ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් හමුදාධිපති පත්වී වසර 50 ක් සපිරෙයි | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් හමුදාධිපති පත්වී වසර 50 ක් සපිරෙයි

විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් පී. එච්. මෙන්ඩිස් අද දවසේ

- පියාසර උපදේශකයකු ලෙස පුහුණුව ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා
- එයාර් ‍චීෆ් මාර්ෂල් පී.එච්. මෙන්ඩිස් රාජකීය ලංකා ගුවන් හමුදාවේ සිවුවැනි හමුදාධිපති
- බ්‍රිතාන්‍යයෙන් චීන වරාය ලංකාවට දෙන විට භාර ගත්තේ ඔහු

බාල වියේදී ගුවන් යානාවට ඇලුම් කළ පත්මන් හරිප්‍රසාද මෙන්ඩිස් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාරයෙන් පැන, ගුවන් යානා නැරඹීමට රත්මලාන ගුවන් තොටුපොළට ගියේ වරක් දෙවරක් නොවේ. ගුවන් යානාවක් අතපත ගෑමේ සිහිනයක් දකිමින් සිටි පත්මන් හරිප්‍රසාද මෙන්ඩිස්, අවසානයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාපතිවරයා බවට පත්වූයේ කැපවීමෙන් කටයුතු කරමින් සිය හැකියාවන් ප්‍රදර්ශනය කළ නිසාය. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා වන විට 38 වැනි වියේ පසුවීම විශේෂත්වයකි.

“මගේ තාත්තා වෛද්‍යවරයකු නිසා ලංකාවේ විවිධ පළාත්වලට යන්න සිද්ධ වුණා. ඒ නිසා අපිව ගල්කිස්ස සාන්ත ‍තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාරයේ නැවැත්තුවා. 2 වැනි ලෝක යුද්ධ කාලයේදී මහනුවරට ගුරුතලාවට පාසල අරන් ගියාම අපිත් ගියා. මම කුඩා කාලේ ඉඳලම අහස් යානාවලට ලොකු කැමැත්තක් තිබුණා. තුරඟ තරග පිටිය ළඟින් යනකොට එහි නවත්තලා තිබෙන හෙලිකොප්ටර් දිහෑ ආසාවෙන් බැලුවා. මම ක්‍රිකට්, හොකී, පිහිනීම, පාපන්දු වගේ ක්‍රීඩා ගණනාවක් කළා. මම පාසලේ දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ කාලේ සාමාන්‍ය පෙළ වෙනුවට තිබුණේ ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය. මම පළමුවැනි වතාවෙම එය සමත් වුණා. අපේ ගෙදර අයට ඕනෑ වුණේ මාව වෛද්‍යවරයකු කරන්න. ඒත් මම ඒකට කැමැති වුණේ නැහැ. මගේ අයියා ඒ වනවිට වෛද්‍ය ශිෂ්‍යයෙක්. එයා ගෙම්බො, මීයො කපනවා මම දැකලා තිබෙනවා. මම තාත්තාට කිව්වා මට ලේ දකින්න බැහැ කලන්තෙ හැදෙනවා කියලා. එහෙම නම් ගිණුම් අංශයෙන් පාඨමාලාවක් කරන්න කියලා අම්මා කිව්වා. ඔය අතරෙදි ගුවන් හමුදාවට ගුවන් නියමුවන් බඳවා ගන්නවා කියලා පත්තරේ දැන්වීමක් පළ වෙලා තිබුණා. අපේ ගෙදරින් පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ. ඒත් මගේ ඥාති කෙනෙක් මැදිහත්වෙලා මට ගුවන් හමුදාවට බැඳෙන්න අවසර අරන් දුන්නා.” යනුවෙන් අතීතාවර්ජනයක යෙදුණේ හිටපු ගුවන් හමුදාධිපති පී.එච්. මෙන්ඩිස් (පැඩී මෙන්ඩිස්) ය. 

1951 අගෝස්තු 08 වැනි දින ඔහු රාජකීය ලංකා ගුවන් හමුදාවට (Royal Ceylon Air Force) බැඳුණේ 5 වැනි ආධුනික නිලධාරියා වශයෙනි. ඒ වනවිට ඔහුට අවුරුදු 18 සම්පූර්ණ වූවා පමණි. රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කෙරුණේ ද 1951 වර්ෂයේය. කැඩෙට් නිලධාරියකු ලෙස බැඳුණු පත්මන් හරිප්‍රසාද මෙන්ඩිස් (පැඩී) බ්‍රිතාන්‍යයේ ක්‍රෑන්වේල්හී පිහිටි රාජකීය ගුවන් හමුදා පාසල වෙත පුහුණුවීම් සඳහා පිටත් කර යැවිණි. 1954 අප්‍රේල් 06 වැනි දින පුහුණුවීම් සම්පූර්ණ කළ පැඩී මෙන්ඩිස් 1954 දෙසැම්බර් මාසයේ සිය උපන් බිමට පා තැබුවේ ‘ඩී හැචිලන්ඩ් වැම්පයර්’ වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා විශේෂඥයකු වශයෙනි. බළපන්ති ලුතිනන්වරයකු ලෙස පත්වීම ලැබූ පැඩී මෙන්ඩිස්ට පියාසර කිරීමට ‘ඩී හැම්ලන්ඩ් වැම්පයර්’ ගුවන් යානා මෙරට නොතිබුණු බැවින් ‘එයාර් ස්පීඩ් ඔක්ස්ෆර්ඩ්’ ව‍ර්ගයේ ප්‍රහාරක ගුවන් යානාවල පුහුණුවීමට සිදුවිය.

1957 දී දෙවැනි බළගණයේ පළමු අණදෙන නිලධාරියා වූ පැඩී මෙන්ඩිස් පියාසර උපදේශක පුහුණුවීම් සඳහා ග්ලොස්ටර්ෂයර් ප්‍රදේශයේ පිහිටි ලිට්ල් රයිසින්ටන් රාජකීය ගුවන් හමුදා මධ්‍යම පියාසර පුහුණු පාසලට පිටත්කර යවනු ලැබුවේ පියාසර උපදේශකයකු ලෙස පුහුණුව ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා වීමේ භාග්‍යය හිමිකර ගනිමිනි. 1961 දී කටුනායක පිහිටි රාජකීය ලංකා ගුවන් හමුදාවේ පියාසර පුහුණු පාසලේ උපදේශකවරයා වශයෙන් කටයුතු කළ පැඩී මෙන්ඩිස්, 1962 දී වින්ග් කමාන්ඩර් තනතුරටත් ඉන් අනතුරුව ගෲප් කපිතාන් නිලයටත් උසස් කරනු ලැබුවේ ඔහු තුළ තිබූ දක්ෂතා සහ සේවයට කැපවීම නිසාය.

1971 ජනවාරි 01 වැනි දින රාජකීය ලංකා ගුවන් හමුදාවේ සිවුවන ගුවන් හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම ලැබුවේ රාජකීය ලංකා ගුවන් හමුදාවේ වෘත්තීය ජීවිතය අරඹා එම හමුදාවේම ගුවන් හමුදාධිපති වූ පළමු ශ්‍රී ලාංකිකයා වීමේ ගෞරවය ද හිමිකර ගනිමිනි. එයාර් කොමදෝරු නිලය ලබා තුන් මාසයක් ඉක්ම යෑමත් සමඟ ඔහු මුහුණදුන් විශාලතම අභියෝගය වූයේ 71 අප්‍රේල් මාසයේ ඇතිවූ කැරැල්ලයි.

“ලංකාව ඒ විදිහේ අත්දැකීමකට මීට පෙර මුහුණදීලා තිබුණේ නැහැ. දවසක් සවස් වරුවක එවකට අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මට දුරකථනයෙන් කතා කරලා අරලියගහ මන්දිරයට එන්න කිව්වා. මම එහි යනවිට අනෙක් හමුදාධිපතිවරුන් පොලිස්පති ඇවිත් හිටියා. කැරලිකරුවන් පොලීසිවලට ගහනවා අපි සූදානම් ද කියලා ඇහුවා. ඒ වනවිට අපි එහෙම සූදානමක් වී සිටියේ නැහැ. ඒ මොහොතේ මම ඒකල සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු දෙකට කතා කරලා කිව්වා ආරක්ෂක ගේට්ටුවල සිටින සෙබළුන්ව මාරු කරන්න කියලා. ඒ කාලේ ගුවන් හමුදාවේ ලොකු පිරිසක් සිටියේ නැහැ. 1500 ක් විතර හිටියේ. ඒ නිසා අපි කළේ A දොරටුවේ හිටපු අයව D දොරටුවට දාලා D දොරටුවේ අය B දොරටුවට දැමීම වගේ ක්‍රමයක්. ඒත් කොහොමහරි මම ආරක්ෂක නිලධාරීන් මාරු කළ නිසා එදා රෑ ඒකලටත් කටුනායකටත් ඇතුළුවීමට කළ උත්සාහය වළක්වා ගන්න පුළුවන් වුණා. ඒ දවස්වල මමත් අනෙක් හමුදාධිපතිවරුනුත් අරලියගහ මන්දිරයේ සිට මෙහෙයුම් මධ්‍යස්ථානය පවත්වාගෙන ගියා. මම නින්දක් නැතිව එක දිගට දවස් 5 ක් එහි හිටියා. ඊට පස්සේ පොඩි වෙලාවකට මම ගෙදර යනවිට මගේ බිරියත් දරුවො තුන්දෙනාත් නැහැ. මගේ අයියා ඇවිත් එයාලව එක්කං ගිහින් තිබුණා.” යනුවෙන් විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් පැඩී මෙන්ඩිස් විස්තර කළේය.

71 කැරැල්ල මැඬ පැවැත්වූ ආකාරය තවදුරටත් විස්තර කළ ඔහු සඳහන් කළේ පොලිස් ස්ථානවලට පතරොම් බෙදාහැරීම, ඔහු මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක් බවයි.

“පොලිස් ස්ථානවලට කැරලිකරුවන් පහර දෙන නිසා ඒ අය අපෙන් ආයුධ සහ පතරොම් ඉල්ලනවා. ඒත් ගුවන් හමුදාවට හෙලිකොප්ටර් තුනයි තිබුණේ. අපි ලංකාව කොටස් තුනකට බෙදලා හෙලිකොප්ටර් තුනෙන් ලංකාවටම පතරොම් බෙදුවා. මේ විදිහට එක දිගට වැඩ කරද්දී මට කටුනායකින් කතා කරලා කිව්වා හෙලිකොප්ටර් මේ විදිහට දුවන්න බැහැ, සර්විස් කරන්න අවශ්‍යයි කියලා. හෙලිකොප්ටර්වල අමතර කොටස් පවා ඒ වනවිට අවසාන වෙලා තිබුණේ. මම මේ බව බණ්ඩාරනායක මැතිනියට දැනුම් දුන්නා. මොනවද කරන්නේ කියලා ඉන්න වෙලාවේ මම මැඩම්ට කිව්වා අපි ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් උදවු ඉල්ලමු කියලා. මැඩම් කිව්වා ආණ්ඩුවෙන් ඒ අයට ඇඳිරි නීති බලපත්‍රවත් දීලා නැහැ, කොහොමද උදවු ඉල්ලන්නේ කියලා. ඒත් මගේ දැනහැඳුනුම්කමක් අනුව මම ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගිහින් උදවුවක් ඉල්ලුවා. පැය 24 ක් ගත වෙන්න ඉස්සෙල්ලා ඇමෙරිකාවෙන් හෙලිකොප්ටර් 6 කුත් ගුවන් යානාවකුත් අමතර කොටස් එක්ක ලබාදුන්නා. ඇමෙරිකාව අපට උදවු කළ නිසා සෝවියට් දේශයත් මිග් යානා 6 කුත් හෙලිකොප්ටර් 2 කුත් මොබයිල් එයාර් ෆ්ලීට් එකකුත් දුන්නා. සෝවියට් දේශය උදවු කළ නිසා ඉන්දියාව හෙලිකොප්ටර් සහ ගුවන් භටයන් දුන්නා. ඉන්දියාව උදවු කළ නිසා පකිස්ථානයත් උදවු කළා. ඒ නිසා අපිට සාර්ථකව කැරැල්ල මැඬ පවත්වා ගන්න පුළුවන් වුණා.” යනුවෙන් පැවසුවේ විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් පැඩී මෙන්ඩිස්ය.

1972 වර්ෂයේදී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමඟම රාජකීය ලංකා හමුදාව (Royal Ceylon Air Force), ශ්‍රී ලංකා ගුවන් හමුදාව (Sri Lanka Air Force) ලෙස වෙනස් විය. පැඩී මෙන්ඩිස් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් හමුදාධිපති බවට පත්වන්නේ ඒ අනුවය.

ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලැබූ සේවා අපමණය. 1971 කැරැල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ගුවන් යානා සහ ගුවන් නියමුවන් නඩත්තු කිරීමට ප්‍රමාණවත් මුදල් නොමැතිවීම, එදා හිටපු ගුවන් හමුදාධිපති මෙන්ඩිස් මුහුණදුන් ප්‍රධාන ගැටලුව විය. සංචාරකයන්ට අභ්‍යන්තර ගුවන් යානා පහසුකම් සැපයීමෙන් මුදල් ඉපයීම උදෙසා ඇරඹූ ‘හෙලි ටුවර්ස්’ ඔහුගේ අදහසකි. එහිදී සිවිල් ගුවන් සේවාව සමඟ ප්‍රශ්න ඇති නොවූවා නොවේ. ඔහු ගුවන් හමුදා පනත් අධ්‍යයනය කරමින් සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගත්තේ තැනට සුදුසු නුවණ භාවිත කරමිනි. දෙමටගොඩ ප්‍රදේශයේ ඉදිකර තිබූ නිවාස යෝජනා ක්‍රමයක් ගැන කන වැකුණු පැඩී මෙන්ඩිස් එය ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන්ගේ නිල නිවාස ලෙස පරිහරණය කිරීමට අවසර ලබා ගැනීම නිසා එහි තිබූ නිල නිවාස 112 ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විය. වර්තමානයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ‘ස්කයි පෙට්’ සත්ව සායනය ස්ථාපිත කර තිබෙන්නේ එම නිවාස සංකීර්ණයේය. අද පවා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රියාත්මක වන්නේ ඔහු සකස් කළ පරිපාලන සැකැස්මයි. ගුවන් හමුදාවට අයත් යානාවල ඇන්ජිම්, රුලං පෙති මෙරටදී එකලස් කර සකස් කිරීම, රෝද දෙකේ ට්‍රැක්ටර් 10 ක් සෑදීම වැනි කටයුතුවලට අත ගැසීමෙන් පිටරටට ගලා යන මුදල් ඉතිරිකර ගැනීමට හැකි වූයේ පැඩී මෙන්ඩිස්ගේ නායකත්වය නිසාය. 

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ස්ථානවලින් ඔහු වඩාත් ප්‍රිය කරන්නේ චීන වරායටයි. 1956 දී බ්‍රිතාන්‍යයට අයත්ව තිබූ චීන වරාය ලංකාවට භාරදෙන අවස්ථාවේදී එය බාරගැනීමට එහි ගොස් සිටියේ පැඩී මෙන්ඩිස්ය. ඔහු චීන වරායට වැඩි කැමැත්තක් දක්වන්නේ එම නිසා විය හැකිය. ගුවන් හමුදා පුහුණු කඳවුරක් චීන වරායේ ස්ථාපිත කළේ ඔහු ගුවන් හමුදාධිපතිවී සිටි කාලයේය.

1976 දී විශ්‍රාම ගිය ඔහු විදෙස්ගත වූයේ ඒ වනවිට ඔහුගේ වයස අවු. 43 ක් වූ බැවිනි. 90 දශකයේ මැද භාගයේ ලංකාවට පැමිණි පසුව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිත්වය ඇතුළු තනතුරු කීපයක් දැරූ ඔහු 75 වැනි වියේදී සියලු තනතුරුවලින් සමුගත්තේ විශ්‍රාම සුවයෙන් ජීවිතය ගත කළ යුතු නිසාය.

දැන් 87 වැනි වියේ පසුවන විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් පී.එච්. (පැඩී) මෙන්ඩිස් වෙත පසුගියදා උපහාර පිදීමේ උත්සවයක් පැවැත්වූයේ ගුවන් හමුදාධිපති වී වසර 50 ක් සපිරීම නිමිත්තෙනි. රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් හමුදා කෞතුකාගාරයේදී පැවැත්වූ මෙම උපහාර උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සහභාගි වූ අතර හිටපු ගුවන් හමුදාධිපතිවරු සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන අය සහභාගි වූහ.

ඡායාරූප - රංජිත් අසංක

Comments