යාපනය සරසවියේ ඇවිළුණු ගින්න | සිළුමිණ

යාපනය සරසවියේ ඇවිළුණු ගින්න

ස්මාරකය නැවත ඉදිකිරීමට උපකුලපති මහාචාර්ය සත්ගුණරාජා මුල්ගල් තැබීමට එක්වෙමින්
ස්මාරකය නැවත ඉදිකිරීමට උපකුලපති මහාචාර්ය සත්ගුණරාජා මුල්ගල් තැබීමට එක්වෙමින්

මෙරට මිනිස් ජීවිත දහස් ගණනක් විනාශ විණි.කෝටි ගණනක දේපළ විනාශ මුඛයට යැවිණි. එවැනි ව්‍යසනයක් වසර තිහක පමණ කාලයක් තිස්සේ සිදුකළ එල්ටීටීඊ ත්‍රස්තවාදී අරගලයට 'තිත' තැබුණේ 2009 මැයි 18 වැනිදායි. ඒ, එල්ටීටීඊ සංවිධානයට නායකත්වය දුන් වේළුපිල්ලෙ ප්‍රභාකරන් නමැති රුදුරු කොටි ත්‍රස්තවාදියාගේ මළසිරුර 2009 මැයි 18 වැනිදා මුලතිව් දිස්ත්‍රික්කයේ නන්දිකඩාල් කළපුවේ තිබී හමුවීමත් සමඟිනි.

එවකට ජනපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ දේශපාලන නායකත්වයත්, වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂයන් එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස දුන් අප්‍රතිහත දායකත්වයත් නිසා ත්‍රස්තවාදී ගිනිදැල් මෙරටින් නිවා දමා ‍මේ වන විට ගෙවී යන්නෙ 12 වැනි වර්ෂයයි. ගෙවී ගිය දශකයකට අධික කාලය තුළ සමස්ත ශ්‍රී ලාංකිකයන් ජාති, ආගම් බේදයකින් තොරව නිදහස්, සාමකාමී කාලසමයක් ගත කෙරිණි.

එහෙත් ඇතැම් දමිළ දේශපාලන නායකයන් ඇතුළු බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන දමිළ තරුණයන් නොයෙක් අවස්ථාවල නැවතත් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට යොමුවීමට තැත්කරන අවස්ථාද දක්නට නොලැබුණාම නොවේ. ඒ අතරේ රට දෙකඩ කරමින් ඒකීය ශ්‍රී ලංකාවේ රජයට විරුද්ධව අවිආයුධ අතට ගෙන මහත් විනාශයක් මුළුමහත් රට, ජාතියටම සිදු කළ කොටි ත්‍රස්තවාදීන් සැමරීමට විවිධ අවස්ථාවන්හිදී ඇතැම් දමිළ දේශපාලන නායකයන් මෙන්ම තරුණයන්ද උත්සාහ ගත්තෙ ඇතැම් ස්ථානවල නොයෙක් ආකාරයෙන් යුද ස්මාරකද අටවා ගනිමිනි.

එහෙත් එවැනි යුද ස්මාරක රජය සහ වගකිවයුතු පාර්ශ්ව එක්ව ඉවත් කෙරුණේ නැවතත් රුදුරු කොටි ත්‍රස්තවාදයට එවැනි යුද ස්මාරකවලින් අනාගත පරම්පරාවට උත්තේජනයක් වන හෙයිනි.

ඇතැම් එවැනි යුද ස්මාරක දමිළ දේශපාලනඥයන් ඉදිකර තිබුණේ රජය විසින් එම පළාත්හි සංවර්ධනයට දුන් මහජන මුදල්වලින් වීම අභාග්‍ය සම්පන්න තත්ත්වයකි.

ත්‍රස්තවාදී අරගලය නිමවා වසර 9ක් පිරුණු එනම් 2018 වර්ෂයේදී යාපනය විශ්වවිද්‍යාලය තුළද ත්‍රස්තවාදී යුදකාමීන් සැමරීමට 'මුල්ලිවයික්කාල් ස්මාරකය' නමින් යුද ස්මාරකයක් ඉදිකිරීමට එවක යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වූ ක්‍රිෂ්ණ මේනන්ගේ ප්‍රධානත්වයෙන් කටයුතු කෙරිණි.

වාර්තා වන ආකාරයට එම ස්මාරකයේ නිර්මාණ කටයුතු කර තිබු ප්‍රධාන නිර්මාණකරුවාද එල්ටීටීඊ සංවිධානයේ සිටි ත්‍රස්තවාදී අරගලයේදී මියගිය කොටි ත්‍රස්තවාදියකුගේ පුත්‍රයෙකි.

එලෙස 2019 වර්ෂයේ ත්‍රස්තවාදී අරගලය නිමවා වසර 10ක් පිරෙද්දී එම යුද ස්මාරකය විශ්වවිද්‍යාල භූමිය තුළ ස්ථාපිත කොට අවසන් කෙරිණි.

එම යුද ස්මාරකය නිර්මාණය කිරීමට මූලික වූ සිසුන් සඳහන් කර තිබුණේ යුද්ධයේදී මියගිය සිසුන් සහ මුල්ලිවයික්කාල් ජනයා සිහිවීමට එම ඉදිකිරීම සිදුකළ බවයි.

කෙසේ හෝ එවකට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා හෝ විශ්වවිද්‍යාල පරිපාලනය එම ඉදිකිරීම නීතිවිරෝධි ඉදිකිරීමක් සහ ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක් ලෙස දුටුවත් එය ඉදිකිරීමට එරෙහි වීමට හෝ ඉවත් කිරීමට ද කටයුතු නොකෙරිණි. ඊට එවක රජයෙන්ද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනිණි. එහෙත් පසුගිය අට වැනිදා රාත්‍රියේ එම යුද ස්මාරකය බැකෝ යන්ත්‍රයක් යොදා කඩා ඉවත් කිරීමට වත්මන් යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති සී. සත්ගුණරාජා ප්‍රමුඛ පරිපාලනය කටයුතු කළේය.

යුද ස්මාරකය කඩා ඉවත් කිරීමත් සමඟ නැඟී සිටි සිසුහු ඇතුළු දමිළ දේශපාලනඥයන් ප්‍රමුඛ පිරිසක් යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපස එදින රාත්‍රිය පුරා විරෝධතාවකද නිරත වූහ. එම විරෝධතාකරුවන්

යාපනය විශ්වවිද්‍යාලය තුළ පිහිටා තිබූ කඩා දැමුණු මුල්ලිවයික්කාල් යුද ස්මාරකය 

විශ්වවිද්‍යාලයට ඇතුළුවී උපකුලපතිවරයා හමුවීමට යාම ව්‍යර්ථ කිරීම සඳහා විශ්වවිද්‍යාලය අයත් ප්‍රදේශය බාර කෝපායි පොලිසිය විසින් ඒ මොහොතේ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවීමටද කටයුතු කළහ.

රටෙහි විවිධ පළාත්වලින් පැමිණි සිංහල ජාතික සිසුන්ද 1500ක පමණ සංඛ්‍යාවක් ඉගෙනුම් කටයුතු කරන යාපනය විශ්වවිද්‍යාලයේ එවැනි ත්‍රස්තවාදී යුදකාමීන් සැමරීමට යුද ස්මාරකයක් ඉදිකර තිබීම පිළිබඳව වගකිවයුතු පාර්ශ්වවලින් ප්‍රකාශ වූයේ මෙකී ස්මාරකය නීතිවිරෝධි බවත් එවැනි නීතිවිරෝධි යුද ස්මාරකයක් විශ්වවිද්‍යාල භූමියක පැවැතීම කිසිසේත්ම සුදුසු නොවන බවයි.

විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ අධීක්ෂණයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපදෙස් මත ඉවත් කෙරුණු යුද ස්මාරකය පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ එම යුද ස්මාරකය අද දවසට හෝ හෙට දවසට නොගැළපෙන බවයි. එසේම එම යුද ස්මාරකය උතුර - දකුණ සාමයට බාධාවක් බවත් වර්තමානයේ අවැසි වන්නෙ යුද්ධයේ ස්මාරක නොව සාමයේ ස්මාරක බවයි.

කෙසේ හෝ විශ්වවිද්‍යාල භූමියේ පැවැති යුද ස්මාරකය ඉවත් කිරීමට එරෙහිව 9 වැනිදා දින කලහකාරි ලෙස හැසිරුණු සිසුන් දෙදෙනෙකු කෝපායි පොලිස් අත්අඩංගුවට පත්වූ අතර දෙදෙනා යාපනය මහේස්ත්‍රාත් පිටර් පෝල් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පනස්දහසක් බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණේ නඩු විභාගය අප්‍රේල් මස 19 වැනිදා දක්වා කල් තබමිනි.

එසේම විරෝධතාවේ යෙදුණු විශ්වවිද්‍යාල සිසුවෙක් විශ්වවිද්‍යාලය ඉදිරි පිවිසුම් දොරටුව ඉදිරිපිට අට්ටාලයක් තුළ මාරාන්තික උපවාසයක්ද අරඹමින් කියා සිටියේ ස්මාරකය ඉදිකරමින් තම කණ්ඩායමට සාධාරණය ඉටුවන තෙක් මාරාන්තික උපවාසයක යෙදෙන බවයි.

එම සිසුවාගේ සහායට තවත් සිසුන් සිවුදෙනෙක්ද එක්ව සිටියේය.

අනතුරුව විශ්වවිද්‍යාලය ඉදිරිපිටට සීමාවී තිබූ විරෝධතා පසුගිය 11 වැනිදා වෙද්දී මුළු උතුරු නැඟෙනහිර දෙපළාතටම ව්‍යාප්ත කිරීමට තැත් කරමින් කඩසාප්පු වසා දමමින් හර්තාලයක් දක්වා ඉහළ නැංවීමට බෙදුම්වාදයට හිතැති උතුරු නැඟෙනහිර ජනයාගෙන් ප්‍රතික්ෂේප වී සිටින දමිළ දේශපාලනඥයන් උත්සාහ කළේය. එහෙත් එම පළාත්හි ආරක්ෂක අංශ සඳහන් කළේ කොරෝනා හේතුවෙන් එම පළාත්හි ඇතැම් කඩසාප්පු වෙළෙඳසල් දින කීපයක සිට වසා තිබු හෙයින් හර්තාලය සඳහා විශේෂ කොට කිසිදු වෙළෙඳසලක් නොවැසූ බවයි.

එවැනි තත්ත්වයක් මත නැවතත් කලහකාරි ගැටුම් ඇති නොවන තත්ත්වයකට වග බලාගත් විශ්වවිද්‍යාල උපකුලපතිවරයා විසින් කඩා දැමුණු යුද ස්මාරකය නැවතත් ඉදිකිරීමට තීන්දු කෙරිණි. ඒ අනුව 11 වැනිදා අලුයම් කාලයේම උපවාසයේ යෙදෙන සිසුන් හමුවට පැමිණි උපකුලපතිවරයා එකී සිසුන්ට කැඳ කෝප්පයකින්ද සංග්‍රහ කොට තිබිණි.

පසුව එදින පැවැති මහ වැසිද නොතකා පෙරවරුවේ 7.15ට පමණ උපකුලපතිවරයා විසින් සිසුන් කැටුව නැවතත් එම ස්මාරකය තිබූ ස්ථානයේම ඉදිකිරීමට මුල්ගල් තැබිණි. විශ්වවිද්‍යාල ආරංචි මාර්ගවලින් වාර්තා වූයේ තිබූ යුද ස්මාරකය වෙනුවට සාමයේ කුලුනක් ඉදිකිරීමට යෝජිත බවටයි.

පැවැති යුද ස්මාරකය කඩා දැමීමට ‍එරෙහි විරෝධතාවේ යෙදුණු පිරිස්හි ප්‍රධාන තර්කයක් වී තිබුණේ වෙනත් විශ්වවිද්‍යාලවලද මෙවැනි යුද ස්මාරක ඇති බවටයි.

එහෙත් මෙකී බෙදුම්වාදී විරෝධතාකරුවන් අමතක කර ඇත්තෙ යුද ස්මාරක තනමින් තමන් සමරන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී රජයකට එරෙහිව සටන්කොට රටක් දෙකඩ කිරීමට තැත් කරමින් දහස් ගණනක් මිනිස් ජීවිත නිරපරාදේ අමු අමුවේ ඝාතනය කළ ත්‍රස්තවාදීන් පිරිසක් බවයි. එසේම රටේ සමස්ත මහජනයාගේ කෝටි ගණනක දේපළ සංහාරයක් සිදුකිරීමට මුල් වූ ම්ලේච්ඡ ත්‍රස්තයන් පිරිසක් බව ඔවුනට අමතක වී ඇති සැටියකි.

අඩුම තරමේ එදා යාපනය ඇතුළු උතුරු - නැඟෙනහිර වෙසෙන දමිළ ජනයාට වර්තමානයේ විඳින සාමකාමී නිදහස් පරිසරයෙන් අබමල් රේණුවක් තරම් හෝ ප්‍රමාණයක් එදා විඳින්නට අවස්ථාව නොලැබුණේද මෙකී ම්ලේච්ඡ ත්‍රස්තයන් නිසාවෙනි.

එම නිසා වර්තමානය වන විට ශ්‍රී ලංකා රජය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු සියලු වගකිවයුත්තන්ගේ කැපවීම මත දමිළ ජනයාට නිදහසේ හුස්ම ගැනීමට හෝ අවස්ථාව සැලැසී තිබෙන්නෙ මෙකී ත්‍රස්තයන් මෙරට පොළෝ තලයෙන් අතුගා දැමුණු හෙයිනි. යුද ස්මාරක ලෙස කොන්ක්‍රිට් කඳු ඉදිකොට යුද්ධය අවසාන කාලයේ කුඩා වියේ පසුවී වර්තමානයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නියැළෙන සිසුන්ගේ සිතුම් පැතුම් නැවත බෙදුම්වාදයට 'යට' කිරීමට ඉඩ නොතබමු.

මෙකී නීතිවිරෝධිව ඉදිකර තිබූ යුද ස්මාරකය පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස්ද පවසා සිටියේ, විශ්වවිද්‍යාලයක ස්මාරක හෝ පිළිරුවක් නිර්මාණය කිරීම හෝ ප්‍රදර්ශනය කිරීමට අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාල පරිපාලනයෙන් අනුමැතිය අවශ්‍යයි.

එම නීතිය යාපනය විශ්වවිද්‍යාලයට පමණක් නොව සෑම විශ්වවිද්‍යාලයකටම පොදු බවද ඇමැතිවරයා සඳහන් කළේය.

හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් වූ රාසයියා ප්‍රදීපන් හෙවත් තිලීපන් නමැත්තා 1987 සැප්තැම්බර් 15 වැනිදා උතුරු නැඟෙනහිර පළාත්වලින් යුද හමුදාව ඉවත් විය යුතු බවට සඳහන් කරමින් යාපනයේදී ආරම්භ කළ උපවාසයෙන් හෙතෙම සැප්තැම්බර් 26 වැනිදා මරණයට පත් විය.

වර්තමාන දෙමළ තරුණයන් ද එවැනි කළු පැල්ලම් නැවත ඇති නොවීමට වග බලා ගනිමින් කටයුතු කළ යුත්තේ මේ වන විට ඔවුහු මනා සාමකාමී ජීවිතයකට එළැඹ ඇති හෙයිනි.

ඒ අනුව රටෙහි වගකිවයුතු සියලු පාර්ශ්වද කලින් කලට බෙදුම්වාදී ත්‍රස්තවාදීන් විසින් සිය සිතුම් පැතුම් ඉටුකර ගැනීමට ගන්නා මෙවැනි උත්සාහ වළකාලීමට නිසි අවධානයෙන් පසුවී අවැසි කඩිනම් විසඳුම් යෙදීම ප්‍රධානතම වගකීමක් ලෙස සඳහන් කළ යුතුමය.

Comments