
ඉකුත් දශක පහක් ඇතුළත ජවිපෙ කැරලි දෙකකට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් දියත් වූ
අතර එහිදී ඝාතනයට ලක් වූ සංඛ්‍යාව 5,000කට ආසන්නය. ජවිපෙ 2වැනි කැරැල්ල 1986න් ඇරඹී 1990 න් අවසන් වූ අතර
එහිදී 60,000කට අධික පිරිසක් ඝාතනයට ලක් විය. සිළුමිණෙහි පළවන මෙම ලිපි මාලාව එම කැරලි දෙක ඇතුළත ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමකට යටත්ව, එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලි නායකයන්ගේ සත්‍ය කතාවයි.
03 කොටස
දිසානායක මුදියන්සේලාගේ නන්දසේන හෙවත් ඩී. එම් ආනන්ද වාරියපොල රිඳීබැඳිඇල්ල අසල මිනුවන්ගැටේ දී උපන්නේ 1957 පෙබරවාරි 02 වැනිදාය. හේන් ගොවියකු වූ පියා කැඩුම්බිඳුම් වෙදකම ගැන යම් දැනුමක් ද තිබිණි. සොයුරු සොහොයුරියන් දෙදෙනෙකි. කුඩා කාලයේදීම දෙමාපියන් ගේ වෙන්වීම නිසා ඔහු හැ දී වැඩුණේ මිත්තණිය ළඟය.
පසුව වයස 12 දී දෙමටළුව පොත්ගුල් විහාරයේ දී මිනුවන්ගැටේ ආනන්ද නමින් 1968 මැයි 3 දා මහණ විණි. නායක ගුරු හිමියන් වූයේ පොත්ගුල් විහාරයේ 2020 වනවිටද විහාරාධිපතිව සිටි වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැකව ජිනරතන හිමිය. රත්මලේ රතනසේන පිරිවෙනේ අධ්‍යාපනය ලැබූ මිනුවන්ගැටේ ආනන්ද හිමි සරසවි ප්‍රවේශයෙන් සමත්ව පේරාදෙණිය සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයට උපාධිය හැදෑරීම සඳහා ඇතුළු වූයේ 1977 ඔක්තෝබර් 17දාය.
ආනන්ද හිමියෝ පේරාදෙණිය සරසවියට ඇතුළු වන විට එහි මහා ශිෂ්‍ය සභාවේ සභාපති වූයේ අනුරාධපුර මහවිලච්චියේ කේ. එච්. චන්ද්‍රපාලය; ලේකම් කෝට්ටේ පදිංචි ශාන්ත බණ්ඩාරය. විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ උප ලේකම් වූයේ පසුකලෙක දකුණු පළාත් සභාවේ ජවිපෙ හිටපු මන්ත්‍රීවරයකු වූ නිතීඥ ජයන්ත පතිරණ ය. පේරාදෙණිය සරසවියේ 1977 දී ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සභාපති වූයේ මාතලේ අකුරම්බොඩ ලලිත් සේනාරත්නය.
සරසවියට පැමිණීමේ දී ජවිපෙ සබඳතාවක් නොතිබුණු ආනන්ද හිමියන් ජවිපෙට බඳවා ගනු ලබන්නේ ශාන්ත බණ්ඩාරය. ප්‍රථමවරට ආනන්ද හිමි ජවිපෙ පන්තිවලට සහභාගි වන්නේ, 1978 මාර්තු මස පේරාදෙණි සරසවි සංඝාරාමයේදීය. එයට ආනන්ද ඇතුළු සරසවි පැවිදි සිසුන් 8ක් සහභාගී විය. සම්බන්ධීකරණය කළේ පේරාදෙණිය සරසවිය බාරව සිටි ජවිපෙ සංවිධායකවරයා සහ ජවිපෙ නුවර දිසා ලේකම්වරයකු වූ ගම්පොල පුස්සැල්ලාවේ පදිංචි පුංචි බණ්ඩා (පී. බී) දිසානායකය.
පේරාදෙණි සරසවි සංඝාරාමයේ ආනන්ද හිමි නැවතී සිටි අතර ඔහු සමඟ සිටි අනෙකුත් පැවිදි සිසුන් අතර අලහේනෙගම සුමනරතන හිමි ( අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය), බෙලිගල්ලේ ධම්මජෝති හිමි( රුහුණු සරසවියේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය), හෙන්ගමුවේ අනුරුද්ධ හිමි ( පසුව උපැවිදි විය. පදිංචිය පන්නිපිටියේය), කොලොන්නාව පැරකුම් මාවතේ විහාරස්ථානයේ පොතේවෙල විනීත, මැදවච්චිය මංගල හිමි (පසුව උපැවිදි විය. 2020 වනවිට මැදවච්චියේ වී මෝල් හිමියෙකි), පුණ්‍යානන්ද හිමි, හොරණ සෝමරත්න හිමි (2020 වනවිට උපැවිදි ගුරුවරයෙකි), අනුරාධපුර විජිතවංශ හිමි (උපැවිදි වී නුගේගොඩ පදිංචි දිසානායක විය), ගුණරුපාන විපුල හිමි, (පසුව උපැවිදි වූ විපුල ප්‍රේමතිලක 2020 වන විට විශ්‍රාමික ගුරුවරයෙකි) ඇතුළු කිහිප දෙනෙක් විය.
එවකට පේරාදෙණියේ ජවිපෙ භික්ෂූන් සම්බන්ධීකරණය කළ නායකයා වූයේ මහර දළුපිටියේ පාළුකඩවල ප්‍රේමානන්ද හිමිය. ආනන්ද හිමි (ඩී. එම්. ආනන්ද) වඩා වසර 2කින් ජ්‍යෙෂ්ඨයකු වූ ප්‍රේමානන්ද හිමි පසුව උපැවිදි වී දිසානායක වශයෙන් වත්තේගම පාසැලක විදුහල්පතිවරයෙක් විය. වසර 1971 අප්‍රේල් කැරැල්ලට එක්වූ මිනිපේ සෝභිත හිමිද ආනන්ද හිමි හමුවීමට ආගිය අයෙකි. මිනිපේ සෝභිත හිමි ඒ වනවිට උපැවිදි වී මහියංගනයේ බතලයායේ වගා නිලධාරියකු වශයෙන් සේවය කළේය.
ජවිපෙ දෙසතියක ජාතික අධ්‍යාපනික කඳවුරක් 1978 ජුනි මස හාරිස්පත්තුවේ දී පැවැති අතර ආනන්ද හිමි එයට එක් විය. එම කඳවුර සඳහා දේශන කළ අය අතර ශාන්ත බණ්ඩාර, වාස් තිලකරත්න, දයා වන්නිආරච්චි ඇතුළු කිහිපදෙනෙක් වූ අතර අවසාන දින දේශනයට පැමිණියේ රෝහණ විජේවීරය. සරසවියේ ප්‍රථම වසර සමත්වීමෙන් පසු ජවිපෙට වඩාත් ක්‍රියාකාරී මෙහෙයක් ඉටුකිරීම සඳහා ජවිපෙ ඉල්ලීම මත මිනුවන්ගැටේ ආනන්ද හිමියෝ උපැවිදිවී ඩී. එම්. නන්දසේන බවට පත්වේ. ජවිපෙ, ඔහු නම් කරන්නේ ඩී. එම් ආනන්ද නමිනි. පසුව ඔහු හැඳින්වූ වෙනත් නම් වූයේ අරුණ හෙවත් අමල් හෙවත් අලහකෝන් හෙවත් අධිකාරිය.
පේරාදෙණිය සරසවියේ ඩී. එම් ආනන්ද ගේ සමකාලීනයන් වූ ශ්‍රාස්ත්‍ර පීඨයේ එම්. ඒ ධර්මවර්ධන හෙවත් ධර්මවර්ධන මුණසිංහ, අරුක්ගොඩ විතානගේ සෝමාවතී, පී ආරියසේන, දිසානායක රාළලාගේ සීතා මැණිකේ ඇතුළු කණ්ඩායමක් පළමු වසරේදීම ආනන්ද සමගින් ජවිපෙට ක්‍රියාකාරීව එක්ව සිටියහ. ශිෂ්‍ය ව්‍යාපාරය ගොඩනැඟීම සඳහා 1978 සිට අභියෝගවලට මුහුණ දෙමින් ඔවුහු ඇතුළු පිරිසක් කටයුතු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස පේරාදෙණිය සරසවියේ ශිෂ්‍ය සභාවේ බලය මුළුමනින්ම වාගේ ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයට 1979/80 දී සතු විය. ධර්මවර්ධන මුණසිංහ එහි සභාපතිවරයා වන අතර ඩී. එම් ආනන්ද එහි ලේකම්වරයාය. මෙම වකවානුවේ ආනන්ද ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පේරාදෙණියේ සභාපතිය.
පේරාදෙණිය සරසවියේ ආනන්ද ගේ සමකාලීනයන්වූ ජවිපෙ ක්‍රියාකාරිකයන් වන ධර්මවර්ධන මුණසිංහ පසුව ජවිපෙ 2වැනි කැරලි සමයේ දී අජන්ත නමින් මධ්‍යම කාරක සභිකයකු ලෙසද කලක් ගම්පහ සහ ගාල්ලේ දිසා ලේකම්ද විය. හම්බන්තොට වලස්මුල්ල වරාපිටිය විදුහලෙන් 1972 දී අපොස සාමාන්‍ය පෙළ සමත්වූ ධර්මවර්ධන මුණසිංහ බද්දේගම රතනසාර පිරිවෙනෙන් සහ වරාපිටිය විදුහලෙන් උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසු පේරාදෙණිය සරසවියට ඇතුළු වූහ. අලව්ව හුලංබුලුවේ සෝමාවතී පසුව ගුරුවරියක්වූ අතර ජවිපෙ ක්‍රියාකාරියකුවූ ජයරත්න සමඟ විවාහ විය. එක්දරු මවක්වූ ඇය 2013 දී පෞද්ගලික ප්‍රශ්නයක් මත සියදිවි නසා ගත්තාය. සීතා මැණිකේ විවාහ වූයේ මාතලේ ලලිත් සේනාරත්න සමඟය. එම දෙපළ 2020 වනවිට දූ දරුවන් සමඟ කැනඩාවේ ජීවත් වේ.
පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨයේ අවසන් විභාගයට 1981 අගෝස්තු පෙනී සිටි ආනන්ද, ඉන් සමත්ව දේශපාලන විද්‍යා විශේෂ උපාධිධරයකු වුවද ඔහු තෝරා ගත්තේ ජවිපෙ පූර්ණ කාලීන දේශපාලනයයි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙසද 1981 දී පත්වූ ආනන්ද, එජාප ආණ්ඩුව ගෙන ආ අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව දැවැන්ත අරගලයක් කර එය පරාජය කිරීමට අන්තරේට නායකත්වය දුන්නෙකි. පැරණි පාර්ලිමේන්තු භූමිය වටකරමින් 1981 ජනවාරි 20 ගාලු මෝදර පැවැති දැවැන්ත උද්ඝෝෂණය ඒ අතරින් මුල් තැනක් ගනී. එම උද්ඝෝෂණයට පසු ජවිපෙ විසින් මෙහෙයවන ලද රැස්වීමක් 1981 පෙබරවාරි 26 හයිඩ් පිටියේ දී පැවැත්විණි. ජවිපෙ නායක රෝහණ විජේවීර ද ඇමතූ එම රැස්වීමේ දී විශ්වවිද්‍යාලයට පැමිණ සිසු බලය ඇත්තේ කවරකු සතුවදැයි බලන ලෙස ඩී. ඇම්. ආනන්ද සිය කතාවේ දී සාම්ප්‍රදායික වමේ පක්ෂවලට එහි දී අභියෝග කළේය. ශාන්ත බණ්ඩාරද එම රැස්වීම ඇමතීය.
ඩී. එම්. ආනන්ද අතිධාවනකාරි ක්‍රියාමාර්ග ගන්නා අයකු ලෙස ජවිපෙට 1983 දී කරුණු කියා සිටියේ ජවිපෙ නුවර දිසා සංවිධානය මඟිනි. එයට හේතු වූයේ 1983 පේරාදෙණිය සරසවි සිසුන් මාරාන්තික උපවාසයක් කළ අවස්ථාවේ දී පස්වන දින වැඩබලන උපකුලපති මහාචාර්ය ඩයස් ප්‍රාණ ඇපකරුවකු ලෙස පත්කර ගනිමින් ඉල්ලීම් ඉදිරිපත් කිරීමය. ජවිපෙ තීරණය වූයේ ශිෂ්‍ය උපවාසය අවට ගම්වල සහායද ලබාගනිමින් පුළුල් විරෝධතාවයක් ලෙස ඉදිරියට ගෙන යෑමය. එහෙත් එම එකඟතාව කඩ කරමින් පේරාදෙණිය සමාජවාදී ශිෂ්‍ය සංගමයේ හිටපු නායකයකු වූ ආනන්ද ගේ අදිසි නායකත්වයෙන් මහාචාර්ය ඩයස් ප්‍රාණ ඇපකරුවකු ලෙස පත්විය. එකළ පේරාදෙණිය සරසවියේ සිටි ජවිපෙ ක්‍රියාකාරි සිසුන් සංඛ්‍යාව 24කි. ඉන් 8ක් පූර්ණකාලීනයන්ය. උප කුලපති ප්‍රාණ ඇපකරුවකු බවට පත්කිරීමේ තීරණය ජවිපෙ නුවර දිසා කමිටුව අනුමත නොකළ අතර ආනන්දට හිතුවක්කාරි වැඩ නොකරන මෙන් තරයේ අවවාද කළේය. ජවිපෙ මධ්‍යම කාරක සභාවට ආනන්දගේ නම 1983 මුල දී යෝජනා කළ අවස්ථාවේ දී නුවර දිසා කමිටුව එය ඒකමතිකව ප්‍රතික්ෂේපද කර තිබිණි.
ජවිපෙ තහනමින් පසු මධ්‍යම කාරක සභාවට 1983 අවසානයේ දී පත්වූ ආනන්ද 1984 අගභාගයේ දී දේශපාලන මණ්ඩලයට එක්විය. හේ දක්ෂ කථිකයෙකි. ජවිපෙ තහනමින් පසු මාතර, කළුතර සහ කොළඹ දිසා සංවිධායකයකු වශයෙන්ද මුල් කාලයේ කටයුතු කරන ලදී. ජවිපෙ 2වැනි කැරැල්ලේ දී එහි පෙරමුණු සංවිධාන වූ ශිෂ්‍ය, භික්ෂූ, කාන්තා අංශයේ නායකයා සහ බස්නාහිර හා සබරගමු කලාපයේ යුද නායකයා වූයේද ඔහුය. එමෙන්ම බෝම්බ සහ බිම් බෝම්බ නිෂ්පාදනය කළ තාක්ෂණික අංශයේ නායකත්වයද ඔහුට පැවරී තිබිණි. ජවිපෙ මෙහෙයවූ රණහඬ ගුවන් විදුලිය ඇතුළු සංස්කෘතික අංශයේ කටයුතුවලට උර දුන්නේද ආනන්දය. ජවිපෙ 2වැනි කැරැල්ලේ නිල නොවන තෙවැනි නායකයා වූයේද ඔහුය.
ජවිපෙ 2වැනි කැරැල්ලට සරසවි සිසුන් ගෙන් ලැබුණු පිටුබලය අතිමහත්ය. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාදාම, ද්‍රවිඩ බෙදුම්වාදින් ගෙන් මතුව එන තර්ජන, නිදහස් අධ්‍යාපන කප්පාදුව ඇතුළු ගැටලු රැසක් පිළිබඳව සරසවි සිසුන් තුළ ඇතිකරනු ලැබූ මනෝභාවය ශිෂ්‍ය කොටස් අතර ජවිපෙට තහවුරුවීමට මහඟු ආධාරයක් වූ අතර ඒ සඳහා උපක්‍රමශීලීව නායකත්වය ලබාදෙනු ලැබුවේ ආනන්දය. ජවිපෙ 2වැනි කැරැල්ලේ දී වේගවත්ම සහ ජවසම්පන්න ලෙස ක්‍රියාකිරීමේ කේන්ද්‍රීය බලවේගය වූයේ සරසවි සිසුන්ය.
වසර 1989 ජූනි 12 සිට ජූලි 13 දක්වා බලහත්කාරයෙන් ලංගම ඒකාබද්ධ සටන් පෙරමුණ මගින් පවත්වන ලද මහා බස් වැඩ වර්ජනය විසඳීම සඳහා ජවිපෙ වෙනුවෙන් ජනාධිපති ආර්. ප්‍රේමදාස සමඟ සුචරිතයට ගොස් සාකච්ඡා මෙහෙය වූයේද ආනන්දය. හෙතෙම ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලයේ නිල සහ නිල නොවන නිලධාරීන් වූ ගුරුජිත් සිං සහ හර්දීප් පූරි ආදීන් සමඟද සබඳතාවක් පවත්වා ගෙන ගියේය.
කොළඹ දිස්ත්‍රික්කය ජවිපෙ විසින් කලාප 4කට කඩා තිබූ අතර ඩී 1 කලාපයට කොළඹ නගරය සහ ඒ අවටද පෑලියගොඩ පාලමේ සිට වැල්ලවත්ත දක්වාද නම් කෙරිණි. ඩී 2 කලාපය මරදාන, බොරැල්ල, නාරහේන්පිට සහ මිරිහාන කොට්ඨාස අයත් විය. ඩී 3 කලාපයට මොරටුවේ සිට වැල්ලවත්ත දක්වා අයත් වූ අතර ඩී 4 කලාපයට කඩුවෙල, මහරගම, හෝමාගම, පාදුක්ක, හංවැල්ල, අතුරුගිරිය, මාලඹේ වැනි ප්‍රදේශ අයත් විය. ඩී 4 කලාපයේ කලක් සන්නද්ධ ලේකම් වූයේ කොළඹගේ ආරච්චිගේ පර්සි රණසිංහ හෙවත් හේමන්තය. එහි ප්‍රචාරක ලේකම්වරයා කොලොන්නේ උපන් නෙවිල්ය. කොළඹ තවත් කලාප සන්නද්ධ ලේකම්වරුන් දෙදෙනෙක් වූයේ මාලන් සහ කැමිලස්ය. මාතර ශිෂ්‍ය අංශයේ දෙනියායේ ආසනයේ කලක් සංවිධායකයා වූ මාලන් ඉදිරි පෙළ කැරලිකරුවෙකි. තංගල්ලේ උපන් කැමිලස් 1989 සැප්තැම්බර් 21 බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අවි පැහැරගැනීමේ ප්‍රහාරයට එක්වීමේ දී ඝාතනයට පත්විය. ඔහුගේ සිරුර කැරලිකරුවන් විසින් අත්තිඩියේ දී භූමදානය කරන ලදී.
රත්නපුර ශාවියා මාවතේ මිල්සන් පට්ටලේ වැඩ කළ ලියවන පට්ටල් ක්‍රියාකරුවකු වූයේ ‘කොට ගාමිණීය’. ඔහු 1980 දී ජවිපෙට එක්වූ අතර ජවිපෙ තහනමින් පසුව දිගටම ක්‍රියාකාරිකයකු විය. කැරලිකරුවන් ගේ ගල්කටස් වර්ගයේ තුවක්කු නිෂ්පාදන ස්ථානයක් ලෙස රහසිගතව එම ස්ථානය යොදා ගැනිණි. ටී.56 තුවක්කුවේ බැරලය පවා එහි නිෂ්පාදනය කළේය. යකඩ කොටස සෑදුවේ ඇඹිලිපිටියේය. ආනන්ද ගේ මෝටර් රථය අලුත්වැඩියා කරන්නේ රත්නපුර මිල්සන් පට්ටලේ වැඩ කළ ගාමිණීය.
මෙම පට්ටලයට පණිවිඩ නිරතුරුව ගෙන ආ ජවිපෙ කැරලිකරුවකු වූ රත්නපුරේ වැලිමළුවේ පදිංචි උපැවිදි අයකු වූ ජයරත්න අත්අඩංගුවට පත්වීමෙන් පසු ඩී. එම්. ආනන්ද ගේ සම්බන්ධය හෙළිදරව් කරන ලදී. ආනන්ද ගේ සමීපතමයකු වූ කඳුරුපොකුණ රත්මලානේ ස්ථානයකට යන එන බව ද ආරක්ෂක අංශවලට පවසන ලද්දේ ජයරත්න විසිනි.
ජවිපෙ කොළඹ දිස්ත්‍රික් ඩී 3 කලාපයේ දේශපාලන නායක වූ බමුණු ආරච්චිගේ සුමනදාස පෙරේරා හෙවත් යට්ටපාත සුමනේ හෙවත් කඳුරුපොකුණ හෙවත් වීරසිංහ හෙවත් සමරේය. කඳුරුපොකුණ 1989 සැප්තැම්බර් 21 බැද්දගාන නිවෙසක සිය බිරිඳ සමඟ සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී. ඒ රත්මලාන අත්තිඩියේ දී ගුවන් හමුදා මාර්ග සෝදිසි බාධකයක දී අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු බිල්ලකු බවට පත්ව සිටි ජයරත්න ගේ හෙළිදරව් කිරීම මගිනි. එය ජවිපෙට එරෙහිව ආරක්ෂක අංශ ගෙන ගිය ප්‍රහාරයේ වැදගත් සංධිස්ථානයක් විය.
හොරණ දී 1949 ජනවාරි 7 උපන් කඳුරුපොකුණ 1971 අප්‍රේල් කැරලිකරුවකු වූ අතර, නිදහසින් පසු හිනිදුම නෙළුව යට්ටපාත ජීවත් විය. ඔහුගේ කණිටු සොහොයුරා වූයේ ආරියපාලය. අත්අඩංගුවට පත් වන විට දෙදරු පියෙක් වූ කඳුළුපොකුණ ගේ බිරිය නන්දා වළාකුළුආරච්චිය. දියණියන් දෙදෙනා 2020 වනවිට ගුරු වෘත්තියේ නිරතය. කලක් වෘත්තීය අංශයේ වැඩ කළ කඳුරුපොකුණ වරක් අත්අඩංගුවේ සිටිය දී නිදහස් වූයේ ප්‍රේමදාස ජනපති වූවායින් පසු 1989 ජනවාරි 12 රටපුරා කැරලිකරුවන් 1, 800ක් නිදහස් කරන ලද අවස්ථාවේදීය. එසේ නිදහස් වනවිට කඳුරුපොකුණ, ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ තිබූ හමුදා කඳවුරෙන් නිදහස ලැබූ සැකකරුවන් 99 අතර විය.
කඳුරුපොකුණ ගෙන් ලත් තොරතුරු අනුව ආනන්ද ගේ රියදුරන් වූ අමරතුංග ප්‍රථමයෙන්ද දෙවනුව වැලිගම උපන් එක්දරු පියකු වූ අනුර ප්‍රියංකර හෙවත් බන්දුලාල් අත්අඩංගුවට ගන්නා ලදී. වද බන්ධනවලට ලක්වීමෙන් පසුව ඔවුන්ද තොරතුරු අනාවරණය කළේ තෙදිනකට පසු ආනන්දට පලා යෑමට ඉඩ තබමිනි. එහෙත් ඩී. එම්. ආනන්දට එය සන්නිවේදනය නොවූ අතර තමාගේ රත්නපුර නවාතැන් ස්ථානයකට තවත් අයකු පදවන ලද යතුරු පැදියකින් යෑමේ දී රත්නපුරයට නුදුරු හමුදා මුරපොලක දී අත්අඩංගුවට ගනු ලැබීය. ඒ 1989 ඔක්තෝබර් 28 වැනිදාය.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ අංක 2 කොට්ඨාශයේ සන්නද්ධ නායකයා වූ ජයන්ත හෙවත් රාජා 1989 ඔක්තෝබර් මස අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු හිටපු හමුදා සෙබළෙකි. මාතලේ උකුවෙල පදිංචිකරුවකු වූ ජයන්ත ගේ බිරිය කමලාය. කලක් ශ්‍රී පාදයේ කැරලිකරුවන්ට අවි පුහුණුව ලබාදුන් තැනැත්තෙකි. ඒ සඳහා ආරක්ෂක අංශයට ඔත්තුව ලබා දෙන ලද්දේ ප්‍රා සංවිධානය විසිනි. ජවිපෙ සන්නද්ධ අංශයේ නායක සමන් පියසිරි ගේ සමීපතමයකු ලෙස කටයුතු කළ කල්ප ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගනු ලැබුවේ ජයන්ත ගෙන් ලබාගත් තොරතුරු අනුවය. ජයන්ත ගෙන් ලබාගත් තොරතුරු අනුවද ඩී. එම් ආනන්ද සොයා ගැනීමේ මෙහෙයුම්ද ඇරඹිණි. ඩී 2 කලාපයේ දේශපාලන අංශයේ නායකයා වූයේ රඹුක්වැල්ලය. වයස 50කට ආසන්න වියේ පසුවූ ඔහු ඩී. එම්. ආනන්ද ගේ හැඩරුව සහිත අයෙකි. තවද දේශපාලන මණ්ඩල සභික ගුණරත්න වනසිංහද 1989 නොවැම්බර් 5 දෙමටගොඩ දී අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් ඩී. එම්. ආනන්ද මත්තේගොඩ කඳවුරට ගෙන ආ අතර පසුව යටාරෝ කැෆටේරියා කඳවුර වෙත ගෙන එන ලදී. ඒ සෑම කඳවුරකම වද බන්ධනයට ලක්වූ ආනන්ද රඳවා තැබුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පවත්වාගෙන ගිය වදකාගාරයේය. එය ආරක්ෂක අංශ පාලන යටතේ පැවැති අතර එය බාරව සිටි නිලධාරින් ලෙස පසු කළෙක චෝදනා ලැබුවේ ලුතිනන් මුතාලිෆ්, ලුතිනන් මනතුංග, ලුතිනන් සොයිසා, මේජර් ගාමිණී හෙට්ටිආරච්ච්ටය. යටාරෝ කැෆටේරියා කඳවුර පාලනය වූයේ මේජර් ජනරාල් ලකී අල්ගම ගේ අධීක්ෂණය මත මේජර් තෝරදෙණිය ගේ මෙහෙයවීම යටතේය.
කොළඹ නීති පීඨ කඳවුරේදි අත්දිග කමිසයකින් සහ සරමකින් සැරසී සිටි වද බන්ධනයට ලක්වූ ඩී. එම්. ආනන්දට වෙනත් සැකකරුවන්ට වඩා පහසුකම් සලසන ලදී. ලුතිනන් මඩවල සහ කපිතාන් සිරිශාන්ත විසින් ආනන්දව මානසිකව දිනාගැනීම සඳහා මාක්ස්වාදී නැඹුරුවක් ඇති පරිවර්තන කෘතිද පරිශීලනයට ලබා දෙන ලදී. අත්අඩංගුවේ දී තමාට ලබාදුන් බියර් පානය කිරීම ප්‍රතික්ෂේප කළ ආනන්ද දුම්පානය පමණක් එහි දී ඉඳහිට සිදු කළේය.
අත්අඩංගුවට ගත්නා ලද ඩී. එම් ආනන්ද නිදහස් කරන මෙන් ජවිපෙ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් එච්. බී. හේරත් 1989 නොවැම්බර් 08 ඇමැති සෞම්‍යමුර්ති තොණ්ඩමන් හමුවී ඔහු මගින් ජනාධිපති ප්‍රේමදාස ගෙන් ඉල්ලීමක්ද කර තිබිණි. එහෙත් ඒ සඳහා ජනාධිපතිවරයා ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි. ඩී. එම්. ආනන්ද ඝාතනයට පත්වූයේ විජේවීර ඝාතනයෙන් පසු 1989 නොවැම්බර් 15 මත්තේගොඩදීය.
එමෙන්ම අවිවාහකයකුවු ආනන්ද සමීපතම හිතවතියන් කිහිපදෙනකුද ඇසුරු කළේය. ඔවුහු ගම්පහ, කුරුණෑගල සහ රත්නපුර නිවෙස්වල වාසය කළහ. එමෙන්ම කොළඹ පැමිණි විට ආනන්දට නවාතැන් ගැනීම සඳහා අතුරුගිරිය පෝරඹේ නිවසක්ද කුලියට ගෙන තිබිණි. අතුරුගිරිය මුල්ලේගම පදිංචි චන්ද්‍රරේ ගේ නැගණියට අයත් එම නිවසට 1989 පෙබරවාරි සිට අත්අඩංගුවට ගන්නා තෙක් මසකට රුපියල් 6, 000ක කුලියක් ලබාදෙන ලදී. මේ සෑම නිවසක්ම පිටතට සැකයක් නොවන පරිදි පවුල් ඒකකයක් ලෙස ජවිපෙට ආවේනික ලෙස ගොඩනැඟී තිබිණි. ඒ අනුව කැරල්ලේ දී ඝාතනයට පත්වූ කැරලිකරුවකු ගේ බිරිය හෝ පෙම්වතියද, දරුවන් ඇත්නම් ඔවුන්ද නිවාස අලාභහානි වීමෙන් අසරණභාවයට පත්වූ කැරැලිකරුවකුගේම මාපිය යුවළක්ද එහි නේවාසිකව සිටියහ.
ආනන්ද කොළඹ පැමිණි විට මෝටර් රථයෙන් ඔහු සමඟ ගමන් කිරීමට එක් තරුණියක්ද විය. ඇයගේ පියා ව්‍යාපාරිකයෙකි. ඇය කොළඹට ආසන්න ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක අධ්‍යාපනය හදාරමින් සිටිය දී කොට්ටාවේ සෝමසිරි මගින් ජවිපෙට පූර්ණකාලීනව 1989 මුල් භාගයේ දී එක්විය. වසර 2020 වන විට ඇය කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන ප්‍රගතිශීලී දේශපාලන ක්‍රියාකාරිනියකි.
රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ඩී. එම්. ආනන්ද විසින් කරන ලද හෙළිදරව්වකින් බවට ප්‍රචලිත මතයකි. එය විදේශ ඔත්තු සේවාවල උපදෙස් අනුව ආරක්ෂක බුද්ධි අංශ විසින් ජනගත කරන ලද මතයකි. එහෙත් සිදුවූයේ වෙනත් ක්‍රියාදාමයකි. ඒ පිළිබඳව සියලු කරුණු ලියුම්කරු විසින් ඉදිරියේ දී මේ ලිපි මාලාව ඔස්සේ අනාවරණය කරනු ඇත.