‘ඇන්ටික් කඩ­යක මර­ණ­යක්’ දශක තුන­කට පසු හඳ­ගම වේදි­කාවේ | සිළුමිණ

‘ඇන්ටික් කඩ­යක මර­ණ­යක්’ දශක තුන­කට පසු හඳ­ගම වේදි­කාවේ

‘මාඝාත‘ හෝ ‘හෙණ‘ නාට්‍ය පිටපත් මුද්‍රණය වෙලා තිබෙනවා. කවුරු හරි තරුණ අධ්‍යක්ෂවරයෙක් එය කරනවා නම් මා එම පිටපත් දෙන්න කැමතියි. 

 

අශෝක හඳගම පුරා දශක තුනකට පසු වේදිකාවට පිවිසෙයි. ඒ ‘ඇන්ටික් කඩයක මරණයක්‘ සමඟිනි. මේ පුනරාගමනය පිළිබඳ ශ්‍රැති මාත්‍රය ද වේදිකාව ප්‍රිය කරන සහෘද රසවතුන් තුළ ආනන්දයක් උපදවා ඇත. ඊට පාදකවන හේතු රැසක් තිබේ.

 

අශෝක හඳගම අපේ වේදිකා නාට්‍ය කලාවේ නිර්මාණකරුවකුගේ සැබෑ භූමිකාව සම්බන්ධයෙන් ගෞරවනීය ලකුණක් තැබූ නිර්මාණකරුවෙකි. අවුරුදු තිස්පහකට පෙර ඔහු ගේ කුලුඳුල් කෘතිය ලෙස එළි දකින ‘හෙණ‘ වේදිකා නාට්‍යය ගැන අදත් අප කතා කරන්නේ එබැවිනි. වසර 31කට පෙර සම්මානිත වූ ‘මාඝාත‘ ගැන ආශ්වාදයෙන් යුතුව සිහි කරන්නේ එබැවිනි. දොර දොර මළ බෙර වැයෙන යුගයක, හන්දියක් ගානේ ටයර් තුළ තරුණයන් මර මරා පුලුස්සමින් තිබුණු යුගයක වල් වැදුණු නීතිය සහිතව පැවති අශිෂ්ට සමාජයේ නිරුවත ප්‍රශ්න කළ ‘මාඝාත‘ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ හොඳම ස්වතන්ත්‍ර නිර්මාණය වන්නේය. ඒ වර්ෂ 1989 දීය. ඔහුගේ නිර්මාණ භාවිතය තුළ සෘජු දේශපාලනික ප්‍රකාශනයක් විය.

‘ඇන්ටික් කඩයක මරණයක්‘ සම්බන්ධව සහෘදයන් තුළ කුහුලක් උපදින්නේ මේ පසුබිමේය. මීට දශක තුනකට එපිට හඳගම විසින් ප්‍රශ්න කළ සමාජ ස්වරූපය වෙනස් වී ඇත්තේ බාහිරින් පමණි. මේ සමාජ වටපිටාවේ ‘ඇන්ටික් කඩයක මරණයක්‘ මුදා හරිනු ඇත්තේ කෙසේ ද? වසර 31කට පසු හඳගම වේදිකාවට එන්නේ ඇයි? ඔහු හා සංවාදයට එක් වෙමින් මම ඔහුව විමසුවෙමි.

“ කොහොමත් මම නාට්‍යය නොකර හිටියට නාට්‍ය කිරීමේ වුවමනාව හැම මොහොතකම තිබුණා. මේ පහුගිය අවුරුදු 30 නාට්‍යයක් නොකර හිටියේ වෙනත් ප්‍රායෝගික කාරණා නිසා. එකක් තමයි මගෙ රැකියාවේ කාර්යබහුලත්වය. දෙවැන්න සිනමාවට මගේ වැඩි කාලයක් යෙදවීම. “

“ නමුත් දැන් මට නිදහසක් ලැබිලා. ඒ හින්දා මේ කාලේ වේදිකා නාට්‍යයක් කරන්න ඕන යන සිතිවිල්ල ප්‍රායෝගික වුණා. අවුරුදු 30කට පස්සේ වේදිකාවට නිර්මාණයක් කරනකොට එය වෙන පසුබිමක්, වෙන පරිසරයක්, වෙන සමාජයක් හා වෙන අත්දැකීමක්. එවන් නිර්මාණකරණයම වෙනත් ආශ්වාදයක්. ඒ ආශ්වාදය මේ නිර්මාණ අත්දැකීම ඇතුළෙ තියෙනවා.“

හඳගම ගේ මුල් වේදිකා නාට්‍ය ඔස්සේ සිදු කළ සමාජ ප්‍රකාශනය ප්‍රේක්ෂකාගාරය මතු නොව සංවේදී සමාජයම තිගස්වනු ලැබුවේය. ඔහු කළ යුතුම සමාජ දේශපාලනික ප්‍රශ්න කිරීම් තම නිර්මාණය හරහා කළේය. හඳගමගේ අනන්‍යතාව ප්‍රකාශ වුණේ ඒ ගැඹුර තුළය. ‘ඇන්ටික් කඩයක මරණය‘ අතීත නිර්මාණ සේම මේ සමාජ යථාර්ථය විනිවිඳිනවා ද? ... ඔහු පිළිතුරු දුන්නේය.

“ ඒ කාලයෙ වෙනස්. ඒ වකවානුවේ දේශපාලනය තිබුණේ මහේෂ්‍ය තලයක. ඒ දේශපාලනය අපට දැනෙනවා. අපේ ඇඟේ හැප්පෙනවා. රටේ සිද්ධ වෙච්චි භීෂණය සමාජය ගිනියම් කළා. ඒ මරණීය යථාර්ථය සමඟ විශ්වවිද්‍යාල තරුණයෝ ගැටෙමින් සිටියා. එය තමයි අපේ නිර්මාණයට අවශ්‍ය නිර්මාණාවේශය ගෙනාවේ. ‘මාඝාත‘ වැනි නිර්මාණවලින් ප්‍රකාශ වුණේ අපේ තිබෙන තරුණ ජවයත් සමඟ මතුවූ ප්‍රතිචාරය. ඇත්ටම එය සෘජු දේශපාලනික ප්‍රතිචාරයක්.“

“ අප මේ මොහොතේ අත්විඳින්නේ එදා තත්ත්වය, එදා තිබුණ දේශපාලනික ස්වරූපයට වඩා වෙනස්ව. අපි දන්නෙත් නෑ දේශපාලනය අපට බලපානවා කියලා. අපි හිතන් ඉන්නේ දේශපාලනය වැඩක් නෑ. දේශපාලනය කියලා එකක් නෑ කියලා. නමුත් ඇත්ත එහෙම නොවෙයි. දේශපාලනය තියෙනවා. එය දැනෙනවා. එත් ඒක අපේ ජීවිතවලට බලපාන්නේ අප නොදන්නා විදිහට බව තේරුම් ගත යුතුයි. අපට මේ ගතිකයන් තේරුම් ගන්න වෙනවා. ඒ සඳහා අපට මානසික සූදානමක් අවශ්‍යයි. මේ සමාජ බලපෑම මතුපිටින් තේරුම් ගන්න බෑ. ඇතුළට බැහැලයි එය තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගන්න අපට ජීවිතේ අන්වික්ෂීය මට්ටමකට බහින්න වෙනවා. ඒ අන්වික්ෂීය මට්ටමේ මැදිහත් වීමකට පෙර යමක් කියවා ගන්න කරන හුරුව තමයි මේ නිර්මාණය හරහා සිදුවන්නෙ...“

අශෝක හඳගම අපට කියන්නේ ‘ඇන්ටික් කඩයක මරණයක්‘ යනුම වෙන අත්දැකීමක් බවය. එය නාට්‍යය නැරඹීමෙන්ම අවබෝධයක් ලබා ගත යුතු බවය.

‘මාඝාත‘ හෝ ‘හෙණ‘ හෝ ප්‍රතිනිර්මාණයක් විදිහට වේදිකාවට ඒවි ද ?. අවසාන වශයෙන් හඳගමව විමසුවෙමි.

ඒක මම කරන එකේ තේරුමක් නෑ. මගෙ නාට්‍ය දෙකෙහිම පිටපත මුද්‍රණය වෙලා තියනවා. එදා පැවති සමාජය තවමත් වලංගුයි. කවුරුහරි තරුණ අධ්‍යක්ෂවරයෙක් එය කරනවා නම් මා එම පිටපත් ඔහුට දෙන්න කැමතියි. “ ඔහු කියනු අසා සිටියෙමි. 30 වසරකට පෙර පැවති සමාජ ඇත්ත තවමත් වලංගුය. නිර්මාණශීලී තරුණ නිර්මාණකරුවකුට දැන් අවස්ථාවක් ලැබී තිබේ.

‘ඇන්ටික් කඩයක මරණයක්‘ සඳහා කලෙකට පසු මහාචාර්ය සෞම්‍ය ලියනගේ රංගනයෙන් එක් වී සිටී. ඉංග්‍රීසි වේදිකාවේ නිතර දකින පසන් රණවීර හඳගම සමඟ එක් වී සිටී. නිපුනි ශාරදා සහ ස්ටෙෆාන් තිරිමාන්න කෘතියේ මූලික භූමිකාව එළිදක්වති. නිර්මාණයේ සංගීතය චින්තක ජයකොඩිය. වේදිකා පරිපාලනය ප්‍රදීප් රාමවික්‍රම සහ කෝසල ද සිල්වාය. රංගාලෝකය අනුරුද්ධ මල්ලවාරච්චිය.

‘ඇන්ටික් කඩයක මරණයක්‘ වේදිකා නිර්මාණය ලබන 19, 20 සහ 21 දිනවල සවස 7ට කොළඹ ලයනල් වෙන්ට්ඩ් රඟහලේ දී වේදිකාගත කිරීමට නියමිතය. එය මේ රටේ සහෘද සුලවතුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යන නිර්මාණයක් වනු ඇතැයි අපේක්ෂා කරමි.

 

Comments