
මධුර කටහඬකින් සහ ආකර්ෂණීය දෙඇසකින් යුත් විශිෂ්ට රංගවේදිනියක, නර්තන ශිල්පිනියක හා ගායිකාවක ලෙස අඩ සිය වසක් මුළුල්ලේ ඇය අපගේ නාට්‍ය වේදිකාවේ සිය අනන්‍යතාව සලකුණු කොට තැබුවාය. දැන් ඒ බව අපගේ මතකයට සීමා කරමින් ඇය අපගෙන් සමුගෙන හමාරය.
ඒ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. අභාවප්‍රාප්ත වන විට 73 වියෙහි පසුවූ ඇය අනුලා බුලත්සිංහලය. විවාහයට පෙර අනුලා මෙන්ඩිස් නම් වූ ඇය සම්මානනීය කලාකරු ලූෂන් බුලත්සිංහලයන් ගේ ප්‍රිය භාර්යාව වූවාය. ඇය දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස වේදිකාවට ගොඩ වන්නේ ඒ සඳහා අවශ්‍ය ගායනය සහ නර්තනය යන දෙඅංශයන් කෙරෙහිම ලැබූ නිසි අධ්‍යාපනික හැදෑරීමක්ද, පුහුණුවක් ද සහ පසුබිමක් සහිතවද බව ඇය අරබයා විශේෂයෙන්ම සඳහන් කළ යුත්තකි.
ටියෙටර් නාට්‍ය වල රඟ පෑ නළුවකු වූ සිය පියා විසින් අනුලා කුඩා කල සිට ගායනාවට පුරුදු පුහුණු කරන ලදී. ඔහු ඇයව නාට්‍ය නැරඹීම කැටුව ගිය අතර නැටුමට ද පුරුදු පුහුණු කළේය. පාසැල් වියේදීම උඩරට නැටුම් සඳහා ඩිප්ලෝමා සහතිකයක් ලබා ගැනීමට ඇයට හැකි වූයේ එබැවිනි. ඉන් අනතුරුව ළාබාල වියේදීම ඉන්දියාවේ ලක්නව් භාත් ඛණ්ඩ විශ්ව විද්‍යාලයේ උත්තර භාරතීය රාගධාරී සංගීතයේ ඒ ශ්‍රේණියේ ඩිප්ලෝමාවක් ලබා ගත් අතර ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක් වීමට ඇයට අවස්ථාව උදා විය.
ඇය වේදිකා රංගනයට කැඳවා ගෙන එන ලද්දේ පසු කලෙක ප්‍රවීණ නාට්‍ය වේදියෙකු වූ ආර්. ආර්. සමරකෝන් විසිනි.
ඒ වන විට සතොස ප්‍රධාන කාර්යාලයේ රැකියාවක යෙදෙමින් සිටි අනුලා හැටේ දශකයේ දී කලා ක්ෂේත්‍රයට මුලින්ම පැමිණියේ ගුවන් විදුලි ගායිකාවක් මෙන්ම ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක් ද වශයෙනි. ඒ 1968 දීිකොළඹ සතොස කලා කවය වෙනුවෙන් ආර්. ආර්. විසින්ම ලියා නිෂ්පාදනය කළිලෙඩක් නැති ලෙඩෙක් ’ නමැති වේදිකා නාට්‍යයේ රඟ පාන්නට අනුලාට අවස්ථාව ලබා දීමෙනි. එකල ආර්. ආර් සමරකෝන් සේවය කරනු ලැබුවේ ද සතොසේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ ය.
අනතුරුව තව දුරටත් හෙන්රි ජයසේන, මහාචාර්ය සරච්චන්ද්‍ර, බර්ටි ගලහිටියාව, ප්‍රේම රංජිත් තිලකරත්න සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, සුනන්ද මහේන්ද්‍ර , ලූෂන් බුලත්සිංහල වැනි දැවැන්තයන්ගේ නිර්මාණ වලට සම්බන්ධවීමේ අවස්ථාව ඇයට උදා විය. මේ ගමනේදී අනුලාගේ බුලත්සිංහල නාමය වේදිකාව මත ස්ථාපිත වීම සඳහා මුල් වූයේ ඇය ලූෂන් බුලත්සිංහලගේ ගේ රතු හැට්ටකාරී නාට්‍යයේ ගී ගයමින් කළ රංගන ය බව අවිවාදිතය. ඇය එහිදී රඟමින් ගායනා කළ “දී කිරි දී කිරි ගෙනාව දී කිරි ” ගීතය අනුලා බුලත්සිංහල නාමයට පර්යාය පදයක් බවට පත්විය.
ඇය නවසිය හැත්තෑවේදී ලූෂන් බුලත්සිංහල සමඟ විවාහ වුවාය.
ප්‍රේමරංජිත් තිලකරත්නගේ “කෝන්තරය”, “ශ්‍රී වික්‍රම” :නූර්ති, ආර්. ආර්. සමරකෝන්ගේ චරිත දෙකක්’ ලූෂන්ගේ තාරාවෝ ඉගිලෙති, දයානන්ද ගුණවර්ධනගේ මධුර ජවනිකා හෙන්රි ජයසේනගේ කුවේණි’, මහාචාර්ය සරච්චන්ද්‍රගේ මහාසාර වැනි වේදිකා නාට්‍යවල නර්තනයෙන්- ගායනයෙන් සහ රංගනයෙන් චරිත නිරූපණය කිරීමේ අවස්ථාව ඇයට උදා විය.
රතු හැට්ටකාරි නාට්‍යයේ ඇය ගායනා කළ දී කිරි දී කිරී’ ගීතය තරමටම දයානන්ද ගුණවර්ධනගේ මධුර ජවනිකා හි නෙයිනගේ සූදුවේ සූදුව සඳහා ජැක්සන් ඇන්තනි සමඟ ගයන විරිදුව ද මෙරට ප්‍රේක්ෂකයින් අතර සදානුස්මරණීය නිර්මාණ බවට පත්ව තිබේ. ඊට අමතරව විජේරත්න වරකාගොඩ සමඟ ගැයූ රඟහල දැන් ඇත අඩ අඳුරේ’, දියණිය ඉන්ද්‍රචාපා සමඟ ගැයූ බුදුන් වඳින මේ දෑතින්’සුදු ඔසරිය ඇඳලා’ ආදී ගීත ද මෙරට ප්‍රේක්ෂකයා අතර අතිශයින් ජනප්‍රිය විය.
බොහෝ නළු නිළියන් වේදිකාවේ සිට ටෙලි නාට්‍ය කේෂත්‍රයට පිය තබද්දී අනුලා ඉන් බැහැර වීමද විශේෂයෙන් සැලකිය යුත්තකි. වත්මන් ටෙලි නාට්‍යවල රඟපෑම යනු කුලියට වැඩ කරන කම්කරුවන්ගේ කටයුත්තක් බවට පත් වී ඇති බව ඇයගේ අදහස විය. ඒ අනුව ටෙලි නාට්‍ය රංගනයෙන් බැහැර වූ ඇය සිනමාවට සම්බන්ධ වූයේද දෙක තුනකට පමණි. අශෝක හඳගමගේ අසන්ධිමිත්තා ඇය අවසන් වරට රඟපෑ චිත්‍රපටයකි.
ඇයගේ දියණිය ඉන්ද්‍රචාපා වියානාහි දක්ෂ ඔපෙරා ගායිකාවක වන අතර පුත් හර්ෂ බුලත්සිංහල ද රංගනයෙන්ද ගායනයෙන්ද සංගීතයෙන්ද දක්ෂතා පෙන්වන්නෙක් වන අතර බුද්ධිමය දේපොල අයිතිය වෙනුවෙන් සටන් කරන්නෙක්ද වෙයි.
පසුගිය සැප්තැම්බර් 11 දා පැවැති රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළේ දී කලාකරුවෙකුට ජීවිතයට එක් වතාවක් පමණක් පිදෙන නාට්‍ය කීර්ති’ සම්මානයෙන් පිදුම් ලැබූ අනුලා බුලත්සිංහල 2020 ඔක්තෝම්බර් 17 දා සිය ජීවිත වේදිකාවේ තමන්ට හිමි රංගනය නිමා කර අපෙන් වෙන් වී සසරේ වෙනත් ගමනකට පිවිසුණාය.