සින්දුව වෙනස් වුණාට එකම තැටි­යයි වාද­නය වෙන්නේ | Page 2 | සිළුමිණ

සින්දුව වෙනස් වුණාට එකම තැටි­යයි වාද­නය වෙන්නේ

 ● කොරෝනා වසංගතය පාලනය කිරීමට රජය කටයුතු කරන්නේ නැහැ කියලා චෝදනාවක් තිබෙනවා නේද?

ඇත්තටම ඔව්. රජය මේ වැඩේ අත්හැරලා තිබෙනවා කියලා තමයි අපිට දැනෙන්නේ. පළමු රැල්ල ලෙස හැඳින්වූ කොරෝනා වසංගතයේ මුල් අවස්ථාවේදී තිබූ උද්‍යෝගය සහ උනන්දුව අවධානය, කළමනාකරණය මේ වනවිට කිසිසේත්ම ක්‍රියාත්මක කෙරෙන්නේ නැහැ. ඒකට හේතු කිහිපයක්ම තිබෙනවා.

මෙය සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒක රජය මේ වනවිට තේරුම් අරගෙන නැහැ. ඒ වගේම සමාජීය ප්‍රශ්නයක්. මෙය බෝ වෙන රෝගයක්. මෙය පාලනය කිරීමේ පිළිගත් ක්‍රමවේද තිබෙනවා. මිනිස්සු බලහත්කාරයෙන් කොහේ හරි රඳවන එක නෙවෙයි‍ කළ යුත්තේ. මේ සඳහා ලෝකයේ ක්‍රියාත්මක වන පිළිගත් ක්‍රමවේදයක් තිබෙනවා. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනම පුහුණු වුණු තාක්ෂණය දන්නා ඊට අදාළ නිලධාරීන් ඇතුළු කණ්ඩායම් සිටිනවා.

මේක අලුත් රෝගයක් නිසා ගෝලීය වශයෙන් ද මේ රෝගය පැතිරිලා තිබෙනවා. මේ සඳහා විවිධ අංශවල පුද්ගලයන්ගේ සහාය ලබා ගනිමින් තීරණ ගත යුතුයි.

නමුත් සිදුවන්නේ එවැනි දෙයක් නොවෙයි. සෞඛ්‍ය අංශ මෙන් ම ඒ සඳහා බැඳුණු වෙනත් ආයතනවල සහය ලබා ගන්නවා වෙනුවට වෙනත් කණ්ඩායම්වල සහය ලබා ගැනීමට රජය කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් හැටියට අපි දකිනවා. ජනතාව බලහත්කාරයෙන් ගෙන ගොස් නිරෝධායන මධ්‍යස්ථාන වෙත දමා ඒවායේ රඳවාගෙන නිරෝධායනය කළ පළියට මේ උවදුර සඳහා විසඳුම් ලැබෙන්නේ නැහැ.

මේ සඳහා රජය පත්කර ඇති කාර්ය සාධක බළකායේ තීන්දු තීරණ ගන්නේ කවුද කියන එක අද ජනතාව දන්නවා. අදාළ ප්‍රකාශන කරන්නේ කවුද කියලා බලන්න; සෞඛ්‍යයට සම්බන්ධ පුද්ගලයන් නොවෙයි.

● ත්‍රිවිධ හමුදාවට, පොලිසියට මෙම කාර්යයේදී සිදු කළ යුතු කොටසක් තිබෙනවා. ඔවුන් සිදු කරන සේවය අපි අගය කළ යුතුයි. නමුත් හමුදාවට සම්බන්ධ පුද්ගලයන් ප්‍රකාශයන් කිරීම මේ සඳහා ගැළපෙන්නේ නැහැ නේද?

මෙහි මූලිකත්වය හමුදා අංශවලට දීලා බැහැ. සෞඛ්‍ය අංශවල සිටින වෛද්‍යවරු, සෞඛ්‍ය සේවා නිලධාරීන්, සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ කණ්ඩායම්වලට මෙහිදී ප්‍රධානත්වය සහ ප්‍රමුඛතාව ලබාදිය යුතුයි. අද එවැනි තත්ත්වයක් පෙනෙන්නට නැහැ. මොකද සාමාන්‍ය ජනතාවට අදහසක් දෙන්න ඕනෑ. ඒ වගේම ජනතාව තේරුම් ගන්න ඕනෑ. මෙය සාමාන්‍ය ජනතාව අතර තිබෙන ගැටලුවක් බව ඊට ජනතාව මුහුණදී ඒ තුළින් මෙය වළක්වා ගත යුතුයි කියලා. මෙය නීතිමය පියවරක් මඟින් පමණක් වළක්වාලන්නට බැහැ.

● මෙරට ආර්ථිකය නැංවීමේ බලාපොරොත්තුවෙන් රජය සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව ඔබ මොකද හිතන්නේ?

රටේ ආර්ථිකය නැංවිය යුතුයි. ඒ සඳහා සංචාරකයන් මෙරටට ගෙන්විය යුතුයි. හැබැයි ඒ සඳහා කාලය මෙන්ම අවස්ථාව මේක නොවෙයි කියලා අපි පැහැදිලිවම කියනවා.

මේ රටේ සාමාන්‍ය මිනිස්සු රැකියාවෙන් ඉවත් කරලා. තමන්ගේ දරු පවුලෙන් ඉවත් කරලා, සති දෙක තුන මාස ගණන් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තබලා. ඔවුන්ට නොයෙක් නීති රෙගුලාසි දාලා. නමුත් සංචාරකයන් මෙරටට ගෙන්වලා ඔවුන්ට කිසිම නීතියක් නැතිව ඔවුන්ව මේ රටේ අත ඇරලා දානවා. මේක හරිද? අනෙක් කාරණය යුක්රේනයෙන් මේ ගෙන්වලා තිබෙන සංචාරකයන්ටත් කොරෝනා ‍රෝගය තිබෙන බව ආණ්ඩුවම කියනවා. මෙයින් පැහැදිලි වන්නේ සංචාරකයන් ගෙන ඒම තුළ කොරෝනා තවත් ව්‍යාප්ත කරනවා කියන එක නේද? සංචාරකයන් මෙලෙස ගෙන්වලා තිබෙන්නේ පෞද්ගලික අවශ්‍යතාවක් මත කියන එක අද මුළු රටම දන්නවා. මේ ආණ්ඩුවට ජනතාවගේ ජීවිත එක්ක මෙහෙම සෙල්ලම් කරන්න පුළුවන් ද කියලා අපි රජයෙන් අහන්න කැමැතියි.

මේ රටේ මිනිස්සු හිර කරලා සංචාරකයන්ට රට අරිනවා. ජනතාවගේ හිත් තේරුම් ගන්න රජයට බැරි වෙලා තිබෙනවා. අද කොරෝනා රෝගීන් රෝහල්වලින් පැනලා යනවා. නිරෝධායන මධ්‍යස්ථානවලින් පැනලා යනවා. කැලෑ වැදිලා සැඟවෙනවා. මේකට බය වෙලා ජනතාව මේ ආකාරයට හැසිරෙන්නේ ඇයි කියලා රජය සොයා බැලිය යුතුයි. එලෙසම ජනතාවට අද තමන් ඉන්න පරිසරය පිළිබඳව අවිශ්වාසයක් ඇතිවෙලා තිබෙනවා. ඒ කියන්නේ මේ රජයට ජනතාවට ආරක්ෂාව ලබා දෙන්න නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබෙන්නේ.

● ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී බහුතර ජනතා බලයක් ලබාගන්න වර්තමාන රජය විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය ද සිදු කළා. වර්තමාන රජය පිළිබඳව ඔබගේ පක්ෂයේ මතය කෙසේද?

මේ රජය බලයට එන්නේ රටේ ආරක්ෂාව ආර්ථිකය සංස්කෘතිය මේ සියල්ල ජනතාවට ලබාදෙන බව පවසමින්. ජනතාව රජය මෙන්ම ජනාධිපතිවරයා පිළිබඳව දැඩි විශ්වාසයක් තබමින් මේ රජය බලයට පත් කරනවා. අද ජනතාවට ඒ විශ්වාසය පිළිබඳව ලොකු ගැටලුවක් තිබෙනවා. ජනතා විශ්වාසය දිනා ගෙන පත්වූ ආණ්ඩුවක් වුණත් ඔවුන් දැන් කටයුතු කරන්නේ ජනතා විශ්වාසය පළුදුවන විදිහට තමයි. විකල්ප මතවාදවලට මේ රජයෙන් අවස්ථාවක් ලබාදෙන්නේ නැහැ. රජය බලන්නේ එවැනි මතවාද යටපත් කරලා දාන්න. ජනතාවට සේවය කරනවා වෙනුවට මේ රජයේ පුද්ගලයන් තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් පමණයි වැඩ කරන්නේ. ඔවුන් තමන්ටයි සේවය කරගන්නේ. අද මේ ආණ්ඩුව තුළ බලය බෙදීමක් පෙනෙන්නට නැහැ. සුළු පිරිසක් අතර පමණක් බලය තිබෙන්නේ. ඒ පිරිසට අවශ්‍ය විදියට තමයි තීන්දු තීරණ ගන්නේ. සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ‍විරුද්ධව තමයි අද රජය කටයුතු කරන්නේ.

● තීන්දු තීරණ ගන්න සුළු පිරිස කවුද?

පාර්ලි‍මේන්තුව සතුව තිබූ බලය නව ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිවරයා සතු කර ගත්තා. ඒ අනුව ජනාධිපතිවරයාට අසීමිත බලයක් ලැබුණා. ජනාධිපතිවරයා ඔහු වටේ සිටින ව්‍යාපාරිකයන් ඇතුළු හිතවතුන් සමඟ එක්වී තීන්දු තීරණ ගන්න තත්ත්වයකට පත් වෙලා තිබෙන්නේ. අද පී.බී. ජයසුන්දර වැනි පුද්ගලයන්ගේ පෞද්ගලික තීරණ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනවා. ඒ වගේම ජනාධිපතිවරයා වටේ ඉන්න වියත් මඟ කියා ගන්නා පුද්ගලයන් තීන්දු තීරණ ගන්නවා.

● වර්තමාන රජයේ ඇමැතිවරු සමඟ ජනාධිපතිවරයා තීන්දු තීරණ ගන්නේ නැහැ කියලද ඔබ කියන්නේ?

ඔව්. එහෙම තමයි සිදුවෙන්නේ‍. මේක ඉතාම භයානක තත්ත්වයක්. කැබිනට් එක තිබුණාට වැඩක් නැහැ. ඡන්දයෙන් තේරී පත්වුණු මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට එසේත් නැත්නම් ජනතා නියෝජිතයන්ට කිසිම බලපෑමක් කරන්න බැහැ. ඔවුන්ට තීන්දු තීරණ ගන්න බැහැ. ජනාධිපතිවරයා තමන්ට හිතෙන තීන්දු තීරණ විතරයි ගන්නේ. වෙනම පිරිසක් එක කණ්ඩායමක් විතරයි ආණ්ඩු බලය පාවිච්චි කරන්නේ. දිළිඳුකම පිටුදැක්ම පිළිබඳව අදාළ කටයුතු කරන්නේ බැසිල් රාජපක්ෂ. ඇත්තටම ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද? නැහැ. ප්‍රශ්නයක් මතු වුණාම වගකිව යුතු කෙනෙක් නැහැ. නමුත් රජයේ ඇමැතිවරයකුට වඩා බලයක් පිටතින් සිටින පුද්ගලයන්ට තිබෙනවා. ගැටලුවක් මතු වුණාම ජනාධිපතිවරයා කමිටුවක් දාලා නිකං ඉන්නවා. වහාම ක්‍රියාත්මක වීමක් නැහැ. මුළු ලෝකය මෙන් ම ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව අද බිඳ වැටිලා තිබෙන්නේ. මේ රට ගොඩගන්න හොඳ ආර්ථික ප්‍රතිපත්ති‍යක් අවශ්‍යයි. නිශ්චිත ඉලක්ක එක්ක අපි ඉදිරියට යා යුතුයි. නැතිනම් මේ ර‍ට තවත් පහතට වැටෙනවා. කමිටු ඇති කිරීම විසඳුමක් නොවෙයි; කිසිම කළමනාකරණයක් නැහැ. ඇමැතිවරයාවත් තමන්ගේ විෂය පථය පිළිබඳව දැනගන්න ක්‍රමයක් නැහැ. මේ තත්ත්වය තුළ මේ ර‍ජයට ඉදිරියට මේ රට ගොඩනගන්න පුළුවන්ද බැරිද කියන ගැටලුව මතු වෙනවා

● කොළඹ වරායේ කොටසක් ඉන්දියාවට දීමට රජය කටයුතු කරනවා කියලා කියන්නේ කොහොමද?

රජය සහ එම අමාත්‍යාංශය ඒ වෙනුවෙන් කටයුතු කරනවා. අද මේ වනවිට රජයට සම්බන්ධ වුණු පිරිස්ම ඊට එරෙහිව කටයුතු කරමින් සිටිනවා. සමස්ත වරාය සේවකයන් එකිනෙකා පෙළ ගැසෙමින් රජයට විරුද්ධව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පෙර පැවැති රජය මෙන්ම මේ රජය ද ජනතා දේපළ විකුණනවා. සින්දුව වෙනස් වුණාට එකම තැටිය තමයි මේ අයත් ඒ අයත් වාදනය කරන්නේ. ඒ නිසා තමයි අපි ජනතාවට කියන්නේ ජනතාව සමඟ සිටින රජයක් බිහි කරන්නට අප සමඟ එක්වන්න කියලා.

මේ රජය කියන්නේ අපි විකුණන්නේ නැහැ ආයෝජකයන් ගේනවා කියලා. ආයෝජකයන්ට කොළඹ වරායේ නැගෙනහිර ජැටියෙන් කොතරම් ප්‍රමාණයක් දෙනවද කියලා අපි අහනවා. රජය මේ ජැටිය ඉන්දියානු සමාගමකට ලබා දෙනවා‍. අනිවාර්යයයි.

● ජාතික ජනබලවේගය පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කාර්ය භාරය ඉටු කරන්නේ කෙසේද?

අපිට තිබෙන්නේ මන්ත්‍රී ධුර තුනයි. නමුත් අපි අපගේ වගකීම උපරිම ලෙස ඉටු කරනවා. විශේෂයෙන්ම ජනතාවගේ ගැටලු ඍජුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපි එය පාර්ලිමේන්තුව තුළදී මෙන්ම ඉන් පිටතදී සිදු කරනවා. අපිට ඡන්දය දුන්නාද නොදුන්නාද කියන කාරණය නොවෙයි වැදගත් වන්නේ. ජනතාව වෙනුවෙන් පෙනී සිටීම තමයි අපගේ කාර්යභාරය.

● දේශපාලනික වශයෙන් ස්ථාවර වීම සඳහා ජාතික ජන බලවේගය සිදු කරන ක්‍රියාමාර්ග මොනවාද?

අපි ජනතාව සමඟ සම්බන්ධ වෙමින් විකල්ප මතවාදය ගමට අරගෙන යනවා. තරුණ කොටස් වැඩිහිටි කොටස් කාන්තාවන්, ධීවරයන්, වැඩ කරන පන්තිය මේ සියලුම දෙනා සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කරමින් සිටිනවා.

Comments