මියුරු හස­රැල් සඟවා නික්ම ගිය ‘සප­තේරු හාමිනේ’ | සිළුමිණ

මියුරු හස­රැල් සඟවා නික්ම ගිය ‘සප­තේරු හාමිනේ’

ප්‍රවීණ රංගන ශිල්පිනි මියුරි සමරසිංහ දිවි රඟමඬලෙන් සමුගනී

 

ඇය මවක, බිරි­යක මෙන්ම කලා ශිල්පි­නි­යක ලෙසද තම සීමා අපූ­රු­වට ජය­ගත් දිරිය ගැහැ­නි­යකි

 

ප්‍රවීණ සහ නූතන නිර්මා­ණ­ක­රු­වන් යට­තේද රංගන භාග්‍යය ලද ඇයට සින­මාවේ කිසි ඇග­යු­මක් නොලැ­බීම මහත් ඛේද­ජ­න­කය.
 

කලාවේ ස්වර්ණතම අවධීන් රැසක පුරෝගාමීහු මෙන්ම දැවැන්තයෝ රැසක් මෑත භාගයේ සිය දිවි රඟ මඬලට සමුදුන්නෝය. ඒ අතුරින් සිය වේදනාත්මක ජීවන රංගනයට නැවතීම තැබූ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ, ඇය මෙරට එක්තරා යුගයක ප්‍රසිද්ධ වේදිකාවේ කිරුළු පැලඳි චරිතයකි. ඇය සිනමාවටත් ගුවන්විදුලියටත් පුංචි තිරයටත් වඩා ජනප්‍රියත්වයක් හිමි කරගත්තේ වේදිකාවෙනි. ඇගේම රචනයෙන්, අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ "සපතේරු හාමිනේ" වේදිකා නාට්‍යයේ සපතේරු හාමිනේගේ චරිතය ඇගේ රංගන භාවිතයේ කූටප්‍රාප්තිය ලෙස හුවා දැක්වීම සුදුසුය. දශක පහක් පමණ ගෙවුණද බොහෝ දෙනා ඇය ඇමතුවේ "සපතේරු හාමිනේ" යන නමිනි.

වර්ෂ 1933 මාර්තු 15 වැනිදා මැද කොළඹදී විජේරත්න පවුලේ බඩපිස්සිය ලෙස ජන්ම ලාභය ලද මියුරි විජේරත්න, ප්‍රාථමික අධ්‍යාපනය ලබනුයේ කොළඹ හෝලි රොසලි විද්‍යාලයෙනි. නර්තනය, රංගනය සහ ගායනය වැනි ප්‍රාසාංගික විෂයයන්ට වැඩි නැඹුරුවක් දැක්වූ ඇය, පාසැල් වේදිකාවේ හොඳම නිළිය ලෙසින් අබිසෙස් ලබන විට සත් හැවිරිදි වියෙහි පසු වූවාය. ශිෂ්‍යත්ව පරීක්ෂණය සමත්ව කොළඹ මියුසියස් විද්‍යාලයට ඇතුළත් වන ඇය පෙර මෙන්ම කලා කටයුතුවල සමකාලීනයන් අබිබවන සහ කැපීපෙනෙන චරිතයක් වූවාය.

පාසල් කාලයේදීම, එවකට කලාවේ මහා සරසවිය බඳු වූ ජාතික ගුවන් විදුලියට අවතීර්ණ වීමේ භාග්‍යය ලද ඇය, නැසීගිය රොක්සාමී සංගීතවේදියාණන් සමඟින් එකල ගුවන්විදුලිය වෙත විවිධ වැඩසටහන් සඳහා පිය නැඟු අතර, එහි ප්‍රතිඵලය වූයේ "මාසික රැඟුම" ප්‍රසංගයේ මුල මැද අග ප්‍රධාන නර්තන අවස්ථාව මියුරි දැරිය හට හිමිවීමය.

නිබඳව ගුවන්විදුලියත් සමඟ ගනුදෙනු කළ ඇය, ධර්ම ශ්‍රී වික්‍රමසිංහයන්ගේ යොමු කිරීමෙන් ගුවන්විදුලි නාට්‍ය පරීක්ෂණයට පෙනී සිට එහි ඉහළම ලකුණු ලබාගත් පස් දෙනා නියෝජනය කළාය. එකල "බාලොලි ලොලි ලොලි" වැනි වැඩසටහන් සඳහා ගීතා කාන්ති ජයකොඩි, නිරංජලා සරෝජිනී වැනි එවකට යෞවන ශිල්පිනියන් සමඟද එක්වූවාය.

දහම් අධ්‍යාපනය ලැබූ "සර්වතෝදය" ධර්ම විද්‍යාලයේම ගුරුවරයෙක්, ඇගේ වැඩිමහල් සහෝදරයාගේ හොඳම මිතුරා සහ ඇයට ඉංග්‍රීසි භාෂාව නිවෙසට විත් ඉගැන්වූ ගුරුවරයාද වූ, පියල් සමරසිංහයන් සමඟ පෙමින් බැඳෙන මියුරි විවාහපත්ව දරුවන් සතර දෙනකුගේ මවක ලෙස ද ජීවන වේදිකාවේ මවු භූමිකාවට පණ පොවන්නේ බොහෝ තුරුණු වියේදීමය.

විවාහයත් සමඟ කලාවෙන් ඈත් වුවද පසුකාලීනව මර්සි එදිරිසිංහ සමඟ වැලිකල රත්නයන්ගේ "අලුත් දවසක්" වේදිකා නාට්‍ය සඳහා සම්බන්ධ වන්නීය. එම අවස්ථාව ඇය උදාකර ගන්නේ සැමියාට රහසේ පුවත්පත් දැන්වීමකට අයැදුම් කොට වුවද සැමියා ඇගේ කැමැත්ත වෙනුවෙන් ඉන්මතු බාධාවක් නොවීමට තීරණය කළේය. කෙටි කලෙකින් සක්‍රීයව රංගනයේ බොහෝ දුරක් පියනැඟීමට මංමාවත් එළිපෙහෙළි කරගත්තද අවාසනාවකට ඇගේ එකම සවිය වූ මවත් සැමියාත් අකාලයේ සමුගන්නේ මියුරි සහ දරු සිවුදෙනා මෙලොව තනි කරමිනි. ඇගේ එකම ශක්තිය වූයේ සහෝදරිය පමණි. එහෙත් ඇය එදා පටන් මෙතෙක් පැමිණි අධිෂ්ඨානශීලී ගමන උදාරතම වන්නේ ඇය මවක ලෙසද බිරියක මෙන්ම කලා ශිල්පිනියක ලෙසද තම සීමා අපූරුවට ජයගත් දිරිය ගැහැනියක වූ බැවිනි.

සුගතපාල ද සිල්වා, චන්ද්‍රසේන දසනායක, ප්‍රේමරංජිත් තිලකරත්න, වේහැල්ලේ පියතිලක වැනි ශිල්පීන්ගේ ගුරුහරුකම් ආභාසය මැද "හිත හොඳ අම්මණ්ඩි", "පාරා", "දේශපාලුවා", "ඔතෙලෝ", "නැට්ටුක්කාරයෝ", "නැකත", "සිවම්මා ධනපාල", "999", ලෝක දෙකක් අතර" වැනි වේදිකා නාට්‍ය 300කට අධික සංඛ්‍යාවක ඇය එකිනෙකට වෙනස් චරිත අපුරුව රඟ දැක්වූවාය. එනිසාම ඇය අනෙක් කලා මාධ්‍යයන් අබිබවා වේදිකාවේ මුඳුන්පත් වූ බව අවිවාදිතය. නිෂ්පාදිකාවක, රචිකාවක සහ අධ්‍යක්ෂිකාවක ලෙසද ඇය වේදිකාව වෙනුවෙන් කළ සේවය අපමණය.

වේදිකාවේ ඇය සක්‍රීයව නිරත වන කාලයේම ඇයට සිනමා වරම් හිමිවන අතර, "බඩුත් එක්ක හොරු" චිත්‍රපටයේ සුළු පෙනී සිටීමක් ඔස්සේ ඇය ලාංකේය සිනමාවට ප්‍රවිෂ්ට වූවාය. පසුකාලීනව සිනමාවේද මව, නැන්දණිය, මෙහෙකාරිය සහ වැඩිහිටි කාන්තාව වැනි චරිත හරහා ඉස්මතු වූ බව සැබෑවකි. "මඩොල් දූව", "යහළු යෙහෙළි", "එයා දැන් ලොකු ළමයෙක්", "අධිෂ්ඨාන", "අනූපමා", "නුවන් රේණු", "රිදී තැල්ල", "යස ඉසුරු", "යුගාන්තය", "වදුල", "මංගල තෑග්ග", "ආදර හසුන", "විරාගය", "කෙළිමඬල", "අයෝමා", "භව දුක", "භව කර්ම", "උමයංගනා", "පවන රළු විය", "යුවතිපති", "මාරුතය" වැනි චිත්‍රපටවල පටන් මෑතකදී තිරගත වූ "පත්තිනි", "ඝරසරප" වැනි චිත්‍රපට දක්වාම ඇය සිනමා කෘති ගණනාවක විවිධ වූ චරිත රඟ දැක්වූවාය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය තිස්ස අබේසේකර, ධර්මසේන පතිරාජයන්ගේ සිට ප්‍රවීණ සහ නූතන නිර්මාණකරුවන් යටතේද රංගන භාග්‍යය ලද ඇයට සිනමාවේ කිසිත් ඇගයුමක්, බුහුමනක් නොලැබීම මහත් ඛේදජනකය.

බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කළ "එරබදු මල්" නාට්‍යය හරහා පුංචි තිරයටද පිවිසෙන ඇය "දු දරුවෝ", "චාරුලතා", "නෑදෑයෝ", "පස්සෙ ගෙනා මනමාලො", "අසල්වැසියෝ", "බූමුතුරුණු", වැනි ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වූවාය.

වේදිකාවේ හොඳම නිළිය, නිෂ්පාදනය සහ රචනය වෙනුවෙන්ද සම්මානිත ඇය, ටෙලි තිරයේ කුසලතා සම්මානයන්ගෙන් සහ ‍රයිගම් දිවමන් ප්‍රණාම සම්මානයෙන්ද බුහුමන් ලද ශිල්පිනියකි.

සුදර්ශිය සමඟ බොහෝ කටයුතු සඳහා පුරෝගාමී දායකත්වයක් දැක්වූ මියුරි, මීට වසර 54 කට පෙර සුදර්ශියේ සාමාජිකත්වය ලබන්නේ නැසීගිය නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධනයන්ගෙනි. ඉන්පසුව කෙටි කලකින් එහි විධායක සභාවද නියෝජනය කිරීමේ භාග්‍යය ලබන ඇය එතැන් සිට විවිධ තනතුරු දරමින් දශක ගණනක් මෙරට කලාව වෙනුවෙන් කළ සේවය අගය කළ මනාය.

මෙරට බොහෝ ආධුනික ශිල්ප ශිල්පිනියන් හට දර්ශන තලයේදී මවක් ලෙස සෙනෙහස පාමින් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ඇය දුන් ඔවදන් බොහෝ ය. අවුරුදු 81 තරම් කාලයක් සැමට සෙනෙහෙවන්තියක ලෙසින් මතක රැසක් ළයට සමීප කොටගෙන පසුගිය 06 වැනිදා සිය අවසන් සුසුම් වාතලයට මුසු කළාය.

ජීවිතයේ සැදෑ සමයේ තම දරු මුනුපුරන්ගේ මෙන්ම මෙරට සුවහසක් රසිකයන්ගේ ආදරය නොඅඩුව විඳීමෙන් සන්තුෂ්ටියෙන් පොහොසත් ශිල්පිනියක වූ ඇයගේ මුහූණේ රැඳි සිනාව මියෙන තෙක්ම වියැකුණේ නැත. ඇය නිබඳ දුටු බෞද්ධ දර්ශනයට අනුව රසිකයන් තුටු කළ පුණ්‍යකර්මයෙන්ම මතු සසරකදී නිවනින් නිවෙනු ඇත.

 

ඡායාරූපය - දයාන් විතාරණ

Comments