ලේක්හවුසියෙන් දරුවන්ට පිදෙන දැනුම් තක්සලාව | සිළුමිණ

ලේක්හවුසියෙන් දරුවන්ට පිදෙන දැනුම් තක්සලාව

නෑම රටක අනාගතය රැඳී ඇත්තේ වත්මන් ළමා පරපුර එක් කරගන්නා දැනුම් සම්භාරය මතය. හෙට දවස තීරණය වීමේ මූලික සාධකය වන්නේ ඔවුන් අද දින ලබාගන්නා අධ්‍යාපනයයි. එම නිසා මෙකී කාර්යයට දායක වීමේ එක් අරමුණක් ලෙසින් ලේක්හවුස් ආයතනයේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය පසුගිය ජූලි පළමුවැනිදා සිට අතිශය වැදගත් භාවයකින් යුත් කර්තව්‍යයක් ඉටුකිරීමට කටයුතු කළහ. එනම් ළමා අධ්‍යාපනය මූලික කරගනිමින් අධ්‍යාපන ප්‍රකාශන හතක් පළ කිරීමට කටයුතු කිරීමය.

මෙහි මූලික අරමුණ ව පවතින්නේ අනාගතය බාර ගැනීමට සිටින දරුවන්ගේ දැනුම වර්ධනය කිරීමය. ඒ අනුව "අතුරු මිතුරු" නමින් පෙර පාසල් දරුවන් උදෙසා පුවත්පතක්ද පළමු, දෙවැනි, තෙවැනි හා සිවුවැනි ශ්‍රේණි සඳහා "මුතු අහුර" පුවත්පත්ද ආරම්භ කෙරිණි. එමෙන්ම දරුවන් ගේ මූලික කඩඉම් විභාගය ලෙසින් හැඳින්වෙන ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් හේමාලි විජේරත්නගේ කර්තෘත්වයෙන් "විදුනැණ" පුවත්පතද 10 වන හා 11 වන ශ්‍රේණි විෂය නිර්දේශයන්ට අනුකූලව සාමාන්‍ය පෙළ විභාගය සඳහා මනෝලි සුබසිංහගේ කර්තෘත්වයෙන් "සිත්මිණ" පුවත්පතද ආරම්භ විණි.

අධ්‍යාපනය යනු කවරක්ද යන්න පිළිබඳව සැලකිලිමත් වීමේදී එය ඒක රේඛීය නොවූ විවිධ විෂය කරුණු යටතේ බෙදා දැක්විය හැකිය. එමෙන්ම විවිධ වයස් තල යටතේ පෙර පාසල් අවදියේ සිට නොයෙක් වයස් ඛාණ්ඩ තුළ වෙනස් වීම්ද සිදුවෙයි. තවත් ලෙසකින් ගතහොත් අධ්‍යාපනය යනු කුසලතා, ආකල්ප, දැනුම වර්ධනය කිරීමේ ක්‍රියාවලියකි. බුදුන් වහන්සේගේ දහමට අනුව එය "යාව නිබ්බාණ" ක්‍රියාවලියකි. මෙය තවත් පුළුල් ලෙසින් ගතහොත් එය ඇගයීම, ඉගෙනීම, ඉගැන්වීම හා පුහුණුව වැනි දේ මත සංකලනය වෙමින් ගමන් කරන්නකි. ලොව මුල්ම ළමා ප්‍රකාශන එළිදැක්වීම සිදු වූයේ එංගලන්තයේ ආතර් මීක් නම් අධ්‍යාපනඥයා මුල්කොටගෙනය. එය ම පෙරළා ළමා විශ්වකෝෂය ලෙසට පසුකාලීනව පරිවර්තනය වන්නට විය. එය සාර්ථක ප්‍රකාශනයක් වූ අතර මුල්ම කාලයේ එය හඳුන්වනු ලැබුවේ ළමා පුවත්පත් ලෙසිනි. මේ වන විට ලොව පුරා විසිර ඇති ළමා හා අධ්‍යාපනික පුවත්පත් සංග්‍රහයන්ගේ ආරම්භය සිදුවූයේ ඒ ආකාරයටය.

එය ඒ ආකාරයෙන් වුවද වසර ගණනාවක් පුරා විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ මෙන්ම ළමා අධ්‍යාපනය සම්බන්ධයෙන් ද හසල දැනුම් සම්භාරයක් ඇති මහාචාර්ය ජේ. බී දිසානායකයන් පවසන ආකාරයට අධ්‍යාපනය යනු කරුණු කිහිපයක් යටතේ පවතින්නකි. එනම් අපට මතුපිටින් පෙනෙන්නට තිබෙන අධ්‍යාපනය ලෙසින් හඳුන්වනු ලබන්නේ ගොඩනැගිලි, ගුරුවරුන්, සිසු සිසුවියන්, විභාග ආදියයි. ඒ අනුව මහාචාර්යවරයා පවසන පරිද්දෙන් දැනුම ලබා ගන්නා යම් අයකු තම ශ්‍රේණිගත අධ්‍යාපනය තුළ ඉහළින්ම ලකුණු ලබා ගත්තද විශ්වවිද්‍යාලයේ ඉහළින්ම සමත් වුවද කුමන තලයකට ගියා වුවද ඔවුන් තුළ හැදියාව නොමැති නම් එහි අධ්‍යාපනයක් නොමැති බවයි. ඔහුගේ මතය වන්නේ අධ්‍යාපනය යන්නට හැදියාව ද එක්විය යුතු බවයි. එමෙන්ම තවදුරටත් කරුණු දක්වන මහාචාර්යවරයා ලංකාවේ ළමා ප්‍රකාශන සම්බන්ධයෙන් පවසන්නේ මෙවන් දෑ කොතෙකුත් තිබුණද ඒ මගින් දරුවා දැනුම ලබා ගත්තද මේ ප්‍රකාශනයන් මගින් ලබාදෙන දැනුම මඳ බවයි. ඒවා මඟින් දෙනු ලබන දැනුම් සම්භාරය තව තවත් වැඩි විය යුතු බව ඔහුගේ මතයයි. එනිසා මේ නව ආරම්භය හොඳ ප්‍රවණතාවක් බව එතුමාගේ අදහසයි.

ඒ අනුව පසුගියදා ලේක්හවුස් ආයතනය මගින් ප්‍රකාශයට පත්කළ ළමා අධ්‍යාපන ප්‍රකාශන තුළින් එම ඉලක්කයන් වෙත යෑමේ අවස්ථාව මේ මොහොත වනවිට ලැබී තිබේ. හිස් බවින් යුත් ප්‍රකාශනවලින් බැහැරව දරුවන්ට මැනවින් දැනුම ලබාදීමේ අතිරේක මාධ්‍යයක් ලෙසින් එම අභියෝග ජය ගැනීමේ පළමු ඉලක්කය වෙත ගමන් කිරීමට මෙම ප්‍රකාශන මේ වන විට සමත්ව තිබේ. මිහිර පුවත්පතෙන් දරුවාගේ දැනුම ලබා දීමේ මූලික පියවර ආරම්භ කරනු ලැබුවේ මීට වසර ගණනාවකට එපිටදීය. වත්මන වන විට එය තව තවත් පුළුල් කරමින් අධ්‍යාපන ප්‍රකාශන රාශියක් එළි දක්වන්නට කටයුතු සූදානම් කිරීම බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්වෙමින් තිබේ.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් පවසන පරිද්දෙන් ශබ්ද මාධ්‍ය හා රූප මාධ්‍යයට අමතරව වඩාත්ම ප්‍රබල මාධ්‍ය වන මුද්‍රිත මාධ්‍යයේ බලපෑම හා ප්‍රබලත්වය දරුවනට ලබාදීමට හැකිවීම මහඟු අවස්ථාවක් බවත් විශ්වීය නව දැනුම අතැඹුලක් සේ මේ මගින් ලබාදීමට හැකිවීම ද අගය කළ යුතු මට්ටමේ කරුණක් බවයි. තවදුරටත් අදහස් එක් කරන මහාචාර්යතුමා පවසන්නේ පාසල් දරුවන්ට ලබාදෙන පොත පතට වඩා අතිරේක අධ්‍යාපනික පුවත්පත් බිහිවීමෙන් වැඩදායක වූ මෙහෙවරක් සිදු වන බවත්; එම නිසා ලේක්හවුස් ආයතනය මගින් ආරම්භ කළ නව ළමා අධ්‍යාපන ප්‍රකාශන ද මෙසේ ඉටු කරනා සද්කාරයයද ලේසි පහසු කාර්යයක් නොවන බවයි. එමෙන්ම මීට පෙර ලංකාවේ පැවති ළමා අධ්‍යාපනික සංග්‍රහයන්ට වඩා නව මුහුණුවරකින් සෑම මට්ටමකම දරුවන්ගේ වයස් ඛාණ්ඩවලට ඉදිරිපත් කිරීම ද අගය කළ යුතු බව පවසයි.

මේ මොහොතේ ලේක්හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළ අධ්‍යාපනික ප්‍රකාශන ආරම්භ කර ඇත්තේද සියලු වයස් ඛාණ්ඩ ආවරණය වන පරිද්දෙන් ඉහත කී මනෝ විද්‍යාත්මක මූලධර්ම මත පිහිටා ය. ළමා ප්‍රකාශනයක තිබිය යුතු වැදගත්ම සාධකය වන්නේ ළමයාගේ මනස නිවැරදිව අවබෝධ කරගත යුතු වීමයි. එම නිසා මෙම ප්‍රකාශන තුළ ඒ ගුණයද රැක ගැනීමට කටයුතු කර තිබේ.

ළමයින් වෙනුවෙන් නිර්මාණ කටයුතු මෙන්ම ලිපි ඉදිරිපත් කවර ලෙසින් සිදුවිය යුතුද යන්න පිළිබඳව අදහස් දක්වන සාහිත්‍ය සම්මානලාභී තනූජා අයගම සඳහන් කරන්නේ, ළමයින් සම්බන්ධව සිදු කරනු ලබන ඕනෑම කටයුත්තකදී මනෝ විද්‍යාත්මක කරුණු අවබෝධ කරගෙන සිටිය යුතු බවයි. එමෙන්ම වර්තමානයේ පවතින ළමා අධ්‍යාපනික ප්‍රකාශනයන් සම්බන්ධයෙන් ලේඛිකාව පවසන්නේ ළමා පුවත්පත් කවරාකාරයෙන් ඉදිරිපත් වුවද එය ගුණයෙන් මෙන්ම දැනුමෙන් ද සමබර විය යුතු බවයි. නමුත් වර්තමානය තුළ පවතින නොයෙක් පුවත්පත් තුළින් එය සිදුනොවන බවත් අඩු වැඩි වශයෙන් එය සාධාරණීකරණය වූ පුවත්පත් කිහිපයක් ද තිබෙන බව ඇය පවසයි. ලේක්හවුස් ආයතනය මගින් පළ කළ නව ප්‍රකාශන සම්බන්ධයෙන් කරුණු දක්වන ඇය පවසන්නේ මේ සියල්ල අධ්‍යාපනික ප්‍රකාශන බැවින් මාපියන් එම පුවත්පත් දරුවන් අතට පත් කිරීමෙන් දරුවනට මඟ පෙන්වීමක් ද කළ යුතු බවයි. තවදුරටත් ඇය ප්‍රකාශ කරන්නේ මෙයින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි මාර්ගයක් විවරව ඇති බවයි.

මේ නව එළැඹුම සම්බන්ධයෙන් අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී, ළමා චිත්‍ර ශිල්පී හිඟුල්වල දිසානායක ප්‍රකාශ කරනයේ ළමයින් හට පහසුවෙන් හඳුනා ගත හැකි පරිද්දෙන් චිත්‍ර සටහන් පවා ඇඳිය යුතු බවයි. එම සටහන් නිර්මාණය කළ පසු එයින් දිස් වෙන දෙය අකුරින් ලියා නොතිබිය යුතු බවද ඔහු අවධාරණය කරයි. මන්ද එයින් සිදු වන්නේ එම සිදුවීම අවබෝධ කර ගැනීමට ළමයා පෙලඹෙන බවයි. වර්තමානයේ පවතින බොහෝ ළමා පුවත්පත් තුළ මෙම අඩුපාඩුව දක්නට ලැබෙන බව පවසන හිඟුල්වල දිසානායක මහතා ඒවාහි වර්ණ යෙදීම සම්බන්ධයෙන් ද බොහෝ අඩුපාඩු තිබෙන බව පවසයි. එමනිසා ලේක්හවුස් ආයතනය මගින් ආරම්භ කළ මෙම ළමා ප්‍රකාශන පෙළෙහි මෙම අඩුපාඩු දක්නට නොලැබිය හැකි බවට විශ්වාසයක් පවතින බව ඔහුගේ අදහසයි.

පසුගිය ජූලි පළමු වැනිදා වෙළඳපොළට නිකුත් වූ මෙම පුවත්පත් පෙළ සම්බන්ධයෙන් කරුණු දැක්වීමේදී එහි මූලිකත්වය ගෙන ක්‍රියා කරන කර්තෘවරුන් හා සේවක මඩුල්ල සම්බන්ධයෙන්ද අගය කිරීමක් කළ යුතුය. මන්ද වත්මන ඔවුන් අබිමුව ඇත්තේ අභියෝගාත්මක කර්තව්‍යයකි. මේ ආකාරයෙන් ප්‍රකාශයට පත් වූ නව ළමා අධ්‍යාපනික ප්‍රකාශන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ට පසුගිය 26 වැනිදා ආයතන සභාපතිතුමා ප්‍රමුඛ අධ්‍යක්ෂ මඩුල්ල විසින් අරලියගහ මන්දිරයේ දී ප්‍රදානය කරන ලදී. ඒ සමඟම අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 50ක් පිරීම නිමිති කර ගනිමින් සිළුමිණ චිත්‍ර ශිල්පී හර්ෂ ගුණවර්ධන විසින් නිර්මාණය කරන ලද අග්‍රාමාත්‍යවරයාගේ සිතුවමක් තිළිණ කිරීමද සිදුවිය.

Comments