වසර 40කට පසු ‘හංසවිලක්’ යළි උපදියි | සිළුමිණ

වසර 40කට පසු ‘හංසවිලක්’ යළි උපදියි

 

නව වර්ණ රූපරාමු ප්‍රේක්ෂකයාට අලුත් අත්දැකීමක්

නවතාවයෙන් පිටපත්කරණය වූ නිසා හෝ වෙනත් කිසියම් හේතුවක් නිසා හෝ වසර හතළිහකට පසුව ‘හංස විලක්’ නැවතත් සිනමාහලට පැමිණ ඇත.

වසර හතළිහකට පෙර මුල් අවස්ථාවේ තිරගත වන විට ප්‍රේක්ෂාගාරයට දැනුණු කම්පනය කොතරම් ද යන්න සිතාගත හැකිය. මෙදා එය මුල්වරට දකින මගේ පරම්පරාවේ අය පවසන්නේ එය ඔවුන්ටද මහත් කම්පනයක් වූ බවය. ඒ වන විටත් රේඛීය කතා වින්‍යාසයේ චිත්‍රපටම බලන්නට හුරු වී සිටි ප්‍රේක්ෂකයාට ‘හංසවිලක්’ හි සංස්කරණයෙහි තිබුණු සංකීර්ණත්වය ‘මැජික්’ වන්නට ඇත. දැනුදු එහි ‘මැජිකල් ගතිය‘ ප්‍රේක්ෂාගාරයට වද දෙන බව පෙනේ.

චිත්‍රපටයෙහි දෙබස් ඔප මට්ටම් කළ මැණික් වැනිය. ඇතැම් තැනක ඒ ඔපය වැඩි වී හොඳින් සංස්කරණය කොට ඇත. එය පෙනෙන්නට පටන් ගැනීම කිසියම් කෘත්‍රිම බවක්ද ඇති කරන්නේ යැයි මුලින් සිතුණි. සමන්තිගේ සොයුරාගේ සහ මිරැන්ඩාගේ සැමියා වන ඩග්ලස්ගේ දෙබස්වල එය හොඳින් පෙනේ. මිනිසුන් සාමාන්‍ය ජිවිතයේ ඒ තරම් ඔප මට්ටම් කළ දෙබස් නොකියන්නේ යැයි සිතුණද එකී ඔපවත් දෙබස්වලින් කෘතියට එක් කරන අගය ගැන එවකට තිස්ස අබේසේකර වැනි තිර රචකයකු පළ කළ අදහසක් ඇත් නම් ඒ පිළිබඳව සොයා බැලිය යුතුයැයි සිතිණි.

මෙහි තිර රචනය සාහිත්‍යමය එකක් නොවූ බව තිර රචක, අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායකම වතාවක් කුමක් හෝ පුවත්පතකට පවසා තිබුණු බව මතකය. ඔහු කියා තිබුණේ “ හංස විලට මා කෙළින්ම ලියූවේ කාර්මික පිටපතක්. මොකද ඒක අධ්‍යක්ෂණය කරන්නෙත් මම ම හින්දා. කොච්චර හරි චිත්‍රපටියේ රඟපෑ නළු නිළියොත් දැනගෙන හිටියෙ නෑ මම මොකක්ද කරන්න යන්නෙ කියලා....මට මතකයි හෙන්රි ජයසේන චිත්‍රපටිය මුල්වරට තිරගත වූ දවසෙයි චිත්‍රපටිය තේරුම් ගත්තේ” වැනි කතාවකි. එය සැබෑවක් විය හැකිය. ඉන් පැහැදිලි වන්නේ එම තිර රචනය එවකට අලුත් මෙන්ම සංකීර්ණ එකක්ද වන්නට ඇති බවය. ඒ අනුව එය කොළවලින් ‘ බර අඩු‘ තිර පිටපතක් වන්නට ඇති නමුත් ඒ මත පිහිටා මැවූ රූපරාමු නම් ‘බර වැඩි‘ ය.

කාලෙකින් චිත්‍රපටයක් බලා එහි ගීතවලින් සාහිත්‍යමය, සංගීතමය සහ ගායනයෙන් උසස් රස වින්දනයක් ලැබීමට හැකි වීම ගැන සඳහනක් නොකිරීම නො යුතුය. ‘සඳුන් සිහින මණ්ඩපයේ’ (ලූෂන් බුලත්සිංහල), ‘හෙමින් සැරේ පියා විදා’ (ධර්මසේන පතිරාජ), ‘සෙනෙහස පුපුරා සිහිනය මිය යයි’ (ඩබ්ලිව්.ජයසිරි) යන ගීත තුන එකිනෙකට දෙවැනි නොවන වර්ගයේ ගී සෑය තුනකි.

අධ්‍යක්ෂණය කරමින් රඟපෑමේ දුෂ්කර ක්‍රියාව කරන ධර්මසිරි බණ්ඩාරනායක මධ්‍යම පාන්තික විවාහක පිරිමියාගේ (නිස්සංකගේ) ව්‍යාකූල බව, අසරණකම, ප්‍රචණ්ඩත්වය සහ ලිංගික කුහකකම මනාව නිරූපණය කරන්නේය. සැබැවින්ම මේ කෘතිය පිටුපස සිටින ආත්මය ඔහුය. දෙබස්, තිරරචනය, අධ්‍යක්ෂණය, රඟපෑම යන සෑම අංගයකම ඔහු සිටී.

මිරැන්ඩාට ජීවිතය දෙන්නේ ස්වර්ණාය. ඇය හංස විලක් සඳහා වැඩිපුරම පාවිච්චි කරන්නේ ඇගේ දිගැටි මුහුණ, දිගැටි ඇස්, ඉඳහිට නැඟෙන හංස කඳුළු ය. ඇය විසින් ප්‍රේක්ෂාගාරයට ප්‍රක්ෂේපනය කරන්නේ අද්‍යතන පවුල (වසර හතළිහකට පසුව එය අදටත් අදාළය) තුළ ජීවත්වන අතෘප්තිකර ගැහැනියයි. ඇය නිරන්තරයෙන් ම පසුවන්නේ සිය පවුල (සහකරුවා) තුළින් නොලබන සෙනෙහසක්, සතුටක්, රසයක්, රහසින් හෝ විඳගැනීමේ ආශාවක් ලුහුබඳිමිනි. හංස විලක් හි රඟපෑම් අතර ආධුනික බවක් පළ කරන්නේ සමන්ති (වසන්ති චතුරාණි) පමණි. සෙසු සියලු පාත්‍ර වර්ගයෝ චරිතවල සංකීර්ණ මනෝ භාවයන් කුළු ගන්වමින් රඟපාති.

වම් ඉවුරේ සිනමාකරුවකු ලෙස හඳුන්වන බණ්ඩාරනායක එක් අතකට මධ්‍යම පාන්තික පවුල සහ එහි පිරිමියා දෙස එංගල්ස්ගේ දෘෂ්ටිකෝණයෙන් බලන්නට ඇත.

පවුලක් වටා විවාහයක් වටා ගොඩනැඟෙන සදාචාරමය පවුරු වළල්ල ඉතා බලගතුය. සමාජය වැඩිහිටි ආලය තවදුරටත් දකින්නේ ගල්ගැසීමට තරම් වන වරදක් ලෙසය. මෙය ආගමික වශයෙන් සියලුම ආගම් විසින් පිටුදකියි. එබැවින් සුලබ වශයෙන් දැකගත හැකිවන්නේ සියතින් ම තටු සිඳගත් අසරණ හංසයන්, හංසියන්ය. ඒ අර්ථයෙන් ගත් කළ නිස්සංක සහ මිරැන්ඩා යනු ස්වකීය සිතුම් සියොතුන් හිමින් සැරේ පියා විදා යන්නට ඉඩ දුන් අවංක මිනිසකු ගැහැනියකි.

එක් අතකින් නීතියත් සදාචාරයත් එහි අණසකට යටත් කළ පවුල් දෙකත් ඔවුන්ගේ ආශාව කඩාකප්පල් කරන්නේය. මේ කියන අනපේක්ෂිත ගැටුම් පරිසරය තුළ නැවතත් මිරැන්ඩාට සහ නිස්සංකට ඔවුන්ගේ සම්බන්ධයේ පෙර පැවැති ආනන්දය යළිත් මුණ ගැසෙන්නේ නැත. ඔවුන් වෙනම කුටුම්භයක් නිර්මාණය කරගත්තද ඔවුන්ට එහි සැනසිල්ලේ ජීවිතයක් නැත. විශේෂයෙන්ම නිස්සංකගේ විඤ්ඤාණය තුළ පැලපදියම්ව ඇති. ‘ලිංගික කුහකත්වය‘ ඔහුව අර්බුදයට තල්ලු කරන්නේය.

වසර හතළිහකට පසු නවතාවයෙන් පිටපත්කරණය වී ආ ‘හංසවිල‘ නව වර්ණ ගැන්වීමෙන් හැඩ කළ දිනිත් සමරසේකර ගේ දක්ෂතාවයද පැසසුමට ලක් නොකළහොත් එය අඩුවකි. මාර්තු 10 වැනිදා සිට 'හංසවිලක්' නව සංරක්ෂිත පිටපත සිනමා ශාලාවන්හිදී ප්‍රදර්ශනය අරඹා ඇත.

samarasenasurekha@gmail.com

Comments