‍යයනය කිරීමෙන් නිරීක්ෂණය වී ඇත්තේ ‘එම්.සී.සී’ හි මුඛ්‍ය පරමාර්ථයේ සඳහන් අරමුණු සාක්ෂාත් කරගැනීමට ‘එම්.සී.සී’ ආධාර ලද බහුතරයක් රටවලට නොහැකි වී ඇති බවය. මෙම ප්‍රදාන ලැබීමට පෙර වසර පහක පැවැති සාමාන්‍ය වෘද්ධි වේගයේ ප්‍රතිශත එකක් හෝ ඊට වැඩි වර්ධනයක් ලබාගැනීමට හැකිවී ඇත්තේ ගිවිසුම් 65 න් 7 කට පමණකි.

‘එම්.සී.සී’ ගිවිසුම් මඟින් දිළිඳුකම පිටුදැකීම නොව අමෙරිකානු සමාගම්වලට දුප්පත් රටවල් කොල්ලකෑමට ‍පාර කැපීම බව කේම්බ්‍රිජ් සරසවියේ ආචාර්ය එමා මවුඩ්ස්ලි පවසා ඇතැයි ස්පර් (SPUR) සංවිධානය සිය ඉදිරිපත් කිරීමෙහි දක්වා ඇත. ‘එම්.සී.සී’ විසින් පළමුව ආණ්ඩු ලවා ඉඩම් නීති වෙනස් කරවා අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කර ඉන්පසු ඉඩම් ඩැහැගන්නා බව කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පිලිප් මැක්මිචෙල් ද පවසා ඇති බවත්, කැනඩාවේ ක්වීන්ස් සරසවියේ මහාචාර්ය සුසාන් සෝඩර්බර්ග්ට අනුව “‘එම්.සී.සී’ යනු නව පන්නයේ අමෙරිකානු අධිරාජ්‍යවාදයයි.”

ඉඩම් ඩැහැ ගැනීමේ දීර්ඝකාලීනව පැවැති බටහිර උවමනාව දකුණු අප්‍රිකාවේ ඩෙස්මන් ටුටු බිෂොප්තුමාගේ ප්‍රකාශයෙන්ද පැහැදිලි වන වග (SPUR) සංවිධානය විසින් මෙන්ම නේචර් බියුටි ක්‍රියේෂන්ස් සමාගමේ සභාපති සමන්ත කුමාරසිංහ මහතා විසින්ද කමිටුව වෙත එවා ඇති ඉදිරිපත් කිරීම්වල සඳහන් වෙයි.

එක්සත් ජනපදයේ 2003 සහශ්‍රක අභියෝගතා පනතට අනුව ‘එම්.සී.සී’ ප්‍රදානලාභී රටවල් විසින් ජාත්‍යන්තර සිවිල් සංවිධානවලට තම රටවල් තුළ නිදහසේ බාධාවකින් තොරව කටයුතු කිරීමේ අයිතිය තහවුරු කළ යුතුය.

ඒ ප්‍රතිපාදන 2018 වසරේදී එම පනතට ගෙන එන ලද සංශෝධනයෙන් වඩාත් පුළුල් පරාසයකට ව්‍යාප්ත කරනු ලැබ ඇත. එවැනි ප්‍රතිපාදන සහිතව ‘එම්.සී.සී’ සංයුක්තයක් ශ්‍රී ලංකාව විසින් පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත කරගනු ලැබුවහොත් ඉබේම එම ප්‍රතිපාදන ශ්‍රී ලංකාවේ නීතියක් බවට පත්වෙන බැවින් ඒ තුළින් රට තුළ උද්ගත විය හැකි සමාජමය, සංස්කෘතිකමය, දේශපාලනමය හා ආකල්පමය බලපෑම් සහ නීතිමය ව්‍යාකූලත්වය නොසලකා හැරිය නොහැකිය.

එසේම එවැනි බලාත්මක කිරීමක් ඔස්සේ පහසුකම් ලබන රාජ්‍ය නොවන සංවිධාන හරහා ඇති කෙරෙන අර්බුද පාලනය කිරීමට රජයකට සිදුවන විට ඒ හේතුව මත සංයුක්ත අත්හිටුවීමට ද රට තුළ මෙන්ම ජාත්‍යන්තර අධිකරණ තුළ ශ්‍රී ලංකාවට එරෙහිව නීතිමය පියවර ඇරඹීමට ද, මේ වනවිටත් අත්සන් කර ඇති ACSA හෝ SOFA හෝ ගිවිසුම් වෙත් නම් ඒවායේ ප්‍රතිපාදන ඔස්සේ අදාළ අර්බුදවලට මැදිහත් වීමට ද අමෙරිකානු රජයට හා ආයතනවලට ඉඩකඩ පෑදිය හැකිය. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ විශේෂ අවධානයට ලක්විය යුත්තේ එවැනි ඉඩකඩක් තුළ ජාතික ආරක්ෂාවට හා ස්වෛරීත්වයටද රටේ ඒකීයත්වයට හා දේශපාලන ස්ථාවරත්වයට ද අගතිකාරී බලපෑම් එල්ල විය හැකි බව එම්.සී.සී සමාලෝචන වාර්තාව පෙන්වා දෙයි.

අනෙක් අතට මෙම ගිවිසුමේ වඩාත් අවධානය යොමු කළ යුතු කාරණයක් වන්නේ බුද්ධිමය දේපොළ අයිතිය ‘එම්.සී.සී’ ආයතනයට ප්‍රදානය කළ යුතු බව හැඟවෙන 3.9 වගන්තිය ය. එහි සඳහන් වන ආකාරයට “වැඩසටහනේ කවර කරුණක් සඳහා හෝ දැනට දන්නා හෝ ඉදිරියේදී නිපදවනු ලබන කවර හෝ බුද්ධිමය දේපොලක් සම්බන්ධයෙන් නිත්‍ය, අවලංගු කළ නොහැකි, පුරස්කාරයෙන් නිදහස්, ලෝක ව්‍යාප්ත, සම්පුර්ණයෙන් ගෙවන ලද, පැවරිය හැකි අයිතිය සහ භාවිතා කිරීමේ සහ රජය වෙනුවෙන් භාවිතා කරනු ලැබීමේ බලය (නිෂ්පාදනයට, ප්‍රතිනිෂ්පාදනයට, ප්‍රකාශනයට, වෙනත් අරමුණක් වෙනුවෙන් භාවිතයට අනුවර්තනය කිරීමට, භාවිතා කිරීමට, ගබඩා කිරීමට, වෙනස් කිරීමට හෝ ලබාගැනීමට හැකියාව ලබාදීම ඇතුළුව) රජය විසින් ‘එම්.සී.සී’ ආයතනයට ප්‍රදානය කරන බවයි.”

මෙහි සංක්ෂිප්ත අදහස වන්නේ වැඩසටහන දැනට දන්නා හෝ ඉදිරියේදී ඕනෑම අරමුණක් වෙනුවෙන් ගොඩනගන ඕනෑම මාධ්‍යයක අඩංගු දෑ පිලිබඳ බුද්ධිමය දේපළ හිමිකම අවශ්‍ය පරිදි භාවිතය ‘එම්.සී.සී’ ආයතනය සතුවන බව ය. නිදසුනක් ලෙස ‘එම්.සී.සී’ ගිවිසුමේ ඉඩම් ව්‍යාපෘතිය යටතේ ගොඩනගන සහ දැනට ගොඩනගා ඇති තොරතුරු පිළිබඳ බුද්ධිමය දේපොළ අයිතිය ‘එම්.සී.සී’ ආයතනය ඔස්සේ ඇමරිකානු රජයට හිමිවීම ලංකාවේ ජාතික ආරක්ෂාවටත් ජාතික අභිලාෂයටත් හානිකර බව පිළිබඳව මෙම ගිවිසුම නීතිපති දෙපාර්තමේන්තුවේ සමාලෝචනයට ගනිද්දී ප්‍රමාණවත් ලෙස සැලකිල්ලට ගත්තේද යන්න ගැටලුවකි. මෙයින් පෙනී යන්නේ ‘එම්.සී.සී’ පිළිබඳ ‍මෙතෙක් පවත්නා ජාත්‍යන්තර අත්දැකීම් සතුටුදායක හෝ සුබවාදී ඒවා නොවන බවයි.

Comments