
හෙළ සිනමාවත් කතෝලික කලා කෙතත් තුළ ආකර්ෂණීය පෙරළියක් ඇතිකළ පෝරුතොට පියතුමා සුදු පැහැති ලෝගුව ගත දැරුවද කිතුනු ආගමට පමණක් සීමාවූ පූජකයකු නොවීය.
1931 වසරේ අගෝස්තු 31 වැනි දින මාරවිල පෝරුතොට නම් ගම්මානයේදී උපන් පෝරුතොටගේ රේමන්ඩ් අර්නස්ට් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගේ පියා පෝරුතොටගේ ජෝකීනු ප්‍රනාන්දු මාරවිල ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස කලක් සේවය කළේය. 1949 දී බොරැල්ල සාන්ත ඇලෝසියස් දෙව්සත්හලට ඇතුළු වූ අර්නස්ට් තරුණයා ඉන්පසු සාන්ත බර්නාදු දෙව්සත්හලටත් පසුව අම්පිටිය ජාතික දෙව්සත්හලටත් ඇතුළත් විය. රෝමයේ විශ්වවිද්‍යාලයකින් ජනසන්නිවේදන උපාධියද හිමිකරගත් පෝරුතොට පියතුමා 1957 වසරේ පෙබරවාරි 02 දින පූජක වරම් ලබන්නේ අති උතුම් තෝමස් කුරේ කාදිනල් හිමිපාණන් අතින් කොළඹ කොටහේනේ සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදීය.
හෙළ බසටත් සම්ප්රදායන්ටත් දැඩිව ඇලුම් කළ පෝරුතොට පියතුමා කතෝලික පූජකවරුන් බිහිකරන මහනුවර අම්පිටිය ජාතික දෙව්සත්හලේදී 1957දී ආරම්භ කරන ලද ගොන්සාල්වෙස් සිංහල ආයතනයේ පළමු සභාපතිවරයා විය.
හැටේ දශකයේදී දෙවැනි වතිකානු මන්ත්‍රණ සභාව විසින් යෝජනා කරන ලද ක්‍රිස්තියානි චාරිත්‍ර දේශීයකරණයට ලක් කිරීමේ යෝජනාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරනු සඳහා මුල් වූයේද පෝරුතොට පියතුමාය. පල්ලිය තුළට ගොක් කොළ තොරණ ද, මඟුල් බෙර වාදනය සහ පෝරුවේ චාරිත්‍ර ද එක් වූයේ උන්වහන්සේගේ මූලිකත්වයෙන් වන අතර ඊට එරෙහි ඇතැම් කතෝලික පියතුමන්ලාගෙන් දැඩි විරෝධයක් මතුවිය. එහෙත් සිය වෑයම අත්නොහළ පෝරුතොට පියතුමා 1976 වසරේ බෝලවලාන දේවස්ථානයේ පැවති විවාහ මංගල උත්සවයක් සඳහා පළමුවරට දේශීය කලා අංග එක් කළේය.
'ගිහියා' සහ '65 කිතුනු පෙරළිය' නමින් කෘති දෙකක් රචනා කළ පෝරුතොට පියතුමා නිදහස් චින්තනයෙන් හා නිර්භීතභාවයෙන් පිරිපුන් පියතුමකු විය. 1965 දී 'චිත්‍රපට ගැන' නමින් කෘතියක් පළකරමින් සිය පළමු සිනමා කෘතිය ප්‍රකාශයට පත්කළ එතුමා 1967 දී ලංකා චිත්‍රපට විචාරක හා ලේඛක සංගමය පිහිටුවීමට ද පුරෝගාමී විය.
දේශීය චිත්‍රපට සඳහා සම්මාන ප්රදානය යන සම්ප්‍රදායික වචනය බැහැර කොට ඒ වෙනුවෙන් උත්තමාචාර යන වචනය ආදේශ කළේ එතුමාය. මෙරට තිරගත වූ සිංහල චිත්‍රපටවල තොරතුරු ඇතුළත් කෘතියක් පළමු වරට පළකළේ පෝරුතොට පියතුමා වන අතර 1974දී එය 'සිනමා වාර්ෂිකය' ලෙස ප්‍රකාශයට පත්විය. ස
සිිනමා කර්මාන්තයේ දියුණුව සඳහා සිනමා අධ්‍යයනය ඉවහල් වන බව විශ්වාස කළ පෝරුතොට පියතුමා මෙරට දක්ෂ සහ පළපුරුදු කලාවේදීන්ගේ මෙහෙය වීම තුළ සිනමා හා රූපවාහිනි පාඨමාලාව ආරම්භ කළේය. අර්නස්ට් පෝරුතොට පියතුමා 1972 සිට 1982 දක්වා ජාතික කතෝලික සිනමා පර්ෂදයේ ජාතික අධ්යක්ෂ ධූරයත් 1988 දී සමාජ හා සාමයික කේන්ද්‍රය යටතේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්යක්ෂ ධුරයත් දැරීය.
තරුණ කම්කරු ව්‍යාපාරය ආරම්භ කරමින් 'රසංජලී' සංවිධානය පිහිටු වු පෝරුතොට පියතුමාගේ මඟපෙන්වීම තුළ ලෙස්ලි බොතේජු, සිරිල් බී පෙරේරා, අයිවෝ ඩෙනිස් ආදී දක්ෂයන් රැසක් කලඑළි දුටුවෝය.
සිනමාවට සමගාමීව සිනමා විචාර කලාවක් ගොඩනැඟීම උදෙසා ද පුරෝගාමී වූ පෝරුතොට පියතුමා මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, එඩ්වින් ආරියදාස, සිරිල් බී පෙරේරා, රැලෙක්ස් රණසිංහ, ඈෂ්ලි රත්නවිභූෂණ ආදීන් ඒ සඳහා එක් රැස් කරමින් ඕසීඅයිසී සම්මාන උළෙලේ හොඳම ආධුනික සිනමා විචාරකයා සඳහා “ජයවිලාල් විලේගොඩ” සම්මානය පුදකරන ක්‍රම වේදයක් සම්පාදනය කරනු ලැබීය.
කොටුව මල්වත්ත පාරේ පිහිටි හය වැනි පාවුලු පාප් මධ්‍යස්ථානයේ නොමිලේ චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹීමට පුරෝගාමී වූයේද පෝරුතොට පියතුමාය.
ධර්මසිරි බණ්ඩාරනායක, ධර්මසේන පතිරාජ, ප්‍රසන්න විතානගේ ආදී දක්ෂ සිනමාකරුවන් රැසක් බිහිවීමට පදනම සැකසෙන්නේ ඒ හරහාය.
සිංහල චිත්‍රපට කිහිපයක්ම අන්තර් ජාතික චිත්‍රපට උලෙළ නියෝජනය සඳහා වරම් ලබන්නේ ද ඒ පසුබිම තුළය. දේශීය මෙන්ම ජාත්‍යන්තර සිනමා නිර්මාණ පිළිබඳ බොහෝ ඇසුපිරූ තැන් සහිත පෘථුල දැනුමක් තිබූ පෝරුතොට පියතුමා සිංහල සිනමාව සම්බන්ධයෙන් ආගමික වශයෙන් අර්බුදකාරී අවස්ථා පැන නැඟුණු සෑම විටකම ඒ වෙනුවෙන් නොබියව නොපැකිළව පෙනී සිටියේය.
දේශීය කලා ක්ෂේත්රයටත් කිතු සසුනටත් සුවිසල් මෙහෙවරක් ඉටුකළ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා තම අරුත්බර ජීවිතයේ නිමාව සටහන් කළේ ඉකුත් ජුනි මස 16 වැනිදා සිය දිවි සැරියේ 89 වැනි විය ගෙවමින් සිටියදීය.