මම දැන් හොඳ­ටම ‘ෆිට්’ හිටි­ය­ටත් වඩා ශක්ති­මත් | සිළුමිණ

මම දැන් හොඳ­ටම ‘ෆිට්’ හිටි­ය­ටත් වඩා ශක්ති­මත්

 අපේ පළමු වැනි කොරෝනා ‍රෝගියා  මත්තේ­ගොඩ ජයන්ත රණ­සිංහ
අපේ පළමු වැනි කොරෝනා ‍රෝගියා මත්තේ­ගොඩ ජයන්ත රණ­සිංහ

මීට වසරකට පෙර කොරෝනා රෝගය වැලඳුණු ප්‍රථම ශ්‍රි ලාංකිකයා වූයේ මත්තේගොඩ පදිංචි සංචාරක මඟ පෙන්වන්නෙක් හා සංචාරක කථිකාචාර්යවරයෙක් වන ජයන්ත රණසිංහයි.

පසුගිය දිනක මත්තේගොඩ ප්‍රදේශයට ගිය අපි මෙරට ප්‍රථම කොරෝනා රෝගියා වූ ජයන්ත රණසිංහගේ සුවදුක් විමසුවෙමු.

“මම මත්තේගොඩින් වාර්තාවක් තිබ්බ ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා රෝගියා වෙමින්. ඒ වගේම එදා මාව කොරෝනා රෝගියෙක් ලෙස අයි.ඩී.එච්. එකේ අය හඳුනාගත්තට පස්සේ මට සැලකුවේ රජෙකුට වගේ. වෛද්‍ය එරංග නාරංදෙනිය සමඟ හෙද හෙදියන් සෞඛය ආරක්ෂිත ඇඳුම් ඇඳගත් 12 - 15ක් නිතරම ඇඳ වටේ සිටියා. මත්තේගොඩ වෛද්‍ය නිශාන්ත තමයි වහාම මාව අයි.ඩි.එච්. එකට යැව්වේ.

මම කන්න ඕනෑ මොනවාද. බොන්න ඕනෑ මොනවාද කියලා මගේ අවශ්‍යතාවන් ඇඳ වටේ සිටි අය විමසුවා. වෛද්‍ය නාරංදෙනිය මට කැඳ ටික ගෙදරින් ගෙනත් දුන්නා. අවශ්‍ය බේත් සියල්ල

ජයන්ත තම කොර­ටුවේ වගා කට­යු­තු­වල නිරත වෙමින් 

නොමිලේ දුන්නා. සෞඛ්‍ය සේවකයන්ට අඳින්න ලැබුණු පිජාමා ඉරලා මට කොට කලිසම් සකස් කරල දුන්නා. ඒ රෝහල ප්‍රයිවට් එකකට වඩා හොඳයි. ඒ පිළිබඳව නම් අයි.ඩී.එච්. එකට මම ණයගැතියි.” ජයන්ත ඒ මීට වසරකට පෙර සිදුවූ දෙය මතක් කරයි.

“මාර්තු 10 වැනිදා රෝහලේ ප්‍රධාන හෙද පාලිකා ගීතානි මහත්මිය තමයි මට කිව්වේ ඔයාට කොරෝනා. ඒත් බය වෙන්න එපා අපි සුවපත් කරනවා ඔයාව කියලා. වෛද්‍යවරයා ආවාම මට කිව්වා ඔයා කිසි දේකට බයවෙන්න එපා. අපි සුව කරන්න සම්පූර්ණ උත්සාහ ගන්නවා කියා කිව්වා. මට ප්‍රතිජීවක ගොඩක් දුන්නා. සේලයින් දුන්නා. දවස් 2 - 3ක් අමාරු වුණා. හුස්ම ගන්න බැරි වුණා.

මම බේත් ගන්න අතර නාරංගොඩ වෛද්‍යතුමා ගෙනාපු කැඳ දිනපතාම බිව්වා. ඒ අතර පාලිත ධම්ම කියලා හිමිනමක් මට දුරකථනයෙන් භාවනාව කියා දුන්නා. ඒ අනුව තරංග ක්‍රමයක් අනුව භාවනාව හොඳින් කෙරුණා. මමත් ලෙඩ ඇ‍ඳේ ඉන්න හැම ‍විටම පන්සිල් සමාදන් වෙලා පිරිත් කියලා ‍තමයි ඉන්නේ. මගේ ඇඳට අයි.ඩී.එච්. පුරාණ පන්සලේ බෝධින් වහන්සේ පේනවා. නිතරම බුදු දහම ගැන සිතුවා. බුද්ධ ශක්තිය ආත්ම ශක්තිය මෙන්ම අයි.ඩී.එච්. වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සත්කාර නිසා මට දවස් 18න් සුව වුණා.

ඊට කලින් අපේ ගෙදර කට්ටිය ගමෙන් යවන්න කියලා අහල පහල පවුල් ටිකක් පෙත්සමක් ගහලා තිබුණා. නමුත් මම මගේ පවුලටවත් ගමේ කිසිම අයකුටවත් කොරෝනා බෝකරලා නැහැ. මගේ බිරිඳ සුජීවාටයි දරුවන්ටයි මේ රෝගය නොවැල‍ෙඳන විධියටයි සේරම කළේ. එහෙම තියෙද්දි අපේ පවුලට එහෙම කරපු එක ගැන මට දුක හිතුණා. ඒ වෙලාවේ කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ධනුක පත්මරාජ හා ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරි අපේ පවුලට උදවු කළා. ඒ අනුව ගැටලු සමනය වුණා.”

“දවස් 21ක් මම නිරෝධායනය වුණා. ගෙදර අයත් එහෙම වුණා. අපේ ගේ තමයි මේ රටේ මුලින්ම කොරෝනා රෝගය සඳහා නිරෝධායනය වූ නිවස. ඒ වගේම අපේ පවුල තමයි මේ රටේ මුලින්ම කොරෝනා රෝගය සඳහා නිරෝධායනය වුණේ. නිරෝධානය වෙලා මුල්ම සහතිකය ලැබුණෙත් අපිට. වෛද්‍ය ධනුක තමයි ඒවා සේරම කළේ.”

ගෙදර ආවාට පස්සේ සමහරු කිව්වා ‘ඔයා ස්ථානෝචිතව කටයුතු කළ නිසා මත්තේගොඩ බේරුණා’ කියලා. ඒත් සමහර යාළුවොත් මාස 2 - 3ට පස්සේ දැක්කාම කථා කළේ අඩි 2 - 3ක් පස්සට ගිහිල්ලා. එක දවසක් මට මත්තෙගොඩ හාඩ්වෙයාර් එක ළඟට ගියාම ඒක වහන්න කියලා මුදලාලි ගෝලයට කිව්ව.

අත සේදීම, මුඛ ආවරණ දැමීම හරියට කරන්න. අපිට මේ කොරෝනා රෝගයෙන් බේරෙන්න පුළුවන්.”

මේ රෝගය වැලඳීම නිසා ජයන්තට ලොකු පිනක් කර ගැනීමට ද අවස්ථාව ලැබී ඇත.

කොරෝනා සුවවීම සිදුවෙන විට ජයන්තගේ ශරීරයේ කොරෝනා විෂබීජවලට විරුද්ධව ඇතිවූ ප්‍රතිදේහ තවත් කොරෝනා රෝගීන් සුවපත් කිරීමට ලබාදිම එම පුණ්‍යකර්මයයි.

ඒ අනුව අයි.ඩී.එච්. රෝහලේ ඉහළම වෛද්‍යවරුන්ගේ ඉල්ලීම පරිදි ජයන්ත සිය ශරීරයේ තිබූ ප්‍රතිදේහ අඩංගු සුදු රුධිරානු සහිත රුධිරය ලීටර් 2ක් පරිත්‍යාග කර ඇත. එය සිදුකර ඇත්තේ සුවිශේෂි ක්‍රමයකටය.

“මගේ වටේට කළුබෝවිල රෝහලේ වෛද්‍යවරු 9ක් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 15ක් පමණ සිටියා. මගේ ඇ‍ඟෙන් ලේ මැෂින් එකකට යනවා. ඒ ලේ මැෂින් එකෙන් පෙරී සුදු රුධිරානු වෙනම තැනකට යනවා. පසුව රතු රුධිරානු මගේ ඇඟටම එවනවා. ඒ අතර මගේ අත දෙපැත්තට ප්‍රෝටීන් ඇඟට එවන්න නළ දෙකක් ගහලා තිබෙනවා. ඒ එක ප්‍රෝටීන බෝතලයක් ඉවරවෙන්න ඉවරවෙන්න අනෙක් බෝතලය සම්බන්ධ කරනවා. මම දන්න විදියට මගෙන් ලේ ලීටර් 2ක් විතර ගත්තා. ඒවා දීලා කොරෝනා රෝගින් හතර දෙනෙක් බේරා ගන්න අවස්ථාව ලැබී තිබුණා. ඒක මට ලොකු සතුටක්.

මම ප්‍රතිදේහ දුන්නයි කියලා ඇඟට කිසිම ගැටලුවක් වූයේ නැහැ. හිතේ සතුට තියෙනවා. මම දැන් හොඳට ‘ෆිට්’ එකේ ඉන්නවා. ඉස්සර වට දෙකක් උදේට දිව්වත් දැන් වට තුනක් දුවන්න පුළුවන්. ඒකට එක ‍ෙහ්තුවක් වන්නේ ඒ ලෙඩේට දුන්න ප්‍රතිජීවක හා අනෙක් කැඳ වර්ග ආදිය නිසා මට තිබුණු දියවැඩියාව, වකුගඩු අමාරු ආදිය පාලනය වී තිබීමයි.” ජයන්ත පවසයි.

මීට වසරකට පෙර මෙරට කොරෝනා වැලඳුණු ජයන්ත දැන් පවුලේ එදිනෙදා සියලු වැඩකටයුතු හා ගෙවත්තේ සියලු වැඩකටයුතු හොඳින් කරගෙන යයි. “මම දැන් පාරේ හා මත්තේගොඩ ප්‍රදේශයේ උදේ හවස එක්සයිස් කරනවා. ඒ එක්කම දවල්ට මගේ කොරටුවේ වැඩ කරනවා. කෙසෙල් පැළ සිටුවනවා. වතුර දානවා. ශුද්ධ කරනවා. දැන් මම හිටියට වඩා ‘‍ෆිට්’.

මේ තත්ත්වයට මාව ගෙන ඒමට කටයුතු කළ අයි.ඩී.එච්. රෝහලේ අධ්‍යක්ෂතුමා, වෛද්‍ය එරංග නාරංගොඩ ඇතුළු සියලුම වෛද්‍ය හා අනෙක් කාර්ය මණ්ඩලයට, මා වෙනුවෙන් බෝධි පූජා පිරිත් භාවන වැඩසටහන් කළ සැමටම, ඒ ‍වගේම විශේෂයෙන් මගේ නිවසේ සෞඛ්‍ය කටයුතු වලට උදවු කළ කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලදාරි ධනුක පද්මරාජ ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටත් හා කහතුඩුව මත්තේගොඩ පොලිසිවල සැමටත් මම ස්තුතිවන්න වෙනවා.” ජයන්ත රණසිංහ පවසයි.

සෞඛ්‍යයෙන් ජීව ශක්තියෙන් හා කොරෝනාවෙන් සුවපත් වුවත් ජයන්ත පවසන පරිදි ඔවුන්ගේ පව‍ුලේ ආර්ථිකය නම් කොරෝනා නිසා ගැටලුවලට ලක්වී ඇත.

“කො‍රෝනා නිසා දැන් සංචාරක ව්‍යාපාරය බිඳ වැටිලා. මම ඉතාලියේ සංචාරකයන් විතරයි මෙහෙය වන්නේ. ඒ අය දැනට එන්නේ නැහැ. මට දැන් රැකියාවක් හෝ කිසිම ආදායම් මාර්ගයක් නැහැ. පුංචි පුංචි සහන ලැබුණත් කලින් හිටිය විදියට අපිට දැන් ජීවත් වෙන්න අමාරුයි. බිල්, ණය, ෆිනෑන්ස් වගේ ආර්ථික ප්‍රශ්න ගොඩක් ආවා. ගෙදරට කෑමට බඩු ගේන්න ගියත් දෙපාරක් කල්පනා කරන්න සිදුවුණා.

ණය හා ජීවන වියදම පිරිමසා ගැනීමට බැරිම තැන මම අපේ පවුල ජීවත් කරවපු මම සංචාරකයන් රැගෙන ගිය වෑන් රථය විකුණුවා. ඒ මුදලින් තමයි දැන් අපි කාලා ඇඳලා ජීවත් වෙන්නේ.

අපේ ජීවිත අපේ ව්‍යාපාර අවුරුද්දකින් විතර පස්සට ගියා. අන්තිමට බැස්ස. මේ නිසා අපේ පවුලේ ආර්ථිකය අද වෙනකොට පහළටම වැටිලයි ඉන්නේ.

රජය අපිට සහන දෙන්න ආයතන වලට උපදෙස් දුන්නත් ඒ ඒ ආයතන ඒවා හරියට ක්‍රියාවට නංවන්නේ නැහැ. ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ ගැටලුවලට ලක්වූ අප වැනි අ‍යගේ පවුල් පිළිබඳව බැලීමට රජය හා සංචාරක අමාත්‍යාංශය කටයුතු කළ යුතුයි” ජයන්ත කියයි.

ඡායාරූප - රුවන් ද සිල්වා

Comments